ධාර්මික ව උපයාගන්නා ධනය කුමන ආකාරයෙන් වියදම් කළ යුතු ද යන්න බුදුරජාණන් වහන්සේ පත්තකම්ම සූත්‍රයේ දී ඉතා මැනවින් පෙන්වා දී තිබෙනවා. තමාගේ ධාර්මික ධනයෙන් කළයුතු කටයුතු හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ එහි දී පෙන්වා දී තිබෙනවා.

1. තමාගේත්, මව්පියන්ගේත්, අඹුදරුවන්ගේත්, දාස කම්කරු ජනයාගේත්, හිතමිතුරන්ගේත් සැපය පිණිස පිනවීම පිණිස ද කටයුතු කරයි.

2. ගින්නෙන් හෝ ජලයෙන් හෝ රජයෙන් හෝ සොරුන්ගෙන් හෝ තමා අකමැති අය අයිතිය හඟවා පැහැර ගැනීමෙන් හෝ සිදුවන ආපදාවල දී යළි නැගී සිටීමට යොදවයි. තම ජීවිතය සුවපත් කරයි.

3. බලි හෙවත් සංග්‍රහ පහක් සිදුකරයි.

01. ඤාතීන්ට සංග්‍රහ කරයි. (ඤාති බලි)

02. ආගන්තුකයන්ට සංග්‍රහ කරයි. (අතිථි බලි)

03. මියගිය ඤාතීන්ට සංග්‍රහ කරයි. (පුබ්බපේත බලි)

04. රජුන් උදෙසා (රජයට) සංග්‍රහ කරයි. (රාජ බලි)

05. දෙවියන්ට සංග්‍රහ කරයි. (දේවතා බලි)

4. උතුම් ගුණදහම් ඇති පැවිදි උතුමන් උදෙසා උසස් විපාක දෙන දන්පැන් පූජා කරයි. සුගතිගාමී සැප විපාක ඇති පින් කරයි.

යමෙක් මේ කටයුතු හතර වෙනුවෙන් තමන්ගේ ධාර්මික ධනය වියදම් කළොත් නිසි පරිදි වියදම් කළ බවත්, මෙයින් බැහැර වෙනත් දේවලට වියදම් කළොත් අනිසි අයුරින් වියදම් කළ බවත් වදාළ සේක.

එමෙන් ම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දී දීඝජාණු කෝලිය පුත්‍රයාට සමබර කොට ජීවත්වීම පිළිබඳ ව මෙසේ උගන්වා තිබෙනවා.

“ව්‍යග්ඝපජ්ජයෙනි, මෙහිලා කුලපුත්‍රයා භෝග සම්පත්වල ආදායම ද දැන භෝග සම්පත්වල වියදම ද දැන ඉතා මහත් නොවූත්, ඉතා පහත් නොවූත් සම වූ ජීවිතයක් ගෙවයි. මෙසේ ජීවත්වන කල්හි ‘මාගේ ආදායම වියදම යටපත් කොට තිබෙයි. මාගේ වියදම ආදායම යටපත් නොකොට තිබෙයි’ කියා ය.