සියල්ල ගැන සියලු දේ දන්නා සර්වඥතා ඤාණයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේ, කේන්දර, සුබ නැකැත්, සුභ නිමිති ආදිය අර්ථ ශුන්‍ය නිස්සාර දේවල් ලෙස පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. හේතු – ඵල දහම මනාව විග්‍රහ කළ “මහා තණ්හාසංඛය” සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කොට තිබෙනවා. “පින්වත් මහණෙනි, සැබෑ ලෙස ම පවතින මේ පට්ච්ච සමුප්පාදයේ පැවැත්ම, හේතු – ඵල දහම ඒ ආකාරයෙන් ම දන්නවා නම්, මේ මිනිසුන් අන්‍ය ආගමික බ්‍රාහ්මණයන්ගේ හිස් නිස්සාර අර්ථ ශුන්‍ය නැකැත් කේන්දර සුභ නිමිති අනුගමනය කරාවි ද?” කියා. එමෙන් ම “උපාසක චණ්ඩාල” නම් සූත්‍රයේ දී තෙරුවන් සරණ ගිය සැබෑ ශ්‍රාවකයන් නැකැත් කේන්දර සුභනිමිති අනුගමනය නො කරන බව (න කෝතුහලමංගලිකෝ හෝති) පැහැදිලිව පෙන්වා දෙනවා.

එමෙන් ම යමෙක් ඒවා අනුග-මනය කරනවා නම් ඔහු උපාසකයෙකු ලෙස පෙනී සිටින උපාසක චණ්ඩාලයෙක් කියා දේශනා කළා. දීඝ නිකායේ සීලක්ඛන්ධ වර්ගයේ දී නැකැත් කේන්දර ආදිය හඳුන්වා දී ඇත්තේ තිරශ්චීන විද්‍යා, මිථ්‍යා ආජීව හැටියටයි. ඒ වගේ ම ජාතක පාළියේ “නක්ඛත්ත ජාතකයේදීත්” “කිං කරිස්සන්ති තාරකා?” යනුවෙන් අහසේ ඇති තාරකා කුමක් කරන්න ද? කියා නැකැත් කේන්දර ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

මහාවංශයේ සඳහන් පරිදි නැකැත් කේන්දර ආදී මේ මිථ්‍යා අදහස් බලෙන් අප සමාජයට ඇතුල් කළේ විශාල සිංහල බෞද්ධ සංහාරයක් කොට සසුන වැනසූ කාලිංග මාඝ විසිනුත්, පසුකාලීනව පියා මැරූ සීතාවක රාජසිංහ රජු සමග එකතුව අරිට්ඨකී වෙණ්ඩු නම් ශිව භක්තික බ්‍රාහ්මණයා විසිනුත්ය. මෙම මිථ්‍යා ඇදහිලි අප ජාතියේ ප්‍රගමනයට විශාල බාධාවක් වී තිබෙනවා. එමෙන් ම පෞද්ගලික ව ජීවිතවල දියුණුව අහුරා මානසික බෙලහීනත්වයකට පත් කොට තිබෙනවා.

එම නිසා ඒවා අත්හැර මනා කොට තිසරණයෙහි පිහිටා සිල්වත් ව පින බලවත් කර ගැනීම තුළ උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කිරීමෙන් ජීවිතයේ ලෞකික ඉලක්කයන්, ලෝකෝත්තර ඉලක්කයන් අනිවාර්යයෙන් ම ජයගත හැකියි.