සමාජය විෂම බව සත්‍යයක්. විෂම සමාජයක ජීවත් වෙද්දී සිල් රැකීම පහසුවෙන් කර ගන්නට බැරිවෙන තත්ත්වයන් ඇතිවෙනවා. ආදීනවය ගැන නුවණින් සලකලා ම තමයි අතීතයේත්, මෙකලත් නුවණැති අය සිල් ගුණදහම් රකින්නට බොහෝ උපකාර ඇති බුදු සසුනේ උතුම් පැවිදි බවට පත්වෙලා තිබෙන්නෙත්. නුවණින් සැලකීම ගැන උතුම් බුද්ධ දේශනාවල මෙසේ සඳහන් වෙනවා.

“මේ ගිහිගෙයි විසීම හරිම කරදරයක්. කෙලෙස් වැඩෙන මාවතක්. නමුත් පැවිදි ජීවිතය ආකාසය වගේ. ගිහිගෙදර වාසය කරමින් මුළුමනින් ම පිරිපුන්, මුළුමනින් ම පිරිසිදු සුදෝ සුදු බඹසර වසනවා යන කරුණ ලෙහෙසි දෙයක් නො වේ. එනිසා මම කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවාගෙන ගිහිගෙයින් නික්ම පැවිදි වෙන එක තමයි හොඳ.”

ස්වාමීන් වහන්සේනමකට හෝ ගිහිකෙනෙකුට හෝ සිල් රකින්නට උවමනාව ඇති ඕනෑම කෙනෙකුට ඒ සඳහා වීරියක් අවශ්‍ය ම යි. දිවි පරදුවට තබා සිල් රැකපු ආකාරය අරහත්වයට පත් වූ පසුව ප්‍රකාශ කරපු උතුම් රහතන් වහන්සේලාගේ උදාන කියවීම, ශ්‍රවණය කිරීම වීරිය උපදවන්න මොනතරම් උපකාරයි ද!

ඒ වගේ ම දුසිරිතේ ආදීනව සිහි කිරීමත් සිල් රැකීමට වීරිය උපදින්න උපකාර වෙනවා. ඒ සඳහා සිහි කළ යුතු භය සතරක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළා.

1. තමාගෙන් තමාට නින්දා ලැබීමේ බියෙන් බියට පත්ව දුෂ්චරිතය අත්හැර සුචරිතය දියුණු කිරීම.

2. අනුන්ගෙන් තමාට නින්දා ලැබීමේ බියෙන් බියපත්ව දුෂ්චරිතය අත්හැර සුචරිතය දියුණු කිරීම.

3. දඬුවම් ලැබීමේ බියෙන් බියපත්ව දුෂ්චරිතය අත්හැර සුචරිතය දියුණු කිරීම.

4. දුගතියෙහි ඉපදීමේ බියෙන් බියපත්ව දුෂ්චරිතය අත්හැර සුචරිතය දියුණු කිරීම.

සීලයේ අනුසස් ගැන කියාදෙන, ඒ ගැන නිතර කතාබස් කරන කල්‍යාණමිත්‍ර උතුමන්ගේ ඇසුරට සමීප වීම, සිල් රකින්නට වීරිය සකස් කර ගන්න අවශ්‍ය කෙනෙකුට අප්‍රමාණ උපකාර ලැබෙන කරුණයි.