“මහණෙනි, යම්තාක් භය උපදිත් නම් ඒ සියලු භය උපදින්නේ අසත්පුරුෂ බාලයා නිසා ය. නුවණැති සත්පුරුෂයා නිසා නො වේ. යම්තාක් කරදර කම්කටොලු උපදිත් නම් ඒ සියලු කරදර කම්කටොලු උපදින්නේ අසත්පුරුෂ බාලයා නිසා ය. නුවණැති සත්පුරුෂයා නිසා නො වේ.”

(භාග්‍යවතුන් වහන්සේ – බහුධාතුක සූත්‍රය)

අපගේ කුමක්දෝ අවාසනාවකට අපට මෙතෙක් කලක් අහිමිව තිබුණේ නුවණැති සත්පුරුෂයන්ගේ දේශපාලනය යි. කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂ බාලයන්ගේ පාලන තන්ත්‍රය නිසා අපි සියලු දෙනා ම උසුලාගත නොහැකි ණය බරකින් මිරිකී සිටිමු. එමතු ද නො වේ; ක්‍රමානුකූල ව පුහුණුව ලද ශිල්ප භාවිතයක් නැති නිසාවෙන් ඉඳිකටුවේ පටන් කන බොන, අඳින පලඳින සෑම සියලු දෙයක් ම පිටරටින් මිලට ගන්නා තුරු මුව අයා බැගෑපත් ව සිටිමු. ඉවක් බවක් නොමැතිව වස විස භාවිතයෙන් ලත් ආහාර පරිභෝජනය නිසා අනන්ත රෝ දුක්වලට බඳුන් ව සිටිමු. අප රටේ අනන්‍යතාවය වන සිංහල බෞද්ධ සංස්කෘතික පදනම තුට්ටුවකට හෝ මායිම් නොකිරීම නිසා විලි බිය නසාගෙන අයාලේ යන අතරමං වූ චරිත උරුම කරගෙන සිටිමු. කුඩා දරුවා දක්වා මත්ද්‍රව්‍ය භාවිතය පැතිරී යාම නිසා සිහිනුවණ නසාගෙන සිටිමු. ගමක් පාසා තැබෑරුම්වලින් දෝර ගලන්නා වූ සුරාව නිසා පවුල් ජීවිත වනසාගෙන සිටිමු. මේ සියල්ලට වග කිව යුත්තේ අසත්පුරුෂ බාලයන්ගේ දේශපාලන ක්‍රමවේදය යි. මෙකී නොකී අභාග්‍ය සම්පන්න ඉරණමෙන් අපට නිදහස් විය නොහැක්කේ මන්ද? නුවණැති සත්පුරුෂ දේශපාලන න්‍යාය පත්‍රයක් මෙතෙක් කලකට ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවීමට අසමර්ථ වූ නිසා ය.

සත්පුරුෂ දේශපාලනය යනු කුමක් ද?

සත්පුරුෂයා මහජනයාගේ පොදු යහපත ගැන අවංකව ම සිතන්නෙකි. හේ ඒ වෙනුවෙන් සියලු කැපකිරීම් කරයි. හේ මහජනයාගේ ආර්ථික සමෘද්ධියත්, සංස්කෘතික අනන්‍යතාවත්, ආධ්‍යාත්මික වටිනාකමත් අවබෝධ කර ගත්තෙකි. හේ ඒ කිසිවක් විනාශ නොකරයි. මක් නිසා ද යත්, නුවණැති සත්පුරුෂයෙකු නිසා ය. සත්පුරුෂයා ඒ සියල්ලට ම ආදරය කරයි.

සත්පුරුෂයාට බලවියරුවක් නැත්තේ ය. රට පාවා දී හෝ බලය රැකීමේ රුජාවක් නැත්තේ ය. තමාට වඩා සුදුස්සෙකු බලයට පැමිණීම ගැන ඊර්ෂ්‍යාවක් ද නැත්තේ ය. එමෙන් ම පියාගෙන් පුතුට ලැබෙන දේශපාලන බූදලයක් ඔහුට නැත්තේ ය. සැමියාගෙන් බිරිඳට දේශපාලනය නොපවරයි. නළු නිළි පිස්සුවක් නැත්තේ ය. අදාළ ක්ෂේත්‍රයන්හි නිපුණත්වයෙන් යුතු විශේෂඥයන් හෝ ලවා සිය ධුර කාලය හේ නිසි සේ හසුරුවයි.

සත්පුරුෂ දේශපාලනඥයා සිය ධුර කාලය අරඹන්නේ කෙසේ ද?

සැබැවින් ම හේ අවංක ය. නිර්ව්‍යාජ ය. නිහතමානී ය. පොදු යහපත හිස මුදුනෙහි රඳවා ගත්තෙකි. සැප විඳීමේ උමතුව නැත්තෙකි. ජනපති, අගමැති වීමේ රෝගයෙන් නොපෙළේ. එවන් සත්පුරුෂ ඇමතියෙක් සිය කටයුතු භාරගැනීමේ දී පළමුව තමාගේ අමාත්‍යාංශය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ලබා ගනියි. මෙතෙක් කල් පැවති එකී අමාත්‍යාංශයේ වත්කම්, එහි සේවක ප්‍රමාණය, අලුතින් රැකියා ලබාදිය හැකි ඉඩ ප්‍රස්ථා, එහි ආදායම්, වියදම්, ණය බර, ගෙවා ඇති ණය, කරන ලද සේවා, මහජනයා විසින් අත්විඳි යහපත යනාදිය පිළිබඳව ය. අනතුරුව සිය අමාත්‍යාංශයේ සියලු තොරතුරු විනිවිද භාවයකින් යුතුව මහජනයාට ප්‍රදර්ශනය කළ යුත්තේ ය. එකල්හි මහජනයා ද අසවල් අමාත්‍යාංශයේ අසවල් අසවල් තොරතුරු ඇත්තේ ය කියා පැහැදිලි දැනුවත් භාවයක් ලබයි. ඉවක් බවක් නොමැතිව තම පාක්ෂිකයන්ට කෙසේ හෝ රැකියා දීම වෙනුවට පළමුව කළ යුත්තේ සිය අමාත්‍යාංශය වඩාත් ඵලදායී කාර්යක්ෂමතාවයෙන් යුතු ක්‍රියාශීලී අමාත්‍යාංශයක් බවට පත් කිරීම යි.

සත්පුරුෂ අමාත්‍යවරයෙක් සිය ධුර කාලය පවත්වනුයේ කෙසේ ද?

හේ තමාගේ අමාත්‍යාංශය තුළින් අනිවාර්යයෙන් ම කළ යුතු දේ පිළිබඳව අදාළ ක්ෂේත්‍රයන්හි නිපුණතා ඇති විශේෂඥයින්ගෙන් වාර්තා ලබා ගනියි. ඒ ඒ කටයුතු කිරීමේ දී සිය අමාත්‍යාංශය මගින් මහජනයාට උපරිම සේවය ලබා දිය යුත්තේ කෙසේ ද? වඩාත් දියුණු තාක්ෂණික ක්‍රම භාවිත කොට ඵලදායිතාවය වැඩි කළ යුත්තේ කෙසේ ද? සාම්ප්‍රදායික වටිනාකම් ආරක්ෂා කළ යුත්තේ කෙසේ ද? යනාදිය පමණක් නොව අමාත්‍යාංශයෙන් ලබන ලාභයෙන් පවා සියලු සේවකයන්ට ප්‍රසාද දීමනා සැලසීමට තරම් සාර්ථක විය යුතු ය. එවිට සේවකයෝ ද සිය සේවය ඉතා කාර්යක්ෂම ලෙස සතුටින් ඉටු කිරීමට මැළි නොවෙති. අදාළ අමාත්‍යාංශය ඉතා ඵලදායී ක්‍රියාවලියක් බවට පත් කිරීම පිණිස සත්පුරුෂ ඇමතිවරයෙක් දිවා රෑ වෙහෙස ගනියි. පවුල්වාදය පෝෂණය නොකරයි. සල්ලාලකම් නොකරයි. විදේශ චාරිකා යමින් අමාත්‍යාංශය සතු මුදල් නිකරුණේ නාස්ති නොකරයි. මක් නිසා ද යත්, මහජනයා සතු දේපළට හේ ගෞරව කරන නිසා ය.

සත්පුරුෂ අමාත්‍යවරයෙක් සිය ධුර කාලය අවසන් කළයුත්තේ කෙසේ ද?

හේ සිය ධුර කාලය තුළ කරන ලද සේවාව පිළිබඳ පූර්ණ අවධිමත් බවකින් සිටිය යුත්තේ ය. තමාට ලැබෙන පස් වසරක වගකීම උපරිමයෙන් ඉටුකොට අවසන් කළ යුතු ය. තමාගේ පාලන කාලය තුළ එකී අමාත්‍යාංශය විසින් අඩුකර ගත් ණය බර, උපදවා ගත් ආදායම්, කරන ලද වියදම්, අදාළ ක්ෂේත්‍රයන්හි දියුණුවට කරන ලද සේවාවන්, එයින් මහජනයා ලද ප්‍රතිලාභ, අමාත්‍යාංශ සේවකයන් ලබන ලද ප්‍රතිලාභ ආදිය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මහජනයාගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත් කළ යුතු ය.

එවන් සත්පුරුෂ අමාත්‍යවරයෙක් දේශපාලන වේදිකාවේ මෙවන් කථාවක් කරනු ඇත්තේ ය. “ආදරණීය මිතුරනි, මවිසින් මින් පස් වසරකට පෙර ලබා ගත් අමාත්‍යාංශයේ සම්පූර්ණ විස්තර මෙසේ ය. මාගේ පරිපාලනය යටතේ මෙවන් දියුණුවක් ලබා ඇත්තේ ය. මවිසින් මෙපමණ වියදම් කොට ඇත්තේ ය. මෙපමණ ආදායමක් උපයා ඇත්තේ ය. මෙපමණ සේවයක් ලබා දී ඇත්තේ ය. මවිසින් කරන ලද සේවය පිළිබඳව මහජනයා තෘප්තියට පත් වන්නේ නම් පමණක් යළිත් වතාවක් මාව පත් කළ මැනව. මේ පිළිබඳව සෑහීමකට පත්නොවන්නේ නම් අන් අයෙකුට මේ අවස්ථාව ලබා දුන මැනව” යනාදී වශයෙනි.

එසේ නැතිව “අසවලාට ජම්පරය අන්දවනවා. අසවලාගේ පිටිපස්සේ එල්ලනවා. අසවලාගේ පරම්පරාව ම නැති කරනවා” යනාදී අසත්පුරුෂ කතා ඇසීමට ජනතාව දැන් සූදානම් නැත. තීරණය ගන්නෝ ඡන්ද දායකයෝ ය. එනිසා දේශපාලකයන් විසින් අනිවාර්යයෙන් ම එක් කරුණක් දැනගත යුත්තේ ය. එනම්, කිසිසේත් ඡන්ද දායකයා මුළා නොකළ යුතු ය. නොරැවටිය යුතු ය. නළු නිළියන් පෙන්නා, ගායක ගායිකාවන් පෙන්නා, ක්‍රීඩකයන් පෙන්නා සාමාන්‍ය ජනතාවගේ සිත කළඹවා ඡන්දය ලබාගැනීම සැබැවින්ම මංකොල්ලයකි. මනුෂ්‍යයාගේ තීරණාත්මක කුසලතාවය නසා දමන්නකි. එවන් දෑ සත්පුරුෂ දේශපාලනයක් තුළ සිදු නො වේ. මෙතෙක් කල් ඒවා සිදු වූයේ අසත්පුරුෂ බාලයන් නිසා ය. එනිසා අපට තවදුරටත් අසත්පුරුෂ බාල දේශපාලන තන්ත්‍රයක් අවශ්‍ය නැත. නුවණැති, සත්පුරුෂ දේශපාලකයන්ගේ ආගමනයක් අප විසින් බලාපොරොත්තු විය යුතු ය. ඒ බලාපොරොත්තුව සඵල වන්නේ නම් එපමණකින් අපි වාසනාවන්තයෝ වෙමු.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි