මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට එක එක පියවරවල් තියෙනවා. සෝවාන් වෙනවා, සකදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරහත් වෙනවා. මේ ඔක්කෝටම කලින් තියෙනවා පියවරක්. ඒකට කියනවා සද්ධානුසාරී කියලා. සද්ධානුසාරී කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණින් විමසලා බුදුරජාණන් වහන්සේ ගැන ලොකු පැහැදීමක් ඇතිවීම. අන්න එයා පැහැදීමෙන් යුක්ත ව තෙරුවන් සරණ යනවා. තිසරණය අයිති වෙන්නේ සෝතාපත්ති අංගවලටයි. සෝතාපත්ති අංග හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය, ශ්‍රී සද්ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය, ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය සහ ආර්යකාන්ත සීලය. මේවා ධර්ම මාර්ගයේ යනකොට එයා ම අවබෝධ කරගන්නා දේවල්. එතකොට තිසරණ, පංච ශීලය කියන්නේ සෝතාපත්ති අංග. මේ දේවල් සෝතාපත්ති අංග බව සාමාන්‍යයෙන් බොහෝ බෞද්ධයන් දන්නේ නැහැ. ගිහි කෙනෙකුට නම් පංච ශීලය ආර්යකාන්ත ශීලය බවට පත්වෙනවා. ඒ වගේ ම ඒ කෙනා පොහොය දවසට උපෝසථ අෂ්ටාංග ශීලය සමාදන් වෙනවා.පැවිදි කෙනෙකුට නම් සාමණේර ශීලය හෝ උපසම්පදා ශීලය ආර්යකාන්ත ශීලය බවට පත්වෙනවා.