දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගුණ අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිසිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් ජම්බුද්වීපය පුරා ගලා බසිනා ලද්දේය. මෙම නදිය වෙත පැමිණි කෙලෙස් දුහුවිලිවලින් අපිරිසිදු වූ ජනයා එහි පැන්වලින් තම දුහුවිලි සෝදාහරින ලද්දේය. කෙලෙස් පිපාසයෙන් දැවෙමින් සිටි ජනයා නදියෙහි පැන් පානය කොට එම පිපාසයෝ සංසිඳුවා ගත්හ. ඒ උතුම් නදියෙහි සිසිලස ඒ ආකාරයෙන්ම රැගෙන බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු මිහිදු මහරහතන් වහන්සේ ලංකාද්වීපයෙහි මිහින්තලයට වැඩම කොට ආර්ය ජාතියකට අයත් වූ ද භාග්‍යවතුන් වහන්සේගේ ලේ ඥාතීත්වයට උරුමකම් කියූ ද එහෙත් ආර්යභාවයට පත් කරවන තම අසහාය ඥාතිවරයාණන් වහන්සේගේ ශ්‍රී මුවින් වදහළ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන නොදැන සිටි, ලෝකයේ උතුම් ම සරණ ගැන නොදැන සිටි, ගස්ගල් සරණ යමින්, යකුන් සරණ යමින්, ඔවුනට ම බැති පෙමින් වැඳුම් පිදුම් කරමින් සිටි දීපවාසී සිංහල ජාතියට ඒ උතුම් සදහම් සිසිලස ලබා දුන් සේක. ඒ නිමල දහම් දායාදය ලැබූ සිංහලයෝ තමන්ගේ මිසදිටු සරණ යෑම් අතහැර තෙරුවන් සරණ ගියහ. සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් ගිය බොහෝ පිරිස් සසර ගමනට සමු දුන්හ. මරණින් මතු යක්ෂ, භූත ලෝකවලට යාම පිණිස දොරවල් විවර කරගෙන සිටි සිංහලයෝ සුගති ද්වාරයෝ විවෘත කොට ගත්හ. අසරණව සිටි සිංහල ජාතිය මහත් පිළිසරණක් ඇති ජාතියක් බවට පත් වූහ.

මේ ආකාරයෙන් ප්‍රථම වරට සිංහල ජාතියට පිළිසරණ ලැබුණු පුණ්‍ය භූමිය බවට මිහින්තලාව පත් විය. මෙසේ ලංකාවාසීන්ට පිළිසරණ ලබා දුන් මුල්ම භූමිය බවට මිහින්තලාව පත් වූයේ මේ යුගයෙහි පමණි ද? නැත. පෙර බුදු සසුන්හි ද ලංකාවාසීන්ට ප්‍රථම වරට පිළිසරණ සැලසූ භූමියට බවට පත් වූයේ සොඳුරු වූ මිහින්තලා පුණ්‍ය භූමිය ම ය.

