අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට නිවැරදි කළ නො හැකි වැරදි ඇත්තේ පහක් පමණි. එනම් මව මැරීම, පියා මැරීම, සංඝ භේදය, රහතුන් ඝාතනය, බුදුරජුන්ගේ ලේ දුෂ්ට සිතින් සෙලවීම යන ආනන්තරීය පාප කර්ම පහයි. යම් කෙනෙකු අතින් එම පංචානන්තරීය පාප කර්ම 5 න් එකක් සිදුවුණෝතින් ඊළඟ ජීවිතයේ දී නිරයේ ඉපදී කල්පයක් දුක්විපාක විඳීමට සිදුවේ. නිවැරදි කළ නො හැකි වරදවල් යයි දැක්වූයේ එබැවිනි.

නමුත් එම වැරදි පහ හැර අනෙකුත් ඕනෑම වරදක්, වරද වරද වශයෙන් දැක, යළි නොකිරීම පිණිස ආයතිසංවරයෙහි පිහිටා නිවැරදි විය හැකියි. එම වැරදිවලින් අත්මිදී, පින් රැස්කර, කුසල් වඩා, යහපත සෙතසුව සලසාගත හැකියි. එය සිදුකර ගත හැක්කේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළිනි. අංගුලිමාල වැනි දහස් ගණනක් මිනිසුන් මැරූවෙකු ශාන්ත දාන්ත අරහත් මුනිවරයෙකු බවට පත්වූයේත්, ගණිකා වෘත්තියේ යෙදී සිටි අම්බපාලිය, රහත් මුනිවරියක් බවට පත්වූයේත් තථාගත දහමේ අනුහසිනි. ධර්මයේ සඳහන් වන්නේ,

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා
පච්ඡා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසේති – අබ්භා මුත්තෝ’ව චන්දිමා

“යමෙක් කලින් ප්‍රමාදී ව වාසය කොට (අකුසල් සිදුකොට) පසුව නොපමා වෙයි ද (අකුසලයෙන් මිදී කුසල් වඩයි ද) වලාකුළින් මිදුණු සඳ සේ ඔහු මෙලොව එළිය කරයි” යන්නයි. එම නිසා අප කවුරුත් කළ යුතු වන්නේ අතීත වැරදි ගැන පසුතැවීම නොව, වර්තමානයත්, අනාගතයත් යහපත් කර ගැනීම ම යි.