ලක්ඛණ සූත්‍රය
දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32 අතුරින් උන්වහන්සේට සමව ආහාර පැසවන මනා ග්‍රහණියක් ඇති වීමට හේතුව තමාගේ පෙර සසර ජීවිතවල දී සතුන්ට හිංසා නොකිරීමෙන් ඇති වූ ජන්ම දායාදයක් බව උන්වහන්සේ පෙන්වා දී ඇත. සමව ආහාර පැසවන මනා ග්‍රහණියක් ඇති වීම භෞතික හේතුවක් වුවත් ඊට මුල් වී ඇත්තේ මානසික හේතුවකි. අන් සතුන්ගේ ගත සිතට පීඩා නොකිරීම, තමන්ගේ ගත සිත ලෙඩ දුක්වලින් නොපෙළීමට හේතුව වී ඇත.
ගිරිමානන්ද සූත්‍රය
දීඝ නිකායේ ගිරිමානන්ද සූත්‍රයේ දී මිනිසුන්ට ලෙඩ රෝග ඇති වීමට හේතු විස්තර කරන විට කර්මය නිසා ජනිත වන රෝග ද ඇති බව උන්වහන්සේ විසින් පැහැදිලි කර දී ඇත.
“පිත්තසමුට්ඨානා ආබාධා සෙම්හසමුට්ඨානා ආබාධා වාතසමුට්ඨානා ආබාධා සන්නිපාතිකා ආබාධා උතුපරිණාමජා ආබාධා විසමපරිහාරජා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්මවිපාකජා ආබාධා”
“පිතෙන් හටගන්නා රෝගයෝ ය. සෙමෙන් හටගන්නා රෝගයෝ ය. වාතයෙන් හටගන්නා රෝගයෝ ය. තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගයෝ ය. ඍතු විපර්යාසයෙන් හටගන්නා රෝගයෝ ය. විෂම හැසිරීමෙන් හටගන්නා රෝගයෝ ය. උපක්‍රමයෙන් හටගන්නා රෝගයෝ ය. කර්ම විපාකයෙන් හටගන්නා රෝගයෝ ය.”
මෙහිදී බුදුරජාණන් වහන්සේ ඇතැම් ලෙඩ රෝගවලට කර්ම විපාක හේතු වන බව පැහැදිලිව පෙන්වා දී ඇත. බටහිර වෙදකමින් හෝ ආයුර්වේද වෙදකමින් හෝ හේතුවක් නිශ්චිතව සොයා ගත නොහැකි වන රෝගත්, නිශ්චිත ඖෂධයක් නොමැති රෝගත් අද ලෝකයේ රෝගීන් පෙළෙන හේතුවක් වී ඇති බැවින් මෙවැනි රෝගවලට හේතුව කර්ම විපාකයන් බව සිතිය හැක.
චූළ කම්ම විභංග සූත්‍රය
මජ්ක්‍ධිම නිකායේ චූළ කම්ම විභංග සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ සුභ නම් තරුණයෙකුට නිරෝගි බව හා දීර්ඝායුෂ ලැබීමේ රහසත්, රෝගී බව හා අල්පායුෂ ලැබීමේ රහසත් පැහැදිලිව පෙන්වා දී ඇත.
සුභ නම් තරුණයා දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසීය.
“පින්වත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයේ මිනිසුන් අතර මහත් වෙනසක් දක්නට ඇත්තේ මන්ද? උසස් වූ සැප ඇති අය මෙන්ම පහත් වූ හීන වූ සැප ඇති අය ද දක්නට ලැබේ. අල්ප ආයුෂ ඇති අය මෙන්ම දීර්ඝායුෂ ඇති අයත් දක්නට ලැබේ. රෝගී අය මෙන්ම නිරෝගී අයත් දක්නට ලැබේ. පින්වත් ගෞතමයන් වහන්ස, මීට හේතුව කුමක්ද?”
බුදුරජාණන් වහන්සේ තරුණයාට මීට හේතුව කෙටියෙන් පැහැදිලි කළ සේක.
“කම්මස්සකා මාණව, සත්තා කම්මදායාදා කම්මයෝනි කම්මබන්ධූ කම්මප්පටිසරණා. කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතායාති.
පින්වත් තරුණය, සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ දෙය කරගෙනයි. කර්මය දායාදය කොටගෙනයි. කර්මය උත්පත්ති ස්ථානය කොටගෙනයි. කර්මය ඤාතියා කොටගෙනයි. කර්මය පිළිසරණ කොටගෙනයි. මේ ළාමක උසස් ස්වභාවයට සත්වයන්ව බෙදන්නේ කර්මයයි.”
සුභ නම් තරුණයා මෙය තමාට නොතේරුණු බැවින් විස්තර කර කියා දෙන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය.
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “තරුණය, මේ ලෝකයේ යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් පණ ඇති සතුන් කෙරේ අකරුණාවන්ත වූයේ සතුන් මැරීමෙහි යෙදෙයි ද ඔහුගේ හෝ ඇයගේ මේ ක්‍රියාව මරණින් මතු දුගතියේ උපතට හේතු වේ. ඉදින් දුගතියේ නොඉපිද මිනිසකු වී රජ බමුණු, ආදී කුමන කුලයක උපත ලැබූව ද අල්ප ආයුෂ ලබන්නේ ය.
තරුණය, මේ ලෝකයේ යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සතුන් කෙරෙහි කරුණාව ඇත්තේ, එම සතුන් මැරීමෙන් වැළකෙයි ද ඔහුගේ හෝ ඇයගේ මේ ක්‍රියාව මරණින් මතු සුගතියේ උපතට හේතු වේ. ඉදින් එසේ නොවී මිනිසකු වී රජ බමුණු ආදී කුමන කුලයක උපත ලැබුව ද දීර්ඝායුෂ ලබන්නේ ය. යම් පුද්ගලයෙක් පණ ඇති සතුන් කෙරෙහි කරුණාව නැත්තේ අතින් පයින් හෝ දඬුමුගුරුවලින් හෝ අවි ආයුධවලින් අසරණ වූ සත්වයන්ට හිංසා කරයි ද ඔහුගේ මේ ක්‍රියාව මරණින් මතු දුගතියේ උපතට හේතු වේ. නොඑසේ නම් මිනිසකු වී උපත ලබයි ද රෝගී පුද්ගලයෙක් වෙයි.
තරුණය, පණ ඇති සතුනට කරුණාවන්ත වූ යම් පුද්ගලයෙක් සත්ව හිංසාවෙන් වැළකෙයි ද මේ ක්‍රියාව මරණින් මතු සුගතියේ උපතට හේතු වේ. නොඑසේ නම් මිනිසකු වී උපත ලබයි ද හෙතෙම නිරෝගී පුද්ගලයෙක් වෙයි.” බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දී මිනිසුන් අතර ඇති වෙනත් වෙනස්කම්වලට ද හේතු සුභ තරුණයාට විස්තර කර දුන් සේක.
නිරෝගී බවත්, දීගායු ලැබීමත් ඉබේ ඇති වූ දෙයක් හෝ දේව ආශීර්වාදයක් නොවන බවත්, එය හේතුවක් මත ඇති වූ ප්‍රතිඵලයක් බවත් චූළ කම්ම විභංග සූත්‍රයෙන් මනා ලෙස පැහැදිලි වෙයි.
සතුන් මැරීමත්, ඔවුන්ට වද දීමත් ඇතැම් ආගම්වල තහනම් නොවේ. එහෙත් භාවනාවෙන් සිත දියුණු කර ඇති, විශිෂ්ට වූත් අධි මානසික වූත් විද්‍යා ඤාණ 3ක් (ත්‍රිවිද්‍යා) ලබාගත් බුදුන් වහන්සේ මිනිසුන්ගේ දුක මෙන්ම සතුන්ගේ දුකත් ප්‍රත්‍යක්ෂ ලෙස දැනගත් සේක. මේ නිසා උන්වහන්සේගේ දහමෙහි සතුන් මැරීම සපුරා තහනම් වෙයි. මිනිසුන් කරන අකටයුතු 10 අතර (දස අකුසල්) මුලට ම දක්වා ඇති අතිශයින්ම පාපතර ක්‍රියාව ද සතුන් මරා දැමීම පිළිබඳවයි.
එමෙන් ම එහි විපාක ද දරුණු බව උන්වහන්සේ වරින්වර පැහැදිලි කර දුන්හ.
ධම්ම පදයේ දණ්ඩ වර්ගයෙහි මෙසේ දැක්වේ.
“සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ
දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම භයයි. මරණයටත් හැම කෙනෙක්ම භයයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන, කිසි සතෙක්ව මරන්ටත් එපා! මරවන්ටත් එපා!”
බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය (බමුණු දහම දැක්වෙන සූත්‍රය)
කොසොල් රටවැසි ධනවත් මහලු බමුණු පිරිසක් දිනක් බුදුරජුන් හමුවී, අතීතයේ විසූ බමුණන් මෙන් අද බමුණන් ද යහපත් බමුණු දහම්හි හැසිරෙන්නේදැයි බුදුරජුන්ගෙන් විමසා සිටියෝ ය. බුදුරජාණන් වහන්සේ අතීතයේ දී බමුණන් පස්කම් සුව නොතකා දන් දෙමින් පිරිසිදු සීලය රැක තවුස් ජීවිත ගත කළ බව ඔවුන්ට පහදා දුන් සේක.
එහෙත් අද සිටින බමුණන් පස්කම් සුවයට ගිජු වී, පවුකම් කරමින්, දෙවියන් සතුටු කිරීම සඳහා සතුන් මරා බිලිපූජා කළ යුතු බව පවසමින් (යාගහෝම කරමින්) රජුන් පවා රවටන බව විස්තර කළ සේක.
දිව්‍ය ලෝකවල දෙවිවරු කම්පා වෙති.
සතුන් මැරීම ඇරඹුණු දින දෙවිවරු කම්පා වූ අයුරුත්, ලෙඩ රෝග 98කින් මිනිසුන් පෙළෙන්ට වූ අයුරුත් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේ දී පහදා දෙන්නේ මෙසේ ය.
“තතෝ ච දේවා පිතරෝ ඉන්දෝ අසුරරක්ඛසා
අධම්මෝ ඉති පක්කන්දුං යං
සත්ථං නිපතී ගවේ
දෙවියෝ හා මහබඹා ද – ඉන්ද්‍ර අසුර හා රකුසු ද
“(අනේ!) මෙවැනි ගවයින් මත – හෙලා දැමීමෙන් ආයුධ
ඉපදුනා අධර්මය!” යයි – කිය කියා හඬා වැටුණෝ”
රෝග 98ක් ලොවට බිහිවූයේ කෙසේ ද?
“තයෝ රෝගා පුරේ ආසුං
ඉච්ඡා අනසනං ජරා
පසූනංච සමාරම්භා අට්ඨානවුතිමාගමුං
ඒ කාලේ මෙහි තිබුණේ – තුනක් පමණි රෝගයන් ද
ආශාව ත් බඩගින්න ත් – ජරා දුකට පත් වීම ත්
මේ ගව ඝාතනය නිසා – රෝග අනූඅටක් වුණා”
සත්ව ඝාතනය සමඟ ලොව යහගුණදම් කණපිට පෙරළී, පස්කම් සැපතට ගිජු වූ මිනිසුන් තව තවත් පව්කම් කිරීමට පටන් ගත් අයුරු ද ඒ සමඟ අධර්මය ලොව පුරා පැතිර ගිය අයුරු ද බුදූරජාණන් වහන්සේ බමුණු පිරිසට එම සූත්‍රයේ දී පහදා දෙන සේක.
කේ. කමලා කුලතුංග
Recent Comments