උතුම් පුතෙක් පැතූ හෙළ බොදු නිරිඳාණෝ
සොළී සැඩ උවදුරු නසා, මේ සිරිලක බුදු සසුන බබුළුවාලු අපේ විජයබාහු රජ්ජුරුවෝ, කය බිඳී මරණින් මත්තේ උතුම් වූ දෙව්ලොව කරා වැඩම කළා. ඉන් පසුව මේ රටේ රජකම් කරපු නපුරු සිත් ඇති වික්‍රමබාහු රජ්ජුරුවෝ ආයෙමත් පොළොන්නරුව වනසන්නට පටන් ගත්තා. වෙහෙර, විහාර වැනසුවා. සසුන සන්තක දේ උදුරා සේවකයන්ට දුන්නා. අලංකාර විහාර පරදේසක්කාර යෝධයන්ගේ වාසයට දුන්නා. දළදාවට, පාත්‍රා ධාතුවට පුද දෙන රන් මිණිමුතු ආදියෙන් කළ පිළිම පැහැර ගත්තා. බුදු සසුනට කෙනෙහෙලිකම් වෙන්නට පටන් ගත්තා. උතුම් ස්වාමීන් වහන්සේලා දළදා වහන්සේව යි, පාත්‍රා ධාතූන් වහන්සේව යි අරගෙන රුහුණට වැඩම කළා. ආයෙත් මේ ලංකාවට අඳුරු යුගයක් ආවා.

මේ ඇත්ත කථාවක්…
ස්ථානය : රුහුණු රට රජ මාළිගය
කාලය : විජයබාහු රජ සමයෙන් පසු

මාණාභරණ ඈපාණන් මේ දවස්වල බොහෝ සෙයින් ම කල්පනාවට බරයි. එදත් හුදෙකලාවේ ම සඳැල්ලට ගොඩවැදුණා. ඈපාණන් කිසිඳු අරමුණක් නැතිව හිස් ආකාසය දිහා ඔහේ බලාගෙන හිටියා. රත් පැහැ ගත්තා වු සන්ධ්‍යා වලාවන් අතරේ හිරු මඬල සැඟවීගෙන, සැඟවීගෙන යනවා. අඳුරු මළානික නිහැඬියාව බිඳගෙන ඈපාණන් දිගු සුසුමක් හෙළුවා.

රාජ වංශයට අත්වෙන ඉරණම තවදුරටත් බලාගෙන ඉන්නට බෑ. හිත ඇතුළෙ කැකෑරෙන වේදනාව තොල් අතරට වචන වෙලා නාවත්, හිත ඇතුළෙම මෙලෙස දෝංකාර දුන්නා.

‘මේ ලෝකයා මනා යැයි සම්මත කරපු පිරිසිදු චන්ද්‍ර වංශයේ උපන්න අය අපි. ඇත්, අස් ආදී ඕනෑම ශිල්පයක අතිශයින් ම දක්ෂයි. අහෝ.. ඒත්… මේ තනි කෘර වික්‍රමබාහු එකක් යුද්ධ කරලා අපිට දිනන්නට බැරි වුණා. මේ කිලුට සුද්ද කරන්න අතිශයින් ම පොහොසත් පුත්‍ර රත්නයක පහළ වීමක් පේනතෙක් මානයක නෑ.

අහෝ… අපි වනාහි ඒකාන්තයෙන් ම පින් මඳ අය ම යි. ජනයෝ ද අපවාද නඟනවා. මේ රාජ කාම සම්පත්වලට තියෙන ඇල්ම හිතින් අත්හැරලා, යහපත් යහපත් දේවල්වල අප්‍රමාදී වෙන්නට ඕනෑ.’
මාණාභරණ ඈපාණන්ට හිටියේ දුවලා ම දෙන්නෙක්. එක්කෙනෙක් මිත්‍රා, අනෙක් කෙනා ප්‍රභාවතී. මේ දෙන්නත් සොඳුරු රෝස මල් දෙකක් වගේ ලස්සනට හැදුණා. ඒත් දූලා දෙන්නගේ මූණු දකින හැම තිස්සේ ම, රජ්ජුරුවන්ගෙ හිත පුත්‍ර සිහිනයකට පැටලෙන්නට ගත්තා.

‘මේ ශ්‍රී ලංකාද්වීපය යළිත් එක්සේසත් කරන්න, මේ මල් වගේ සොඳුරු සියුමැලි දියණිවරුන්ට කිසිසේත් ම බෑ. ඒකට සිංහල ලේ තියන, ශාසන ලැදියාව තියන, අභීත වු, සූර වීර පුත්‍ර සම්පත්තියක් ම ඕනෑ…’

මේ විදිහට මාණාභරණ රජ්ජුරුවෝ, රටට සෙත සලසන්නට කැමැත්තෙන් පුත් රුවනක් පතා රාජ්‍ය කටයුතුවලට තාවකාලික ව සමුදුන්නා. සියලු රාජකාරී ඇමතිවරුන්ට පවරලා හුදෙකලා වෙන්නට තීරණය කළා.

හිටියොත් හොඳට හැදී – දෙවියොත් නමට වඳී…
යහපත් දෙයක් ඉෂ්ට සිද්ධ කර ගන්න නම්, ඒ කෙනා යහපත් ප්‍රතිපත්තියක හික්මෙන්නට ඕනෑ ම යි. ඉතිං අපේ මේ නුවණැති රජ්ජුරුවෝත් මාස හත අටක් ම එක දිගට පින් දහම් කටයුතුවල නිරත වුණා. දහමේ ම හැසිරුණා. හොඳ සීල සංයමයෙන් යුතුව ජිවිතය ගෙව්වා.

සිංහල රටට පින් ඇති රාජ පුත්‍රයෙක් පතාගෙන ගුණ දහම් ම දියුණු කළා.

එක දවසක් රජ්ජුරුවෝ හොඳට සීලය අධිෂ්ඨාන කර ගත්තා. දවස පුරා ම සංයමයෙන්, සංවරයෙන් යුතුව වාසය කරලා දෙවියන්ටත් පින් පෙත් දීලා දෙව් රජ ගෙයි ම සැතපුණා.

රැය කෙමෙන් කෙමෙන් ගෙවිලා යනවා. දැන් රැය පහන් වෙන්නත් කිට්ටුයි. අලුයම් කාලේ අපේ රජ්ජුරුවන්ට අසිරිමත් හීනයක් පේනවා.

නොයෙක් විසිතුරු වස්ත්‍රවලින් ද සොඳුරු ආභරණවලින් ද අලංකාර වුණු, සොඳුරු සුවඳ දිව මලින් සැරසුණු, අති උදාර රූප ශෝභා ඇති, සරත් කාලයේ හිරු මඬල සේ දිලෙන්නා වු, මනා රූප සෞන්දර්යෙන් බබළන්නා වු, ඒ දිව්‍ය පුත්‍රයා අප රජ්ජුරුවන් ඉදිරිපිට පෙනී සිටියා.

“මහා පින් ඇති අප රජ්ජුරුවනි, පහදින්නට කාලය යි, ශ්‍රේෂ්ඨ මිහිපතිඳුනි, සතුටු වන්නට කාලය යි.

පිනැති ලකුණින් සමෘද්ධිමත් වූ, තම සිතේ යහපත් අරුත් ඉටු කරන්නා වූ, මනා ව හික්මුණා වූ, මේ ලෝ තලය තුළ පතල මහා තේජස් පරාක්‍රම ඇත්තා වූ, ආඥා බලයෙන් ද යසසින් ද කීර්තියෙන් ද බබළන්නා වූ ශාසනික අභිවෘද්ධියක් ම ඇති කරන්නා වු මහෝත්තම පුත්‍ර රත්නයක් ඔබට නොබෝ කලකින් ම ලැබෙනවා. එනිසා ඔතනින් නික්ම රාජ පුරයට ම පිටත් වීම හොඳයි.”

ඒ මොහොතේ ම රජ්ජුරුවන්ට ඇහැරුණා. අරුණ වැටෙනකන් ම ප්‍රීතියෙන් නිදි වර්ජිතව රැය ගත කළා. පසුදා උදෙන් ම මාළිගාවට ගිහින් රත්නාවලී බිසවට යි, ඇමතිවරුන්ට යි මේ වග කියා සිටියා. හැමෝගෙම සිත් ප්‍රීතියෙන් පිනා ගියා. යම් අපේක්ෂාවක මල් පොහොට්ටුවක් කාගෙ කාගෙත් හිත්වල පූදින්නට පටන් ගත්තා.

කොතක් වගේ සතර දිගට – පෙනෙන්ට බැබළෙන්ටයි
සිරිමා බෝ සාමිනි මට – පිරිමි පුතෙක් දෙන්ටයි 

තාම ඒ දරු සම්පත මව්කුසකට වැඩලා නෑ. ඒත් අපගේ රජ්ජුරුවෝ උදාර අදහස් ඇති පුතෙක් පත පතා සඟ රුවනට දන්පැන් පුදනවා. ඇස් දෙක වගේ සිල් රකිනවා. තිසරණය හදවතින් ම වැළඳගෙන, යහපත් ය යහපත් ය සිතෙන හැමදේම කරනවා.

දරුවන් පතන මව්පියන් පින්වන්ත පුතුන් ලබන්නට නම්, පිනෙන් ම යි බලවත් වෙන්නට ඕන. පින් කරන්නට පටන් ගත යුත්තේ දරුගැබ කුස තුළ පිහිටිය පසු නෙමෙයි. එවිට කොහේ සිට හෝ පැමිණෙන්නා මව්කුස වෙත පැමිණ අවසානයි. නමුත් ඒ මව්පියන් සිටින්නේ පින්වලින් ම ජීවිතය බලවත් කරමින් නම්, පිනෙන් පිරී යන ඒ අය කරා, දෙව්ලොවින් එන පින්වන්තයන්ට දරු ලෙසින් වඩින්නට පරිසරය සැකසෙනවා.

බලන්න… මේ පින්වන්ත රජුජුරුවෝ බොහෝම නුවණැතියි. දූරදර්ශී කල්පනාවත්, ගුණයක් තුළ පිහිටා සිටින්නට ඇති හැකියාවත්, තිර අධිෂ්ඨානයත් පුදුම සහගතයි. රත්නාවලී බිසවත් අප රජ්ජුරුවන්ට ම පෑහී පෑහී පින් මහිමෙන් පිරී යනවා. මෙවන් පින්වන්ත දෙමාපියන් ළඟට දෙව් ලොවින් දරු සම්පත් නොවැඩියා නම්, එයයි පුදුමයට කාරණාව.

අද කාලේ දරුවන් පතන මව්පියන්ට සතියක් උපෝසථය රකින්න කීවොත්, “බෑ .. අපිට වෙලාව නෑ” කියනවා. රුවන්වැලි මහා සෑයට යන්න කීවොත් , “නිවාඩු ගන්න විදිහක් නෑ” කියනවා. හැමදාම තෙරුවන් වැඳලා පිරිතක් කියන්න කීවොත්, “ඕවට කොහෙද වෙලාවක්” කියනවා. පිනට කුසීතයි. යහපතට කම්මැලියි. සල්ලි මත්තේ ම නැහෙනවා. ඊට පස්සේ දේවාල ගානේ, පඬුරු බැඳ බැඳ දුවනවා. ඉතිං ඒ අයට හරියන්නේ කොහොමද? ඒ හැමෝටම ආදර්ශයක්, අපේ මේ පින්වන්ත රජ්ජුරුවෝ.

දුටු සුභ සිහිනය…..
දවසක් මේ රජතුමා සිරි යහනට වෙලා නිදි. හීනෙන් පේනවා, සියලු ලකුණින් පරිපූර්ණ වු, මුළු ශරීරය ම සුදෝසුදු පාටින් බබළන්නා වූ, ඉතා සුන්දර වූ, මනාව දමනය වූ උත්තම ඇත් පැටවෙක් දේවියගේ සිරියන් ගැබට ඇතුල් වෙනවා…
රජ්ජුරුවන්ට ඇහැරුණා. එවෙලේ ම යහනෙන් නැඟිටලා, රත්නාවලී බිසව සැතපිලා සිටි යහන් ගබඩාවට ගියා.

දේවියත් ඇහැරලා. ඈත් ඒ මොහොතේ ම, ඒ වගේ ම සිහිනයක් දැකලා.

ඈ කියනවා,

“රජතුමනි, හරී පුදුමයි.. ඒ වගේ ම සුන්දර සුදෝ සුදු ඇත් පැටියෙක් මගෙ යහන වටේට පැදකුණු කළා. මං සිහිනෙන් ම සුදෝ සුදු හොඬවැලින් අල්ලාගෙන, ඒ ඇත් පැටියා ව යහනට ඇදල, ආදරෙන් ඒ හස්ති පොව්වා ව වැළඳ ගත්තා.”

පින්වන්තයා මනුලොවට ඇවිත්…

අපේ රජ්ජුරුවන්ටයි, රත්නාවලී බිසවටයි ප්‍රීතිය නිම්හිම් නෑ. එදා ඔවුන්ට කුමන නම් නින්දක් ද? රෑ එළිවෙනකන් ම ප්‍රීතියෙන් ඇහැරලා හිටියා.

සිල්වතාගේ පැතුම් ඉටුවන අයුරු විස්මිතයි..

පසුවදා උදෑසන රජුජුරුවෝ නිමිත්ත පාඨකයන් ව රැස් කළා. සිහිනවල වගතුග පැවසුවා. ඒකාන්තයෙන් ම මහා පින් ඇති, මහා බල ඇති පුත්‍ර රත්නයක් මනුලොවට වැඩම කරවන බව ඒ අය ප්‍රකාශ කළා.

එදා ඉදන් රජ්ජුරුවෝයි, බිසවයි සිල්වත් සඟ රුවනට දන්පැන් පිදුවා. බොහෝ පිරිත් සජ්ඣායනා කෙරෙව්වා. දුගී යාචකයන්ට දාන දුන්නා. ගරා වැටුණු විහාර, ආරාම, චෛත්‍ය අලුත්වැඩියා කෙරෙව්වා. ජරාවට පත් වුණු වැව් අමුණු ප්‍රතිසංස්කරණය කෙරෙව්වා. සිය ජනතාව නොයෙක් ආකාරයෙන් සතුටු කෙරෙව්වා.

එතරම් කාලයක් ගත වුණේ නෑ. යහගුණ ඇති අප රජ්ජුරුවන්ට දාව, රත්නාවලී බිසවගේ කුසේ දරු ගැබක් පිහිටියා.

සිහින සැබෑ විය…

කාලය වේගයෙන් ගෙවුණා. සිංහල ලේ තියෙන පිය රජ්ජුරුවන් සතුටු කරවමින්, සිංහල ලේ තියන රත්නාවලී බිසව සතුටු කරවමින්, සිංහල ලේ තියන ලක්වැසියන් සතුටු කරවමින්, අති සුන්දර, තේජස්වී ලකුණින් ශෝභමාන වූ, ආනුභාව සම්පන්න පුත්‍ර රත්නයක් රත්නාවලී බිසවගේ කුසින් මෙලොව එළිය දුටුවා.

ඒ මොහොතේ මේ නුවර හැම දිශාව ම පහන් වී ගියා. සීතල සුවඳ මුදු සුළං දසත හමාගෙන ගියා. ඇතුන්ගේ කුංචනාදයෙන්, අශ්වයන්ගේ හේශාරාවයෙන් මුළු නගරය ම ඒකකෝලාහල වී ගියා. මේ අසිරිය දැකලා පිය රජ්ජුරුවෝ මුළු නුවර පුරා පුන්කලස් තැබෙව්වා. තොරණ් බැන්දෙව්වා. මල් මාලාවෙන් නගරය ම සැරසෙව්වා.

ඒ විතරක් නෙවෙයි…

හිරබත් කමින් සිටි හිරකාරයොත් හිරෙන් නිදහස් කළා. සඟ රුවනට දන් පැන් පුද පුදා දින ගානක් මනහර සැණකෙළි කළා.

