මහා කාරුණික වූ අප සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරාවට අමාමහ නිවන දන් දෙමින් ගම්දනව් සිසාරා වැඩම කළ සේක. පින් ඇති දෙව්මිනිසුන් පමණක් නොව නොමඟ ගිය ආලවක වැනි යක්ෂයන් පවා සසරින් නිදහස් වීමට වරම් ලැබූහ. නාග, සුපර්ණ, ගාන්ධර්ව ආදී බොහෝ අමනුෂ්‍යයන්ට ද බුදුරජුන් සරණ යෑමේ වාසනාව උදා වුණි. සසරේ පිරූ පිං ඇති මනුෂ්‍යයින් හීන වූ කාමභෝගී ජීවිත අතහැර බුදු සසුනෙහි පැවිදි වී අමාමහ නිවන් අවබෝධ කළාහු ය. මෙසේ බුදු කෙනෙකුගේ උපත දෙව් මිනිස් ලෝකයාට ම සැපය පිණිස පවතින්නේ ය. උන්වහන්සේගේ උතුම් බුද්ධ රශ්මිය දඹදිව්තලය පමණක් නොව සිංහලදීපය ද එළිය කළේ ය. ඒ අන් කිසිවක් නිසා නොව, ඒ අති උතුම් පාරිශුද්ධ වූ නිර්මල බුද්ධ ශාසනය අනාගතයේ පිහිටන වාසනාවන්ත භූමිය හෙළදිව වන නිසා ය.

ඒ භාග්‍යයට උරුමකම් ලබා දෙමින් අපගේ මහා මහින්ද මහරහතන් වහන්සේ බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236ට පසුව ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටවූ සේක. බුද්ධ ශාසනය රැකීමේ වරම සිංහල ජාතියට ලබා දුන් සේක. මෙසේ සිංහල ජාතිය ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කළ ලංකාවට ශාස්තෘන් වහන්සේනමක් බඳු වූ, අපගේ මුල් ගුරුදෙවිඳු වූ, කෙළෙහිගුණ දක්වා අවසන් කළ නොහැකි බුද්ධ පුත්‍රයාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා…!

ලංකාදීපයේ බුද්ධ ශාසනය පිහිටීමෙන් අනතුරුව යි සිංහල ජාතිය අභිමානවත්, විශිෂ්ට ජාතියක් බවට පත් වූයේ. ඒ ශ්‍රේෂ්ඨත්වයේ ඉහළින් ම වැඩ සිටියේ ලංකාවාසී මහරහතන් වහන්සේලා යි. ගිහි ජීවිත අතහැර බුදු සසුනෙහි පැවිදි වී රාග, ද්වේෂ, මෝහ නසා නිකෙලෙස් හදවත් දරාගෙන උන්වහන්සේලා ලංකාමාතාව සනසමින්, ගම්දනව් සිසාරා වඩිමින් සිංහල මිනිසුන්ට සසරින් නිදහස් වන මඟ පහදා දුන් සේක. උන්වහන්සේලා අතිශය වීර්යකින්, උත්සාහයකින්, කැපවීමකින් මේ ධර්මයේ හැසිරුන සේක. අකුසල් සිතුවිලි මාත්‍රයට පවා ලැජ්ජාවකින්, භයකින් වාසය කළ සේක. තම ජීවිත ශ්‍රේෂ්ඨත්වය කරා රැගෙන යන ගමනේ දී කෙලෙස් දුරු කරන්නට උන්වහන්සේලා කළ වීර්යය සදා පූජනීය යි. එවන් උත්තමයන් ගැන සිත පහදවාගන්නට ලැබීම පවා වාසනාවකි. මෙසේ තම ජීවිතය ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන ගිය උත්තමයෙක් ගැනයි. අද අපි හිත පහදවා ගත්නේ. එනම් ලංකාවේ වැඩ විසූ ‘තිස්සභූති මහරහතන් වහන්සේ’ යි.

කලල්ගම මණ්ඩලාරාම මහා විහාරයේ (වර්තමානයේ වට්ටාරම මහ විහාරය) තිස්සභූති මහ තෙරුන් වහන්සේ වළගම්බා රජු දවස වැඩ වාසය කොට ඇත. උන්වහන්සේගේ අරහත්වයට පත් වීම ආශ්චර්යවත් සිදුවීමකි. උන්වහන්සේ කලල්ගම මණ්ඩලාරාම විහාරයේ විනය ඉගෙන ගන්නා සේක. එක් දවසක් පිඬුසිඟා වඩින වේලෙහි ඇතුළු ගමෙහි දී එක් ස්ත්‍රී රූපයක් දැකීමෙන් උන්වහන්සේට ඇල්මක් ඇති විය. එම විෂභාග අරමුණ ඇති වූ අවස්ථාවේ දී ම බිම තැබු පාදය නොසෙල්වා ම තමන් වහන්සේගේ පාත්‍රයේ තිබූ කැඳ ස්වල්පය උපස්ථාන කරන සාමණේරයන් වහන්සේගේ පාත්‍රයට බෙදා ‘මේ රාග විතර්කය වැඩුණහොත් මා සතර අපායේ හෙළා මහ දුක් දෙන්නේ යැ’ යි සිතා නැවත තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ සමීපයට ගොස් උන්වහන්සේ වැඳ එකත්පස් ව සිටි සේක. “ස්වාමීනි, මට රෝගයක් උපන්නේ ය. මට එයට පිළියම් කර ගන්නට හැකියාවක් නැත. ඔබවහන්සේ මා කෙරෙහි අනුකම්පා කොට අද දහවල් ඉගැන්වීමත්, සවස ඉගැන්වීමත් නැවැත්වුව මැනව. හෙට උදෑසන ඉගැන්වීම මා පැමිණියත්, නැතත් කළ මැනව. රෝගයට පිළියම් කර ගන්නට හැකි වුවහොත් නැවත එන්නෙමි.” යි පවසා වනයෙහි වසන මලයවාසී සංඝරක්ඛිත තෙරුන් වහන්සේ වෙත වැඩියේ ය.

මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ කුටියේ ගොම මැටි ගාමින් සිටියහ. උන්වහන්සේ තිස්සභූති භික්ෂුව දෙස නොබලා ම, “ඇවැත්නි, ඔබගේ පා සිවුරු තැන්පත් කරන්න.” යැයි කීහ. “ස්වාමීනී, මට එක් රෝගයක් වැළඳී ඇත. එයට පිළියම් කරන්නට හැකි නම් තැන්පත් කරන්නෙමි.” යි තිස්සභූති තෙරණුවෝ කීහ. “ඇවැත්නි, උපන්නා වූ රෝගයට පිළියම් කරන්නට හැකි අය වෙත ආවෙහි ය. තැන්පත් කරන්න.” යැයි මහතෙරුන් කීහ. ‘අපගේ මහතෙරුන් වහන්සේ නොදැන මෙසේ නොවදාරණ සේකැ’යි, පා සිවුරු තැන්පත් කොට තෙරුන් වහන්සේට වතාවත් දක්වා වැඳ තිස්සභූති භික්ෂුව එකත්පස් ව හුන්නේ ය. සංඝරක්ඛිත මහතෙරුන් වහන්සේ මෙම භික්ෂුව රාග චරිතයකැයි දැන අසුභ කර්මස්ථානය ඉගැන්වූ සේක. හෙතෙම නැගී සිට පා සිවුරු උරෙහිලා තෙරුන් වහන්සේ නැවත නැවත වැන්දේ ය.

“ස්වාමීනී, ඉදින් මම මාගේ කටයුතු කරන්නට පොහොසත් නම් ඉතා යහපති. එසේ නොවන්නේ නම් මේ මාගේ අන්තිම දැකීම ය.” යැයි තිස්සභූති භික්ෂුව වදාළ සේක. මහතෙරුන් වහන්සේ ද “ඇවැත් මහා තිස්සභූති ය, යන්න. ඔබ වන් පටන් ගත් වීර්යය ඇති කුල පුත්‍රයෙකුට ධ්‍යානයවත්, විදර්ශනාවවත්, මාර්ගයවත්, ඵලයවත් දුර්ලභ නොවෙයි.” යැයි වදාළ සේක.

තිස්සභූති තෙරුන් වහන්සේ, මහතෙරුන් වහන්සේගේ බස් අසා සතුටුව එයින් නික්ම වැඩම කළ සේක. එන ගමනේ දී කැලයේ සැඟව තිබූ ඇත් දෙමට ගසක් දැක, එම ගස මුලට ගොස් පලඟක් බැඳ වැඩ හිඳ අසුභ කර්මස්ථාන භාවනාව වඩා විදර්ශනාව පිහිටුවා සියලු කෙලෙසුන් නසා මහරහත් භාවයට පත් වූ සේක. උන්වහන්සේගේ රෝගය නැවත හට නොගන්නා ආකාරයට නැති විය.

උන්වහන්සේ අලුයම් වේලෙහි නැවත විනය ඉගෙනීමට ආචාර්යයන් වහන්සේ සමීපයට වැඩි සේක. මෙසේ උන්වහන්සේ උපන්නා වූ කාම විතර්කය තමන් වහන්සේගේ ඤාණ බලයෙන් දැන, එයට සුදුසු වූ කමටහන් ලදින් භාවනා කොට රහත් බවට පත් වී ලෝකයෙහි ශ්‍රේෂ්ඨ බවට පත් වූ සේක.

වළගම්බා රජු දවස ඇති වූ බැමිණිතියාසාය නිසා ලංකාවාසි භික්ෂූන් වහන්සේලා සක්දෙව් රජු මවාදුන් නැවෙන් පරතෙරට ගොස් ජීවිත රැකගත්හ. නමුත් සැටනමක් මෙහිම නැවතුණහ. එම දුර්භික්ෂ කාලයේ මෙහි නැවතුණු භික්ෂූන් වහන්සේලා “අපි ධර්මය රකින්නෙමු.” යි කතිකා කොට අල, මුල්, කොළවලින් ජීවිකාව කරමින් වසන්නාහු ය. එයත් නැති වී ගිය කල්හි වැටකෙයියා ඉස්ම පානය කරමින් කෙළින් ඉන්ට නොහැකි වූ විට වැලිගොඩක් ගසා ඒ වැලි ගොඩ උඩ හිස් එක්තැන් කොට තබාගෙන බුද්ධ වචනය පාඩම් කරමින් දරා ගත්හ. මේ ක්‍රමයෙන් භික්ෂූහු දොළොස් අවුරද්දක් මුළුල්ලේ අටුවා සහිත ත්‍රිපිටක ධර්මය අඩු නොකොට රැකගත්හ.

පිටරට ගිය භික්ෂූන් අතරෙන් සත් සියනමක් ද ත්‍රිපිටක ධර්මය කටපාඩමෙන් රැකගෙන සිට භය සන්සිඳුනු පසු මෙහි අවුත් කලල්ගම මණ්ඩලාරාම විහාරයට පැමිණියහ. ඒ තෙරුන් වහන්සේලා පැමිණි බව අසා ලක්දිව සිටි හැටනම ද එම විහාරයට වැඩියේ ය. පිටරටින් පැමිණි තෙරුන් වහන්සේලා හා මෙහි සිටි තෙරුන් වහන්සේලා ත්‍රිපිටකය සසඳා බලන්නාහු එක් අකුරකවත් වෙනසක් නොදැක්කාහ. එකල එම විහාරයේ සංඝ ස්ථවිර වශයෙන් වැඩ වාසය කළේ තිස්සභූති මහරහතන් වහන්සේ ය. උන්වහන්සේ එම දුර්භික්ෂ කාලයේ ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කර ගනිමින් ලංකාවෙහි බුදු සසුන පිරිහෙන්නට නො දී රැකගත් සේක. අසීමිත වීරියකින් යුතු වූ උන්වහන්සේ සියලු දෙව් මිනිසුන්ට හිතසුව පිණිස පවතින සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්මට දායකත්වය දැක්වූ සේක. තිස්සභූති මහරහතන් වහන්සේ ද ලංකාවේ බුදු සසුන බබළවා ආයු ඇතිතාක් වැඩහිඳ පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍ර වූ, දිවි පරදුවට තබා ධර්මයේ හැසිරුණු, ත්‍රිපිටක ධර්මය රැක ගත්, අතිශයින් ම සොඳුරු හදවතක් ඇති ව ලංකාවේ වැඩ විසූ මහෝත්තම තිස්සභූති මහරහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා…!

සාදු! සාදු!! සාදු!!!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.