සත්වයා බොහෝ සෙයින් දුක් විඳින අපායේ ප්‍රධාන නිරයවල් අටකි. සංජීව, කාලසූත්‍ර, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීචි යනුවෙනි. තවත් ඔසුපත් නිරයවල් හෙවත් උස්සද නිරයවල් 128කි. මේ අනුව නිරය 136කි. මේ ලිපියෙන් අටමහ නරකය ගැන අටුවාවල සඳහන් තොරතුරු දැක්වේ.

සංජීව නරකය :

අටමහ නරකයන්ගෙන් ප්‍රථම නරකය යි. මෙහි උපන් නිරිසතා යමපල්ලන් විසින් කපන කොටන කල්හි ද කර්ම බලය නිසා ජීවිතය තොර නොවන හෙයින් සංජීව නම නරකයට යෙදී ඇත්තේ ය. චාතුම්මහාරාජිකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකි. මිනිස් ලොව වර්ෂ ගණනින් අනූ ලක්ෂයක් අවුරුදු මේ නරකයට එක් දිනකි. එබඳු දින 30ක් මසකි. මාස 12ක් අවුරුද්දකි. එබඳු මිනිස් ලොව වර්ෂ ගණනින් අවුරුදු කෝටි එක්ලක්ෂ සැට දෙදහසක් වන්නේ ය. මිනිස් ලොව උපන් කල බෝ රුක් කපා අතු කඩා දැමුවෝ ද, බණ පොත් සිඳ බිඳ දැම්මෝ ද, පොත් ගුල් නැසුවෝ ද, තුනුරුවන්ට කරන අපහාස, සත්පුරුෂයින් පීඩාවට පත් කිරීම හා පස්පව්, දස අකුසල් මේ නිරයේ උපතට හේතු වේ. මෙහි කකිය කකිය නටන ලෝ දියෙන් ද බුර බුරා නගින ගිනිදැල්වලින් ද යමපල්ලන්ගේ ඉතා සියුම් වූ කඩු තෝමර ආදී මුවහත් ආයුධවලින් ද පීඩා ලබමින් කර්මය ගෙවෙන තෙක් නොමැරී දුක් විඳිති. කර්මය ගෙවුන දා කලුරිය කරති. ගව් දෙගව් උස ඇති සිරුරු දරමින් දරුණු දුක් විඳිති.

කාලසූත්‍ර නිරය :

අටමහ නරකවලින් දෙවෙනි නරකය යි. මෙහි උපන් නිරිසතාගේ ද සිරුර ගව්දෙගව් පමණ උස් වෙයි. සියුම් ආයුධ වලින් යමපල්ලෝ නිරිසතාගේ ඇඟ මස් ලියති. ගිනිගෙන දිලිසෙන යපොළොවෙහි හොවා ඇඟමස් සසිති. ඉරති. කර්මවේගය තිබෙනතාක් නොමැරී දුක් විඳිමින් ජීවත් වන නිරිසතා මහ දුකින් හඬ හඬා ඈත මෑත දුව පැන ඇවිදී. තාවතිංසයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකි. මිනිස් ලෝ ගණනින් අවරුදු තුන්කෝටි සැට ලක්ෂයක් මේ අපායට එක් දිනකි. එබඳු මාස වර්ෂ ආදියෙන් මෙහි පරමායු වර්ෂ දහසකි. මිනිස් වර්ෂ ගණනින් පරමායු අවුරුදු දොළොස් ලක්ෂ අනූදහස් අට කෝටියක් වේ. මිනිස් ලෝ උපන් කල දාගැබ් බින්දෝ ද, දා කරඬු මැකුවෝ ද, ධාතු සහිත පෙති පිළිම සිඳ බිඳ දැමුවෝ ද, සිල්වත් ගුණවතුන් මැරුවෝ ද පූජනීය වස්තු විනාශ කරන, පූජනීය ස්ථාන කෙලෙසන, ගරු කළ යුතු අයට හිරිහැර කරන අයත්, පස්පව් දස අකුසල් සිදු කරන අයත් මේ නිරයට වැටේ. මේ අපායෙහි ඉපිද කර්මය ගෙවෙනතාක් මහ දුක් විඳිමින් කල් යවති. කර්මය ගෙවුන දා චුත වෙති.

සංඝාත නිරය :

මෙහි උපදින නිරි සතුන්ගේ ශරීරවලින් අඩක් කටිය දක්වා යට ගිනිගෙන දිලිසෙන යපොළොවෙහි ගැලී සිටී. එසේ සිටි නිරිසතුන් බුර බුරා නගින ගිනිදැල්වලින් දැවෙද්දී නැගෙනහිර දිශාවෙහි සිට ගිනිගත් විශාල යකඩ පර්වතයක් හෙණ හඬ නංවමින් පෙරලීගෙන අවුත් නිරිසතාගේ ශරීරය ද පොඩි කරමින් බටහිර බිත්තියෙහි වැදී නවතී. නැවත උතුරු දිගින් පෙරලී එන යකඩ පර්වතය නිරිසතුන්ට පීඩා කරමින් දකුණු බිත්තියෙහි හැපී නවතී. මෙසේ උතුරු, දකුණු, නැගෙනහිර, බටහිර, උඩ, යට යන සදිසාවෙන් පෙරළී එන යකඩ පර්වතවලට පොඩි වෙමින් ඝාතනය වෙමින් කර්මවේගය තිබෙනතාක් පීඩා ලබමින් කල් යවත්. අහිංසක ගුණවත් ස්ත්‍රී පුරුෂයන්ට තලා පෙලා හිරිහැර කළෝ ද, සම්මත කුලවතුන්ට අවනම්බු කොට ඔවුන් තනතුරුවලින් පහ කළාහු ද, උකුණන් ඉනිකුණන් බින්දෝ ද, උගුල් අටවා සතුන් මැරුවෝ ද සත්ව ඝාතන, සත්ව හිංසාව, දූෂණ වංචා කරන අයත් පස්පව් දස අකුසල් කරන අයත් මේ නිරයට වැටේ. මිනිස් ලොව තුදුස්කෙළ සතළිස් ලක්ෂයක් අවුරුදු මෙහි දිවා රාත්‍රී එක දවසයි. එම දින මාස, වර්ෂ ගණනින් අපාය වර්ෂ දෙදහස් පරමායු වෙති. මිනිස් ලෝ ගණනින් එක්ප්‍රකෝටි තුන්ලක්ෂ සැට අටදාහක් පරමායු බව දක්වයි. යාම දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ.

රෞරව නිරය :

ගිනිගෙන දිලිසෙන පොළොවෙහි බුර බුරා නගින ගිනිදැල්වලින් රුක් සිදුරු තුළ ගින්නක් මෙන් ඇතුළත දැවෙමින් මෙහි දුක් විඳින නිරිසත්තු කර්ම බලයෙන් නොමැරී ජීවත් වෙති. මව්පියන් තළා පෙළා හිංසා කළාහු ද සහලේ ඥාතීන්ට පීඩා කළාහු ද අපවාද කළාහු ද පස්පව් දස අකුසල් කළ අය මෙහි ඉපිද දුක් විඳිති. මිනිස් ලෝ ගණනින් සත්පණස් කෝටි හැට ලක්ෂයක් අවුරුදු එක් දිවා රාත්‍රියක් වන මේ අපායෙහි එබඳු මාස වර්ෂ ගණනින් පරමායු වර්ෂ සාර දහසෙකි. මිනිස් ලෝ ගණනින් පරමායු වර්ෂ අටප්‍රකෝටි විසිනව ලක්ෂ සූසාළිස් දහසකි. තුසිත දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ.

මහා රෞරව නිරය :

නිම්මාණරති දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ. මිනිස් ලෝ ගණනින් අවුරුදු දෙසීය තිස්කෙළ හතලිස් ලක්ෂයක් එක් දිවා රාත්‍රියක් වන මේ නරකයේ එබඳු මාස වර්ෂ ගණනින් පරමායු අටදහස් වසරකි. මිනිස් ලෝ ගණනින් හැටහය ප්‍රකෝටි පන්තිස් ලක්ෂ දෙපණස් දහස් ප්‍රමාණ වර්ෂ ගණනක් පරමායු වෙයි. ඉතා බියකරු ගිනිදැල්වලින් වෙලි වෙලී මහ දුක් විඳින නිරිසත්තු අපායෙහි වූ මහා ඝෝර වූ දුක්ඛයන්ගෙන් පීඩා ලබති. පන්සිල් දසසිල් ආදී උසස් සීල ගුණයන් ආරක්ෂා කරන සිල්වත් ගුණවතුන්ට නින්දා අපහාස කළෝ ද අර්යෝපවාද කළෝ ද පස්පව් දස අකුසල් කළ අය මෙහි ඉපදී කර්මය ගෙවෙනතාක් දැඩි දුකින් තැවේ.

තාප නිරය :

මිනිස් ලොව වසන කල රජ බල, නිල බල, රාජකාරී බල ආදී යම් යම් තත්ත්වයේ වගකීම් බල දරමින් ද සතර අගතියෙන් ද ක්‍රියාකොට, හිමියන් අහිමියන් කොට, අහිමියන් හිමියන් කොට, බොරු නඩු පටලවා වැඩිපුර දඩමුඩ ගස්වා මහජනයාට වධ කළාහු ද පස්පව් දස අකුසල් කළ අය මේ නරකයේ උපදිති. ගිනිගෙන දිලිසෙන යහුලින් ඇමිනී සෙලවෙනු නොහැකිව මහ දුක් විඳිති. මිනිස් ලෝ වර්ෂ ගණනින් නවසිය විසිඑක්කෝටි සැට ලක්ෂයක් අවුරුදු මේ අපායට එක් දිනයකි. එනම් පරනිම්මිතවසවත්තී දිව්‍ය ලෝකයේ සම්පූර්ණ ආයුෂ මෙහි එක දවසකට සමාන වේ. එබඳු දින මාස වර්ෂ ගණනින් පරමායු වර්ෂ සොළොස් දහසකි. මිනිස් ගණනින් පරමායු වර්ෂ පන්දහස් සත් සිය දහහතර ප්‍රකෝටි අසූසාර ලක්ෂ දසදහස් කෝටියක් පමණ වේ.

ප්‍රතාප නිරය :

බොරු සාක්ෂි කීවෝ ද, එයට අනුබල දුන්නෝ ද, බොරු අගති නඩු විනිශ්චය කළෝ ද, අනුන්ගේ දේපල ප්‍රයෝගයෙන් හා බලහත්කාරයෙන් තමන්ට හිමි කර ගත්තෝ ද පස්පව් දස අකුසල් කළ අය මේ දරුණු දුක් ඇති අපායෙහි ඉපිද දුක් විඳිති. මෙහි විශේෂයෙන් ගිනිගෙන දිලෙන යකඩ පර්වත තැන් තැන්වල ඇත. යමපල්ලන් විසින් නිරිසත්තු පර්වත මුදුනට නංවනු ලැබෙත්. එකල ක්‍ෂාරාවාත නම් මහා වාතයක් කර්ම බලයෙන් හමාවිත් නිරිසතා බිම හෙළයි. බිම වැටෙන නිරිසතා පා උඩුකුරුව හිස යටිකුරුව වැටෙන්නේ බිම සිටුවා ඇති යහුල්මත වැටී එහි ඇමිණේ. මෙහි පරමායු කොතෙක් ද? දෙගව් උස ඇති, දෙගව් වට ගලක් අවුරුදු සියයකට වරක් පිස දමනු ලැබීමෙන් ගෙවී ගොස් ඒ ගල බිම හා සම බවට යෑමට යම්තාක් කල් ගතවේ ද මෙහි පරමායු ඒ තාක් කල් බව දක්වා ඇත. අර්ධ අන්තඃ කල්පයක් බව ද කියයි. එනම් පරමායුෂ දහයේ සිට අසංඛෙය්‍ය දක්වා මිනිසාගේ ආයුෂ වැඩීමට ගතවන කාලය යි. ඒ තාක් නිරයේ දුක් විඳිය යුතු ය.

