තාක්ෂණික භාවිතය බහුල යුගයකයි අපි මේ ඉන්නේ. ස්මාර්ට් ෆෝන්, ටැබ්, ලැප්ටොප්, ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉන්ස්ටර්ග්‍රෑම්, ඊමේල්… මේ වගේ නොයෙකුත් විද්‍යුත් භාවිතාවන් එක්ක නිතර මුහුවෙන අපි ඒ ඒ තැන්වලදි යොදා ගන්න සේයාරූවලට අදාළ කථාවක් අප කාටත් තියෙනවා… එවැනි තැනක, මට නිතර ඇස ගැසෙන පරිදි මා හිතාමතා ම තබා තිබෙන සේයාරුවක අපගේ ශාස්තෘන් වහන්සේගේ නිබ්බානචේතිය දැක්වෙනවා. එය දුටු මගේ මිත්‍රයෙකුට මා එයට අදාළ කථාව පැවසුවා. “පිනෙන් අග්‍ර වූ, නුවණින් අග්‍ර වූ, ගුණයෙන් අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ද පිරිනිවන් පෑ බවත්, මා වැන්නෙකුගේ මරණය ගැන කථා කරන්නට දෙයක් නැති බවත් මට නිතර සිහි වෙන්නයි ඒ සේයාරුව යෙදුවේ…!” ඒ වෙලාවේ මගේ මිත්‍රයා අපූරු කාරණයක් ඇසුවා… “මිනිස්සු මරණයට මුහුණ දෙනවා. කවුරු මැරුණා වුණත්, ඒ ඒ මොහොතට මුහුණ දීලා මිනිස්සු ආයේ සාමාන්‍ය විදිහට කටයුතු කර ගන්නවා. එහෙම එකේ, මරණය ගැන හිත හිතා මරණය ජීවත් කරවන්න ඕනෙ ද?” මේ දහම් පර්යායයන් මට කියා දුන්නු කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලාටත්, මාව ප්‍රශ්න කරපු මගේ මිත්‍රයාටත් පින් සිදු වේවා!

මේ ලිපිය ලියැවෙන්නේ ඒ පිරිස නිසාවෙනුයි…

හුදු මතකයක් වන මරණය

දැනුම් තේරුම් තියෙන කාලේ පටන් අපටත් අහන්න දකින්න ලැබුණේ ම ‘මරණය’ කියන්නේ කථාබහට ලක් නොකළ යුතු මාතෘකාවක් කියලයි. මරණය ගැන කෙරෙන කථා ජනසමාජයේ හැඳින්වුණේ ‘මූසල කථා’ විදිහට. මරණය ම නියත උරුමය කරගත්තු ඉපදීමක් තුළ ඒ ඇත්ත ගැන කථා කරන්න, සිහි කරන්න සමාජයේ පුදුම සහගත පැකිළීමක් තිබෙනවා… පැකිළුණත් – නැතත්, අපි හැමෝමත් – අන් හැම දෙනාමත් යම් දවසක දී මැරෙනවා.

කිසිවෙක් නොමළ ගෙයක් කොහෙන්වත් හොයා ගන්නට බෑ. ඉතින් ඒ විදිහට තමන්ගේ ආදරණීයයන් මරණයට පත් වෙද්දි බොහෝ අය හඬා වැළපෙනවා. සමහරු කඳුළුවලට ඉඩ නොදී හිතේ හයියෙන් ඉන්නවා. කලාතුරකින් හරි වුණත් සමහර උදවියට ඒ මරණයන් දරා ගන්න ම බැරිව ඒ හේතුවෙන් ම ඔවුනුත් මරණයට පත් වෙනවා.

හඬා වැළපුණු හෝ හිතේ හයිය තියාගෙන ඒ අවස්ථාවට මුහුණ දුන්නු උදවිය කලින් කලට අර මිය පරලොව ගිය ඥාතීන් ගැන සිහි කරනවා. මුලින් මුලින් නම් සිහි වෙන්නේ ප්‍රියවිප්පයෝගයේ සසැලීම සහිත ව. හැබැයි, කාලය ගත වෙද්දි (මගේ මිත්‍රයා කියූ විදිහට ම) ඔවුන් ඒකට හුරු වෙනවා. ඔවුන්ගේ මරණය එළඹෙන තුරු ම ඒක තමයි කථාව… ආයෙ ආයෙමත් ඕක ම තමයි කථාව…!

හිතේ හයියට දරා ගැනීම

සිදුවීම්වලට මුහුණ දෙන්නේ ධර්මය පුරුදු කරන උදවිය පමණක් නෙමෙයි. ඒ නිසා ම ධර්මය තුළ රැඳෙමිනුත්, ධර්මයෙන් බැහැරවත් සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීම ලෝකයේ දකින්න ලැබෙනවා. මේ දෙකේ වෙනසක් තිබෙනවා ද කියන කාරණය නිරවුල් කර ගත්තොත්, මරණය ජීවත් කළ යුතු ද කියන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ලැබෙනවා.

ඇත්තටම එහෙම වෙනසක් තිබෙනවා ද?

දුප්පත් පොහොසත්, උගත් නූගත්, රූපී විරූපී, ස්ත්‍රී පුරුෂ, බාල මහලු, බලවත් දුර්වල ආදී නොයෙක් බෙදා වෙන් කිරීම් ලෝකයේ කොතෙකුත් දකින්න ලැබුණත් සම්බුද්ධ රාජ්‍යයක දී මේ හැමෝම බෙදෙන්නේ කොටස් දෙකකට පමණ ම යි. ඒ තමයි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයන් සහ අශ්‍රැතවත් පෘථග්ජනයන්.

මරණයක දී හඬා වැළපීම, සිහි විකල් වීම, සසැලීම අයිති අශ්‍රැතවත් පෘථග්ජනයන්ට. දැඩි සිත නිසා ඒ වෙලාවට කෙනෙක් උපේක්ෂාවට පත් වුණා කියලා හිතමු. ඒත් ඒ උපේක්ෂාව කුසල පාර්ශවික නැහැ. කුසල් පිරිහෙන, අකුසල් වැඩෙන උපේක්ෂාවක් ලෝකයේ පවතින බව සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා (කීටාගිරි සූත්‍රය). ඒ උපේක්ෂාව තිබෙන්නේ මෝහය අනුසය කරගෙනයි. ඇත්ත ඇති සැටියෙන් දනිමින්, දකිමින් උපදනා අකම්පිත බවක් නෙමෙයි ඒ…

දකින උදවිය ‘හරි හයිය හිතක්’ කියා ඔවුන් ව පසසනවා වන්නට පුළුවනි. ඔවුන්ට ම වුණත් ‘මගේ හිත හයියයි’ කියා හිතෙන්නටත් පුළුවනි. ඒ හැමෝම ඒ මොහොතේ විශ්වාස කරන දේ තමයි සිත… චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙන සිත විශ්වාස කරනවා කියන එක, එවන් සිතක ශක්තිය කෙරෙහි විශ්වාසය තබනවා කියන එක ඡද්දන්ත හස්තිරාජයෙක් ව මකුළු දැලක් මතින් ගඟකින් එගොඩට ගන්න පුළුවන් ය කියලා විශ්වාස කරනවා වගේ ම වැඩක්…

දෙපිරිසේ වෙනස

සිත ම තමයි අපි ව සසරේ මේ තරම් දුර සුගති දුගති අතරින් ගෙනාවේ. ඒ සිත ම තමයි අපට කුසල් දහම් කරන්න කියන්නේ. ඒ සිත ම යි අපව පාපයෙහි යොදවන්නේ. සිත ගැන අවබෝධ කළ තථාගතයන් වහන්සේ වදාළේ “සිත විශ්වාස කරන්න” කියලා නෙමෙයි, “සිත වඩන්න” කියලයි. කුමකින් ද? සමථ විදර්ශනාවෙන්…

ප්‍රියමනාප දේ ගැන ආසාව ඇති වෙන්නේ සිතේ. එයින් සැප විඳීමක් උපදිනවා. අප්‍රිය අමනාප දේ ගැන තරහව උපදින්නෙත් සිතේ. එයින් දුක් විඳීමක් උපදිනවා. ඔය විඳීම් දෙක ම නූපදවන – අපට පෙනෙන ඇහෙන දැනෙන විඳින දේවලුත් බොහොමයක් තිබෙනවා. විශේෂයෙන් නොතේරුණාට ඒ වෙලාවට සිතේ සැප දුක් රහිත විඳීමක් – උපේක්ෂාවක් තමයි උපදින්නේ. එයට මූලික වෙන්නේ මෝහය. ඔය තමයි අශ්‍රැතවත් පෘථග්ජනයාට ලෝකය සමඟ තිබෙන ගනුදෙනුව.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඇත්ත ඇති සැටියෙන් දකින්න සිත පුහුණු කරමින් ඉන්න කෙනෙක්. ලෝක ධර්මයන්ට මුහුණ දෙද්දී ඔහුට සිහිවෙන්නේ ම ශ්‍රී සද්ධර්මය. සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකය අවබෝධ කළ බව, ඒකාන්තයෙන් ම ශ්‍රී සද්ධර්මය මැනැවින් දේශනා කරන ලද්දක් බව, සංඝරත්නය කෙලෙස් නසන ඒ මඟෙහි පිළිපන් බව ආර්ය ශ්‍රාවකයා හැමකල්හි සිහි කරනවා. මේ පුහුණුව…, හේතූන්ගෙන් හටගත් දේ කෙරෙහි ආසාවෙන් ඇලී යාම, ද්වේෂයෙන් ගැටී යාම හා මෝහයෙන් දරා ගැනීම වෙත නොගොස් අනිත්‍යයත්, දුකත්, තම වසඟයේ පැවැත්විය නොහැකි බවත් දකින නුවණැස පාදා දෙනවා. ඒ තමයි දෙපිරිසේ වෙනස.

කෙනෙකුගේ මරණය බොහෝ පිරිසකට හුදු මාතෘකාවක් හා සිදුවීමක් පමණක් ම වෙද්දී ඒ මරණය ම කෙනෙකු ව නොපමා ව කුසල් දහම් රැස් කළ යුතු ය කියන කුසලච්ඡන්දයේ පිහිටුවන්නේ මේ වෙනසෙන් තමයි…

මරණය ගැන සිතා අප්‍රමාදය කරා…

තමනුත් මැරෙන බව දන්න, ඒ මරණයට ජීවිතය හැම මොහොතෙම නිරාවරණය වී තිබෙන බවත් දන්න, ශ්‍රී සද්ධර්මය ද දරාගෙන සිටින කෙනෙකුට අනුන් ගැන හොය හොයා, අනුන්ගේ වැරදි අඩුපාඩු එක්ක පොර බදිමින්, සාධාරණය – අසාධාරණය ගැන ඔට්ටු වෙවී නාස්ති කරන්න කාලයක් නැහැ. නූපන් කුසල් උපදවන්නත්, උපන් කුසල් දියුණුපමුණු කරන්නත් ඒ කෙනා අප්‍රමාදී වෙනවා. උපන් අකුසල් ප්‍රහාණය කරන්නත්, නූපන් අකුසල් නූපදවා සිටින්නත් ඒ කෙනා අප්‍රමාදී වෙනවා. ඒ අප්‍රමාදී බව උපදින්නේ සිත විශ්වාස කිරීමෙන් නෙමෙයි; ධර්මය විශ්වාස කිරීමෙන්…

සිහි කර කර හිටියත් නැතත්, අපත් අන් අයත් යම් දවසක මැරෙනවා තමයි. මැරෙන දවස, ඒ ගැන කිය කියා අපේ පස්සෙන් එන්නෙත් නෑ තමයි. හැබැයි, මරණය සිහි කිරීම තුළ අප්‍රමාදය උපදිනවා. කුමක් කෙරෙහි අප්‍රමාදය ද? කුසල් දහම් දියුණු කරලීම පිණිස සහ අකුසල් ප්‍රහාණය පිණිස…! කෙලෙස් සහමුලින් නසන, කුසලයෙහි පිරිපුන් බවට පැමිණෙන, එයින් විමුක්තියට පත් වන පරිපූර්ණ මඟ විවර කළ සම්බුද්ධ ශාසනයක දී යම් කෙනෙකු අප්‍රමාදී වෙනවා නම් ඊට වඩා ලාභයක් ජීවිතයකට උරුම ද? ඒ නිසා, මරණය ජීවත් කරවන්න. මරණය ජීවත් කරවීම ඔබට ඔබ ව පින සහ කුසලය තුළ ජීවත් කරවීමටයි අනුග්‍රහ දක්වන්නේ…! සම්බුද්ධ ශාසනයක් ගැන අසන්නටවත් නොවුණ යුගයක නම් මරණය සිහි නොකර, ඒ ඒ තැනට ඒ ඒ චිත්තාවේගයන්ගෙන් පිළියම් යෙදුවාට කමක් නැහැ. හැබැයි, අප මේ සිටින්නේ සම්බුද්ධ රාජ්‍යය ජීවමාන යුගයක. පිරිසිදු ව ම මිහිරි ශ්‍රී සද්ධර්මය දන් දෙන සත්පුරුෂයන් වහන්සේලා වැඩ වෙසෙන යුගයක. එහෙම යුගයකත් අප ප්‍රමාදයට ම ඇද වැටෙනවා නම්, අප ගැන කිව යුත්තේ ‘ජීවමාන ධර්මයක් තුළ මළකඳන්’ කියලයි… සෙනෙහසින් කියන්නේ…, මැරෙන්න කලින් මැරෙන්න එපා…!

සටහන – උදුලා පද්මාවතී.