උදෑසන හිරු පායා සවස හිරු බැස යාමෙන් දවස ගෙවී යනවා. ඉපදුන දා පටන් මේ දක්වා දවස් කොපමණ සංඛ්‍යාවක් ගෙවී තිබේද? මොහොතක් සිතන්න. දවසින් දවස මේ ගෙවෙන්නේ අපට මේ මිහිතලය මත ජීවත්වීමට තිබෙන වටිනා කාලයයි. අපි ටිකෙන් ටික වයසට යනවා. ලෙඩ දුක් වලට භාජනය වෙනවා. කිසිවක් කර කියා ගැනීමට බැරි තත්ත්වයට පත්වෙනවා. අන්තිමේදී අපි මරණයට පත්වෙනවා. උපන් සත්ත්වයා මුහුණ දිය යුතු භයානකම ඉරණම තමයි මරණය කියන්නේ. මරණය ඉදිරියේ බොහෝ දෙනෙක් බයට පත්වෙනවා. දුකට පත්වෙනවා. බොහෝ දෙනෙක් භීතියට පත්වෙනවා. බොහෝ දෙනෙක් භීතියට පත්වෙන මරණයට ඔබ ද කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මුහුණ දිය යුතුයි. ඔබ මරණයට මුහුණදෙන අවස්ථාව තව අවුරුදු තිහ හතළිහකින් වෙන්න පුළුවන්. තව අවුරුද්දකින් වෙන්න පුළුවන්. සමහරවිට තව සුළු මොහොතකින් ඔබ මරණයට මුහුණදේවි. මරණය ඉදිරියේදී බයට හා දුකට පත්වෙන පුද්ගලයන් හතර දෙනා ගැන පසුගිය මහාමේඝ කලාපයෙන් ඉගෙන ගන්න ලැබුණා. දැන් ඔබ ඉගෙන ගන්නේ මරණය ඉදිරියේ බයට හා දුකට පත්නොවන පුද්ගලයන් හතර දෙනෙකු ගැනයි.

බුදු සරණ පතා…

මරණයට අභීතව මුහුණ දෙන අයුරු දන්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. මරණය ඉදිරියේ අසරණ නොවී සිටින ආකාරය බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ජාණුස්සෝණි සූත්‍රයේදී මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සේක. අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩසිටින අවස්ථාවකයි මේ උතුම් දේශනාව වදාළේ. ඒ කාලයේ ජානුස්සෝණි කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණ මෙසේ අසා සිටියා.

“භවත් ගෞතමයන් වහන්ස, මම මේවාගේ දෙයක් සිතාගෙන ඉන්නවා. මොකක්ද ? මේ ලෝකයේ ජීවත්වන සියලු දෙනා මරණය ඉදිරියේ බයට පත්වෙනවා. ඒ වාගේම දුකට පත්වෙනවා. මම මේ වාගේ දෘෂ්ටියක සිටින කෙනෙක්. මේ වාගේ වාදයක් කියන කෙනෙක්” ජානුස්සෝණි බ්‍රාහ්මණයා මෙහෙම කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා,

“පින්වත් බ්‍රාහ්මණය, එහෙම කියන්න එපා! මරණය ඉදිරියේ බයට හා දුකට පත්වෙන අයත් ඉන්නවා. මරණය ඉදිරියේ බයට හා දුකට පත් නොවන උදවියත් ඉන්නවා” බුදුරජාණන් වහන්සේ මරණය ඉදිරියේ බයට හා දුකට පත්වෙන පුද්ගලයන් හතර දෙනෙක් ගැනත්, මරණය ඉදිරියේ බයට හා දුකට පත් නොවන පුද්ගලයන් හතර දෙනෙකු ගැනත් දේශනා කොට වදාළ සේක.

ඇල්ම අත්හරින්න…

බුදුරජාණන් වහන්සේ වදාළා, මේ ලෝකයේ කෙනෙක් ජීවත් වෙනවා, මේ කෙනා පංච කාමයෙන් සතුටු වෙන්නේ නැහැ. පංච කාමය කියන්නේ ඇසට පෙනෙන යහපත්, සුන්දර, සිත් ඇදගන්නා, ප්‍රියමනාප, ආශාව ඇතිවෙන, කෙලෙස් හටගන්නා රූප, කනට ඇසෙන යහපත්, සුන්දර.. ශබ්ද, නාසයට දැනෙන යහපත්, සුන්දර… ගඳ සුවඳ, දිවට දැනෙන යහපත්, සුන්දර.. රසයන්, කයට දැනෙන යහපත්, සුන්දර… පහස කියන මේවාටයි. මේවා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් තමාගේ වසඟයේ පවතවන්න බැරි දෙයක් වශයෙන් සිහි කරමින් පංච කාමය ගැන තිබෙන ආශාව දුරු කරමින් වාසය කරනවා. පංච කාමය ගැන තිබෙන ඇල්ම දුරු කරමින් වාසය කරනවා. ඒ ගැන තිබෙන පිපාසය දුරු කරමින් වාසය කරනවා. මේ පංච කාමයන් ගැන තිබෙන සිතේ දැවිල්ල දුරු කරමින් වාසය කරනවා. මේ විදියට වාසය කරමින් ඉන්න අතරේ මෙයාට දරුණු මාරාන්තික රෝගයක් වැලඳෙනවා. නමුත් පංච කාමයන් ගැන ඇල්ම දුරු කරමින් වාසය කළ නිසා බයට පත්නොවී, දුකට පත්නොවී, සතුටු සිතින් මරණයට මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. මේ තමයි පළමු පුද්ගලයා.

කයේ ඇත්ත දකිමු…

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා කෙනෙක් ඉන්නවා මේ කෙනා තමන්ගේ ශරීරය අසුබ වශයෙන් සිහි කරනවා. ඒ කියන්නේ මේ කයේ තිබෙන කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස් ආදී වූ කොටස්වල ඇත්ත ස්වභාවය වූ පිළිකුල් බව සිහි කරමින් වාසය කරනවා. ඊළඟට මේ ශරීරය ධාතු වශයෙන් සිහි කරනවා. ඒ කියන්නේ මේ ශරීරයේ තියෙනවා පොළොවට පස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත දේවල්. ඒ තමයි කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස් ආදී වූ දේවල්. ඒ වගේම මේ කයේ තියෙනවා ජලයේ දියවී යන ස්වභාවයට අයිති දේවල්. ඒ තමයි පිත, සෙම, සැරව, ලේ ආදී දේවල්. උණුසුම් ස්වභාවයට අයිති දේවලුත් මේ ශරීරයේ තියෙනවා. ඒ වගේම සුළඟේ හමාගෙන යන ස්වභාවයට අයිති දේවලුත් මේ ශරීරයේ තියෙනවා කියලා මේ ශරීරය ධාතු වශයෙන් සිහි කරනවා. ඒ වගේම එයා මේ ඇස, කන, නාසය, දිව, කය මනස කියන ආයතනයන් අනිත්‍ය වශයෙන් සිහි කරමින් වාසය කරනවා. මෙහෙම ඉන්න අතරේ මෙයාටත් මාරාන්තික රෝගයක් වැලඳිලා මරණාසන්න වෙනවා. නමුත් මෙයා තමන්ගේ ශරීරය ගැන ඇති කැමැත්ත දුරු වෙන විදියට කටයුතු කළ නිසා බයට පත් නොවී, දුකට පත් නොවී සතුටු සිතින් මරණයට මුහුණ දෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ දෙවැනි පුද්ගලයා.

දස කුසල් වඩමු…

මරණය අභියස අසරණ බවට පත් නොවන තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි පින් කරන තැනැත්තා. මේ කෙනා ජීවත්ව සිටින කාලයේදී සතුන් මැරීමෙන් වළකිනවා. සොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කියලා අන් අයව රවට්ටන්නේ නෑ, පරුෂ වචන කියන්නේ නෑ. ඒ වාගේම කේලාම් කියලා අන් අයව කොටවන්නේ නෑ. හිස් වචන කියන්නේ නෑ. අනුන්ගේ සම්පත් දිහා බලලා සතුටු වෙනවා. ද්වේෂයෙන් තොරව කාලය ගෙවනවා. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා. මේ විදියට දස කුසල් කරමින් ජීවත් වෙන කෙනාත් මාරාන්තික රෝගයක් වැලඳිලා මරණාසන්න වෙනවා. එතකොට එයාට තමන් කරගත් කුසල් සිහිපත් වෙනවා. “මම ජීවත් වෙලා සිටිය කාලයේ මේ වගේ පින් කළා. කුසල් වැඩුවා” කියලා. ඒ නිසාම අවසන් මොහොතේදී සතුටු සිතින් මරණයට මුහුණ දෙනවා. මේ තමයි තුන්වැනි පුද්ගලයා.

මට විශ්වාසයි…

ඒ වාගේම බුදුරජාණන් වහන්සේ ජානුස්සෝණි බ්‍රාහ්මණයාට වදාළා කෙනෙක් ඉන්නවා. මේ කෙනා ජීවත්වී ඉන්න කාලයේදී බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා. ඒ කියන්නේ “මම මගේ හිතේ කාටවත් සොලවන්නට බැරි විදියට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා.” කියලා පුරුදු කරනවා. “මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙලෙස් නැති, රාග, ද්වේශ, මෝහ නැති, රහසින්වත් පවක් නොකරන පිරිසිදු කෙනෙක්” කියලා හිතනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ගුරු උපදේශයක් නැතිව ම සද්ධර්මය අවබෝධ කළ බවත්, උන්වහන්සේ පිරිසිදු ශීලයකින්, සමාධියකින්, මහා නුවණකින් යුතු බවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් නිවන කරා සුන්දර වූ ගමනක් වැඩි බවත් සිහි කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සියලු ලෝක අවබෝධ කළ බවත්, දමනය කිරීමට අපහසු අය පවා මහා කරුණා සිතින් දමනය කොට අමා නිවනේ සැනසීමට පත්කළ බවත්, සියලු දෙව් මිනිසුන්හට සසර දුකින් අත මිදීම පිණිස මාර්ගය පෙන්වලා දෙන එකම ශාස්තෘන් වහන්සේ වන බවත් සිහි කරනවා. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්ත්වයා ගැන අනුකම්පාවෙන් මුල, මැද, අග පිරිසිදු වූ පැහැදිලි අර්ථ ඇති පැහැදිලි වචන ඇති ඒ සිරි සදහම් දේශනා කොට වදාළ බව සිහි කරනවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ සියලු ගුණ දරාගෙන මහා කාරුණික සිතින් යුතුව මහා ප්‍රඥාවෙන් බබළමින් වැඩ සිටිය බව සිහි කරනවා.

ඒ වාගේම බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කරන ලද්දක් බව එයා පිළිගන්නවා. ඒ ධර්මය මේ ජීවිතයේදීම දකින්නට පුළුවන් බව එයා පිළිගන්නවා. ඒ ධර්මය ඇවිත් බලන්න කියල පෙන්නන්න පුළුවන් හැම කාලයට ම පොදුවූ ධර්මයක් බව පිළිගන්නවා. එයා ධර්මය තේරුම් අරගෙන ඒ කෙරෙහි මනා පැහැදීමකින් ඉන්නවා.

ඒ වාගේම එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය රාග, ද්වේශ, මෝහ දුරු කරන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පිරිසක් බව පිළිගන්නවා. ඒ වගේම ඒ ශ්‍රාවක සංඝයා ධර්මයෙහි හැසිරෙමින් ඒ ධර්මය ලෝකයාට කියා දෙන බවත් පිළිගන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තුළ සෝවාන් මාර්ගයේ සිට අරහත් ඵලය දක්වා පුරිස පුද්ගලයින් අට දෙනෙක් සිටින බවට පිළිගන්නවා. අන්‍ය ආගමික ශ්‍රාවකයින් අතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස අග්‍ර බවත්, ඒ හා සමාන පුණ්‍ය ක්ෂේත්‍රයක් මේ ලෝකයේ වෙන නැති බවත් පිළිගන්නවා. ඉතින් ඒ කෙනා මේ විදියට තෙරුවන් ගුණ සිහි කරමින් සතුටට පත්වෙනවා. මේ විදියට ඉන්නකොට මේ කෙනාත් මාරාන්තික රෝගයක් වැලඳිලා මරණාසන්න වෙනවා. නමුත් තෙරුවන් ගුණ සිහි කරමින්, තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් යුතුව ගත කළ නිසා බයට පත්නොවී දුකට පත්නොවී අභීතව සතුටු සිතින් මරණයට මුහුණදීමට ඒ කෙනාට පුළුවන් වෙනවා. මේ තමයි හතරවැනි පුද්ගලයා.

අපිත් මේ ආකාරයෙන් මරණය ඉදිරියේ අසරණ නොවීම පිණිස, බයට හා දුකට පත් නොවීම පිණිස, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට මේ ධර්මයන් පුරුදු කරගෙන, දාන, සීල, භාවනා ආදී පින්කම් තුළින් ජීවිතයට පින් රැස් කරගෙන, නොබියව මරණයට මුහුණදීම පිණිස හොඳ අධිෂ්ඨානයක් ඇතිකර ගනිමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.