භාග්‍යවතුන් වහන්සේ මල්ලිකා දේවියට වරක් මෙසේ වදාළා. “මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ ඇත්තී වෙයි. බොහෝ සෙයින් කිපෙන සුලු වෙයි. සුළු දෙයක් පැවසුව ද ගැටෙයි. කිපෙයි. තරහා ගනියි. දැඩි වෙයි. කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහළ කරයි. ඉදින් ඇය ඒ ලෙසින් චුතව වූයේ මෙලොවට පැමිණෙන්නී නම් ඇය යම් යම් තැනක උපදියි ද අවලක්ෂණ වෙයි. විරූපී වෙයි. දැකීමට අප්‍රසන්න වෙයි.” මේ අනුව පැහැදිලි වන්නේ යමෙක් පෙර ජීවිතවල දී ක්‍රෝධ බහුල සිතින් යුතුව වසමින්, ක්‍රෝධ සහගත වචන කතා කරමින්, ක්‍රෝධ සහගත ක්‍රියාවන් කිරීම තුළ මිනිස් ලොව උපත කරා පැමිණෙද්දී විරූපී අවලස්සන කෙනෙකු වන බවයි. එමෙන් ම සත්ව හිංසනයේ යෙදීමත් නොයෙකුත් ආබාධ සහිත මනා අඟපසඟකින් තොර ශරීරයක් ලැබීම පිණිස කර්මානුරූපව හේතුවන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

එම මල්ලිකා සූත්‍රයේ දී ම මනා අඟපසඟ ඇතිව රූපවත් ශරීරයක් ලැබීමට හේතුව භාග්‍යවතුන් වහන්සේ මෙසේ පෙන්වා දී තිබෙනවා. “මල්ලිකාවෙනි, මෙහිලා ඇතැම් ස්ත්‍රියක් ක්‍රෝධ නැත්තී වෙයි. බොහෝ සෙයින් නොකිපෙන සුලු වෙයි. බොහෝ දෙයක් පැවසුව ද නොගැටෙයි. නොකිපෙයි. තරහා නොගනියි. දැඩි නොවෙයි. කෝපයත් ද්වේෂයත් නොසතුටත් පහළ නොකරයි. ඉදින් ඇය ඒ ලොවින් චුත වූයේ මෙලොව පැමිණෙන්නී නම්, ඇය යම් යම් තැනක උපදියි ද අභිරූපවත් වෙයි. දර්ශනීය වෙයි. දුටුවන් පහදවන්නී වෙයි. උතුම් වූ වර්ණ සෞන්දර්යයෙන් යුක්ත වන්නී වෙයි.” එසේ නම් කෙනෙකු මනා අඟපසඟ ඇතිව ලස්සන රූපයක් ලබන්නේ මෛත්‍රී බහුල සිතින් වාසය කරමින් මෙත් සහගත වචන කතාකරමින් මෛත්‍රී සහගත ක්‍රියා කිරීම තුළයි. එමෙන් ම ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනාත් අභිරූපවත්, දර්ශනීය, සිත් පහදවන, උතුම් වර්ණ සෞන්දර්යයෙන් යුතු රූපයක් ලබාගන්නා බව සත්පුරිස දාන සූත්‍රයේ සඳහන් වෙනවා.