ඉර බැස යන සැඳෑ අහස දම් පැහැ සේදයකින් කළා සේ විය. ගොදුරු පිණිස ගිය කුරුලූ රෑන් කැදැලි වෙත පියඹති. හමන සුළඟ ද සිහිල් ය. මේ සියලූ සැප සම්පතින් පිරි මගධ රට රාජ ගෘහයේ බිම්සර රජ මැඳුරයි. මන්දිර සඳලූතලයේ එක් රුවැත්තියක් දුර මාවත දෙස බලා හිඳී. දුටු දුටුවන් වසඟ කරවන මේ සුරූපිනිය නම්, මදු රට සාගල නුවර මහ රජුගේ දියණිය වූ, මගධේෂ්වර සේනිය බිම්බිසාර නිරිඳුන්ගේ ප‍්‍රිය අග‍්‍ර මහේෂිකාව වූ ඛේමා ය.

ඛේමාවන් සිතිවිලි බරව මාවත දෙස බලා හිඳී. මහ රජතුමා මහා ශ‍්‍රමණයන් වහන්සේ දැක්මට ගොස් බොහෝ වේලා ඉක්ම ගොසිනි. ඔහුට මන්ත‍්‍රණ සභාවෙන් හෝ අධිකරණ ශාලාවෙන් හෝ නිදහස ලැබුණු වහා ම ගියේ වේළුවනයට ය. නැතිනම් ගිජුකුළු පව්වට ය. වෙනත් මැඳුරුවල මෙන් මධුපානෝත්සව, දඹකෙලි මෙහි නැත. නොයෙක් වර ඛේමාවට ද රජතුමා භාග්‍යවතුන් වහන්සේ දැක්මට ඇරයුම් කළ ද ඇය කුමක් හෝ කියා මඟ හැරියා ය.

ඛේමා විල්ලූද පලස් අතුල සැප අසුනකට බරව කුඩා කැටපත ගෙන මලින් සැරසුණ කෙස් කළඹ නැවතත් සෙමෙන් සෙමෙන් සකසන්නට වූවා ය. ඇය අතිශයින් ම රූප සම්පන්න ය. බිම්සර රජුගේ අන්තඃපුරාංගනාවන් අතර රනින් ඔපවත් කළ පිළිරුවක් සේ ඇය බැබළුණා ය.

බිසවට ඉතා හිතෛෂී ම සේවිකාවට ඇය මෙසේ කියන්නී ය.

‘‘ඇත්තෙන් ම සඳා, මට නම් තේරෙන්නේ නෑ අපේ මහ රජතුමා ගැන. අගමෙහෙසියක් සිටින බවවත් ඔහුට මතක නෑ. වචන දහයක් කථා කළොත් නවයක් ම අර මහා ශ‍්‍රමණයන් වහන්සේ ගැනයි. මටත් අද ඇරයුම් කළා යන්නට. මම හිසේ රුදාවක් ඇති බව කියා මඟ හැරියා.’’

‘‘අනේ උත්තමාව, කුමට නම් යන්ට ද? මට ඔය බණ අසන්නට යන අය කිව්වා, හැම වෙලේ ම කියන්නේ, කෙස්ලූ… ලොම්ලූ… මේක අශූචි පිරුණු වළක් වගේලූ… නව දොරකින් ම අශූචි වැගිරෙනවලූ…’’

ඛේමා වහා කැටපත පසකින් තැබුවා ය.

‘‘ඒත්, මම අසා තිබෙනවා, මහා ශ‍්‍රමණයන් වහන්සේත් හරි රූප සම්පන්නයි කියා, උන් වහන්සේගේ ශ‍්‍රාවකයනුත් ක්ෂත‍්‍රිය වංශික නව යොවුන් කඩවසම් අයලූ. ඔය අපගේ මහ රජාණන් පවසන්නේ.’’

‘‘අනේ උත්තමාවෙනි, ඒ වග නම් මම දන්නේ නෑ. ඔය විතරක් නෙවේ. මැරුණම කුණු වෙනවලූ, ඕජාව වැගිරෙනවලූ….’’

‘‘හා… නේ… එහෙම ද? හපොයි, හපොයි හොඳ වෙලාවට මා ඇරයුම නො පිළිගත්තේ. කුමට ද, නිරපරාදේ රූපයට බැණුම් අසන්නේ. මම නම් කිසි දවසක යන්නෙ නෑ.’’

බිම්බිසාර නිරිඳුන් ද කල්පනා කරමින් සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ දැක්මට කෙසේ හෝ ඛේමා යවන්නට ය. ඔහු වන්දිභට්ටයන් අතර ඛේමාවගේ සිත් ගත් ගායකයා කැඳ වී ය.

‘‘සුරාධ, නුඹ වේළුවනය ගැන මනා වූ, වර්ණනාත්මක වූ ගීයක් රචනා කළ යුතු යි. බිසව උයනේ සිටින විට ඇසෙන්නට එය ගායනා කළ යුතු යි.’’ කියා රජු අණ කළේ ය.

දිනක් ඛේමා හුදකලාව ම උයන් සිරි විඳින අතරේ සුලලිත මධුර ස්වරයෙන් ගීයක් ඇසිණි.

‘‘සුලලිත වන තුරු ලතා මඬුල්ලෙන්
විහඟ ගීත විහිදේ…
දිමුතු මුතු ලෙසේ තුරු අග සුවසේ
සුවඳ කුසුම් පීදේ…
ලා… ලල ලා… ලල ලා… ලල ලා…
ලා… ලල ලා… ලල ලා… ලල ලා…
මිහිබට සුර විමනක් වගේ
මන්මත් නො වෙදෝ සිත කාගේ ….
පද්ම තටාකේ සියපත් සිඹිනා
බිඟු ගුමු ගුමු නාදේ….
ගීත සරින් මන් නද වු මින් කැල
සොඳුරු රැඟුම් රඟදේ….
ලා… ලල ලා… ලල ලා… ලල ලා…
ලා… ලල ලා… ලල ලා… ලල ලා…
මිහිබට සුරවිමනක් වගේ
මන්මත් නො වෙදෝ සිත කාගේ….”

වේළුවන උද්‍යානයේ, සුපිපි කුසුමින් බර වූ රුක්ගොමු, පොකුණුවල කුඩා සුරතල් මසුන් පිහිනන අයුරු, ලෙහෙනුන් අත්තෙන් අත්තට පනිමින් පලතුරු රස විඳින අයුරු, මනාව සැකසූ උණ පඳුරු ගැන රසවත් ගී පද ඇසෙන විට සුන්දර දේට කවදත් ප‍්‍රිය ඛේමාගේ සිත නිරායාසයෙන් ම එහි රැඳිනි. ‘‘ඇත්තට ම, ඒ උයන හරි ලස්සන ඇති. එක් දිනකට හෝ උයන් සිරි විඳින්නට යන්නට ඕන. මහා ශ‍්‍රමණයන් වහන්සේට අසු නො වී පැනගන්න පුළුවන් වේවිනේ’’

ඇය බිමිබිසාර නිරිඳුන්ට තම අදහස දැන්වූවා ය.

‘‘ස්වාමීනි, මට හරි ආසයි වේළුවනය බලන්න යන්න.’’

‘‘මොන තරම් හොඳ අදහසක් ද? ඔබට රිසි දිනක ඒ සඳහා නික්මෙන්න පුළුවන්. හවස් වරුවක නම් ඉතා අගෙයි.’’

ඇය ගමනට පිටත් වෙද්දී මහ රජු, ප‍්‍රධාන ආරක්ෂක ඇමැතිට රහසින් යමක් කොඳුරා කී ය. මහත් වූ රාජානුභාවයෙන් යුතු ව ඛේමා වේළුවනය දක්වා දෝලාවෙන් ගමන් කරයි. මේ යන්නේ කල්ප ගණනක් රැස් කළ පිනේ උත්තම ඵලය ලබන්නට බව ඇය නො දත්තී ය.

ඈ වේළුවන උයන දුටුමතින් මුසපත් වූවා ය. මනා හැඩයට සකස් කළ උණ පඳුරු හමන සුළඟේ තාලයට නැලවෙයි. ඇසෙනතාක් දුර අත්තෙන් අත්තට පැන දුවන ලෙහෙනුන්ගේ ටිං… ටිං… නාදයයි. බැලූ බැලූ අත සිත නිවන දසුන් ය. නව යොවුන් වියේ ශ‍්‍රමණයන් වහන්සේලා තැන් තැන්හී බවුන් වඩයි. ඛේමා සිත් සේ උයන් සිරි වින්දා ය.

‘‘සේවකය, දැන් යන්නට කල් පැමිණ තිබේ.’’

‘‘අවසර, උත්තමාව. රාජ ආඥාවක් තිබේ. භාග්‍යවතුන් වහන්සේ මුණ නො ගැසී පිටව යා නො හැකී.’’

‘‘ඇත්තෙන් ම… අපේ රජතුමාගේ නීති, සොරෙක් අල්ලන්ටවත් මෙපමණ නීති නෑ. දැන් ඉතින් කුමක් කරන්ට ද?… නුඹ ඇයි මට කලින් නො කීවේ? දන්නවා නම් මම එන්නෙත් නෑ’’

ඛේමාව මහත් ආයාසයෙන් ශාලාවට රැගෙන යන්නට සේවක පිරිසට සිදු විය. රූපයට ගරහාවී යන බියෙන් ශාලාවට ඇතුළු වුවත්, භාග්‍යවතුන් වහන්සේ දුටු විට, ඇයට නෙත් අදහාගත නො හැකි විය.

මෙපමණ කඩවසම්, මෙපමණ අභිරූපී ශ‍්‍රමණයෙක් මම දුටුවා ම යි, නෙත් යුවලේ කාන්තියට නිල්මැණික් කැටවත් සමාන නෑ, ශරීරය රන් පිළිමයක් වගේ, අපරාදේ.. මෙපමණ රූපවත් කෙනෙක් කිරුළ අතහැර ශ‍්‍රමණයෙක් වුණේ,

මෙසේ සිතමින් ඇය හිස ඔසවා බලද්දි දුටු දෙයින් තිගැස්සී ගියා ය. මුව අයාගෙන ඇසිපිය නො සලා ම එදෙස බලා සිටියා ය.

අනේ, මේ ශ‍්‍රමණයන් වහන්සේ පිටුපස සුර අඟනක් නෙ පවන් සලන්නේ. ඇගේ කෙස් කළඹ නිතඹටත් පහළින්… මගේ කොණ්ඩය එච්චර දිග නෑ… අත පය වාත්තු කළා වගේ. ඇය ඉදිරියේ මං කවුද?. ආ… ඒ මොකද වෙන්නේ. කෙස් වැටිය සුදු වෙනවා. අත්පාවල නහර මතු වෙනවා.

දෙව්ලියක් වන් ඒ තරුණියට වුණේ කුමක් ද? දැන් වෙව්ලන්ටත් පටන් අරන්.

පවන් සලමින් සිටි ඇය ජරා ජීර්ණ වූ මහලූ කතක් සේ, අතපය අවසඟව මිය ගොස් බිම ඇද වැටුණා ය. එසැණින් මෝහයෙන් වැසී තිබුණු ඛේමාගේ දෙනුවන් විවර විය. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දහම් දෙසූ සේක. ඇය දොහොත් මුදුන් නගා වන්දනා කොට මාළිගයට පිටත් වූවා ය. ඇය දුටු වහා ම බිම්බිසාර රජු මෙසේ ඇසුවේ ය.

‘‘හා.. පි‍්‍රය ඛේමා උයන්සිරි වින්දා ද? භාග්‍යවතුන් වහන්සේත් දැක ගත්තා ද?”

ඛේමා බිසව වැඳ වැටී රජුගේ පායුග සිපගත්තී ය.

‘‘ස්වාමීනී, දැක ගත්තෙමි, ස්වාමීනී මෙතෙක් කල් ඒ අමා රස මට නො කියුවේ මන්ද? දේවයන් වහන්ස, ඔබ වහන්සේ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේත්, ශී‍්‍ර සද්ධර්මයත්, ආර්ය සංඝයාත් සරණ ගියෙමි. මට කල්‍යාණ මිත‍්‍ර වූ ස්වාමීනී, මට අවසරයි බුදු සසුනේ පැවිදි වෙන්න. මමත් කැමතියි ඒ උත්තම දහමේ හැසිරෙන්නට.”

රජු ඛේමා බිසවගේ දෙව්රෙන් අල්ලා නඟා සිටු වී ය. මෙවැන්නක් තබා ඛේමාවන් හිතවත් පහදවා ගනීවිදැයි බියෙන් ය ඔහු සිටියේ. හෙතෙම සතුටින් ම ඇයට අවසර දුන්නේ ය.

බැඳුම් සිඳහල ඇතින්නියක සේ ඇය ගිහි ගෙයින් නික්මුණා ය. සියලූ සැප සම්පත් අළුයම හෙලූ කෙළ පිඬක් සේ බැහැර කළ ඇය ගෞතම බුදු සසුනේ ශාක්‍ය දුහිතෘ භික්ෂුණියක් බවට පත් ව නොබෝ කලකින් ම අරහත්වයට පත් වූවා ය. රූසිරින් මෙන් ම ගුණ අසිරියෙන් ද බැබළුන රහත් උත්තමාවන් අතර ඛේමා තෙරණිය ප‍්‍රඥා ප‍්‍රභාවෙන් බැබළී ගියා ය.

අහසේ පියාසරන ශ්වේත හංසරාජිනියක සේ ඇය අංග, මගධ, කාසි, කෝසල ආදි ජනපද පුරා භාග්‍යවතුන් වහන්සේගේ සාම සන්දේශය පතුරුවමින් වැඩම කළා ය. ඛේමා තෙරණිය සාකේතයේ වැඩ වසන කාලයේ පසේනදී කෝසල රජතුමා සාකේතයේ තොරණවත්ථු නගරයට පැමිණුනි. රාජකාරියෙන් වෙහෙසට පත් රජතුමා මෙසේ විමසී ය.

‘‘භවත, මේ තොරණවත්ථුවෙහි සිත් සතුටුවන දහම් කථාවක් කරන්නට ශ‍්‍රමණ, බ‍්‍රාහ්මණයෙක් සිටිනවා ද?”

‘‘ස්වාමීනි, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයෙක් නම් නෑ. ඛේමා හික්ෂුණීන් වහන්සේ නම් වැඩ ඉන්නවා. ඒ උත්තමාව ධර්මය කියන්නට හරී ප‍්‍රසිද්ධයි.”

ඉක්බිතිව පසේනදී කෝසල රජතුමා ඛේමා තෙරණිය වෙත එළඹ අතිගම්භීර පැන විමසා සිටියේ ය. ලා මහනෙල් දඬු තියුණු අසිපතකින් සිඳින සේ එතුමිය සියලූ පැනයන්ට සොඳුරු උපමාවෙන් යුතු පිළිවදන් දුන්නා ය. අතිශයින් සොම්නසට පත් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ සියලූ පුවත් සැල කළේ ය.

‘‘පින්වත් මහ රජ, ඛේමා භික්ෂුණිය ප‍්‍රඥාවන්තයි. මහා ප‍්‍රඥාවෙන් යුක්තයි. ඒ පැනයන්ට තථාගතයන් වහන්සේ පිළිතුරු දෙන්නෙත් එලෙසින් ම යි.”

මහා ප‍්‍රඥාවන්ත වන්නට සසරේ බොහෝ පින් පිරූ ඒ උත්තමාව ගෞතම බුදු සසුනේ ප‍්‍රඥාවෙන් අග‍්‍ර භික්ෂුණිය බවට පත් වූවා ය. හිරු කිරණට නො දෙවෙනි ප‍්‍රඥාවෙන් ඔපවත් වූ උත්තම සීලයකින් බැබළී ගිය, නො සැලෙන සමාධියකින් යුතු වූ ඕ තොමෝ ගෞතම බුදු සසුනේ භික්ෂුණි සංඝයා සෝභමාන කළ කලණ මිතුරිය වූවා ය.

ගොයුම් ගොත් සසුන් කෙත අස්වැද්දූ, අසිරිමත් ගුණ නුවණින් සිරිමත් වූ, ගෞතම බුදු සමිඳුන්ගේ දකුණු අග‍්‍ර ශ‍්‍රාවිකා වූ ඛේමා අරහත් භික්ෂුණීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

සටහන
සේමිණි ඉන්ද්‍රචාපා