කුමාරයාට නම් තබන දවස ආවා. නිමිත්ත පාඨකයෝ කුමරුව හොඳින් පරීක්ෂා කළා. රජ්ජුරුවොයි, දේවියයි, ඇමතිවරුයි දිහා බලලා මෙහෙම කිව්වා.

“පින්වත් රජතුමනි, මේ තේජස් වී පුණ්‍යවන්තයා ලක්දිව පමණක් නෙමෙයි, මුළු ජම්බුද්වීපය ම එක්සේසත් කරන්නට සමතෙක්.

සතුරු බල බිඳින තේජස් ඇති බාහු යුග්මයක් ඇති නිසා පරාක්‍රමබාහු කියන නම හොඳයි.”

මේ පරාක්‍රමබාහු කුමාරයා පුර සඳ මඩලක් මෝදුවෙනවා වගේ දවසින් දවස වැඩුණා.

ඒ කුමරු විස්මිත ධාරණ ශක්තියෙන් යුක්තයි. ඉක්මනින් ම ශිල්ප ශාස්ත්‍ර සියල්ල ම ඉගෙන ගත්තා. ඔහුට හොඳ තීක්ෂණ බුද්ධියක්, විචාරශීලී නුවණක් තිබුණා. බුදු සසුන කෙරෙහි හිතෛෂී බවක්, සිංහල ජාතිය ගැන බලවත් ආලයක්, මාතෘ භූමිය ගැන සත්‍ය වූ ප්‍රේමයක් කුමාරයාගේ හදවතේ ඇත්තටම නිධාන වී තිබුණා.

ඒ තමයි.., සත්පුරුෂ ලෝකවලින් මනුලොවට වඩින පුණ්‍යවන්තයන්ගේ පින්වන්තකම.

දිනු මව්බිම සව් සිරියෙන් සැරසී…

මේ පරාක්‍රමබාහු රජ්ජුරුවෝ හෙළ ද්වීපයේ අධර්මිෂ්ඨ කටුකොහොල් සියල්ල සුද්ද කළා. මුළු ලංකාව ම එක්සේසත් කළා.

“ආකාසයෙන් වැටෙන එක දිය බිඳක්වත් ලෝකයට උපකාරයක් නොකොට සයුරට නොවදිත්වා” යන උදාර සංකල්පය මුල් කොටගෙන, සාගරය වන් මහා පරාක්‍රම සමුද්‍රයත්, තව බොහෝ වැව් අමුණුත් ඉදිකළා.

මේ රට සහලින් සශ්‍රීක කළා. පිට දේසයන්ටත් මේ රටින් සහල් යැව්වා. ඒ කාලේ මේ ලංකාවට කීවෙ ‘පෙරදිග ධාන්‍යාගාරය’ කියලා.

මහා වෙහෙර විහාර, දාගැබ්, බෝධිඝර, ආවාස, සක්මන් මළු සෑම තැනක ම පාහේ ඉදිකෙරෙව්වා.

වැනසී තිබුණු අනුරාධපුරයේ මහා සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය, ලෝවාමහාපාය ආදී වු සියලු වෙහෙර දාගැබ් ප්‍රතිසංස්කරණය කෙරෙව්වා.

බෙදී සිටි ත්‍රෛනිකායික සඟ රුවන පොළොන්නරු පුරවරයට වඩම්මා මහා සංඝ සාමග්‍රියක් සිදු කළා.

පොළොන්නරුව රාජධානිය මේ රජ්ජුරුවන්ගේ කාලයේ මනුලොව තව්තිසාවක් සේ බැබළුණා.

සිංහල ජාතිය ආරක්ෂා කරගෙන, මේ මාතෘ භූමිය ආරක්ෂා කරගෙන, ලෝ සසුන් වැඩ සදා, මහා පින්කම් කොට, ගෞතම බුදු සසුන කෙරෙහි අති ප්‍රසන්නව වැඩ හිඳ, පරාක්‍රමබාහු රජුජුරුවෝ මරණින් මත්තේ, යළිත් දෙව්ලොව බලා ම වැඩම කළා.

මේ ශ්‍රී ලංකාද්වීපය වනාහී බුදු සසුන සුරැකෙන දේශය යි. බුදු අනුහසින් සුරැකෙන දේශය යි. සම්බුදු මුව මඬලින් පිරිත් කොට, තුන් වරක් පැදකුණු කොට සෙත් පැතූ දේශය යි. මේ දම් දීපයත් කලින් කලට මිසදිටු කටුකොහොල් එනවා. සසුනට අවැඩ කරන අනේකප්‍රකාර උවදුරු උපදිනවා.

එවිට මහා පින් කඳක්, මහා යුග පුරුෂයන් දෙව්ලොවෙන් වැඩම කොට, මේ බුදු සසුන රකින සිංහල ජාතියත්, බුදු සසුන දිලෙන ශ්‍රී ලංකාද්වීපයත් යෙහෙන් ආරක්ෂා කර ගන්නවා.

මව් බිම රැකගන්නට – හෙළ පුතුනි පෙරට එව්..

මේ පිබිදෙන්නට කාලය යි… යළිත් එවන් යුගයක් ඇවිදින්… බිහිසුණු මිසදිටුවක ගුප්ත නිහැඬියාව දස දෙස අරක් ගෙන තිබෙනවා.

ගෞතම බුදු සසුන බබුළුවන්නට, සිහල දැය ආරක්ෂා කර ගන්නට, මේ මිසදිටුව දුරින් ම දුරු කරන්නට අපේ මාතෘ භූමියට සූර වීර පැරකුම් ඇති සිංහල පුතුන් ඕන කරනවා.

මේ පණිවිඩය අපේ සිංහල වැඩහිටි පරම්පරාවටයි…,

“පුතේ දැන් ඉතිං ඔය දරුවෝ හැදුවා ඇති. දැන් ඉන්න එකා දෙන්නට හොඳට උගන්නපං” කියලා අපේ වැඩිහිටි පරම්පරාව තරුණ දරුවන්ට උපදෙස් දෙනවා. දැන්වත් ඔය විකාර අවවාද නවත්තන්නට ඕනෑ.

රත්නාවලී බිසව කියන්නේ අපේ විජයබාහු රජ්ජුරුවන්ගේ දියණියක්. රත්නාවලී කුමරියට මහා පින්වන්ත උදාර පුත්‍ර රත්නයක් ලබන්නට පින් ඇති බව විජයබාහු රජ්ජුරුවෝ මුල සිට ම දැනගෙන සිටියා. සිංහල ජාතියට, මාතෘභූමියට හිතැති විජයබාහු රජ්ජුරුවෝ, රත්නමාලී කුමරිය ළඟට කරගෙන, හිසට අත තියල, දුවට සෙත් පැතුවා, “මගේ දියණියනි, රටට දැයට හිතැති, සසුන් වැඩ කැමති උදාර පුත්‍ර සම්පත්තියක් නුඹට ලැබේවා.” කියලා. දෙගුරුන්ගේ හදවතින් ම එන සෙත් පැතිල්ල, දරුවන්ට හරියන්න හේතුවක් වෙනවා.

ඒ හින්ද වැඩිහිටි පරපුර, තමන්ගේ මේ ශ්‍රේෂ්ඨ ජාතියට සිදුවෙන විපත ගැන මීට වඩා දූරදර්ශී ව කල්පනා කරන්නට ඕන. දරු මුණුපුරන්ටත් ශාසනේ ගැන, රට ජාතිය ගැන හැඟීමක් ඇතිවෙන විදිහට ගුරුහරුකම් ලබාදෙන්නට ඕන. අපිත් අපේ මාතෘභූමියට යුතුකම් ඉටුකරල ඇස් දෙක පියා ගන්නවා කියල අදිටන් කර ගන්නට ඕන.

ඔබ ඔය හිතන විකාර සිතුවිලි අපේ අතීත සිංහල මුතුන් මිත්තන් හිතුවා නම්, අද වෙනකොට මේ උතුම් ජාතියේ ඡායා මාත්‍රයක්වත් ඉතිරි වෙන්නේ නෑ.

