ඇත්තෙන් ම ප්‍රඥාව දියුණු කිරීමේ කුසලතාවය සාමාන්‍ය මිනිසුන් තුළ තිබෙනවා. අප තුළ තියෙන අභ්‍යන්තර අංග තමයි ඇස, කන, නාසය, දිව, කය, සිත. නුවණින් විමසීම කියන්නේ සිතට අයිති දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා “පින්වත් මහණෙනි, තමා තුළ තිබෙන අභ්‍යන්තර අංගයක් හැටියට නුවණින් විමසීම තරම් දෙයක් මා දකින්නේ නැහැ” කියා. ඉතින් අපි සියලු දෙනා ඒ අභ්‍යන්තර අංගය අහිමි වූ ජනතාවක් නො වෙයි. කවුරුන් හෝ කෙනෙකු කීවොත් අපි සියලු දෙනා ම නුවණින් විමසීමෙන් තොරයි කියලා එය පිළිගත හැකි සත්‍යය කතාවක් නො වෙයි.

ඉතින් ඒ අභ්‍යන්තර අංගය අපට තිබෙනවා ද? කියා දැනගන්නට හැකි වන්නේ බුද්ධ දේශනාව ශ්‍රවණය කර ඒ බුද්ධ දේශනාවට අනුව කල්පනා කරන්නට පටන් ගත් දවසටයි. නුවණින් විමසීම තිබෙන කෙනා තුළ පවතින ස්වාභාවික දෙයක් තමයි ඒ ධර්මයට හිත යන එක. ඒ ධර්මයට අනුව එයා හිතන්න පටන් ගන්නවා. ඒක කවුරුවත් ඇඟිල්ලෙන් ඇන ඇන කිව යුතු දෙයක් නොවෙයි.

මම උදාහරණයක් කියන්නම්. අනේපිඬු සිටුතුමාට ධර්මය දන්නෙ නැති පුතෙක් හිටියා. ධර්මයට ආසත් නැහැ. නමුත් ධර්මයට ගන්න තියෙන ඕනකම නිසා අනේපිඬු සිටුතුමා ඒ පුතාට කිව්වා “පුතා, මම ඔබට කහවණු පන්සියයක් දෙන්නම්. ධර්මය අහන්න යන්න” කියලා. කහවණු පන්සියය ගන්න වුවමනාවට මේ ළමයා බණ අහන්න ගියා. පළමුවෙනි දවසේ වාඩි වෙලා හිටියා. නමුත් නුවණින් විමසුවේ නැහැ. ඒත් නුවණින් විමසීමේ හැකියාව තියෙන කෙනෙක්. ඉතින් අනේපිඬු සිටුතුමා අහද්දී ධර්මය මතක තිබුණේ නැහැ. පසුවදා අනේපිඬු සිටුතුමා කිව්වා කහවණු දහසක් දෙන්නම්. බණ පදයක් මතක තබාගෙන එන්න කියලා. ඉතින් එදා මේ ළමයා බණ පදයක් මතක තබා ගන්න හිතාගෙන බණ අසමින් සිටියා. ඒ මොහොතේ දී මොහුගේ අභ්‍යන්තර අංගය විකසිත වුණා. නුවණින් විමසීම කියන දේ එයාගේ ජීවිතයට සම්බන්ධ වුණා. එයා නැගිට්ටේ සෝතාපන්න ශ්‍රාවකයෙක් හැටියටයි.