ඩිං ඩොං! ඩිං ඩොං!! ඩිං ඩොං!!! අලුයම 4 කණිසම නාද විණි. එතෙක් ගණ අඳුරේ වෙලී තිබූ පරිසරය කෙමෙන් කෙමෙන් ආලෝකවත් වන්නට පටන් ගත්තේ ය. එසේ වූයේ අහර පිසීම සඳහා අවදි වූ ගෘහිණියන්ගේ මුළුතැන් ගෙවල්වලින් නිකුත් වූ මලානික ආලෝකයන් නිසා ය. අලුයම වූ ශීතල ගතියත්, පෙරදින වූ තෙහෙට්ටුවත් තවමත් පහ ව ගොස් නැත. අඳුරත් සමඟ මුසු වූ නිසොල්මනට එක් වූයේ නිදිබර හඬවල් ය. ඇඟමැලි කැඩීම් ය. වෙහෙසකර වූ තවත් දිනක ඇරඹුම් ය.

​ආර්ථික බරින් හා ජීවිතයේ නොයෙකුත් දුක් කම්කටොලුවලින් මිරිකී ගිය සිත් ඇති ගෘහිණියෝ නිදිගැට කඩමින් පොල් ගෑමට පටන් ගනිති. ළිපගිනි මොලවා සහල් ළිප තබති. ඒ අතරම විටින් විට පිබිදෙන පවුලේ සාමාජිකයන් හට තේ වත් කරති. අන් අයව කූද්දති. යන්තම් දනිපනි ගා එළවළු දෙක තුනක් සමඟ බතක් පිස රැකියාවට යන තම ස්වාමිපුරුෂයන් හට බත් බඳිති. ඉන්පසු පාසල් යන දරුවන් හට බත් බඳිති. දරුවන් පාසලට පිටත් කිරීම තම මහලු දෙමව්පියන් හට පවරා, තමාටත් බත් මුලක් බැඳගෙන කඩිමුඩියේ රක්ෂාවට පිටත් ව යති.

පොදු ප්‍රවාහන සේවාවන්වල, කාර්යාල වේලාවන්හිදී තදබදය බෙහෙවින් ඇත. මිනිස්සු එකිනෙකා තෙරපෙති. හිඳගැනීමට අසුන්වල ඉඩ නැත. කකුල් කකියමින්, නිදිකිරා වැටෙමින් ගමනාන්තය දක්වා ගමන් කරන ඔවුහු බසයෙන් හෝ දුම්රියෙන් බැස ගන්නේ දහදියෙන් තෙත් වූ ශරීර ඇතිව ය. නැවත නිවසට පිටත් වෙන වේලාව සිහි කරමින් කාර්යාල තුළට පිවිසෙන ඔවුන් හට එම රැකියා ස්ථානවල පවා සැනසිලි මාත්‍රයක් ලැබෙන්නේ නැත. මා කුමන නම් පවකට මේ රැකියාව කරන්නේ දැයි සිතෙන වාර ගණන අපමණ ය. රැකියා ස්ථානවල වෙසෙසින්ම ඇත්තේ ඇණුම් බැණුම් ය. කේළාම් ය. බහින්බස් වීම් ය. රණ්ඩු දබර ය. මා මේ විඳිනා සියලු දුක් මරණයෙන් හෝ ඉක්මනින් කෙළවර වන්නේ නම් ඉතා මැනවයි සිතමින් සෑම දිනයක්ම ගෙවී යයි. බැලූ බැලූ අත එල්ලා වැටුණු මුහුණු ය. සතුටක ඡායාවක්වත් ඒ මුහුණුවල ස්පර්ශ වී නොමැත.

කල්ප සියයකටත් දුර්ලභ වූ, කලාතුරකින් ලොවට පහළ වන්නා වූ, ලොවෙහි අනුත්තර ඇස වූ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේනමකගේ පරිනිර්වාණයෙන් වසර 2500ක් ඉක්මවූ තැන මිනිස් ලොව මෙවන් වූ ගාලගෝට්ටියකි. වෙසෙසින්ම මෙකල, මිනිස් ගුණධර්මයන්ගේ පිරිහීමත් සමඟ මනුෂ්‍යයින්ගේ ආයුෂ අඩුවෙමින් යන කාලවකවානුවකි. එබැවින් මිනිසුන් කෙලෙස්බරිත ව, මිත්‍රද්‍රෝහී ව, අන්‍යයන්ගේ ගුණ මකමින්, ඊර්ෂ්‍යාවෙන් – ක්‍රෝධයෙන් – කුඩුකේඩුකම්වලින් පීඩිතව එකිනෙකා පරයමින් නොනවතින හිස් අරගලයක යෙදෙන සැටියකි.

සියක් ආයු ඇති මිනිසුන් පිළිබඳ අපගේ ශාස්තෘන් වහන්සේ දීඝ නිකායේ පාථික වර්ගයේ චක්කවත්ති සීහනාද සූත්‍රයේ මෙසේ වදාළ සේක.

“මහණෙනි, මෙසේ ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙළක් නැති කල්හි දිළිඳු බව බොහෝ පැතිරී ගියේ ය. දිළිඳු බව බොහෝ පැතිරී ගිය කල්හී අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියේ ය. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්හී අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගියේ ය.

අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගිය කල්හී මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේ ය. මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගිය කල්හී බොරු කීම බොහෝ පැතිරී ගියේ ය. බොරු කීම බොහෝ පැතිරී ගිය කල්හී කේළාම් කීම බොහෝ පැතිරී ගියේ ය. කේළාම් කීම බොහෝ පැතිරී ගිය කල්හී වැරදි කාම සේවනය බොහෝ පැතිරී ගියේ ය. වැරදි කාම සේවනය බොහෝ පැතිරී ගිය කල්හී දරුණු වචනයෙන් බැණ වැදීමත්, හිස් වචන කතා කිරීමත් යන මේ කරුණු දෙක බොහෝ පැතිරී ගියේ ය. මේ කරුණු දෙක බොහෝ පැතිරී ගිය කල්හී අන්සතු දෙය තමා සතු කරගැනීමේ ආශාවත්, ද්වේෂයත් බොහෝ පැතිරී ගියේ ය. අන්සතු දෙය තමා සතු කරගැනීමේ ආශාවත්, ද්වේෂයත් බොහෝ පැතිරී ගිය කල්හී මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගියේ ය. මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගිය කල්හී අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය යන කරුණු තුන බොහෝ පැතිරී ගියේ ය. මේ කරුණු තුන බොහෝ පැතිරී ගිය කල්හී, මව්ට නොසැලකීම, පියාට නොසැලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරාදී කුලදෙටුවන්ට ගරු නොකිරීම යන මේ කරුණු බොහෝ පැතිරී ගියේ ය. මේ කරුණු බොහෝ පැතිරී ගිය කල්හී ඒ සත්වයන්ගේ ආයුෂත් පිරිහී ගියේ ය. පැහැයත් පිරිහී ගියේ ය. ඔවුන්ගේ ආයුෂත් පිරිහී යන විට, පැහැයත් පිරිහී යන විට, දෙසිය පනහක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.”

බුදුවරු වනාහී පරම ආයුෂ අවුරුදු 100ට වඩා අඩු කාලවලදී මනුලොව නොපහළ වන්නාහු ය. එයට හේතුව නම් ආයුෂ අවුරුදු 100ට වඩා අඩු වූ කල, මිනිසා තුළ කෙලෙස් බලවත්ව තිබීම හේතුවෙන් ධර්මාවබෝධය පිණිස අවශ්‍ය පරිසරය නොසැකසෙන නිසා ය. එයට ‘කාල විපත්ති’ යැයි කියනු ලැබේ. අපගේ ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ කාලයේ මනුලොව පරම ආයුෂ අවුරුදු 120 කි. මෙලෙස මිනිස් ආයුෂ පිරිහී එයට අනුකූලව ආධ්‍යාත්මිකවත් පිරිහී ගිය මිනිසුන් ජීවත් වූ යුගයක සත්වයා සසර කතරෙන් එතෙර කරවන දහමක් ලොවට ඇසෙන අසිරිමත් බුදු සසුනක් සඳහා පරිසරයක් සකස් වීම මොනතරම් අසිරිමත් ද! ගෞතම අප මුනි රජුන් මෙලොව පහළ වීම වනාහි සැබවින් ම, නිරයේ නිරාගිනි මතින් විකසිත වූ දසත සුවඳ විහිදුවන මනෝරම්‍ය වූ පියුමක් වැන්න.

මිනිසුන්ගේ ආයුෂ පිරිහීම සිය වසකින් නවතින දෙයක් නොවෙයි. මක් නිසා ද යත්; ඔවුන්ගේ ගුණධර්ම තව තවත් බහින කලාවෙන් ම බැසයන නිසා ය. මෙසේ මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් දසවසක ආයු ඇති මිනිසුන්ගේ යුගයක් ඉදිරියෙහි ඇත්තේය. එහෙයින් පැහැදිලිව පෙනෙන්න තිබෙන කරුණ නම් ධර්මයෙහි හැසිරෙන්න ඇති අවකාශය තව තවත් ඇහිරීමය. සත්පුරුෂ ගුණධර්ම දියුණු කරගන්න ඇති අවස්ථාව නැති වීමය. එහෙයින් මෙකල මනුලොව වසනා යම් නුවණැති සත්පුරුෂයෝ වෙත් ද ඒ සියල්ලෝ ම මරණින් මතු සත්පුරුෂ භුමිය වන දෙවියන් අතරේ උපත ලැබීමට කැමති විය යුතු ය.

මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2567ක් ගතව, බුද්ධ ශාසනයේ අවසන් යුගය දැන් ගත වෙමින් පවතී. පහනක දැල්ල නිවී යාමට ප්‍රථම එහි ආලෝකය ස්වල්ප මොහොතකට වැඩි වන්නාක් මෙන්, ගෞතම බුදු සසුනේ අවසන් ආලෝකය විහිදුවමින් පෙර නොඇසූ විරූ බුද්ධ වචන ගංගාවක් ගලා බසිමින් තිබේ. සෑ රජාණන් වහන්සේලා ගණනාවක් රට පුරා ඉදි වෙමින් පවතී. උතුම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට දන් පැන් පූජා කරගැනීමට ඉඩහසර විවර වී තිබේ. අපගේ ශාස්තෘන් වහන්සේගේ පරම ගම්භීර වූ මිහිරි ශ්‍රී සද්ධර්මය තුළින් විමුක්තියක් ගැන අසා, සසරෙන් නිදහස් වීමට පෙරුම් පුරනා අහිංසක හදවත් ගැහෙනා අවසන් තප්පර කිහිපය මෙය විය නොහැකි ද?

එබැවින්, කෙටි කලකට ලද මේ මිනිස් දිවියේ උදා වූ උතුම් ක්ෂණ සම්පත්තිය තුළ උපරිම යහපත උදා කරගැනීමට උත්සුක විය යුතු ය. කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය පුරුදු කර ගත යුතු ය.

වෙසෙසින්ම සිතේ හටගන්නා අකුසල් නුවණින් දැක, වීරියෙන් බැහැර කරමින් වාසය කළ යුතු ය. ලද අවස්ථාවේ පින් රැස් කර ගත යුතු ය. ආර්ය මහා සංඝරත්නය විෂයෙහි ශක්ති පමණින් දන්පැන් පූජා කරගත යුතු ය. මනුලොව පිළිබඳ ආසාවන්, බැඳීම් දුරුකරමින් – ඒ අතරම යුතුකම්, වගකීම් නිසි පරිදි ඉටු කළ යුතු ය. බුද්ධානුස්සතියෙන්, ධම්මානුස්සතියෙන්, සංඝානුස්සතියෙන්, සීලානුස්සතියෙන්, චාගානුස්සතියෙන්, දේවතානුස්සතියෙන්, මරණානුස්සතියෙන් වාසය කළ යුතු ය. “සදත්ථපරමා අත්ථා” සියල්ලටම වඩා උතුම් වන්නේ තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීමයි. එබැවින් දාන, සීල, භාවනා වශයෙන් සුචරිත ධර්මයේ හැසිරෙමින් ලද මිනිස් දිවියේ උපරිම ඵල නෙළන්නටත්, සුගති රැකවරණ සලසා ගන්නටත් අප කාටත් වාසනාව උදා වේවා..!

උත්පලා ගුණතිලක