තථාගත ශ්‍රී සද්ධර්මයට සමාන ඖෂධයක් තුන්ලෝකයෙහි ම තවත් නැහැ. සද්ධර්මයෙන් සියලු කෙලෙස් රෝග සුවපත් කරනවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව “අනුත්තර වූ ශල්‍ය වෛද්‍යවරයා” කියා හඳුන්වා දී ඇත්තේ ද සියලු කෙලෙස් හුල් උදුරා දමන මග දෙසූ ශාස්තෘන් වහන්සේ නිසයි. බුද්ධ කාලයේ උමතුව සිටි දරුණු මානසික රෝගීන් වූ පටාචාරාවන්, කිසාගෝතමිය වැනි අය ඒ මානසික අසහනයෙන් ද
මිදී සදාකාලිකව සුවපත් වූයේ කිසිදු බාහිර ඖෂධයකින් තොරව ශ්‍රී සද්ධර්මය පිළිසරණ කර ගනිමින් ම යි.

එම නිසා ඔබත් ගුණ දැනගෙන සිත පහදවාගෙන තෙරුවන් සරණ යන්න. සීලය තුළ ජීවිතය සංවර කර ගන්න. උදේ සවස තෙරුවන් වන්දනා කරන්න. රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වැනි පිරිත් අර්ථ මෙනෙහි කරමින් සජ්ඣායනය කරන්න. හැකි ආකාරයෙන් දන් පැන් පූජා කර ගන්න. බුදු ගුණ, රහත් ගුණ සඳහන් සදහම් දේශනා කියවමින් අසමින් සිත පහදවා ගන්න. මෛත්‍රී භාවනාව පුරුදු කර ගැනීම තුළ සිත සන්සිඳවා ගැනීමට පුළුවන් වේවි. එමෙන් ම මල් සිටුවීම, එළවළු පාත්ති දැමීම වැනි තමාටත් අන් අයටත් ප්‍රයෝජනවත් කටයුතුවල යෙදෙන්න උත්සාහ ගන්න. එවිට සතුටු සිතින් යුක්ත ව ජීවිතය ගොඩනගා ගැනීමට හැකියාව ලැබේවි.