මේ මහා භද්‍ර කල්පයෙහි ප්‍රථම වරට පහළ වූ සදහම් ඇස් ඇති කකුසඳ බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වූ කල ලංකාද්වීපය ‘ඕජදීප’ යන නාමයෙන් හැඳින්වීය. අභයපුරය නම් නගරය කේන්ද්‍ර කොට ගෙන අභය නම් රජ කෙනෙකුන් මේ ද්වීපය පාලනය කරන කල්හී එකල සිටි දීපවාසීන්ට පුණ්ණකාල නම් රාක්ෂයෙක් නිසා හටගත් පජ්ජරක නම් උණ රෝගයක් වැළඳීමෙන් මනුෂ්‍යයෝ බලවත් පීඩාවට පත් වූහ. අතිශයින් ම අසරණව කර කියා ගත දෙයක් නොමැතිව සිටි බොහෝ වැසියෝ අවසන තම දුක් ගැනවිල්ල කියා පිහිටක් පිළිසරණක් ලබනු වස් එකල දෙව්කුළු නාමයෙන් හැඳින්වූ මිහින්තලා පර්වතයට පැමිණියහ. මහා කරුණාවෙන් වෙලී ගිය සිත් ඇති කකුසඳ බුදුරජාණන් වහන්සේ ඕජදීපවාසීන් මුහුණ පා සිටි මෙම උපද්‍රවය දැක වදාළ සේක් සතළිස් දහසක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් දෙව්කුළු පර්වතය වෙත වැඩම කළ සේක. හිරු පායන කල්හි කණාමැදිරි එළි නිෂ්ප්‍රභා වන සෙයින් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධානුභාවය හමුවේ පුණ්ණකාල රකුසාගේ යක්ෂානුභාවය තුරන්ව ගොස් පැතිර ගිය උණ රෝගය වැසි ඇදහැලීමෙන් නැති වී යන දුහුවිලි සෙයින් සංසිඳී ගියේය. බුද්ධ රශ්මි මාලාවෙන් බබළන කකුසඳ බුදුරජාණන් වහන්සේගේ බුදු රැසින් බැබළී ගිය දෙව්කුළු පර්වතය දුටු අභය රජු ඇතුළු නුවරවාසීන් වහා එතැනට පැමිණියහ. තම දුක්ගැනවිල්ල කියා පුද පූජා පැවැත්වීමට පැමිණි ජනයා කන්දේ වසන දේවතාවන් තමන්ට පෙනෙන්ට ම වැඩි සේකැයි සිතා සොම්නස්ව දොහොත් මුදුන් දී වැඳගෙන මනා සංසිඳීමෙන් යුතු වූ, දුටු පමණින් සිත් පහදින භාග්‍යවතුන් වහන්සේ දෙස ම බලමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය ලබනු රිසි වූ දුර ප්‍රදේශවාසී මනුෂ්‍යයෝ උතුම් බුද්ධානුභාවයෙන් ක්ෂණයෙන් එතනට පැමිණියහ. අලාමක වූ, නෙත් සිත් වසඟ කරන්නා වූ තථාගත දර්ශනයෙන් අතිශයින්ම පැහැදීමට පත් අභය රජු ඇතුළු පිරිස භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝරත්නය එකල්හී මහාතිත්ථ යන නාමයෙන් හැඳින්වූ මහමෙව්නා උයන වෙත වැඩම කරවූහ. එම උයනේදී කකුසඳ බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුදු සසුන ලක්දිව පිහිටුවා තමන් වහන්සේ පිට දුන් බෝධීන් වහන්සේගේ දක්ඛිණ ශාඛා වහන්සේ පිහිටුවා, බොහෝ ප්‍රාණීන් හට අමා දහම් රසය පොවා නැවත දඹදිවට අහසින්ම වැඩම කළ සේක.

කාලය ගෙවී ගියේය. ලක්දිව කකුසඳ බුදු සසුන අතුරුදන් වී ගියේය. නම් ගම් ද වෙනස් වී ගියේය. තවත් බොහෝ කාලයක ඇවෑමෙන් මේ භද්‍ර කල්පයේ පහළ වූ දෙවන බුදුරජාණන් වහන්සේ වන කෝණාගමන බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වූ සේක. එකල මේ ලංකාද්වීපය ‘වරදීප’ යන නාමයෙන් හැඳින්වුණි. සමිද්ධි නම් රජ කෙනෙකුන් විසින් වරදීපය පාලනය කරන කල්හී වැසි නොමැති වීමෙන් මහත් වූ දුර්භික්ෂයක් හටගෙන වරදීපයෙහි රටවැසියෝ මහත් දුකකට පත් වූහ. සා ගින්නෙන් පිපාසයෙන් දැවෙමින් සිටි ඔවුහු තම විපත්තියට පිහිටක් පිළිසරණක් ලබනු අපේක්ෂාවෙන් එකල සමන්කුළු පර්වතය යන නමින් හැඳින්වූ මිහින්තලා පර්වතය වෙත පුදු පූජාවල් රැගෙන තමන්ගේ දුක කීම පිණිස පැමිණියහ. සකල ලෝවාසීන් කෙරෙහි මහත් අනුකම්පා ඇති කෝණාගමන බුදුරජාණන් වහන්සේ වරදීපවාසීන්ට පිහිට සලසනු වස් තිස් දහසක් රහතන් වහන්සේලා සමග සමන්කුළු පර්වතය වෙත වැඩම කළ සේක. ඒත් සමග මහා වැසි ඇදහැලීමෙන් බොහෝ ජනයා පීඩාවට පත් කළ බොහෝ කලක් මුළුල්ලේ පැවතුණු දරුණු දුර්භික්ෂය වහා සංසිඳී ගියේය. ඒ අයුරින් දුර්භික්ෂ බිය අවසන් කළ කෝණාගමන බුදුරජාණන් වහන්සේ බොහෝ මනුෂ්‍යයන් හට අමා නිවන් පැන් පොවා සසර බිය ද, දුගති බිය ද නසා උතුම් බුදු සසුන ද තමන් වහන්සේ පිට දුන් බෝධීන් වහන්සේගේ දක්ඛිණ ශාඛාව ද වරදීපයෙහි ප්‍රතිෂ්ඨාපනය කොට අහසින් ජම්බුද්වීපයට වැඩම කළ සේක.

බොහෝ දෙනෙකුට පිහිට සැලසූ කෝණාගමන බුදුසසුනත් අතුරුදන්ව බොහෝ කලක් ගත වූ පසු මේ මහා භද්‍ර කල්පයේ තෙවන බුදුරජාණන් වහන්සේ ලෙස කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මනුලොව පහළ වූ සේක. එසමයෙහි මණ්ඩදීප යන නාමයෙන් මේ ලංකාද්වීපය හැඳින්වීය. ජයන්ත නම් රජ කෙනෙකුන් මණ්ඩදීපය පාලනය කළ එසමයෙහි ඒ රජු අතරත් රජුගේ කණිටු සහෝදරයා අතරත් මහා බිහිසුණු සංග්‍රාමයක් ඇති විය. යුද්ධයේදී තම තමන්ගේ පක්ෂයට ජය ලබා ගැනීම පිණිස දෙවිවරුන්ට භාරහාර වීමට බොහෝ පිරිසක් ‘සුභකූට පර්වතය’ යන නමින් එකල හැඳින්වූ මිහින්තලයට පැමිණියහ. සිදුවීමට යන මහා විනාශය මහා කරුණා නේත්‍ර යුග්මයෙන් දැක වදාළ මහා කරුණාවෙන් සිසිල් වී ගිය හදමඬලක් ඇති කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ මහා විනාශය වළකනු වස් බොහෝ ප්‍රාණීන්ට අනුකම්පා පිණිස විසි දහසක් මහරහතන් වහන්සේලා සමග සුභකූට පර්වතය වෙත වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීමත් සමග ඒ මහා බිහිසුණු සංග්‍රාමයේ අවසානයට සනිටුහන් විය. බොහෝ ප්‍රාණීන් හට ජීවිත දානය ලැබුණි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ද පෙර බුදුරජාණන් වහන්සේලා සෙයින් උතුම් බුදු සසුන මණ්ඩදීපයෙහි පිහිටුවා පෙර බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බෝධීන් වහන්සේලා පිහිටි භූමියෙහි ම කාශ්‍යප දසබලධාරීන් වහන්සේට සිසිල් සෙවණ සලසාලූ නිග්‍රෝධ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ පිහිටුවා දහස් ගණන් මනුෂ්‍යයින්ට මගඵල නිවන් අවබෝධ කරවා පෙරළා දඹදිවට වැඩම කොට වදාළ සේක.

ඒ උතුම් බුදු සසුනත් ලංකාද්වීපයෙන් වියැකී ගියේය. මනුෂ්‍ය වාසය ද මේ ලක්දිවින් තුරන් වී ගියේය. මේ මහා භද්‍ර කල්පයේ සතරවෙනුව පහළ වී වදාළ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයෙන් අටවෙනි වසරේදී එකල මිස්සක පව්ව ලෙස හැඳින්වූ මිහින්තලා භූමියට වැඩම කොට අද සේල චෛත්‍යය පිහිටා ඇති ස්ථානයෙහි මොහොතක් සමවත් සුවයෙන් වැඩහිඳ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සතර බුදුරජාණන් වහන්සේලා විසින් ම පරිභෝග කළ පුණ්‍ය භූමියක් බවට පත් කළ සේක. ඒ උතුම් පුණ්‍ය භූමියෙන් ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය ප්‍රථම වරට ලක්දිව මනුෂ්‍යයින්ගේ සවන්පත්වලට ශ්‍රවණය විය. මේ අයුරින් මිහින්තලා පුණ්‍ය භූමියෙන් පැන නැගි සදහම් සන්දේශය නමැති වෘක්ෂය ස්වල්ප කාලයකින් මුළු ලක්දිවට ම සිහිල් සෙවණ සදන මහා වෘක්ෂ රාජයෙක් බවට පත් විය.

ඒ උතුම් බණ පද ඇසූ දේවානම්පියතිස්ස රජුගේ නැගෙණියගේ පුත්‍රයා වූ අරිට්ඨ ඇමතිතුමා ඇතුළු පනස් පස් දෙනෙක් මිහිඳු මහරහතන් වහන්සේ ළඟ පැවිදිව, පැවිදි වූ අවස්ථාවේ ම උතුම් අරහත්වය සාක්ෂාත් කොට ප්‍රථම සිංහල රහතන් වහන්සේලා බවට පත් වූ සේක. ඒ සියලු උත්තමයන් වහන්සේලා විසින් (මිහිඳු මහරහතන් වහන්සේත්, අනෙක් ධර්මදූතයන් වහන්සේලාත් ඇතුළුව) තමන් වහන්සේලාගේ ප්‍රථම වස් කාලය ගත කිරීම පිණිස තෝරා ගනු ලැබුවේ ද මිහින්තලා පුණ්‍ය භූමිය ම ය. ඒ අනුව මහරහතන් වහන්සේලා ප්‍රථම වරට ලංකාද්වීපයෙහි වස් වැසූ ස්ථානය බවට පත් වූයේ ද මිහින්තලා පුණ්‍ය භූමිය යි. නොබෝ කලකින් ම දහස් ගණන් රහතන් වහන්සේලාගේ අපිස් දිවි පෙවෙතට තෝතැන්නක් බවට මිහින්තලාව පත් විය.

මෙලෙසින් අතිශයින්ම පූජනීයත්වයට පත් මේ ශුද්ධ භූමිය බොහෝ රජවරුන්ගේත්, බොහෝ මිනිසුන්ගේත් පරම ගෞරවයට පාත්‍ර විය. මහත් වූ පුණ්‍ය කර්මයෝ මේ භූමියෙහි සිදු කරනා ලද්දේය. දුටු දුටු තන්හී දර්ශනය වන ගිරි ශිඛරයන් මුදුන්හී සෑයවල් තනවන ලද්දේය. (අද වුවද මේ පුණ්‍ය භූමියට සපැමිණි කෙනෙකුට ඒ සොඳුරු දර්ශනය දැක බලා ගත හැකිය. )

එකල මේ අයුරින් ගරු බුහුමනට ලක් වූයේ මිහින්තලා පුණ්‍ය භූමිය පමණි ද? නැත. ධර්ම දායාදය අප හට ලැබුණේ යම් භූමියකින් ද ඒ උතුම් භූමිය මෙතරම් ගෞරවයට ලක් වූයේ නම් සිංහ තෙල් දරා සිටින රන් බඳුනක් සේ ඒ උතුම් නිර්මල බුද්ධ භාෂිතය තම නිකෙලෙස් හද මඩලෙහි දරාගෙන මේ පුණ්‍ය භූමියට පැමිණ ලක්වැසියා හට මහත් අනුකම්පාවෙන් ඒ ධර්මය කියා දුන් මිහිඳු මහරහතන් වහන්සේට ලක්වාසීන් විසින් කරන ලද ගෞරවය ගැන අමුතුවෙන් පැවසීමට යමක් තිබේ ද? එතරම් ගෞරව සත්කාර දැක්වූහ. ශාස්තෘන් වහන්සේට සෙයින් ඇප උපස්ථාන කළහ.

උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහයට සතියක් පුරාවට පුද සත්කාර සිදු කළහ. උන්වහන්සේ පිරිනිවන් පෑ දිනය “ශ්‍රී මිහිඳු පුර අටවක” ලෙස හැඳින්වීමට පටන් ගත්හ. ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානය මිහිඳු මහරහතන් වහන්සේට කරන ලද ගෞරවයක් ලෙස “ඉසිභූමංගන” යන නාමයෙන් හැඳින්වූ අතර මහා විහාරයේ සිට තුන් යොදුන් ප්‍රමාණයක ප්‍රදේශයක් තුළ වැඩ විසූ ආර්යයන් වහන්සේලා පිරිනිවන් පෑ කල්හි උන්වහන්සේලාගේ දේහයන් ද ඒ ස්ථානයෙහි ම ආදාහනය කළහ. මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් අම්පාර රජගල වැනි ඉතා දුර ප්‍රදේශවල පවා සෑයවල් කරවූහ. මිහිඳු මහරහතන් වහන්සේගේ හැඩරුව උස මහත පිළිබඳ මතකය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ගියහ.

මහසෙන් රජුගෙන් පසුව රජ වූ සිරි මේඝවර්ණ රජු (ක්‍රි.ව. 301-328) මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණස්කන්ධය අසන්නට ලැබී මහත් වූ පැහැදීමක් සිත්හි ඇතිවූයෙන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ මතකය ප්‍රයෝජනයට ගනිමින් මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවමාන ආකාරයේ ප්‍රතිමාවක් රනින් නිම කර වප් මස පුර අටවක දින මිහින්තලාවට වැඩමවා එහි වඩා හිඳුවා සෑගිරියෙහි සිට අනුරාධපුරය දක්වා මාර්ගය අලංකාර කොට “එදා මිහිඳු මහරහතන් වහන්සේ සෑගිරියෙහි සිට වැඩම කළේ මේ ආකාරයටයි. මහජනයා මෙය දකිත්වා” යි කියා මහත් පුද පූජා මධ්‍යයේ පෙරහරින් අනුරාධපුරයට වැඩමවීය. ඉන් පසු තවත් බොහෝ පුද සත්කාර කොට රජමාළිගාව අසල මැදුරක තැන්පත් කොට වර්ෂයක් පාසා මෙසේ උත්සව කළ යුතු යයි නියෝග කරවීය. මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩි අනෙක් රහතන් වහන්සේලාගේ ප්‍රතිමාවන් ද කරවා එම මැදුරෙහි ම තැන්පත් කරන ලදී. බොහෝ කාලයක් යනතුරු මේ ආකාරයේ මහත් වූ පුද පූජාවන් මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් වප් මාසයේදී සිදු කරනා ලදී.

මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග මේ ආකාරයෙන් ලංකාදීපවාසීන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ මේ සොදුරු පුණ්‍ය භූමිය ශත වර්ෂ ගණනක් පුරාවට නිමල බුදු සසුන ආලෝකවත් කළ පිරිසිදු ථේරවාදී මහා විහාරීය භික්ෂූන් වහන්සේලා විසින් පරිභෝග කරන ලදී. අහෝ දෛවයේ සරදමක මහත! මහසෙන් රජුගේ රාජ්‍ය සමයෙහි මහා විහාරීය භික්ෂූන් වහන්සේලාට උදා වූ දුර්භාග්‍ය සම්පන්න කාලපරිච්ඡේදයේදී සෑගිරියෙහි වාසය කළ භික්ෂූන් වහන්සේලා සෑගිරිය අත්හැර වෙනත් ප්‍රදේශයන් බලා වැඩියෙන් වහා ක්‍රියාත්මක වූ ජේතවන විහාරය ඇසුරු කොට වාසය කළා වූ සසුන් කෙතෙහි හටගත් තෘණ ශාකයක් බඳු වූ සාගලික නිකායට අයත් (මහායානික) භික්ෂූන් වහන්සේලා එය අත්පත් කර ගත්හ. සොඳුරු රහතන් වහන්සේලාට වාසය භූමිය වූ මිහින්තලාව මිසදිටු භික්ෂූන්ගේ වාසස්ථානයක් බවට පත් විය. ඒ භික්ෂූන් විසින් ම දිගටම මිහින්තලා පුණ්‍ය භූමිය පරිහරණය කරන ලද්දේය. මිහින්තලාව මහායානික විහාරයක් බවත් පත් කරගත්තේය.

කාලයාගේ ඇවෑමෙන් ලක්දිවට එල්ල වූ සෝළී ආක්‍රමණ හමුවේ අනෙක් පුණ්‍ය භූමීන්ට අයත් වූ ඉරණම ම මිහින්තලා භූමියට ද හිමි විය. සොඳුරු වූ ආරාම ගොඩනැගිලි නටඹුන් වී ගියේය. තේජාන්විතව බැබළුණු මහා සෑයවල් පස් කඳු බවට පත් විය. රහතන් වහන්සේලාගේ පා කුසුමින් පහස ලද පියගැට පෙළවල් ගැලවී ඇද වී ගියේය. මිහින්තලා පුණ්‍ය භූමිය ම පාළු වී ගියේය. එහෙත් කුමක්දෝ වාසනාවකට දේවානම්පියතිස්ස රජ දවස රෝපණය කරන ලද අෂ්ට ඵලරුහ බෝධීන් වහන්සේ සියලු උපද්‍රවයන් හමුවේ නිරුපද්‍රිතව තේජාන්විතව මේ දක්වා ම එම පුණ්‍ය භූමියෙහි වැජඹෙන්නේය.

මෑත භාගයේ සිදු වූ බෞද්ධ පුනරුදයේ හිරු රැසින් නික්මුණු ආලෝකය මිහින්තලාවට ද වැටුණි. ක්‍රම ක්‍රමයෙන් වල් බිහි වී තිබූ පුණ්‍ය භුමිය එළිවන්නට විය. පස් කඳු සෙයින් දිස් වූ සෑ රජාණන් වහන්සේලා කිරි සුදු පාටින් බැබළීමට පටන් ගති. පොළව බදාගෙන සිටි ආරාම නටබුන් නැගී සිටින්නට විය. යා ගත නොහැකි ආකාරයෙන් ඇද වී ගැලවී ගිය පියගැට පෙළවල් ප්‍රකෘතිමත්ව දහස් ගණනකට ගමන් පහසුව සලසන්නට විය. ඒ ආකාරයෙන් සැදැහැවත් ජනී ජනයාට මෙම පුණ්‍ය භූමිය ඇසුරු කරමින් පින් රැස් කරගැනීමේ අවස්ථාව උදා විය. මෙහිලා බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා අමරණීය මෙහෙයක් කළ යුගපුරුෂයෙකි. එතුමා සුද්දන්ගෙන් මිහින්තලාව රැකගත්තේය.

මහරහතන් වහන්සේලාගේ උතුම් ගුණ තේජසින් බැබලී ගිය, සීල සුගන්ධයෙන් සුවඳවත් වී ගිය, බොහෝ ආර්යයන් වහන්සේලා හට වාසභූමියක් වූ නෙත ගැටෙන සෑම තැනක් ම පූජනීය වූ, අමා දහම් ගඟ ගලා ගියා වූ, සතර බුදුරජාණන් වහන්සේලාගේ පාරිභෝගික ස්ථානයක් වූ, ශ්‍රී සර්වඥ ඌර්ණරෝම ධාතුව සහිත භාග්‍යවතුන් වහන්සේගේත්, රහතන් වහන්සේලාගේත් උතුම් ධාතූන් වහන්සේලා තම ගර්භයෙහි දරා වැඩ සිටින සෑ රජාණන් වහන්සේලාගෙන් විරාජමාන වූ, සියලු ලංකාවාසීන්ට සෙත සලසාලූ මුල් ම පුණ්‍ය භූමිය වූ, අතිශයින් ම උත්තම වූ මෙම පුණ්‍ය භූමිය ගැන සිත පහදවා ගත හැකි වුවහොත්, මෙම පුණ්‍ය භූමියට පැමිණ වන්දනා මාන කිරීමට, ගරු බුහුමන් දැක්වීමට හැකියාව ලැබුණහොත් ඒ හේතුවෙන් ඒ කෙනා හට රැස් වන්නා වූ පින ගැන පැවසීමට කවරෙක් නම් සමර්ථභාවය ලබයි ද?

(මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි)