උපන් හැමදෙනාටම ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණදීමට සිදුවන බව කල් ඇතිවම තේරුම්ගෙන සිටීම වැදගත්. එවැනි අවස්ථාවකට මුහුණ දී ශෝක කරන කෙනෙකුගේ සිත නැවත නැවත ශෝකයෙන්ම වෙළාගන්නා ස්වභාවයක් තියෙන නිසා විශේෂයෙන් ම “මරණසතිය” සාමාන්‍ය ජීවිතයේදී පුරුදු කර තිබීම ප්‍රියයන්ගෙන් වෙන්වීමකදී සිහිනුවණ ඇතිව ශෝක නොකොට සිටින්නට අතිශයින්ම උපකාරී වන දෙයයි.

අතීතයේ නිතර මරණසතිය පුරුදු කළ පවුලක විවාහක තරුණ පුත්‍රයාගේ හදිසි වියෝව ඒ පවුලේ කිසිවකුට අල්පමාත්‍ර කම්පාවක් ඇති නොකළ බව උරග ප්‍රේත වස්තුවෙන් දැනගත හැකියි. සක් දෙවිඳුන් විසින් අසන ලද පැනයට ඔවුන් අදහස් දක්වන්නේ මෙලෙසිනි.

පියා – සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරලා ගිය විට ඒක ශරීරයෙන් අත්හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයත් ප්‍රයෝජනයට ගන්න බැරි වෙන කොට සිරුර අත්හැරල කළුරිය කරනවා. ගින්නෙන් පිච්චෙන ඒ මළ සිරුරට ඤාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මියගිය දරුවා සිහිකරලා මා අඬන්නේ නෑ. එයාට යන්නට යම් ගමනක් තියෙනවා නම් එයා ඒ ගමන ගියා.

මව – එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬගහලා නොවෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපගේ අවසර අරගෙන නොවෙයි. යම් ආකාරයකින් ආවා ද ඒ ආකාරයෙන් ම ගියා. ඉතින් එහෙම එකේ මේ වැළපීමේ අරුත මොකක්ද? ගින්නෙන් පිච්චෙන…… එයා ඒ ගමන ගියා.

නැගණිය – ඉතින් මං හඬන්ට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. ඒ හැඬීමෙන් මට ඇති ඵලය මොකක් ද? අපේ නැදෑ හිතමිතුරන්ටත් ඇතිවෙන්නේ නොඇල්ම විතරයි. ගින්නෙන් පිච්චෙන…… එයා ඒ ගමන ගියා.
බිරිඳ – පොඩි දරුවෙක් ඉන්නවා. එයා ආකාසයේ ගමන් කරන සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය ගැන හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන…… එයා ඒ ගමන ගියා.

දාසිය – පින්වත් බ්‍රාහ්මණය, මැටි කළයක් බිඳිලා ගියවිට ආයේ පැරණි විදිහට ඒක පූට්ටු කරන්න බෑ. යමෙක් මියගිය උදවිය ගැන හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන………. එයා ඒ ගමන ගියා.
(උරග ප්‍රේත වස්තුව – ප්‍රේත වස්තු පාළි)

මෙහි මනරම් පසුබිම කතාව අටුවාවෙන් ඉගෙන ගැනීමත් බොහෝ ප්‍රයෝජනවත් වේවි.