ප්‍රඥාව ලබා ගන්න පුද්ගලයා නුවණින් විමසීම සඳහා පළමුවෙන් ම කුසල් අකුසල් හඳුනාගෙන සිටිය යුතු වෙනවා. අකුසල් දුරු කරගැනීමටත්, කුසල් වර්ධනය කරගැනීමත්, වැරදි දේ අත්හැරීමටත්, නිවැරදි දේ ළං කරගැනීමටත් වීරිය කළ යුතු යි. ඒ වගේ ම ප්‍රඥාවන්ත කෙනා දැනගෙන සිටිය යුතු යි ඒ ප්‍රඥාව බිහිවුණේ කාගෙන් ද? කියලා. ඒ ප්‍රඥාව අපට ලැබුණේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්. එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් වුවමනයි.

ඒ වගේ ම ඒ ප්‍රඥාව වර්ධනය වන ආකාරයට තමන්ගේ දැනුම පළල් කරගත යුතු යි. කලණ මිතුරන්ගේ ඇසුරෙන් නැවත නැවතත් බුද්ධ දේශනා ශ්‍රවණය කළ යුතු යි.

ඒ වගේ ම ඉගෙන ගත්තා වූ ධර්මය නැවත නැවතත් තමා තුළින් මෙනෙහි කරමින් අවබෝධ කරගන්නට කල්පනා කළ යුතු යි. ඒ විදිහට ප්‍රඥාව තුළින් ශ්‍රද්ධාව ඇති වෙනවා, ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා, වීරිය ඇති වෙනවා, කල්‍යාණ මිත්‍රයා හඳුනාගන්නවා. ඒ වගේ ම ප්‍රඥාව තුළින් ප්‍රඥාව ම දියුණු කර ගන්නවා.