අවීචිය :

අටවෙනි නිරය අවීචිය යි. මෙය සෙසු මහ නරක හතට වඩා දුක් උපදවන ස්වභාවයෙන් යුක්ත ය. කල්පයේ මුල් භාගයේ ඇතිවන භයානක ගින්නක් මෙන් අපායේ නැගෙනහිරින් පටන් ගන්නා ගිනිසිළු බුර බුරා නගමින් සළාදි දී ගොස් බටහිර බිත්තියේ හැපෙයි. බටහිරින් පටන් ගන්නා ගිනිදැල් බුර බුරා නගිමින් නැගෙනහිර බිත්තිය දක්වා හැපීගොස් ආපසු එයි. උතුරු දකුණු දෙදිශාවෙන් පටන් ගන්නා ගිනි ද මෙසේ බුර බුරා නැග නැග දිවෙයි. සුවාසූ දහසක් යොදුන් ගැඹුරැති මහ සයුරේ ජලස්කන්ධය එකවිට ගෙන අවීචියෙහි ගිනියම් වූ යකබල පිට බහාලුවොත් යකබලකට දැමූ තණ අග පිණි බිඳක් මෙන් දවා පියන තරම් තද ගිනි ඇත්තේ ය. මෙතරම් දරුණු වූ ගින්නෙන් නිරිසතා නොමැරී දුක් විඳිමින් කල් යවන්නේ කර්ම වේගය නිසා ය.

මාතෘඝාතක, පිතෘඝාතක, අරහන්තක ඝාතක, ලෝහිතුත්පාදක, සංඝභේදක යන පඤ්චානන්තර්ය කර්ම කළෝ ද බෝසත් ගුණ දරණ උතුමන්ට පීඩා කළෝ ද, දාගැබ් මහ බෝ සිඳ බිඳ දැමුවෝ ද, තෙරුවන් සතු දෙය සොරා ගත්තෝ ද, දරුණු ලෙස සුරා පානය හා ස්ත්‍රී දූෂණ කළෝ ද, සිල්වතුන් භේද කළෝ ද යන අපරාධ කළ අය, පස්පව් දස අකුසල් කළ අය මෙහි ඉපිද මහ දුක් විඳිති. තපස් දම් රකිනා සීල සංයමයෙන් යුතු අයටත්, සුපේෂල භික්ෂූන්ටත් පරුෂ වචනයෙන් බණින අයත් මේ නිරයේ උඩුකුරු පා ඇතිව, යටිකුරු හිස ඇතිව වැටේ. උතුමන්ට බණින පව්කාරයෝ කෑලිවලට කැපූ මත්ස්‍යයන් මෙන් අවුරුදු අසංඛෙය්‍ය ගණනක් මෙහි පැසේ. මෙහි පරමායු අන්තඃ කල්පයකි. මිනිසුන්ගේ පරමායු වර්ෂ දහයේ සිට අසංඛෙය්‍ය දක්වා වැඩි වී නැවත දස වර්ෂය දක්වා පිරිහීමට ගතවන කාලය අන්තඃ කල්පයකි. පාපය ගෙවෙන තෙක් නැවත නැවත ඉපදී දුක් විඳිති.

අවීචියෙහි උපන් දෙව්දත් භවකීල නම් වූ දුක අනුභව කරයි. දෙව්දත් තෙර යොදුන් සියයක් උස් වූ සිරුරක් දරයි. දෙපාවල කෙණ්ඩා දක්වා යට යපොළොවෙහි ගැලී ඇත. දෙඅත් මැණික් කටුව දක්වා දෙපස ලෝහමය බිත්තියෙහි ද හිස බැමතෙක් උඩපියස්සෙහි ද ගැලී ඇත්තේ ය. අධෝභාගයෙන් යවුලක් පිවිස සිරුර විනිවිද ගෙනගොස් උඩ ලෝහමය පියස්සෙහි ඇමිනී ඇත. පෙරදිග බිත්තියෙන් යවුලක් පැන නැගී ලය විනිවිද ගොස් අපරදිග බිත්තියෙහි ඇනී ඇත. උතුරු බිත්තියෙන් නික්මුනු යවුල ඉල ඇට විනිවිද ගොස් දකුණුදිග බිත්තියට වැදී ඇත. සෙසු නිරිසතුන්ගෙන් වෙන් ව වෙනම කොටසක මෙසේ දෙව්දත් නිරිසතා භවකීලය නම් වූ මේ දරුණු දුක විඳිමින් සිටී.

යාව න තං පාපකම්මං බ්‍යන්තී හෝති න ච තාව කාලංකරෝති” යනුවෙන් දේවදූත සූත්‍රයෙහි වදාරා ඇත්තේ ද පාපකර්මය ගෙවී නොතිබෙන තාක් සත්වයා නොමැරී දුක් විඳින බවයි.

අග්ගිජාලාහි දුක්ඛේහි – සත්තේහි ච නිරන්තරං
විචී න දිස්සතේ යස්ස – අවීචීති පවුච්චති

යනුවෙන් දුක් විඳින සතුන්ගේ ද දුක්ඛ වේදනාවන්ගෙන් ද ගිනිදැල්වලින් ද අතරක්, සැනසීමක් මේ අපායෙහි නොමැති හෙයින් මේ අපාය අවීචි නම් වීයයි දක්වා ඇත්තේ ය.

පෙරදිගින් පටන්ගත් ගිනිදැල් අපරදිග දක්වා විහිද ගොස් අපරදිග ප්‍රාකාරයෙහි හැපී යොදුන් සියයක් තැන් පිටතට විනිවිද යයි. සෙසු දිශාවන්හි ද එසේමැයි. මෙසේ නිරය තුළ ගිනිදැල් බුර බුරා සළාදිදී මහා ශබ්ද පතුරුවමින් නිරය පිටතට සියයක් යොදුන් තැන් පැතිර සිටි. අවීචියට මහා නිරය යයි ද දේශනා කර ඇත.

චතුක්කණ්ණෝ චතුද්වාරෝ – විභත්තෝ භාගසෝ මිතෝ
අයෝපාකාරපරියන්තෝ – අයසා පටිකුජ්ජිතෝ
තස්ස අයෝමයා භූමි – ජලිතා තේජසායුතා
සමන්තා යෝජනසතං – ඵරිත්වා තිට්ඨති සබ්බදා

(දේවදූත සූත්‍රය – ම.නි. 3)

කොණ් සතරක් ද දොරවල් සතරක් ද ඇති මහා නරකයෙහි ඇතුළ කොටස්වලට බෙදී ඇත්තේ ය. ඇතුළත සියක් යොදුනක් දිග පළල ඇත්තේ ය. යකඩ ප්‍රාකාරයකින් වටවී ඇති අතර එබඳු පියනකින් වැසී ඇත්තේ ය. බිම යකඩ භූමිය ම ය. මේ සියල්ල ගිනිගෙන දිලිසෙන්නේ ය. යොදුන් සියයක් ඈතට තේජස් පැතිරෙන්නේ ය. යොදුන් සියයක් ඈත සිටියහුගේ දෙඇස් පුපුරා හැලෙන තරම් රස්නයක් ඇති බව දේශිතයි.

තව ද හුණ තලයක පුරාලූ යහුණු සෙයින් අවීචියේ පැහෙන සතුන්ගේ ද ගණනක් නැත. එහෙත් ඔවුනොවුන්ගේ ගමන් යෑමට / දිවීමට එයින් බාධාවක් නැත. යන්නවුන්ට සිටගත් අයගෙන් ද සිටින අයට දුවන්නවුන්ගෙන් ද බාධාවක් නැත. මෙසේ සත්වයින්ගෙන් අතරක් නැති හෙයින් මහා නරකය අවීචිය නම් විය.

මේ අටමහ නරකයන්ගෙන් එක් නිරයක් වටා තවත් නිරයවල් 16ක් ඇත. ඒ නිරයවල් පොදුවේ උස්සද නිරයවල් ලෙස හැඳින්වේ. ඔසුපත් නිරය යයි ද කියත්. මේ අනුව උස්සද නිරය 128ක් වේ. අටමහ නරකයන් සහිතව නිරය 136 කි. මේ 136ක් නිරයවල් මේ මහා පෘථිවිය හා සම්බන්ධ ය. ලෝකාන්තරික නිරය සක්වළින් එහා ය. මෙම නිරයවල් පිළිබඳ ව තවත් ලිපියකින් තොරතුරු දැනගනිමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.