එනිසා අපේ වැඩිහිටි මව්පියවරුනි, ඔබෙත් ඉහ නිකට පැහුණේ අකලට නෙමෙයි. ජීවිත අත්දැකීම්වලින් පරිණත ඔබ, අනාගත සිංහල දරු මුණුපුරු පරම්පරාව නොනසා ආරක්ෂා කර ගන්නට, මේ කාරණයේ දී යෝධ සෙවණැල්ලක් සේ අත දෙන්නට ඕන.

උදාර දරුවන් පතන සිංහල මව්පියවරුනි…,

ඔබත් අපේ මාණාභරණ රජ්ජුරුවෝ වගේ දැහැමෙන් ම කල්පනා කරන්නට ඕන.

සිතා බලන්න.. ඒ රජ කෙනෙක්… නමුත් උතුම් දරු සම්පතක් උදෙසා මොන තරම් කැපකිරීමක් කළා ද? දවසක් දෙකක් ද? නෑ.. මාස ගණනාවක්.. එක දිගට.. එක දිගට.. මේ කරන කැපවීම අතිශයින් ම විශ්මිතයි.

කකා බිබී අලස නොවව් – හීන දීන ගති දුරලව්

අද තරුණ සිංහල පරපුරට මේ වීර්යය කෝ? එය තියෙනවා. ඒත් සැඟවිලා.

දරුවෙක් පතාගෙන සතියක් උපෝසථය තුළ ඉන්න කීවොත්, ඒ සතිය විතරක් කාගෙන ඉන්නවා. අමාරුවෙන් ඒ සතියට නො බී ඉන්නවා. සතියක් දෙකක් බුදුන් වැඳලා, පිරිත් කියලා, කාගෙ හරි කීමකට සෑයකට බෝධියකට ගිහින් වැඳලා දරුවෙක් ඉල්ලනවා.

දරු සම්පතක් නොපිටියහොත් “කෝ.. ඒ ක්‍රමයෙන් හරියන්නේ නෑනෙ..” කියලා පිහිට ලැබෙන දේට ම ගරහනවා. ආයෙමත් පඬුරු බැඳ බැඳ, පලතුරු වට්ටි අරගෙන දේවාල පස්සේ දුවනවා.

කඩෙන් බඩු ගන්නවා වගේ ඉක්මන් ප්‍රතිඵල හොයනවා. ගුණයක පිහිටා සිටින්නට බැරි, මේ හදිස්සිකාරයින් දෙස දෙවියෙක්වත් බලාවි ද? නැත. කිසිසේත් ම නැත.

එනිසා… ඔබත් උදාර සිංහලයෙක් නම්, ඔබත් අභිමානවත් බෞද්ධයෙක් නම්, ඒ හීන දීන ගති ගසා දමා, වීරියෙන් නැඟී සිටින්න. මේ ගෙවී යන්නේ ඔබේ දේශයට, ඔබේ ජාතියට ඔබේ වගකීම ඉටු කළ යුතු නිමේෂය යි.

ලෝ සසුන් වැඩ පිණිස, රට දැයට සෙත පිණිස, උතුම් දරු සම්පත් පතා, තිසරණය තුළ ම ඉවසීමෙන් පිහිටා ඉන්න. පිරිසිදු සිල් ඇතිව සිටින්න. නිතර සෑය බෝධිය වන්දනා කරන්න. පිහිට සලසන පිරිත් මිහිරි හඬින් සජ්ඣායනා කරන්න. පින් දහම්වල නියැළෙමින්, සතුටින් කාලය ගෙවන්න. දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරන්න.

ඒකාන්තයෙන් ඔබට යහපත සැලසෙනු ඇත.

පින්වන්ත දරු කැලක් පිරිවරා,
අභිමානවත් මවක් සේ – අභිමානවත් පියෙක් සේ,
මේ උදාර යුග මෙහෙවරට පෙළගැසෙන්නට,
මාණාභරණ ඈපාණන්
ඔබට පරමාදර්ශයක් වේවා.!

(තොරතුරු : මහාවංශය ඇසුරින්)