තුන් ලෝකයයේ ම සියලු ම සත්වයන් අතර සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඤාණ දර්ශනයෙන් අග්‍රස්ථානයට, ශ්‍රේෂ්ඨස්ථානයට පත් වී වදාළේ අප සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජාණන් වහන්සේ ය. එය වනාහී නිකෙලෙස් වූ, පරම පිවිතුරු වූ නිරහංකාරී නායකත්වයකි. දෙවි මිනිසුන්ගේ ජීවිත සුවපත් කරනා ලොව්තුරු, පූජනීය, නිර්මල නායකත්වයකි. අවිද්‍යා අන්ධකාරය නසා දමා විද්‍යාවේ ආලෝකය උදා කළ ඒ සම්බුද්ධ රාජ්‍යයේ සුවිසල් ප්‍රාකාරය පාරිශුද්ධ සීලයෙන් නිර්මිත ය. එහි මාළිගා සමාධියෙන් නිර්මිත ය. එහි ප්‍රඥාවෙන් කළ ස්වර්ණමය කොත් පලඳවා තිබේ. ඒවායින් නිරතුරු විහිදෙන්නේ ධර්ම විමුක්ති රශ්මිය යි. ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ අනුත්තර වූ ධර්මරාජයාණෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ය. දෙවි මිනිසුන්ට නිවන් මග පෙන්වා දෙමින්, සම්බුද්ධ රාජ්‍යයේ අසහාය නායකයාණන් ලෙස බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් පුරා වැඩ සිටි සේක.

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ…

වෙසක් සඳේ සඳ කිරණින් ලොව නැහැවී ගිය පින්බර පුන්පොහෝ දිනක බුද්ධගයා බෝමැඩ දී සනාතන විමුක්තිය සාක්ෂාත් කළ භාග්‍යවතුන් වහන්සේ වීතරාගී, වීතදෝෂී, වීතමෝහී චිත්ත සන්තානයක් උපදවා ගත් සේක. ශාන්ත සමාහිත බවත්, නිරාමිස ප්‍රීතියත්, මධ්‍යස්ථ භාවයත්, අකම්පිත බවත්, සොඳුරු අධිෂ්ඨානයත්, පිවිතුරු හුදෙකලාවේ රසයත්, දයානුකම්පාවත්, විස්මිත බුද්ධියත් ඒ සම්බුදු දිවිය තුළ පිරී ඉතිරී තිබුණි. භාග්‍යවතුන් වහන්සේ සතු අපරිමිත ආර්ය සීලස්කන්ධය ද ඒ පාරිශුද්ධ බ්‍රහ්මචාරී බව ද සැබැවින් ම අසිරිමත් ය. වරක් සිය ශ්‍රාවකයන් අබිමුව ශාස්තෘන් වහන්සේ සිය පිවිතුරු බඹසර දිවිය ගැන සිහනද පැතිරුවේ මෙලෙසිනි.

“බ්‍රාහ්මණය, යම් පුද්ගලයෙකු අරභයා නිවැරදි අයුරින් මෙසේ කියයි නම්, එනම් නොකැඩුණු, සිදුරු නොවූ, කැලැල් නොවූ, පැල්ලම් නොවූ, පරිපූර්ණ වූ, පරිශුද්ධ වූ බඹසරෙහි හැසිරෙන්නේ ය කියා එකරුණ බ්‍රාහ්මණය, නිවැරදි අයුරින් පවසන්නේ නම් මා අරභයා ම කියන්නේ ය. බ්‍රාහ්මණය, මම වනාහී නොකැඩුණු, සිදුරු නොවූ, කැලැල් නොවූ, පැල්ලම් නොවූ, පරිපූර්ණ වූ, පරිශුද්ධ වූ බඹසරෙහි හැසිරෙන්නෙක්මි.”

මෙසේ වදාළ විට ජාණුස්සෝණි නම් එම බ්‍රාහ්මණයා මෙසේ විමසා සිටියේ ය.

“කිම භවත් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩුණා වූත්, සිදුරු ඇත්තා වූත්, පැල්ලම් ඇත්තා වූත්, කැළැල් ඇත්තා වූත් බඹසර යනු කුමක් ද?”
එවිට භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මචාරී බව අපිරිසිදු වන කරුණු එකිනෙක මෙසේ පෙන්වා වදාළ සේක.

“බ්‍රාහ්මණය, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මනා කොට බ්‍රහ්මචාරී වෙමි යි ප්‍රතිඥා දෙන්නේ ය. හේ ස්ත්‍රියක සමඟ දෙදෙනා එක්වීමකට නොපැමිණෙයි. එනමුත් ස්ත්‍රියක් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැහැවීම්, සම්බාහනය කිරීම් ඉවසයි. හේ එයින් ආස්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි.

බ්‍රාහ්මණය, මෙයත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැළැල් ඇති බඹසර යි. බ්‍රාහ්මණය, මෙතෙමේ මෛථූන ධර්මය හා එක්වූයේ අපිරිසිදු බඹසරෙහි හැසිරෙන්නේ ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීමෙන් නොමිදෙන්නේ ය. සසර දුකින් නොමිදෙන්නේ යැයි කියමි.

තව ද බ්‍රාහ්මණය, ඇතැම් ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, මනා කොට බ්‍රහ්මචාරී වෙමි යි ප්‍රතිඥා දෙන්නේ ය. එනමුදු ස්ත්‍රියක් සමඟ කවටකම් කරමින් සිනහසෙයි. ක්‍රීඩා කරයි. මහ හඬින් සිනහසෙයි. හේ එයින් ආස්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය, මෙයත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැළැල් ඇති බඹසර යි.

හේ ස්ත්‍රියක් සමඟ කවටකම් කරමින් නොම සිනහසෙයි. ක්‍රීඩා නොකරයි. මහ හඬින් නොම සිනහසෙයි. එනමුදු සිය ඇසින් ස්ත්‍රියකගේ ඇස දෙස නැවත නැවත බලයි. හොඳින් බලයි. හේ එයින් ආස්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය මෙයත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැළැල් ඇති බඹසරයි.

හේ සිය ඇසින් ස්ත්‍රියකගේ ඇස දෙස නැවත නැවත නොබලයි. හොඳින් නොබලයි. එනමුදු බිත්තියෙන් පිටත වේවා, ප්‍රාකාරයෙන් පිටත වේවා, සිනහසෙන්නා වූ හෝ කතා බස් කරන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ ස්ත්‍රියකගේ හඬ අසයි. හේ එයින් ආස්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය මෙයත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැළැල් ඇති බඹසරයි.

හේ බිත්තියෙන් පිටත වේවා, ප්‍රාකාරයෙන් පිටත වේවා, සිනහසෙන්නා වූ හෝ කතා බස් කරන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ ස්ත්‍රියකගේ හඬ නොඅසයි. එනමුදු හේ බ්‍රහ්මචාරී වීමට කලින් යම් ස්ත්‍රියක් සමඟ කතා කළ, දෙඩූ, ක්‍රීඩා කළ යමක් ඇත් ද එය සිහි කරයි. හේ එයින් ආස්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය මෙයත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැළැල් ඇති බඹසරයි.

හේ බ්‍රහ්මචාරී වීමට කලින් යම් ස්ත්‍රියක් සමඟ කතා කළ, දෙඩූ, ක්‍රීඩා කළ යමක් ඇත් ද එය සිහි නොකරයි. එනමුදු හේ පංච කාමගුණයන් පිරිවරාගෙන, එයින් යුක්තව, එයින් සතුටු වෙමින් සිටින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ දකියි. හේ එයින් ආස්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය මෙයත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැළැල් ඇති බඹසරයි.

හේ පංච කාමගුණයන් පිරිවරාගෙන, එයින් යුක්තව, එයින් සතුටු වෙමින් සිටින ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ නොදකියි. එනමුදු හේ කුමන හෝ දෙව්ලොවක ඉපදීමේ අපේක්ෂාවෙන් බඹසර වසයි. “මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් වන්නෙමි. අන්‍ය හෝ දෙවියෙක් වන්නෙමි” කියා ය. හේ එයින් ආස්වාදය ලබයි. එයට කැමති වෙයි. එයින් සතුටට පත්වන්නේ ද වෙයි. බ්‍රාහ්මණය මෙයත් බ්‍රහ්මචාරී තැනැත්තාගේ කැඩී ගිය, සිදුරු ඇති, පැල්ලම් ඇති, කැළැල් ඇති බඹසරයි.

බ්‍රාහ්මණය, මෙතෙමේ මෛථූනය ධර්මය හා එක්වූයේ අපිරිසිදු බඹසරෙහි හැසිරෙන්නේ ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීමෙන් නොමිදෙන්නේ ය. සසර දුකින් නොමිදෙන්නේ යැයි කියමි.”

වීතරාගි මුනි ගුණ සුදිලෙන්නේ…

බ්‍රාහ්මණය, මම යම්තාක් මේ සප්තවිධ මෛථූන සංයෝගයන්ගෙන් කවර හෝ දෙයක් කවර හෝ මෛථුන සංයෝගයක් තමා තුළ ප්‍රහීණ නොවී ඇති බව දුටුවෙම් ද, බ්‍රාහ්මණය, ඒ තාක් කල් මම දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා නොදුන්නෙමි.

බ්‍රාහ්මණය, මම යම් කලෙක මේ සප්තවිධ මෛථූන සංයෝගයන්ගෙන් කවර හෝ දෙයක් කවර හෝ මෛථුන සංයෝගයක් තමා තුළ ප්‍රහීණ නොවී ඇති බව නුදුටුවෙම් ද, බ්‍රාහ්මණය, එකල්හී මම දෙවියන් සහිත, බඹුන් සහිත, මරුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ බවට ප්‍රතිඥා දුන්නෙමි.

වඳිමු සුගත ශාක්‍යසිංහ සසර දිනූ බුදු පියා…

වරක් තණ්හා, රති, රගා යන මාර දූවරුන් පාපී මාරයාට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මෙසේ පවසා සිටියෝ ය.

“පියාණෙනි, අපි ස්ත්‍රීන් නෙව. රාගය නමැති තොණ්ඩුවෙන් ගැටගහගෙන ඔහුව රැගෙන එන්නෙමු.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිය මාර දූවරුන් නොයෙක් ඉඟි බිඟි පාමින් මෙසේ කීහ.

“ශ්‍රමණයන් වහන්ස, අප ඔබ වහන්සේගේ පාදපරිචාරිකාවන් වෙන්න කැමතියි”

එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ වචන කිසි ගණනකට ගත්තේ නැත. ඔවුන් දිහා බැලුවේවත් නැත. ඉන් පසු මාර දූවරුන් භාග්‍යවතුන් වහන්සේ ව පොළඹවා ගන්න අදහසින් නා නා විප්‍රකාර දැක්වූහ. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගොස් හය වතාවක් ම “ශ්‍රමණයන් වහන්ස, අප නුඹ වහන්සේගේ පාදපරිචාරිකාවන් වෙන්න කැමතියි” කියා ඇවිටිලි කළහ. බුදුරජාණන් වහන්සේට ඒ කිසිවක් අදාළ වුණේ නැත. උන්වහන්සේගේ සිතට යාන්තමින්වත් ඒ කිසිවක් අරමුණු වුණේ නැත. අවසානයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“එම්බා ස්ත්‍රීනී, ඉවත්ව යන්න. වීතරාගී කෙනෙකු ඉදිරියේ මෙවැනි විප්‍රකාර කිරීම වටින්නේ නෑ. තථාගතයන් වහන්සේට රාගාදිය මුළුමනින් ම ප්‍රහාණය වෙලා තියෙන්නේ.”

එසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මධුර ස්වරයෙන් මෙම ගාථාවන් වදාළ සේක.

යස්ස ජිතං නාවජීයතී – ජිතමස්ස නෝ යාති කෝචි ලෝකේ
තම්බුද්ධමනන්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ

බුදු කෙනෙක් ලොව දිනාගත් විට – පැරදුමක් කළ නොහැක කිසි විට
මුනිඳු ලත් ජය තිරය හැමවිට – හඹා ඇවිදින් පලක් නැතිකොට
මහා නුවණින් දිලෙන මුනිඳුට – කෙලෙස් නැති ගමනකින් යුතු විට
රවට්ටන්නේ මුනිඳු කෙලෙසට?

යස්ස ජාලිනී විසත්තිකා – තණ්හා නත්ථි කුහිංචි නේතවේ
තම්බුද්ධමනත්තගෝචරං – අපදං කේන පදේන නෙස්සථ

ලොවේ තණ්හා දැලේ පැටලෙන – කිසි දෙයක් නැත්තේ ය මුනිඳුට
මහා නුවණින් දිලෙන මුනිඳුට – කෙලෙස් නැති ගමනකින් යුතු විට
රවට්ටන්නේ මුනිඳු කෙලෙසට ?

මේ ගාථාවන් වදාළ වේලෙහි මාර දූවරුන් තැති ගත්හ. බියට පත්වුණහ. කම්පා වුණහ. ලැජ්ජාවට පත්ව එතන ම නොපෙනී ගියහ. ඒ සිදුවීම සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළ සේක.

දිස්වාන තණ්හං අරතිං රගඤ්ච
නාහෝසි ඡන්දෝ අපි මේථුනස්මිං
කිමේවිදං මුත්තකරීසපුණ්ණං
පාදාපි නං සම්ඵුසිතුං න ඉච්ඡේ

තණ්හා අරතී රගා නම් වූ – මාරයාගේ දියණිවරු දැක
ඇති වුණේ නෑ කිසි කැමැත්තක් – ඔවුන් හා වාසයක් කිසිවිට
පිරී ගිය මල මූ වලින් මේ – කුණු කයක් දුටු විටදි මෙලෙසින්
පාදයෙන් වත් පහස ලැබුමට – කැමැත්තක් ඇති නොවේ කිසිවිට

මෙසේ පාරිශුද්ධ චිත්ත සන්තානයක් දරා වැඩ සිටි අප්‍රමාණ සම්බුදු ගුණ මහිමයෙන් හෙබි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි)