මෙලොව පරලොව නොපිළිගන්නා මිථ්‍යාදෘෂ්ටියෙන් යුත් පායාසී රජතුමාගේ සහ විචිත්‍ර ධර්ම කථික කුමාරකස්සප මහරහතන් වහන්සේගේ හමුවීම සිදු වූ ආකාරයත්, ඇති වූ සංවාදයත් පසුගිය මහාමේඝ කලාපයෙන් පළ කෙරුණා. මෙවර ලිපිය එතැන් සිට ඉදිරියට…

“භවත් කස්සපයිනි, සිල්වත්ව ගුණවත්ව ජීවත් වීමට කැමති, මැරෙන්නට අකමැති, දුකට අකමැති, සැපය ප්‍රිය කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ව මම දන්නවා. ඉතින් ඒ අය මැරුණට පස්සේ මිනිස් ලෝකෙට වඩා සැප තියෙන සුගති ලෝකයක ඉපදෙන බව විශ්වාස නම් ඒ අය වස විෂක් හෝ කන්න ඕන, ආයුධයකින් හරි සියදිවි නසාගන්න ඕන. එහෙම නැත්නම් ගෙල වැලළාගෙන මැරෙන්න ඕනේ. නැති නම් ප්‍රපාතයකින් හෝ පනින්න ඕන. නමුත් ඔවුන් එහෙම කරන්නේ නෑ. ඔවුන් මැරෙන්න කැමතිත් නැහැ. ඒ කියන්නේ ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටත් මැරුණට පස්සේ දිව්‍ය ලෝකයේ උපදින බව විශ්වාස නෑ. අන්න ඒ නිසා මම පරලොව පිළිගන්නේ නෑ. ඕපපාතිකව උපදින සත්වයන් ඉන්න බව පිළිගන්නෙත් නෑ. හොඳ හෝ නරක ක්‍රියාවලට විපාක තියෙනවා කියලා පිළිගන්නෙත් නෑ.”

-මෝඩ බිරිඳගේ උපමාව-

“රජතුමනි, මම ඔබට පෙර සිදු වූ දෙයක් කියන්නම්. එක බමුණෙකුට බිරින්දෑවරු දෙදෙනෙක් සිටියා. එක බිරිඳකට වයස අවුරුදු දහයක දොළහක විතර පුතෙක් සිටියා. අනෙක් බිරිඳ දරුවෙක් වැදීමට ගර්භිණී ව සිටියා. මෙහෙම ඉන්නකොට ඒ බමුණා මිය ගියා. ඉතින් ඒ පුතා ගැබ්බර මව කරා ගොස් “මේ රන් වේවා රිදී වේවා තිබෙන සියලු‍ ධනය අයිති මටයි. ඒ නිසා මගේ පියාගේ සියලු‍ ධනය මට පවරන්න.” යැයි ඉල්ලා සිටියා. “පුතේ, ටිකක් ඉවසන්න. මගේ කුසේ සිටින්නේ පිරිමි දරුවෙක් නම් ඔහුටත් ධනයෙන් කොටසක් අයිතියිනේ. දරුවා ඉපදෙන තෙක් ටිකක් ඉවසන්න.” නමුත් බමුණු පුත්‍රයා දිගින් දිගටම ඇවිටිලි කරන්නට ගත්තා. ඉතින් ඒ මෝඩ බැමිණිය මොකද කළේ, තමන්ගේ කුස තුළ ඉන්නේ දුවෙක් ද නැත්නම් පුතෙක් ද කියලා දැන ගන්න ආයුධයකින් කුස පලා ගත්තා. නුවණින් තොරව දායාදය ලබාගන්න ගිය ඒ ස්ත්‍රිය තමන්ගේ ජීවිතයත්, දරු ගැබත්, දෑවැද්දත් විනාශ කර ගත්තා. රජතුමනි, බාල වූ අව්‍යක්ත වූ ඔබත් නුවණින් තොරව පරලොව සොයන්නට ගොස් මහා විනාශයකට පත් වේවි. සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රහ්මණවරු තමන්ගේ ආයුෂ අවසන් නොවී තිබිය දී සියදිවි හානි කර ගන්නේ නෑ. ඒ උතුමන්ට ජීවත් වීමෙන් බොහෝ යහපත සලසා ගන්න පුළුවන්. ඔවුන් බොහෝ කාලයක් වැඩ සිටිමෙන් බොහෝ පින් උපදවා ගන්නවා. ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ට යහපත පිණිස, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු බොහෝ කල් වැඩහිඳ ආයුෂ මෝරා යාමෙන් මෙලොව හැර යාම බලාපොරොත්තු වෙනවා. රජතුමනි, මේ කරුණෙනුත් ඔබගේ මිසදිටු අදහස් අත්හැර ගැනීමට සිත් පහළ වේවා.!”

“භවත් කස්සපයෝ කෙසේ කීවත් මම නම් පිළිගන්නේ නෑ. මොකද, ඇතැම් වෙලාවට මගේ හමුදා භටයෝ අපරාධ කළ සොරෙකු අල්ලගෙන දඬුවම් පැමිණවීම පිණිස මා හමුවට ගෙන එනවා. ඉතින් මම ඒ සොරාව ජීවත් වෙද්දීම මැටි හැළියකට බස්සනවා. ඊට පස්සේ ඒ මැටි සැළියෙන් කිසිවක් පිටට යන්න බැරි විදිහට තෙත මැටිවලින් පියනක් හදලා වහනවා. ඒ විදිහට වහපු හැළිය ලිපේ තියලා ගින්දර දානවා. යම් වෙලාවක ඒ සොරා මැරුණ බව තේරුණා ද එවිට හැළිය ලිපෙන් බාලා හෙමීට පියන විවෘත කරලා බලනවා. නමුත් ඒ වෙලාවේ මියගිය සොරාගේ ජීවය පිට වී ගිය බවක් නම් අපි දැක්කේ නෑ. අන්න ඒ නිසා මම නම් ඔය පරලොව විශ්වාස කරන්නේ නෑ.”

“රජතුමනි, මම ඔබෙන් කරුණක් අහන්නම්, කැමති නම් උත්තර දෙන්න. ඔබ දවල් කාලයේ නින්දට ගිය විට සිහිනෙන් ලස්සන ගොඩනැගිලි, වනාන්තර, පැන් පොකුණු ආදිය දැකලා තියෙනවා ද?”

“කස්සපයෙනි, මම ඒ වගේ සිහින දැකලා තියෙනවා.”

“ඉතින් ඒ සිහින දකින වේලාවේ ඔබගේ පරිවාර ස්ත්‍රීන් ඔබ වටා සිටියේ නැද්ද?”

“ඔවුන් සියලු දෙනා මා පිරිවරා සිටියා කස්සපයෙනි.”

“එසේ නම් රජතුමනි, ඔබ සිහිනය දකින වේලාවේ ජීවය කියා දෙයක් ඔබ තුළට පිවිසෙනවා හරි ඔබෙන් පිටව යනවා හරි ඒ ස්ත්‍රීන් දැක්ක ද?”

“කස්සපයෙනි, එහෙම දෙයක් නම් දැකලා තිබුණේ නෑ.”

“ඉතින් රජතුමනි, ජීවත්වන්නා වූ ඔබ තුළට පිවිසෙන හෝ ඔබෙන් නික්ම යන ජීවයක් දකින්න ලැබෙන්නේ නැති නම් මරණයට පත් වුණ කෙනෙකු තුළට පිවිසෙන හෝ නික්ම යන ජීවයක් කෙසේ නම් දකින්න ද? මේ කරුණෙන්වත් ඔබට වැටහේවා, ඔබේ අදහස වැරදි බව.”

“කස්සපයෙනි, මගේ අදහස නිවැරදි බවට තව කාරණා ගොඩක් තියෙනවා. සමහර වෙලාවට දරුණු අපරාධ කළ දඬුවම් පැමිණවිය යුතු සොරුන් මා ඉදිරියට පමුණුවනවා. ඉතින් මම ඒ සොරෙකු ජීවත් ව සිටිය දී තරාදියෙන් බර කිරන ලෙස අණ කරනවා. ඊට පසු ඒ සොරාව ගෙල සිරකොට මරලා තරාදියෙන් බර කිරනවා. ඒ පුද්ගලයා ජීවත්ව සිටිය දී සැහැල්ලු‍යි, මෘදුයි, කර්මණ්‍යයයි. නමුත් මැරුණට පස්සේ බර වැඩියි, අකර්මණ්‍යයි. මෙන්න මේ නිසාත් මම පරලොවක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නෑ.”

“එසේ නම් රජතුමනි, ඔබට උපමාවක් කියන්නම්. දවසක් පුරා රත් කරපු ගිනි ඇවිළ ගත්, ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් සහිත යකඩ ගුලියක් තියෙනවා. වඩා සැහැල්ලු‍, වඩාත් මෘදු, වඩාත් කර්මණ්‍ය වන්නේ යකඩ ගුලිය රත් වෙලා තියෙනකොට ද? නැති නම් සිසිල් වී නිවී ගිය විට ද?”

“කස්සපයෙනි, යකඩ ගුලිය රත්වෙලා දිලිසෙන ගිනිදැල් සහිතව තියෙනකොට තමයි වඩා සැහැල්ලු‍, මෘදු, කර්මණ්‍ය.”

“රජතුමනි, ඒ වගේ ම යි මේ ශරීරයත්. යම් වේලාවක මේ ශරීරය ආයුෂය සහිතව, උණුසුම සහිතව, විඤ්ඤාණය සහිතව තියෙනවා ද එතකොට මේ ශරීරය සැහැල්ලු‍යි. වඩාත් මෘදුයි, වඩාත් කර්මණ්‍යයි. යම් වෙලාවක මේ ශරීරය ආයුෂයෙනුත්, උණුසුමෙනුත්, විඤ්ඤාණයෙනුත් තොර වුණා ද ඒ වෙලාවේ මේ ශරීරය බරයි, අකර්මණ්‍යයි. රජතුමනි, ඔබ දැන්වත් පිළිගන්න, මරණින් මතු උපතක් තියෙනවා කියලා. ඒ වගේ ම ඕපපාතිකව උපදින දෙවිවරු, නිරි සතුන්, ප්‍රේතයින්, සිටිනවා කියලා. හොඳින් හෝ නරකින් කරන කර්මයන්ගේ ඵල විපාක තියෙනවා කියලා.”

“නැහැ කස්සපයෙනි, මට තවත් කියන්න කාරණා තියෙනවා. ඇතැම් වෙලාවට දඬුවම් ලැබීමට සුදුසු සොරෙක් මා ළඟට ගෙනාවාම මම මෙහෙම කියනවා. ‘සේවකයිනි, මේ සොරාගේ සමට හෝ මස්වලට හෝ නහර, ඇට, ඇටමිඳුළුවලට හෝ කිසිම හානියක් කරන්නේ නැතිව මරලා දාන්න.’‍ ඉතින් ඒ රාජපුරුෂයොත් ඒ විදිහටම කරනවා. යම් වෙලාවක ඒ සොරා මැරී යමින් සිටිනවා ද අපි ඒ සොරාව උඩු අතට හාන්සි කරවලා බැලු‍වා, නොයෙකුත් පැතිවලට පෙරල පෙරලා බැලු‍වා. අතින් පයින් පහර දෙමින් බැලු‍වා. ගල්වලින්, දඬු මුඟු‍රුවලින්, ආයුධවලින් පහර දිදී බැලු‍වා. ඒත් ඒ සොරාගෙන් පිට වී යන ජීවයක් නම් අපි දුටුවේ නැහැ. ඒ සොරාගේ ඇස තිබුණට ඒ ඇහැට රූප පෙන්නේ නෑ. කන තිබුණට ශබ්ද ඇහෙන්නෙත් නෑ. නාසය තිබණට ගඳ සුවඳ දැනෙන්නේ නෑ. දිවත් තිබුණ විදිහටම තියෙනවා. නමුත් රස දැනෙන්නේ නෑ. කලින් තිබුණ ශරීරය ම යි. නමුත් කිසිම පහසක් දැනෙන්නේ නෑ. අන්න ඒ නිසයි මම කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ ආයේ ඉපදෙන්නේ නෑ කියලා.”

“රජතුමනි, මම තවත් උපමාවක් ඔබට කියලා දෙන්නම්. මේක ඉස්සර සිද්ධ වුණ දෙයක්. එක සක් පිඹින්නෙක් හක් ගෙඩියකුත් අරගෙන දුර ඈත ගමකට ගියා. ගිහින් ගම් මැද්දේ සිට තුන් පාරක් හක් ගෙඩිය පිඹලා ඒ හක් ගෙඩිය පැත්තකින් තියලා වාඩි වුණා. කවදාවත් සංඛ නාදයක් අහලා තිබුණේ නැති ඒ ගමේ මිනිස්සු ‘මෙච්චර ලස්සන හිත් ඇදගන්නා නාදයක් නිකුත් වුණේ මොකකින් ද?’‍ කියලා සක් පිඹින්නාගෙන් ඇහුවා. ‘‍ඒ ලස්සන ශබ්දය ආවේ මෙන්න මේ හක් ගෙඩියෙන්’ කියලා ඒ සක් පිඹින්නා ගම් වැසියන්ට හක් ගෙඩිය පෙන්නුවා. රජතුමනි, ඒ ගමේ සිටිය මෝඩ මිනිස්සු ‘භවත්, හක් ගෙඩිය, නාද කරව! භවත්, හක් ගෙඩිය, නාද කරව!’‍ කිය කියා ඒ හක් ගෙඩිය එහාට මෙහාට පෙරලු‍වා. ඒ වුණාට හඬක් ආවේ නෑ. හක් ගෙඩියට අතින් ගැහුවා. ගල්වලින් ගැහුවා. පොලු‍වලින් ගැහුවා. ආයුධවලින් ගැහුවා. ඒ වුණාට හක් ගෙඩියෙන් නම් හඬක් ආවේ නෑ. මේක දැකපු සක් පිඹින්නා හිතුවා ‘‍මේ ඈත පිටිසර ගමේ ඉන්න මෝඩ මිනිස්සු වැරදි ක්‍රමයකින් හක් ගෙඩියේ නාදය සොයලා වෙහෙස වෙනවා.’ කියලා. ඉතින් ඔහු ගමේ මිනිසුන්ට පේන්නම හක් ගෙඩිය අරගෙන තුන් පාරක් සංඛ නාද පවත්වලා ගමෙන් යන්න ගියා.

රජතුමනි, අන්න ඒ වෙලාවේ ඒ ගමේ හිටපු මිනිස්සුන්ට තේරුම් ගියා මේ හක් ගෙඩියෙන් ලස්සන නාදයක් පිට වෙන්න නම්, හක් ගෙඩිය පුරුෂයා හා එකතු වෙන්න ඕන, ඒ පුරුෂයා උත්සාහ කරන්නත් ඕන, ඒ පුරුෂයාගේ හුළං පහරත් හක් ගෙඩිය සමඟ එකතු වෙන්න ඕන කියලා. රජතුමනි, ඔබත් ඒ ඈත පිටිසර ගමේ ඉන්න මෝඩ මිනිස්සු වගේ නොමඟින් පරලොව සොයන්නට වෙහෙසෙනවා. යම් වෙලාවක මේ කය ආයුෂය හා එක්ව තිබෙනවා ද උණුසුම හා එක්ව තිබෙනවා ද විඤ්ඤාණය හා එක්ව තිබෙනවා ද ඒ වෙලාවට ඉදිරියටත් යනවා. ආපසුත් එනවා. සිටීම, වාඩි වීම, සැතපීම දැක ගන්න පුළුවන්. ඒ වගේ ම ඇසෙන් රූපත් දකිනවා, කනෙන් ශබ්දත් අසනවා, නාසයෙන් ගඳ සුවඳත් විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයෙන් පහස ලබනවා, මනසින් අරමුණුත් සිතනවා, නමුත් යම් වෙලාවක ආයුෂයත්, උණුසුමත්, විඤ්ඤාණයත් බැහැර වුණා ද මේ කිසිවක් සිදුවන්නේ නෑ. ඔබට මේ ක්‍රමයෙන්වත් වැටහේවා පරලොවක් ඇති බව, හොඳින් හෝ නරකින් කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක තියෙන බව.”

“ඔබ වහන්සේ කොහොම කීවත්, මට නම් සිතෙන්නේ ම පරලොවක් නෑ කියල ම යි. ඕපපාතිකව උපදින සත්වයෝත් නෑ කියල ම යි. හොඳින් හෝ නරකින් කරන කර්මවල ඵල විපාක නෑ කියල ම යි.”

-මතු සම්බන්ධයි-

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි.