සත්ව සංහතිය මිහිපිට පහළ වී පරිණාමයට පත්වන්ට පටන්ගත් ආදිතම යුගයේ සිට මානව වර්ගයා අන් සත්ව කොට්ඨාසයන්ට වඩා සබුද්ධිකව අන්‍යෝන්‍ය සබඳතා වර්ධනය කරගනිමින් පැවත ආ අයුරු මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කරනු ලැබ ඇත. මෙම මානව සබඳතාවේ ප්‍රාථමික වූත්, අතිශය හෘදයංගම වූත් අවස්ථාව වූ කලී මවුපිය දූ දරු කුටුම්භගත දිවි පෙවෙතයි. මවුපියවරුන් හා දූ දරුවන් ඔවුනොවුන් කෙරෙහි දැක්වූ සෙනෙහස වඩාත් තියුණු ලෙස පෝෂණය වූයේ ආගමික මතාන්තරයන් හා හැඟීම් සමඟ සංකලනය වීමෙනි. මෙම ස්වභාවය වඩාත් ප්‍රබල ලෙස දක්නට ලැබෙන්නේ, මුළු මහත් සත්ව වර්ගයා වෙත පතලව පැතිරි මහා කරුණා නිධානය වන බුදු දහම ප්‍රචලිත දේශයන්හි වෙසෙන මානව වර්ගයා අතර ය. එයිනුත් සිංහල දේශය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව දෙදහස් වසරක අඛණ්ඩ අතීත උරුමයක් කරා දිවෙන සිංහල සාහිත්‍ය වංශය විමසා බලන විට අනාවරණය වෙයි.

දූ දරු මවුපිය සෙනෙහස වස්තු කොටගත් පැරණි ම කතා දක්නට ලැබෙන්නේ ආසියාකරයේ රටවල වුව ද බුදු දහම ස්වකීය ආධ්‍යාත්ම පෝෂණය සඳහා අඛණ්ඩව භාවිත කළ සිංහල ජනකතා සාහිත්‍යය තුළ එය ප්‍රබලව විකාශනය වී ඇති බව කිව හැකි ය. ඒ සම්බන්ධයෙන් පන්සිය පනස් ජාතක පොත සිංහල ජන සාහිත්‍යය කෙරේ ඇති කළ බලපෑම ප්‍රබල ය.

ආදරය, සෙනෙහස කරණ කොටගෙන මානව සිත්සතන් තුළ හටගන්නා කම්පනයන් ස්වභාව ධර්මයට පවා බලපාන අන්දම පැරණි ජනකතාවල නොඑක් තැන විවරණය වෙයි. ලැව් ගින්නකට හසු වූ බෝසත් වටු පැටියාගේ සත්‍යක්‍රියා බලමහිමයෙන් නිපන් කල්පස්ථායී වූ ප්‍රාතිහාර්යය නිසා ලැව්ගිනි නිවී ගිය පුවත වට්ටක ජාතකයෙහි විවරණය විය. පෙර ආත්ම භාවයෙහි තමන්ට පුත් වූ දරුවා අතරමග දී සොරුන් වෙතින් මැරුම් කන බව දත් කැණහිල් දෙනක මඟ අවුරා ඔහුට යා නොදී සිටි පුවත සතපත්ත ජාතකයෙහි ඇතුළත් වෙයි.

දරු සෙනෙහස අරභයා වට්ටක, ලටුකික ආදී බෞද්ධ සාහිත්‍යයෙහි එන කතාවලට සමාන කතා පුවත් ජන සාහිත්‍යයෙහි දක්නට හැකි ය. එක්තරා කොබෙයි කිරිල්ලියක් ඈත මී ගසක් කරා ගොස් රැගෙන විත් ගලේ වනා තැබූ මී පුප් (මී මල්) දැඩි හිරු රැසින් වේළී නොපෙනී ගොස් තිබෙනු දැක ඒවා තම පැටියා විනාශ කොට ඇතැයි සිතා ඌට කොටා මරා දැම්මා ය. පසුව වට වැස්සට තෙමී ඒවා පණ ගසා පිබිදී තිබෙනු දුටු ඇය තම පුතා මරා දැමූ සොවින් හඬා වැළපුණ පුවත සදාතනික ජනප්‍රවාදයක් බවට පත්ව ඇත්තේ ය. “මී පුප් ලදින්, දරු නොලදින් රන්කැටි පුතා කෝ කෝ!” යනුවෙන් කොබෙයි කිරිල්ල හඬා වැළපෙන නාදය අද ද ඉඳහිට අසන්නට ලැබෙන බව ගැමියෝ කියති. නගරබද වෙසෙන ජනකායට පවා කොබෙයි කුරුලු නාදය අද ඇසෙන්නේ “පුබ්බරු පුතා කෝ… කෝ…” යන රාවයෙනි.

මහා සාගරය මැද යාත්‍රා කරමින් සිටියදී බිඳී ගිය නැවෙන් විපතට පත් තම මෑණියන් කරමත හොවා ප්‍රචණ්ඩ රළ වැල සමඟ පොරබදමින් ගොඩබිමක් කරා පිහිනූ බෝසත් දරුවා පිළිබඳ කතා පුවතේ සිට මවුපිය දරු සෙනෙහස අරභයා කියැවෙන කතා සාහිත්‍යයෙන් සිංහල ජන ආධ්‍යාත්මය පෝෂණය වී තිබේ. මේ සියලු ජනකතා වර්තමාන ජන සමාජය තුළින් අභාවයට යාමේ ඛේදවාචකයට අපි අද මුහුණ දී සිටිමු.

ඈත අතීතයේ සිට අප රට ප්‍රචලිත ජනකතා අතර කනදරා කෝරළයේ ජනකතාවක කියැවෙන්නේ පියකු විසින් ඔහුගේ මහලු පියා නිවෙසින් පිටත මඩුවක දුක්ගැහැට විඳින්ට සැලැස්වීම පිළිබඳ ව කුඩා දරුවෙකු දැක්වූ ප්‍රතිචාරයයි; එක් පුරුෂයෙක් සිය බිරිඳගේ කියුම් අසා තම මහලු පියා නිවෙසින් බැහැර මඩුවක තබා තම නිවෙසෙහි කා බී ඉතිරිවන ඉඳුල් බත් කන්නට දුන්නේ ය. පරණ වූ ලබු කබලකට වතුර පුරවා දී බොන්නට සැලැස්වීය. ඔහු කරන මේ ක්‍රියාව නිරීක්ෂණය කළ ඔහුගේ කුඩා පුතා එක් දිනක් බත් තැටිය හා ලබු කබල සඟවා තැබී ය. එය සෑම තැනම සොයා බැලූ පියා පුතාගෙන් ද ඒ ගැන විමසුවේ ය. එවිට පුතා කීවේ “තාත්තාත් මහලු වයසට පත් වූ පසු මේ මඩුවේම තබා කෑම බීම දීම සඳහා තැටියත්, ලබු කබලත් සඟවා තැබූ බව” යි. එය ඇසූ පියා බෙහෙවින් කැළඹීමට පත්ව තමා කළ වරද පිළිගෙන මහලු පියා යළි සිය නිවසෙහි තබා ඇප උපස්ථාන කළේ ය.

මේ කතාවට සමාන අපූරු ජනකතාවක් නේපාල දේශයේ ද ප්‍රචලිතව තිබෙයි. සැමියා, බිරිඳ, කුඩා පුතු සහ සැමියාගේ වයස්ගත දුබල පියා මෙම ජන කතාවේ පාත්‍ර වර්ගයෝ වෙති. ඉතාමත් බෙලහීන තත්ත්වයෙන් පසුවන පියාට සාත්තු සප්පායම් කිරීමෙන් වෙහෙසට පත් දෙමහල්ලන්ට කල් යත් ම පියා මහත් බරක් විය. ඔවුනගේ කුඩා පුතා සීයාට බෙහෙවින් ලැදි හෙයින් දෙමවුපියන්ට රහසේ කෑම බීමාදිය සපයයි. තම මහලු පියාගෙන් නිදහස් වන්ට උපායක් සොයන ගෙහිමියා එක් දිනක් මහලු පියා කූඩයක බහා කරපිට තබාගෙන ගෙදරින් පිටව යනු බලා සිටි පුතා,

“තාත්තේ, සීයාව දාලා ආපහු එන විට මතක ඇතුව කූඩේ අරන් එන්න.” යැයි කීය.

“ඒ මොට ද පුතේ?” පියා ඇසී ය.

“තාත්තත් වයසට ගියාම ඒ කූඩෙ දමාගෙන තාත්තවත් ඈතට ගිහින් දාන්න මට කූඩෙ ඕනෑ!”

පුතුගේ කියුමෙන් තම වරද පිළිගත් පියා, සිය මහලු පියා යළි නිවසේ තබාගෙන උවටැන් කළේ ය.

ලේඛනය වඩාත් ප්‍රචලිත නොවූ අතීත යුගයේ සිට සාමාන්‍ය ගැමි ජනතාව අතර පැවති නිර්මාණාත්මක සන්නිවේදනය වූ කලී කතන්දර හා කවි කීමේ කලාවයි. එම ජන සාහිත්‍යය මුඛ පරම්පරාවෙන් පැවත විත් ජන සමාජය තුළ පරපුරෙන් පරපුරට උරුම විය. එසේ අතීතයේ සිට පැවත ආ ජනකතා දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් යටත්විජිත පාලන යුගය දක්වාම අප රටේ ජන සමාජයේ ජනතාව අතර සම්භාවිත වූ ද ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ විශ්‍රාමය අර්ථ සම්පන්න කළා වූ ද විනෝදාංශයක් විය.

ගැමි ජනතාව අතර විසූ යම් ප්‍රතිභාවක් ඇති අය විසින් නිර්මාණය කරන ලද මෙම හැම කතාන්දරයක් ම ඔවුන්ගේ ගෙදරදොර ජීවිතය හා පරිසරය සමඟ ප්‍රතිබද්ධව පැවති රසවත් ආඛ්‍යානයන් ය. ලක්දිව පුරා හැම ප්‍රදේශයක ම මුඛ පරම්පරාවෙන් පැවත එමින් පැවති ජනකතාවන්හි සංස්කෘතික වටිනාකම තේරුම්ගත් බි්‍රතාන්‍ය ජාතික වාරිමාර්ග ඉංජිනේරු හෙන්රි පාකර් මහතා ජනකතා හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් එකතු කොටගෙන එංගලන්තයට රැගෙන ගොස් වෙළුම් තුනකින් යුතු Folk Tales of Ceylon නමින් යුතු විශාල ග්‍රන්ථය සම්පාදනය කොට දීර්ඝ ප්‍රස්තාවනාවක් ද ලියා මුද්‍රණයෙන් එළිදැක්වී ය. ඉතා සරල අපිස් දිවිපෙවතක් ගත කළ අප රට විසූ ආදිකාලීන ගැමි ජනකායගේ සුසුම්වැල් බඳු මෙම ජනකතාවන්හි පවත්නා සංස්කෘතික අගය පමණ කළ නොහැක්කේ ය. එදවස පැවති පාරිසරික පසුබිම, පවුල් සබඳතා, මවුපිය දාරක ප්‍රේමය ආදී ජීවන පුවත් මෙම ජනකතාවල ඉතා හෘදයංගම ලෙස අන්තර්ගතව ඇත.

ගේ කිරිල්ලක තම පැටවුන්ට දක්වන ළබැඳි සෙනෙහස නිරීක්ෂණය කළ එක්තරා රජ කෙනෙකු පිළිබඳ අපූරු ජනකතාවක් ‘ශ්‍රී ලංකාවේ ජනකතා’ ග්‍රන්ථයෙහි ඇතුළත්ව තිබෙයි.

එම කුරුලු දරු සෙනෙහස පිළිබඳ ව රජු සහ බිසොව දැඩි කුහුලින් යුතුව අවධානය යොමු කොට සිටි අතරතුර කිරිල්ලිය මිය ගියෙන් කුරුල්ලා වෙනත් කිරිල්ලක කැඳවාගෙන ආවේ ය. ඇය මළ කිරිල්ලගේ පැටවුන්ට කෑම නොදී කුසගින්නේ තබා මිය යන්ට ඉඩ හැරියා ය. මෙම සිදුවීම් දාමය සංවේදීව බලා සිටි බිසොව රජුගෙන් ඉල්ලා සිටියේ යම් හෙයකින් තමා මිය ගියහොත් තම දරුවන්ට අනතුරක් වෙන්ට නොදී රැක බලා ගන්නා ලෙස ය.

(ලංකාවේ ජනකතා, තෙවන වෙළුම, චන්ද්‍රා ශ්‍රී රණසිංහ පරිවර්තනය, 127 පිටුව)

හැම ජනකතාවකම ගැබ්ව ඇත්තේ ජන සමාජයක් යහමගට යොමු කරවන ඇවතුම් පැවතුම් හා උපදේශනයන් ය. පෙර දවස, සැන්දෑ යාමයන්හි වැඩිහිටියන් දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනා එක්ව ජනකතා, ජනකවි කියමින් ලැබූ රසාස්වාදය ජන සමාජයේ සදාචාර ගති පැවතුම් වර්ධනය වීමට හේතු විය. දරු පවුලක එකමුතුකම, ගුණධර්ම වැඩිදියුණුව පරිත්‍යාගශීලිත්වය ආදී මානව චර්යාධර්මයන්ගෙන් ජන සමාජය පෝෂණය කළ ජනකතා, ජනකවි භාවිතය හා රසවින්දනය නූතන ජන සමාජය තුළින් බැහැර වීමේ විපාක අද අපි අත්දකිමින් සිටිමු.

දයාපාල ජයනෙත්ති