ලෝකයේ සිටින බොහෝ ජාතීන් අතර ශ්‍රී ලංකාවේ සිටින ලාංකිකයෝ තම ආහාර වේල තුනපහ වර්ග සහ මිරිස් සැර යොදා ගනිමින් සකස් කර ගනිති. මේ නිසා බොහෝ දෙනෙක් ලංකාවේ කෑම නැවත නැවත රස විඳීමට කැමැත්තක් දක්වති. ඒ වගේම කෑම පොඩ්ඩක් සැරට තිබුනොත් එදාට බඩකට පුරා කන්න පුළුවන් බව කවුරුත් දන්නා කරුණකි.

අතීතයේ සිට ම හේන් ගොවිතැන් ආදිය කරන විට ගොවියෝ හේනෙන් ගලවා ගත් මඤ්ඤොක්කා අලයක්, කොච්චි මිරිස් සම්බෝලයක් හෝ ලුණු මිරිසක් සමඟ අනුභව කොට තම කුස පුරවා ගන්න පුරුදු ව සිටියහ. මිරිස් භාවිතයට පුරුදු ව සිටින අපි අද අලුත් ක්‍රමයකට අමු මිරිස් බැදුමක් සාදන ආකාරය බලමු. මේ සඳහා අප යොදා ගන්නේ වෙළඳපොළේ සුලබව මිල දී ගන්න පුළුවන් අමු මිරිස් කරල් ය. ටිකක් දිග හා මහත ඒවා නම් මේ සඳහා වඩාත් ගැළපෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය

01. අමු මිරිස් කරල් 10ක් පමණ
02. ලුණු කුඩු ස්වල්පයක්
03. අබ කුඩු ස්වල්පයක්
04. දෙහි බෑයක ඇඹුල්
05. පොල්තෙල් මේස හැඳි 02ක් පමණ

සාදා ගන්නා ආකාරය.

මුලින් ම අප කළ යුත්තේ අමු මිරිස් කරල් ටික හොඳින් සෝදා ගැනීම ය. මෙසේ සෝදා ගත් අමු මිරිස් කරල් ටිකේ වතුර හොඳින් පෙරා ගන්න.

ඉන්පසු පිරිසිදු වියළි රෙදි කැබැල්ලක් මත හෝ ටිෂූ කඩදාසියක් මත තබා අමු මිරිස් කරල්වල තැවරී ඇති ඉතිරි වතුර ටික ද පිසදා ගන්න. මෙසේ පිසදා ගත් අමු මිරිස් කරල් එකින් එක ගෙන, මාළු මිරිස් පිරවුමට සකසන පරිදි, පිහියක ආධාරයෙන් ප්‍රවේශමෙන් එක් පැත්තක් පළා ගන්න. මෙසේ පළා ගත් අමු මිරිස් කරල් සියල්ල ම භාජනයකට දමා ගන්න.

භාජනයකට දමා ගත් අමු මිරිස් කරල් මතට ලුණු කුඩු ස්වල්පයක් ඉස, හොඳින් කලවම් කරගන්න. සෑම මිරිස් කරලකට ම ලුණු තැවරෙන ආකාරයට සකසා ගන්න.

දැන්, මිරිස් කරල් දැමීමට සරිලන ප්‍රමාණයේ තාච්චියක් ගෙන ලිප මත තබා ගින්දර දල්වන්න. තාච්චිය රත් වූ පසු පොල්තෙල් මේස හැඳි 2ක් පමණ දමා, රත් වෙන්නට හරින්න. තෙල් රත් වූ පසු, ගින්දර සැර අඩු කර මිරිස් කරල් ටික පරිස්සමින් තෙලට දමා ගන්න. අමු මිරිස් ටික බැදීගෙන එන විට අබ කුඩු ටික මිශ්‍ර කර ගන්න. අඩු ගින්දරේ ම තබමින් බැද ගන්න. අමු මිරිස්වල පැහැය මඳක් ළා කොළ පැහැති සුදු හුරුවක් ගන්න විට ම ලිප නිවා දමන්න.

මෙසේ සකසා ගත් අමු මිරිස් බැදුම වෙනත් භාජනයකට මාරු කර ගන්න. මඳක් නිවුණු පසු දෙහි බෑයක ඇඹුල් මිශ්‍ර කර එහි රසය වැඩි කර ගන්න. දැන් ඔබට සුළු වේලාවකින් සාදාගත් රසවත් අමු මිරිස් බැදුමක රස විඳිය හැකිය. මෙය වඩාත් සුදුසු වන්නේ බත් සමඟ ආහාරයට ගැනීමට ය. ඔබේ පවුලේ මිරිස් සැරට කැමති කෙනෙකුට ආහාර වේලක් සාදා දෙන විට අලුත් විදිහකට මෙය පිළිගන්වන්න පුළුවන්.

ඒ වගේම දහවල් දානයක් ලද අවස්ථාවක සකසා පූජා කර ගැනීමට ද කදිම බැදුමකි. ඔබත් රස විඳින්න. අන් අයට ද සකසා දී පින් රැස් කර ගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං”

“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං”

“මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක