අතීතයේ වේවා, වර්තමානයේ වේවා, අනාගතයේ වේවා, රැකියාවක් කරන වේවා, නොකරන වේවා, බටහිර සමාජයේ වේවා, පෙරදිග සමාජයේ වේවා මේ කොතැනක හෝ ජීවත් වන කාන්තාවකට පැවරෙන වගකීම්, වැඩ කටයුතු රාශියක් තියෙනවා. ඒවා දුක් සහිතයි. ‘බිරිඳක් ලෙස, මවක් ලෙස පටන් ගෙන එතැන් සිට පැතිරී යන මේ දුක් කන්දරාවෙන් ඇයට නිදහසක් නැද්ද?’ කියා ඇතැමෙකුට සිතෙන්නට පුළුවන්.

ඒ පිළිබඳ අප මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේ නමක් සමඟ සාකච්ඡා කළා.

කාන්තාව කියන්නේ ස්වභාවයෙන්ම දුක උරුම කරගත් තැනැත්තියක් කියන එක රහසක් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනා තුළ අපට කියා දෙනවා පුරුෂයෙකුට සාධාරණ නොවෙන නමුත් ස්ත්‍රියකට පමණක් ආවේණික වූ දුක් තිබෙන බව. කාන්තාවකට සිදු වෙනවා තමන් තරුණ වයසේ දී ම විවාහ වෙලා තම මවුපියන්, ඥාතීන්ගෙන් වෙන් වෙලා ස්වාමියාගේ නිවසට යන්න. එය ස්ත්‍රියකට තිබෙන දුකක්. ඒ වගේම ඇය ඔසප් වීමේ දුකට මුහුණ දෙනවා. ඒකත් ස්ත්‍රියකට ආවේණික දුකක්. ඇය දරු ගැබක් දරාගෙන මහත් දුකකට වේදනාවකට මුහුණ දෙනවා. ඒ වගේ ම කාන්තාවක් ජීවිතයත් මරණයත් අතර මහා දුකක් විඳිමින් දරුවන් බිහි කරනවා. එමෙන්ම ඇයට සිදු වෙනවා මුළු ජීවිත කාලයේ දී ම සැමියාට උපස්ථාන කරන්න. මේවා කාන්තාවකට උරුම වූ ආවේණික දුක්.

නිවසක සියලු වගකීම් පැවරෙන්නේ ඇයටයි. දරුවන්ගේ වැඩ, ස්වාමියාගේ කටයුතුවලට අමතරව රැකියා කිරීම, ඥාතීන්ට සැලකීම මෙන්ම එදිනෙදා කටයුතු රාශියක් ඇය වෙත පැවරී තිබෙනවා. බොහෝ විට ඇයට සිතෙනවා, ‘අනේ මම කවදා නම් මේ දුක්වලින් නිදහසක් ලබන්න ද’ කියලා.

අද පවා ලෝකයේ සමහර සමාජ තලවල ජීවත් වන කාන්තාවෝ දැඩි අසාධාරණයන්ට ලක් වෙනවා. ඒක ලෝකයේ යම්කිසි ධර්මතාවයක්. අතීතයේ භාරත සමාජයේ විශේෂයෙන් බමුණු මත රජ කළ යුගයේ කාන්තාවගේ තත්ත්වය ඉතා දුක්ඛිතයි. නමුත් මේ ලෝකයට පහළ වූ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ ඒ අසාධාරණයට මුහුණ දුන් ස්ත්‍රියට පිහිට වුණා. නිසි තැන ලබා දුන්නා. කාන්තාවට විමුක්තිය ලබා දුන්නා. ඇයට සම තැන ලබා දෙන්න ඕන කියා අදහසක් බුද්ධ ශාසනය තුළ අපට දකින්නට නෑ.

දුකින් තෙරපී සිටින ජීවිතයේ ගුණ දහම් දියුණු කරගෙන දුකින් නිදහස් වීමේ මාවතයි භාග්‍යවතුන් වහන්සේ විවර කර දුන්නේ. එසේ නොමැතිව අරගල කරමින් අයිතිවාසිකම් දිනා ගැනීමක් නොවෙයි කියා දුන්නේ. තම ජීවිතය තුළ යම් කැප කිරීමක්, දරා ගැනීමක් කර ජීවිතයේ ගුණදහම් දියුණු කර ගත්තොත් කාන්තාවට මුළු සසර ම ජය ගන්න පුළුවන් බව උන්වහන්සේ වදාළා.

භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ එක්තරා තරුණ දුවක් සිටියා. ඈ සීලවන්තයි, ගුණවන්තයි. විවාහයකට කැමති වුණේ නෑ. පැවිදි වෙන්න හරිම ආසාවෙන් හිටියා. නමුත් දෙමව්පියන්ගේ කැමැත්තට අනුව ඇයට විවාහ වෙන්න සිද්ධ වුණා. ඈ කීකරුව, ඉවසීමෙන් ජීවිතයට මුහුණ දුන්නා. තමන්ගේ ස්වාමියාට කීකරු, යටහත්, සෙනෙහෙවන්ත බිරිඳක් වුණා. යහපත් ගෘහිණියක්, ආදරණීය මවක් වුණා. තමාට පැවිදි වෙන්න ලැබුණේ නෑ කියලා අරගල කළේ නෑ. හැබැයි ඈ ධර්මය පුරුදු කිරීම, පින් කිරීම අත්හැරියෙත් නෑ. සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරන අතර ඈ ධර්මයේ හැසිරුනා. බොහෝ කල් ගත වුණා. දිනක් ඈ කුස්සියේ ළිප ළඟ මැල්ලුමක් සකසමින් ඉන්නවා. යම් ප්‍රමාදයකින් ඒ මැල්ලුම රොස් වුණා. ඇයට කේන්ති ගියේ නෑ. ඈ පුරුදු කළ ධර්මය සිහි කළා. අනිත්‍ය ස්වභාවය ඉතා හොඳින් ප්‍රකට වුණා. ඒ මොහොතේම ඈ අනාගාමි ශ්‍රාවිකාවක් බවට පත් වුණා. පසුව ස්වාමියාගේ අවසර ලබා පැවිදි වී අරහත්වයට පත් වෙන්න තරම් වාසනාවන්ත වුණා. බලන්න ඈ ගුණදහම් රැකගෙන ධර්මයේ හැසිරිලා සසර ම ජය ගත් අපූරුව.

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ කාන්තාවන් කෙරෙහි අනුකම්පාවෙන් ම ඇතැම් සූත්‍ර දේශනාවල, ජාතක කථාවල, කාන්තාව තුළ ප්‍රකටව කැපී පෙනෙන දුර්ගුණ පෙන්වා දුන්නා. ක්‍රෝධ කරන ස්වභාවය, ඉරිසියාව, ගුණමකුකම, චපල බව ආදී දුර්ගුණ දුරු කරගෙන ගුණදහම් වඩන ස්ත්‍රියට නිවන කරා යන මාවත පෙන්වා වදාළා. එමෙන්ම එදා පමණක් නොව වර්තමාන සමාජය තුළ පවා කාන්තාවගේ සුරක්ෂිත භාවය, ගෞරවනීය භාවය තහවුරු කරමින් ස්ත්‍රියකට ගරු කරන සමාජය නොපිරිහෙන ආකාරය, මාතෘත්වයේ උතුම් බව ආදී කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

දිනක් භාග්‍යවතුන් වහන්සේ විශාඛා උපාසිකාව අරභයා වදාළ පඨම ලෝක විජය සූත්‍ර දේශනාවේ දී සැබෑම කාන්තා විමුක්තියට මගත්, මෙලොව පරලොව දිනන ක්‍රමයත් දේශනා කොට වදාළා.

“පින්වත් විශාඛා, කරුණු හතරකින් සමන්විත ස්ත්‍රියකට මෙලොව දිනන්න පුළුවන්.

1. ස්ත්‍රිය මනා කොට, සකස් කොට කටයුතු කරනවා නම්,
2. සිය පිරිවර ජනතාවට හොඳින් සංග්‍රහ කරනවා නම්,
3. ස්වාමියාට මනාප ලෙස හැසිරෙනවා නම්,
4. ස්වාමියා ඉපයූ දේ ආරක්ෂා කරනවා නම්, ඇය මෙලොව දිනනවා.

විශාඛා, යම් කාන්තාවක් සැමියාගේ නිවසේ සියලු කටයුතු සඳහා දක්ෂ වෙන්න ඕන. ඇය අලස නැහැ. කම්මැලි නැහැ. ඇයට පුළුවන් මෙලොව දිනන්න. ඒ වගේ ම විශාඛා ඈ පිරිවර ජනයාට සංග්‍රහ කරනවා. ස්වාමියා යටතේ සිටින සේවකයන්, කම්කරුවන් ගැන හොඳ වැටහීමකින් ඉන්නවා. ඒ අය ගැන සොයා බලනවා. ඒ අයගේ ගිලන් නොගිලන් බව ගැන ඇයට වැටහීමක් තිබෙනවා. ඒ වගේ ම මෙලොව දිනන්න කැමති කාන්තාව ස්වාමියාට මනාප ලෙස හැසිරෙනවා. ඔහු අකමැති දෙය ජීවිතය ගියත් කරන්නෙ නෑ. ඒ වගේ ම ඇය ස්වාමියා උපයන දේ නාස්ති කරන්නේ නෑ. ආරක්ෂා කරනවා, රැකගන්නවා, සොරකම් කරන්නෙ නෑ. මේ කාන්තාව මෙලොව දිනන, මෙලොව සතුටින් සිටින
කාන්තාවක්.”

ඒ වගේ ම උන්වහන්සේ වදාළා මෙලොව පමණක් නොවේ කාන්තාවට පරලොවත් දිනන්න පුළුවන් කියා. ඒ සඳහාත් අනුගමනය කළ යුතු කාරණා හතරක් වදාළා.

යම් ස්ත්‍රියක් ශ්‍රද්ධා සම්පන්නයි. ඇය ගිහි ගෙදර රැඳෙමින් වැඩපළ කරමින් සිටිද්දීත් තමන්ගේ හදවතේ ඒ තථාගතයන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමක් ඇති කරගන්නවා. නුවණ ඇති ඒ කාන්තාව ගුණ වශයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙනෙහි කරනවා. මම සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, බුද්ධ වන සේක, භගවා වන සේක ආදී වශයෙන් බුදු ගුණ සිතමින් ශ්‍රද්ධාව දියුණු කරගන්නවා.

ස්ත්‍රිය සීලවන්තයි. ඇය සතුන් මැරීමෙන් වැළකිලා, සොරකමින් වැළකිලා, වැරදි කාමසේවනයෙන් වැළකිලා, බොරු කීමෙන් වැළකිලා, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලා ගිහි ගෙදර සීලවන්තව ජීවත් වෙනවා.

ඒ වගේ ම යම් ස්ත්‍රියක් ත්‍යාග සම්පන්නයි, ඇය මසුරුමළ දුරුකරමින් ගිහි ගෙදර වාසය කරන්නේ. ඕනෑම කෙනෙක් තමන් වෙතින් යමක් ඉල්ලාගෙන එනවා නම් ඒ දෙය දෙන්න ඇය ලෑස්තියි. ත්‍යාග සම්පන්න ගුණය ඇය උපදවා ගන්නවා.

ඒ වගේ ම යම් ස්ත්‍රියක් ප්‍රඥා සම්පන්නයි, ඇය මේ ලෝකයේ හැම දෙයක ම අනිත්‍ය බව සිහි කරනවා, කිසිම දෙයක් තමා වසඟයේ පවත්වන්න බැරි බව මෙනෙහි කරනවා. දුක් ක්ෂය කරවන ප්‍රඥාවක් ඇයට තියෙනවා.

මේ කරුණු හතර තියෙන ස්ත්‍රිය පරලොව දිනනවා, පරලොව සතුටු වෙනවා.

ඒ නිසා කාන්තාව විමුක්තිය වෙනුවෙන් සටන් කරනවා වෙනුවට යම් කාන්තාවක් යථාර්ථයට මුහුණ දී, සියලු දේ දන්නා ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට ම කටයුතු කරන්නට හිතට ගත්තොත් ඇයට මෙලොව මෙන් ම පරලොවත් දිනන්නට පුළුවන්කම ලැබෙනවා.

සටහන – නයනා නිල්මිණි