දස දහසක් ලෝක ධාතුවට ම ඉතාම කලාතුරකින් පහළ වන ශ්‍රේෂ්ඨ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ වනාහි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුවට පහළ වී වදාළේ ශාක්‍යයන්ගේ මහා මුනීන්ද්‍ර වූ ගෞතම බුදුරජාණන් වහන්සේ යි. ඒ මුනිරජුන් අවබෝධයෙන් ම සරණ යන්නට නම් උන්වහන්සේ ගත කළ ඒ පරම පාරිශුද්ධ නිකෙලෙස් ජීවිතය ගැන අපි ඉතා හොඳින් දැනගත යුතු වෙනවා. සදා සැනසිල්ල ලබන්නට නම් නව අරහාදී බුදු ගුණ අර්ථ වශයෙන් දැන සිහි කිරීම කළ යුතු ම යි.

ඒ අසිරිමත් සම්බුදු ගුණ අතරින් පළමුවෙනි ගුණය වන්නේ “අරහං” ගුණය යි.

කෙලෙස් දුරු කළ නිකෙලෙස් ජීවිතය…

බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කර ගන්නේ කොහොමද කියලා උන්වහන්සේ ම අපට මෙසේ පෙන්වා වදාළා. “ඉතිපි සෝ භගවා අරහං..” “මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං, සම්මා සම්බුද්ධ, විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්මසාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධ, භගවා වන සේක..” යනුවෙන්. එතකොට මෙතන ගුණ නවය යි. අපේ හිතේ ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීමක් තියෙන්න ඕන මේ ගුණ නවය පිළිබඳව.

අපි දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය අතරින් පළමු වන ගුණය වන ‘අරහං’ බුදු ගුණය ගැන ඉගෙන ගනිමු. උන්වහන්සේ මීට අවුරුදු 2600කට කලින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ‘අරහං’ කියන වචනයේ තේරුම තමයි උන්වහන්සේ රහතන් වහන්සේනමක් කියන එක. රහතන් වහන්සේනමක් කියන්නේ උන්වහන්සේ සිතේ හටගන්න සියලු කෙලෙස් ප්‍රහාණය කරපු උත්තමයෙක්. කෙලෙස් කියලා කියන්නේ අපගේ සිත කිලිටි කරන දේවලට. යම් වෙලාවක අපගේ සිත කිලිටි වුණොත් කිලිටි වෙන්නේ එක්කෝ රාගයෙන්. එහෙමත් නැත්නම් ද්වේෂයෙන්. නැත්නම් මෝහයෙන්. මේ තුන සම්බන්ධ වෙලා තමයි අනෙකුත් කෙලෙස් ඔක්කොම හටගන්නේ. යම් වෙලාවක අපේ සිත ඒ වගේ ක්ලේශයකින් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අපේ වචනයත් අපිරිසිදු වෙනවා. අපේ ක්‍රියාවත් අපිරිසිදු වෙනවා… ඒක හරි පැහැදිලිව දකින්න පුළුවන්. මේ ලෝකයේ යම් කෙනෙකුගේ කටින් අපිරිසිදු වචනයක් පිටවෙනව ද ඒ සිත කිලිටි වුණ වෙලාවක්. යම් කෙනෙකුගේ කයින් අපිරිසිදු ක්‍රියාවක් සිදුවෙනව ද ඒ සිත කිලිටි වුණ වෙලාවක්. යම් කෙනෙක් යම් මොහොතක අපිරිසිදු දෙයක් සිතනව ද ඒත් ඒ සිතට අපිරිසිදු දෙයක් එකතු වූ වෙලාවක්. යම් කිසි කෙනෙක් මේ සියලු අකුසල් සහමුලින් ම නැති කළා ද උන්වහන්සේට “රහතන් වහන්සේ” කියලා කියනවා. ඒ විදිහට උන්වහන්සේ සියලු කෙලෙස් මුළුමනින් ම ප්‍රහාණය කරලා සියල්ලන්ට ම ප්‍රථමයෙන් අරහත්වයට පත් වුණා.

රහතුන්ගේ ජීවිත නෙළුම් පතක් වගෙයි…

අරහත්වයට පත් වූ ජීවිතය සුවිශේෂී වූවක්. අපි දැන් අපේ ජීවිත දෙස බලමු. අපි ඇස් දෙකෙන් රූප බලනවා. කනෙන් ශබ්ද අහනවා. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා වගේ ම සිතෙන් සිතනවා. අපගේ ජීවිතය තුළ නිරන්තරයෙන් වෙන මෙම සිද්ධිදාමය බුදුරජාණන් වහන්සේ වදාළේ වැලි ගොඩකට තෙල් වක් කළා වගේ කියලයි. ඒ කියන්නේ අපේ හිතට ඉතා ඉක්මනින් මේවා උරාගන්නවා. ඇහින් රූප බලනකොටත් එහෙමයි. කනින් ශබ්දයක් ඇහුණත් එහෙමයි. ඒ දේවල් අපේ සිතේ රැස් වෙන්නේ මතකයක් හැටියට විතරක් නෙවෙයි. කෙලෙස් හදන අරමුණු හැටියට යි.

රහතන් වහන්සේගේ ජීවිතය මීට හාත්පසින් ම වෙනස්. බුදුරජාණන් වහන්සේ රහතුන්ගේ සිත උපමා කළේ නෙළුම්පතකට යි. නෙළුම් කොළේකට වතුර බින්දුවක් දැම්මොත් ඒක නෙළුම් කොළේට උරා ගන්නේ නැහැ. ඒ වතුර බින්දුව කොළේ ඇල කළ ගමන් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, රහතන් වහන්සේගේ හිත ඒ වගේ කියලා.

නිකෙලෙස් බව දිවිය පුරා ම…

රහතන් වහන්සේ ඇසින් රූප දැක්කා කියලා ඒ රූප කෙලෙස් හට ගන්න අරමුණක් හැටියට සිතට යන්නේ නෑ. කනෙන් ශබ්ද ඇහුවා කියලා ඒ ශබ්දය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. නාසයෙන් ආඝ්‍රාණය කළා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ ගඳ සුවඳ හිතට යන්නේ නෑ. දිවෙන් රස වින්දා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ රස සිතට යන්නේ නෑ. කයට පහස ලැබුණා කියලා ඒ පහස කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. සිතට අරමුණු සිතුණා කියලා කෙලෙස් හටගන්න අරමුණකට සම්බන්ධ නෑ. ඒ තමයි අරහත්වයට පත් වූ සිතක ස්වභාවය බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා වැඩ සිටියේ මේ ස්වභාවයෙන්. උන්වහන්සේගේ ජීවිතය පුරා ම තියෙන්නේ නිකෙලෙස් බවයි.

විල අතහැර යන හංසයෙකු සේ…

අනාථපිණ්ඩික සිටුතුමා පනස්හතර කෝටියකට වඩා වියදම් කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා ජේතවනාරාමය හැදුවනේ. එහි බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න වහලවල් හතක් තියෙන සුදු හඳුන් කුටියක් හැදුවා. බුදුරජාණන් වහන්සේ සිටුතුමා ගැන කරුණාව උපදවාගෙන කුටියේ වැඩ සිටියා. නමුත් වස් කාලය අවසන් වුණා ම උන්වහන්සේ ඒ කුටියෙන් එළියට වැඩම කොට චාරිකාවේ වඩින්නේ හංසයෙක් විල අතහැරලා යනවා වගෙයි. නැවත ඒ දිහා හැරිලා බලන්නේවත් නැතිව. බොහෝ අවස්ථාවල උන්වහන්සේ වැඩ ඉන්නේ ගස් සෙවණක. සමහර දවස්වලට ගල් ලෙනක. එහෙමත් නැත්නම් මහා වනාන්තර මැද්දේ දෙවැන්නෙක් නැතිව හුදෙකලාවේ වැඩ සිටිනවා. ආශ්චර්යයි! උන්වහන්සේට මේ කිසි ම තැනක වෙනසක් නෑ. බලන්න ධර්මය ස්පර්ශ කළ සිතක ස්වභාවය. ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම් ඒ සුදු හඳුන් කුටියට ගිහිල්ලා නිතර ඒ බිත්ති අතගාවි. අතගගා “හරි අගෙයි” කියාවි. නමුත් බලන්න කෙලෙස් කිසිවක් නැති අපගේ ශාස්තෘන් වහන්සේ කොයි තරම් පිවිතුරු බවකින් ජීවත් වුණා ද!

අනෙක් කාරණය තමයි උන්වහන්සේ ඒ විදිහට අරහත්වයට පත් වුණා කියලා ලෝකයට හෙළිදරව් කළා ම ඒක සාමාන්‍ය ලෝකයාට අභියෝගයක් වුණා. ඉන්දියාව වගේ රටක ප්‍රසිද්ධියේ “මම අරහත්වයට පත් වුණ කෙනෙක්” කියලා කියන එක කොයි තරම් අභියෝගයක් ද? උන්වහන්සේ අරහත් නෑ කියලා කියන්න කොයි තරම් මහන්සි ගන්න ඇති ද? දැන් අපිට ඒක එච්චර ම තේරෙන්නේ නෑ.

බලන්න ඒ කාලේ බුදුරජාණන් වහන්සේට කෙලෙස් තියෙනවා කියලා කියන්න දේවදත්ත කොච්චර මහන්සි ගත්ත ද? දේවදත්ත නාලාගිරි ඇතාට රා පොවලා දරුණු කරලා එව්වා. සමහරවිට දේවදත්ත මිනිසුන්ට කියන්න ඇති “දැන් බලාපල්ලා ඔන්න ඇතා එනවා. අඩියක් හරි පස්සට ගියොත් මෙයා රහතන් වහන්සේනමක් නොවෙයි. එහෙනම් හිතේ බය හටගන්නවා. මම ඒක ඔප්පු කරලා පෙන්වන්නම්.” කියලා. හිස් මිනිස්සු මේ වගේ දේවල් කරනවානේ. දැන් මේ ඇතා කුලප්පු වෙලා බඩුමුට්ටු පොළොවේ ගහගෙන කඩවල් කඩාගෙන, ගස්කොළන් උදුරගෙන, පාර දෙවනත් කරගෙන වේගයෙන් ඉදිරියට එනවා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමඟ ඒ පාරේ ඉස්සරහට වඩිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ඇතා බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න කලින් මම මගේ ජීවිතය පූජා කරනවා කියලා කල්පනා කරලා ඉස්සරහට පැන්නා. බලන්න බුදුරජාණන් වහන්සේට කොයි තරම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණා ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ “ආනන්ද, පිටිපස්සට වෙන්න” කියලා තුන් පාරක් ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා අවසානයේ උන්වහන්සේ ඉර්ධියෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ව පිටුපසට යවලා අභීත ව තනියෙන් ම මුහුණ දුන්නා. අසිරියක්! උන්වහන්සේ අඩියක්වත් පිටුපසට තිබ්බේ නෑ.

නිකෙලෙස් සිතක අසිරිය…

මේ සිද්ධියෙන් අපට පේන්නේ උන්වහන්සේගේ නිකෙලෙස් ස්වභාවය යි. බුදුරජාණන් වහන්සේගේ දිවිය පුරා ම ඒ අරහත්වය දකින්න තියෙනවා. අද අපට එය දකින්න ලැබෙන්නේ බුද්ධ දේශනාවලින්. බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බ්‍රාහ්මණ සමාජය කඩාගෙන වැටුණා. ඒ අයගෙ බල ඔක්කොම බිඳිලා ගියා. ඒ නිසා ඒ අය හැම තිස්සෙම කැමති වුණේ විනාශයක් කරන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ නිතර ම ඒ සෑම දෙයකට ම කිසි බියක්, තැති ගැනීමක්, ඇලීමක්, ගැටීමක් සහ ශෝකයක් නැතිව මුහුණ දුන්නා. අපි ඒ කාරණයෙන් සිත පහදව ගන්න ඕන අපි සරණ ගිය ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන් ම රහතන් වහන්සේනමක් කියලා. ඒකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. අපට මේ ධර්මය පෙන්වා දෙන අපගේ ශාස්තෘන් වහන්සේ නිකෙලෙස් සිතකිනුයි ජීවත් වුණේ කියලා අපි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න ඕන.

ඇතැම් ශාස්තෘවරු මෙන් තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ඉදිරියේ මුනිවත රකිමින්, සැඟවී, රහසින්වත් පාපී ක්‍රියාවල නිරත වූ බවක් උන්වහන්සේගේ චරිතය තුළ නැහැ. උන්වහන්සේ රහසින්වත් පව් නොකළ උතුමෙක්. භාග්‍යවතුන් වහන්සේ සෑම විට ම ඉතා පිරිසිදු පරම පාරිශුද්ධ සීලස්කන්ධයකින් යුතුව වැඩ සිටියා.

“පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිසිදු කාය කර්මයන්ගෙන් යුක්ත වන සේක. මාගේ අසවල් වරද අන් අය නොදකීවා යැයි සැඟවිය යුතු කාය දුෂ්චරිතයක් තථාගතයන් වහන්සේ තුළ නැත. තථාගතයන් වහන්සේ පිරිසිදු වචී කර්මවලින් යුක්ත වූ සේක. මාගේ අසවල් වරද අන් අය නොදකීවා යැයි සැඟවිය යුතු වචී දුෂ්චරිතයක් තථාගතයන් වහන්සේ තුළ නැත. තථාගතයන් වහන්සේ පිරිසිදු මනෝ කර්මවලින් යුක්ත වූ සේක. මාගේ අසවල් වරද අන් අය නොදකීවා යැයි සැඟවිය යුතු මනෝ දුෂ්චරිතයක් තථාගතයන් වහන්සේ තුළ නැත. තථාගතයන් වහන්සේ පිවිතුරු දිවි පැවැත්මෙන් යුක්ත වන සේක. මාගේ අසවල් දේ දැන නොගනිත්වා යැයි සිතමින් සැඟවිය යුතු අපිරිසිදු දිවි පැවැත්මක් නැත. තථාගතයන් වහන්සේ පිරිසිදු දිවි පැවැත්මෙන් යුක්ත වන සේක.”

ඒ භාග්‍යවතුන් වහන්සේ වීතරාගී, වීතදෝෂී, වීතමෝහී හද මඬලක් උරුම කර ගත් සේක. උන්වහන්සේ ඉතා පිරිසිදු ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයකින් සමන්විතව වැඩ සිටි සේක. තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පැනවූ ශික්ෂා පදවල පවා උන්වහන්සේ මැනවින් හික්මුන සේක. ඒ බව කීටාගිරියේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනයෙන් හෙළිදරව් වනවා.

“පින්වත් මහණෙනි, මම රාත්‍රී ආහාරයෙන් වැළකුණෙමි. රාත්‍රී ආහාරයෙන් වැළකුණු නිසා මා හට නිදුකින් යුතුව, නිරෝගි ලෙසට සැප සහගතව කාය බලයෙන් ද යුතුව සැහැල්ලුවෙන් සිටිය හැකි බව දනිමි. මහණෙනි, ඔබලා ද රාත්‍රී ආහාරයෙන් වැළකී සිටින්න.”

(කීටාගිරි සූත්‍රය – ම.නි. 2)

උන්වහන්සේ ඉතා පිරිසිදු බ්‍රහ්මචාරී සීලයකින් සමන්විතව වැඩසිටි සේක. මාගන්දිය නම් බමුණාට අභිරූපී දියණියක් සිටියා. භාග්‍යවතුන් වහන්සේ දුටු බමුණා තමාගේ දියණියට මොහු නම් හැබෑම සුදුස්සෙක් බව සිතා දියණිය ද කැටිව ගොස් උන්වහන්සේට මංගල යෝජනාවක් කළා. ඊට පිළිතුරු වශයෙන් උන්වහන්සේ මෙසේ වදාළා.

“මල මූත්‍රවලින් පිරී ඇති මේ කුණු ශරීරය පාදයකින්වත් ස්පර්ශ කිරීමට නොවටී.”

(මාගන්දිය සූත්‍රය – ම.නි. 2)

උන්වහන්සේ කයින් දුසිරිතෙහි නොයෙදුණ සේක. එමෙන් ම උන්වහන්සේ වචනයෙන් ද මැනවින් සංවරව වැඩ සිටි සේක. දෙතිස් කතාවෙන් වැළකුණු උන්වහන්සේ දස කතාවෙන් ම තම ශ්‍රාවකයන් හට ධර්මය දේශනා කළ සේක. ධර්ම කතාවේ නොයෙදෙන සෑම විට ම උන්වහන්සේ නිශ්ශබ්දතාවය අගය කළ සේක.

පිරිසිදු ප්‍රාතිමෝක්ෂ සංවර සීලයකින් යුතුව වැඩ සිටි උන්වහන්සේ අසමසම ඉන්ද්‍රිය සංවරයකින් ද යුතු වූ සේක. උන්වහන්සේ තුළ පැවති ඉන්ද්‍රිය සංවර සීලය උන්වහන්සේගේ නිකෙලෙස් ස්වභාවයත්, රහසින්වත් පව් නොකරන ස්වභාවයත් මනා කොට ගෙනහැර දක්වයි. දිනක් මාගන්දිය බමුණා අමතා උන්වහන්සේ කළ මෙම ප්‍රකාශය ඊට කදිම නිදසුනක්.

“තණ්හා රතී රගා යන මාර දූවරු තිදෙනා දුටු විට පවා ඔවුන් සමඟ කම් සැප විඳීමට මා හට සිතක් පහළ වූයේ නැත.”

(මාගන්දිය සූත්‍රය – ම.නි. 2)

බුදුරජාණන් වහන්සේ රාගය මුළුමනින් ම ප්‍රහාණය කළ බැවින් වීතරාගී වන සේක. ද්වේෂය මුළුමනින් ම ප්‍රහාණය කළ බැවින් වීතදෝෂී වන සේක. මෝහය හෙවත් මුළාව මුළුමනින් ම ප්‍රහාණය කළ බැවින් වීතමෝහී වන සේක. දසමාර සේනාව නැමැති ක්ලේශයන් පරදවා සම්මා සම්බුද්ධත්වයට පත්වූ බුදුරජාණන් වහන්සේ ඒ ගැන සිංහනාද කළේ මේ විදිහටයි.

එදා නේරංජරා ගං තීරයේදී දිවි පරදුවට තබා අමා නිවන් ලැබීම පිණිස දැඩි ලෙස සමාධිය වඩමින් සිටින විට වසවත් මාරයා ඇවිදින් බෝසත් තවුසාණන්ට කතා කළා.

“අයියෝ ඔබ දැන් බොහෝම විරූපී වෙලා, කෙට්ටු වෙලා ගිහින් නේ. ඔබ දැන් මරණය කිට්ටුවට ම ඇවිත්. පින්වත, ජීවත් වීම උතුම් දෙයක්නේ. ඔබ ඔය රකින බඹසර එක්ක යාග හෝම කළොත් පින් රැස්කර ගන්න පුළුවන්. ජීවිතය පරදුවට තියලා ඔහොම මහන්සි වෙන එකේ ප්‍රතිඵලයක් තියෙනව ද?”

බෝසතාණන් වහන්සේ මාරයා එක්ක කතා කළා.

“එම්බල මාරය, මේ ගැන මට හොඳට ශ්‍රද්ධාව තියෙනවා. හොඳට වීරිය සහ ප්‍රඥාව තියෙනවා. ජීවිතය පරදුවට තියලා වීරිය වඩනකොට මගේ ලේ සිඳිලා නොයාවි ද? ඇඟ මස් වියළී නොයාවි ද? ඒත් මගේ සිත පහන් වෙලා නුවණ වැඩිලා එකඟ වෙලා යනවා. පාපී මාරය, උඹගේ ඔය මාර සේනාව සූර වීර නැති කෙනෙකුට නම් දිනා ගන්න බැහැ. ඒත් ඒ සේනාව පරදවපු කෙනාට නම් අමා සැපය ලබා ගන්න පුළුවන්. පාපී මාරය, කාමය පතන්නේ නැති කෙනෙකුගේ පිරිසිදුකම දිහා බලව.

උඹේ පළමු සේනාව කාමය යි. (කාමා තේ පඨමා සේනා)

නුඹේ දෙවෙනි සේනාව කුසල් දහම් වල නොඇල්ම හෙවත් අරතිය යි. (දුතියා අරති වුච්චති)

තුන්වෙනි සේනාව පිපාසය යි බඩගින්න යි. (තතියා ඛුප්පිපාසා)

හතර වන සේනාව ලොව ම බැඳෙන තණ්හාව යි. (චතුත්ථි තණ්හා පවුච්චති)

අලසකමයි නිදිමත ගතිය යි පස්වන මාර සේනාව යි. (පඤ්චමී ථීනමිද්ධං තේ)

සිතේ හැදෙන බය හයවෙනි සේනාව යි. (ඡට්ඨා භීරු පවුච්චති)

තෙරුවන් කෙරෙහි ඇති සැකය සත්වන සේනාව යි. (සත්තමී විචිකිච්ඡා)

දැඩි බව හා ගුණමකු බව අටවෙනි සේනාව යි. (මක්ඛෝ ථම්භෝ තේ අට්ඨමී)

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, බොරුවෙන් ලබන යසස නව වන මාර සේනාව යි. (ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්ධෝච යේ යසෝ)

නුඹේ දසවැනි සේනාව තමා ව උසස් කොට දක්වමින් අනිත් අය පහළට ඇද දමන මාන්නය යි. (යෝ අත්තානං සමුක්කංසේ පරං ච මවජානති)

පාපී මාරය කෙලෙස් සහිත සිතකින් යුතු දිවියට නින්දා වේවා! මේ කෙලෙස් යුද්ධෙන් පැරදිලා ජීවත් වනවාට වඩා මැරෙන එක උතුම්. මම දියුණු කළ නුවණින් තොපගේ මාර සේනාව පරදවා සෑම ගමකම සෑම රටක ම සිටින ශ්‍රාවක ජනතාව හික්මවන්නෙමි.”

(පධාන සූත්‍රය – සුත්ත නිපාතය)

අරහං ගුණයෙන් යුතු වූ අපගේ ශාස්තෘන් වහන්සේගේ චතුරංග සමන්නාගත අසමසම වීරිය ඒකාන්තයෙන් ම ආශ්චර්යයි!

සමාහිත සිත් දරා සිටි අපගේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර ගැඹුරු සමාධියට සමවදින සේක. උන්වහන්සේ තුළ සියලු සතුන් කෙරෙහි පැවති මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව පැවසීමට මෙලොව ඇති වදන් ප්‍රමාණවත් නැහැ. තම බලපරාක්‍රමය පතුරුවන අය අතර අග්‍ර වූ, කෙලෙසුන්ට වසඟ වූ සත්වයාගේ ඥාතියා වන පාපී මරු බුදුරජාණන් වහන්සේ පසුපස වර්ෂ හතක් සෙවණැල්ල සේ ලුහුබැන්දේ ක්ලේශ මාත්‍රයක් හෝ බුදුසමිඳුන්ගේ සිත කය වචනය තුළින් හසුකර ගැනීමට යි. තමන් වහන්සේගේ චිත්ත සන්තානය තුළ පැවති සැම කෙලෙස් දොවාහල සම්බුදුරජුන්ගේ පවිත්‍ර දිවිය තුළ කා හට නම් වැරදි සෙවිය හැකි ද? නෙළුම් පතක දිය නොරැඳෙන්නා සේ කෙලෙස් හා නොතැවරෙන ඒ සම්බුදු හද මඬල සදා පිවිතුරුයි. මෙවැනි සොඳුරු ගුණැති අනුත්තර ධර්මරාජයන් වහන්සේ කෙරෙහි පැහැදුන සිතින් සරණ යන්නට ලැබීම අපගේ ජීවිතයට ඇති උතුම් ම පිළිසරණයි.

අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

(මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි)