මතකය රැඳී පවතින්නේ සිහිය මතයි. ඒ සිහිය කියන්නේ කුමක්දැයි අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සිහි ඇත්තේ වෙයි. උතුම් සිහියෙන්, අවස්ථාවෝචිත නුවණින් යුත්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑත්, බොහෝ කලකට පෙර කියූ දෑත් සිහි කරයි.”

ඒ අනුව අතීතයේ කළ දේවල්, කතා කළ – සාකච්ඡා කළ දේවල් මතකයේ රැඳෙන්න නම්, නැවත් නැවත සිහිකරන්න නම් ඒ දේවල් කළ අවස්ථාවේ ප්‍රමාණවත් අවධානය යොමුකිරීමක් තිබිය යුතුයි. අදාළ කාරණයට යොමු කළ යුතු අවධානය දුර්වල වුණොත් ඒ කරුණ මතකයේ පිහිටන්නේ නැති බව කාට වුණත් අත්දැකීමෙන් දැනගන්න පුළුවන්. එසේ නම් සිහිය දුර්වල වීම හරහා මතක ශක්තිය පිරිහීමට හේතුව සොයා බැලිය යුතුයි.

දවසක් සංගාරව නම් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසුවා.

“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් ඇතැම් අවස්ථාවන්හි දී බොහෝ කලක් සජ්ඣායනා කළ වේද මන්ත්‍ර පවා අමතක වෙනවා නම්, කලින් සජ්ඣායනා නොකළ දේත් වැටහෙන්නෙ නැත්නම් ඒකට හේතුව කුමක්ද?”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“බ්‍රාහ්මණය, යම් විටක කාමරාගයෙන් පෙරළී ගිය සිත් ඇතිව, කාමරාගයට යටවූ සිතින් වාසය කරයි නම්, උපන් කාමරාගයෙන් නිදහස් වීමත් ඒ ආකාරයෙන් ම නොදනියි නම්, ඒ මොහොතේ තමන්ගේ යහපතත් ඒ අයුරින් ම නොදනියි. නොදකියි. අනුන්ගේ යහපතත් නොදනියි, නොදකියි. දෙපැත්තේ ම යහපත නොදනියි, නොදකියි. බෙහෝ කලක් සජ්ඣායනා කළ වේද මන්ත්‍ර පවා අමතක වෙයි. කලින් සජ්ඣායනා නොකළ දේත් නොවැටහෙයි.

යම් විටක ද්වේෂයෙන් පෙරළී ගිය…

නිදිමත හා අලසබවින් පෙරළී ගිය…

විසිරීමෙන් හා පසුතැවිල්ලෙන් පෙරළී ගිය…

සැකයෙන් පෙරළී ගිය…. අමතක වෙයි. කලින් සජ්ඣායනා නොකළ දේත් නොවැටහෙයි.”

(සංගාරව සූත්‍රය – අං. නි. 3)

මෙසේ නීවරණයන්ගෙන් සිත වසාගෙන ඇති විට මතකයත්, වැටහීමත් නැති වී යන බව තේරුම් ගෙන, නීවරණ සන්සිඳවන භාවනාවක් පුරුදු වීම ඉතා ප්‍රයෝජනවත්. ඒ සඳහා බුද්ධානුස්සතිය, මෛත්‍රිය, ආනාපානසතිය වැනි භාවනා අරමුණක් ඉතා ම සුදුසු යි.

එමෙන් ම මතක ශක්තිය නසන, නීවරණ උපදවන උල්පතක් බඳු යම් උපකරණයක් ඔබ නිතර අතපත ගාමින් අවභාවිතයේ යෙදෙනවා දැයි බලන්න. එතැන සංවර කර ගත්තොත් මතක ශක්තිය පිරිහීම වළක්වාගන්නට හැකි වනු ඇත.