අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා ධර්මය තුළ පෙන්වා දී ඇති හොඳ ම විසඳුම අනිත්‍ය භාවනා මනසිකාරය යි. ‘විත්ථත සත්තසඤ්ඤා’ නම් සූත්‍ර දේශනාවේ දී වදාළ ආකාරයට අනිත්‍ය භාවනාව ඉතා හොඳින් වැඩුණු කෙනෙකුගේ සිත ලාභ – අලාභ, නින්දා – ප්‍රශංසා, යස – අයස, සැප – දුක යන අෂ්ට ලෝක ධර්මය ඉදිරියේ කම්පාවට පත් නොවේ. එම නිසා ඔබත් ඇස, ඇසට පෙනෙන රූප, ඇසේ හටගන්නා විඤ්ඤාණය, ඇසයි රූපයයි විඤ්ඤාණයයි එකතුවීම හෙවත් ඇසේ ස්පර්ශය, ඇසේ ස්පර්ශය ඔස්සේ හටගන්නා සැප දුක් උපේක්ෂා විඳීම්, විඳින රූප හඳුනාගැනීම, හඳුනාගත් රූපවලට අනුව චේතනා ඇතිවීම, රූප කෙරෙහි ආසා ඇතිවීම හේතූන්ගෙන් හටගන්නා, හේතු නැතිවීමෙන් නැතිවී යන, වහා වෙනස් වී යන ධර්මතාවයට අයත් බව නුවණින් සිහි කරන්න. මේ ආකාරයට ම කන, නාසය, දිව, කය, මනස අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ද අනිත්‍ය භාවනාව සිදුකරන්න. ටිකෙන් ටික ඔබේ සිත ශක්තිමත් වන අයුරු, ඕනෑම දෙයක් දරාගැනීමට හැකිවන අයුරු ඔබට ම තේරුම්ගත හැකි වේවි.