විවාහ වන සියලු දෙනාගේ ම ඒකායන අභිප්‍රාය ඉතා සුන්දර පවුල් ජීවිතයක් ගත කිරීමයි. නමුත්, එකී අදහස සාර්ථකත්වයට පත්කර ගන්නේ අතළොස්සක් පමණි. බොහෝ ධනය වියදම් කොට මහා ඉහළින් ගත් විවාහය දින කිහිපයකින්ම අවසන් වී යන අවස්ථා එමට ය. දීර්ඝකාලීන ප්‍රේම සම්බන්ධතාවකින් පසුව විවාහ වූ අය ටික දවසින්ම නයි මුගටි සේ වෙති. තවත් සමහරු ගළපන්නට ඇති සියලු පොරොන්දම් ගළපාගෙන, තිසරණය ද අහිමි කරගෙන විවාහ වෙති. එකී විවාහය ද දින කීපයකි. බොහෝ පවුල්වල තිබෙන්නේ මහත් අවුල් වියවුල් ගොඩකි. සමහර විට මහ ඉහළින් නොගත්, පොරොන්දම් ද නැති විවාහ තුළ ඒ අය සතුටින්, සෙනෙහසින් සිටිති. එසේ නම් අප තේරුම් ගත යුතු දෙයක් මෙහි තිබේ. එනම් විවාහයට වියදම් කරන මුදලවත්, පැවැත්වූ හෝටලයවත්, පැමිණි පිරිසවත්, ගැළපූ පොරොන්දම් ගණනාවවත් ඒ අයගේ සාර්ථක පවුල් ජීවිතයට බල නොපාන බව ය.

සාමාන්‍යයෙන් දෙදෙනෙක්ගේ විවාහයක් සිදුවන්නේ ඒ දෙදෙනාගේ කර්මයට අදාළ ව ය. එය කාටත් නොපෙනෙන දෙයක් වුවත් කා හටත් පසක් වන්නේ කලක් ගිය පසුව ය. එයට අමතරව තවත් බොහෝ කාරණා සාර්ථක විවාහ ජීවිතයකට උපකාරී වෙයි. ඒ අතරත් ප්‍රධාන වශයෙන් බලපාන සාධකය විවාහ වන දියණියගේ කාර්යභාරය යි. මන්ද ඇය පැමිණෙන්නේ අලුත්ම පරිසරයකට ය. අලුත් ඥාති පිරිසක් වෙතට ය. එබැවින් ඇය සතුව බොහෝ වගකීම් තිබේ. මින් අදහස් කරන්නේ ස්වාමියාටත්, අන් අයටවත් වගකීම් නැතැයි කියා නම් නොවේ. ඔවුන්ටත් වගකීම් තිබේ. ඒවා ද අනිවාර්යයෙන්ම ඉටු කළ යුතුය. නමුත්, එම දියණියගේ කාර්යභාරය සුවිශේෂී වේ. ඒ අතරින් ඉවසීම ප්‍රධාන වෙයි. ඒ වටා අනෙක් සියල්ල බැඳී තිබෙන්නේ ය. ඉවසීම නැති තැන සාර්ථක බවෙහි සේයාවක් ද නැත්තේ ම ය. එබැවින් ඉවසීමට මූලිකත්වය හිමි වෙයි.

අප කවුරුත් දන්නා දියණියකට තම විවාහයට ඉතා අගනා නිධානයක් ලැබුණි. ඒ තමන්ගේ ආදරණීය පියාගෙන් ය. ඇත්තෙන්ම ඒ නිධානය මෙකල දියණිවරුන්ටත් ලැබුණොත් හරි අගනේ ය. ඇය අන් කවුරුත් නොවේ; ධනංජය සිටුතුමාගේ දියණිය යි. මෙණ්ඩක මහ සිටුතුමාගේ මිණිබිරිය යි. ඕ විශාඛාවෝ ය. ඇය වයස අවුරුදු හතේ දී සෝවාන් වන්නට තරම් මහත් පිනැත්තියක් වූවාය. පසු කාලයේ මේ බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායිකාව වශයෙන් අග තනතුරු ද ලැබුවා ය. විශාඛා විවාහ වන්නේ මිගාර සිටුතුමාගේ පුත් පූර්ණවර්ධන සිටු කුමාරයා සමගින් ය. ඇයගේ විවාහ මංගල්‍යයට පෙර දින සිය පියාණන් වූ ධනංජය සිටුතුමා විසින් ඇයට නිධානයක් බඳු මේ අවවාද ලබා දෙනු ලැබිණ.

“දියණියනි, කුලගෙදර ජීවත්වන ස්ත්‍රිය ඉතා හික්මීමෙන් යුක්තව වාසය කළ යුතු ය. නැන්දා මාමා පුංචි ඉඩ කඩක්, වරදක් දකින කල අපට ම නින්දා කරන්නේ ය. ඒ නිසා ඇතුළෙන් ගිනි පිටතට නොයවන්න. පිටතින් ගිනි ඇතුළට නොගෙනෙන්න, දෙන්නන්ට දෙන්න, නොදෙන්නන්ට නොදෙන්න, දෙන්නන්ටත් නොදෙන්නන්ටත් දෙන්න, සුවසේ ඉන්න, සුවයෙන් නිදා ගන්න, සුවයෙන් ම හිඳ ආහාර ගන්න, ගිනි පිරිමසන්න, ඇතුළු ගෙයි දෙවියන් පුදන්න.” ධනංජය සිටුතුමා මෙසේ අවවාද දහයක් අරුත් හකුළුවා ප්‍රකාශ කළේ ය. එදා විශාඛාට මෙම අවවාද ප්‍රකාශ කළ පසු ඇය මෙහි අදහස කුමක්ද, මෙහි අදහස කුමක්දැයි කියා අසන්නට නොගියා ය. එයට හේතුව ඇය මහා ප්‍රඥාවන්ත බැවිනි. ඒ සෑම අවවාදයක් ම ඇයට මනාකොටම වැටහුණි. නමුත් අද ජීවත්වන දියණිවරුන්ට ඒ තරම් ප්‍රඥාවක් ඇතැයි නොසිතමි. එබැවින් ඒ අවවාදයන් මේ අයුරින් විස්තර ලෙස දැන ගනිමු. ඇත්තටම මේ අවවාද විවාහ වී සිටින අයටත්, අනාගතයේ පතිකුලයට යන්නට සිටින අයටත් නිධානයක් බඳු ය. මන්ද අද බොහෝ කාන්තාවන්ට නැත්තේ මෙකී ගුණයන් ය. සියලු අර්බුදයන්ට හේතුව එයයි.

ඇතුළෙහි ගිනි පිටතට නොයවන්න

මේ අවවාදය තේරුම් ගත යුත්තේ මේ ලෙසිනි. දියණියක විවාහ වී නව නිවසකට ගිය විට ස්වාමියාගේ වේවා, නැන්දා මාමණ්ඩියගේ වේවා, එහි සිටින අනෙක් අයගේ වේවා යම් යම් කුඩා වරදවල් දකින්නට පුළුවනි. අන්න එවැනි වැරදි, අඩුපාඩු ඒ නිවසෙන් පිටතට නොගෙනිය යුතු ය. අඩු වශයෙන් තමාගේම නිවසේ අයටවත් නොකිව යුතු ය. එසේ කීමෙන් සිදුවන්නේ මහා ගින්නක් හට ගැනීම ය. අද කාලයේ බොහෝ දියණිවරුන් සිදු කරන්නේ ගිය දා පටන් එහි සිටිනා අයගේ අඩුපාඩු, වැරදි තමන්ගේ නිවසට හෝ වෙනත් අයට කීම ය. එකල මෙන් නොව මෙකල තාක්ෂණය දියුණු ය. දුරකථන ආදී නොයෙක් සන්නිවේදන උපකරණ තිබේ. ඉතින් ඔවුහු කුලගෙට පැමිණි දා පටන් ගිනි අවුළුවන්නට පටන් ගනී. ඇත්තෙන්ම එය නොකළ යුතු දෙයකි.

පිටතින් ගිනි ඇතුළට නොගැනීම

අප ජීවත් වන්නේ ඉරිසියාව බහුල ලොවක ය. ඉතිං බොහෝ අය තවත් කෙනෙක් සතුටෙන් ඉන්නවාට නම් මනාප නැත්තේ ය. එවිට කරන්නේ එකිනෙකා කොටවන්නා වූ ගතු කේළම් කීම ය. අඩුපාඩු, වැරදි කිීම ය. තමන් විවාහයට පත්වූ ස්වාමියාගේ වේවා, ඒ පවුලේ අනිත් අයගේ වේවා ඇත්තා වූ හෝ නැත්තා වූ අඩුපාඩු, වැරදි නිවසින් පිට දී අසන්නට ලැබේ. එවැනි දේවල් ඇසූ විට එසැණින් නිවසට පැමිණ “අසවල්ලු අසවල්ලු නුඹට මෙසේ කීවා, මෙහෙම බැණ්නා, දොස් කීවා” කියා ගතු කියමින් ගින්දර ඇවිළීම නොකළ යුතු ය. මෙවැනි දේවල් නිසා බොහෝ දෙනාට ජීවිත පවා අහිමි වී තිබේ. ජීවිතාන්තය දක්වා සතුරන් ඇති වේ. එකම එක පුංචි කේළමකින් පවුල් ගණනාවක් විනාශ වී යන්නට ද පුළුවන. එබැවින් පිටත ගින්දර ගේ තුළට නොගත යුතු ය.

දෙන්නන්ට දෙන්න.

සමහර අය පැමිණ අතමාරුවට හෝ ණයට හෝ යම් මුදලක්, භාණ්ඩයක් ඉල්ලති. ඒ අය කියූ සෙයින්ම එම ගත් මුදල් හෝ භාණ්ඩය නැවත ආපසු ගෙනවිත් දෙති. අන්න එවැනි, ආපසු කරදරයකින් තොරවම ගෙනවිත් දෙන අයට එලෙසින් උපකාර කළ යුතු ය. වර්තමානයේ නම් මෙවැනි අය ඉතා දුලබ ය. එබැවින් යමක් හිතුමතේ දෙන්නට පෙර සොයා බලා ස්වාමියා හෝ අනෙක් අය දැනුවත් කර දිය යුතු ය. මක් නිසා ද යත් ඒ මුදල් හෝ බඩු භාණ්ඩ තම ස්වාමියා, එසේත් නැත්නම් නිවසේ සිටින වෙනත් කෙනෙක් ඉතා දුක සේ ගෙනෙන නිසා ය. හම්බ කරන නිසා ය. ඒවා රැකගැනීම බුද්ධිමත් බිරිඳකගේ වගකීමකි.

නොදෙන්නන්ට නොදෙන්න.

මෙය පෙර අවවාදය හා සම්බන්ධ ය. පෙර කී සෙයින්ම මෙකල ගුණවත් මිනිසුන් ඉතා අල්ප ය. සමහර කපටි, වංචාකාරී අය නොයෙක් ලෙස බොරු ගොතා කියමින් ණයට මුදල් ඉල්ලන් යති. මුදල් ගන්නා තෙක් නොයෙක් වැඳුම් කරති. නමුත් එම ණය ගත් පසු ඔවුන්ට ඒවා ගැන හාන්කවිසියක් මතක නැත. ඉල්ලූ කල්හි ද “අද දෙන්නම් හෙට දෙන්නම්, පඩි ලැබුණම දෙන්නම්” කියමින් මග හරිති. ඉතිං එවැනි අයට ණයට මුදල් හෝ වෙනත් දෑ දුන් කල්හි ඒවා නැවත ලබාගන්න මහත් වෙහෙසක් ගන්නට සිදු වේ. එවැනි අයත් සමඟ ගනුදෙනු නොකළ යුතු ය. එවැන්නන් හොඳින් හඳුනාගන්නට ද දක්ෂ විය යුතු ය.

දෙන්නන්ටත්, නොදෙන්නන්ටත් දෙන්න.

ඉතා දුකට පත්වූ ඥාතීන්, දිළිඳු යාචකයෝ, තමාගේ පිහිට උපකාර අවශ්‍ය යම් කෙනෙක් පැමිණ යම්කිසි උපකාරයක් ඉල්ලූ විට ඔවුන් පසුව දෙන්නේ ද නොදෙන්නේද යන්න නොසිතා උපකාර කළ යුතුය. ඔවුන් නැවත දෙන්නට හෝ නොදෙන්නට පුළුවන. මෙය නම් මෙකල දැකගන්නට නැති තරම්ය. අසරණයන්ට පිහිට වීමට තරම් සිතක් බොහෝ මිනිසුන්ට නැත. “පර දුක්ඛේ හදයං කම්පේතී’ති කරුණා..” අනුන්ගේ දුකේ දී හදවත කම්පා වීම කරුණාව යි. අද කම්පා වන හදවත් ඇතොත් ඒ අතළොස්සකි. මේ අවවාදය අද කාලයේ දියණිවරුන්ට කිසිසේත් ම ලැබෙන්නේ නැත.

සුව සේ ඉන්න.

තම පියාණන් සුව සේ ඉන්නැයි කියා විශාඛාවට පැවසුවේ මෙකල මෙන් තියෙන දෙයක් කා බී ඇඳට වී හෝ සාලයට වී ලෝකයේ තිබෙන සියලු විප්‍රකාර, පවුල් කඩාකප්පල් කරවන – රාග ද්වේෂ මෝහ අවුස්සන ටෙලි නාට්‍ය බලමින් කාලය කා දමන්නට කියා නොවේ. ස්වාමියා ගියත්, නැන්දා මාමා ගියත් නොනැගිට පුටුවකට වී ඉන්නට කියා ද නො වේ. එහි අදහස තම ස්වාමියා හෝ ඔහුගේ දෙමාපියන් හෝ වෙනත් වැඩිහිටියන් හෝ ශ්‍රමණයන් වහන්සේලා හෝ පැමිණියහොත් ඉක්මණින්, පහසුවෙන් නැගිටීමට හැකි පහසු තැනක වාඩි වී සිටිය යුතු බවයි. එසේම ඔවුන් වාඩි වී සිටිනවා නම් ඔවුන් හා සම සමව නොඉඳ තරමක් හෝ පහතින් සිටිය යුතු බවයි. වර්තමානයේ ස්ත්‍රී කා හටත් රූපවාහිනිය ළඟ වාඩි වූ විට සියල්ල අමතක වෙයි. ලිපේ බත් එක රොස් වී යයි. සැමියා නිවසට පැමිණි වගක්වත් ඔවුන් නොදනී. ඉතිං කෙසේ නම් සාර්ථක ජීවිත ගෙවන්න ද?

සුව සේ හිඳ ආහාර ගන්න.

මෙහි අදහස අනිත් අය කෑවද නැද්ද යන්නවත් නොබලා තමන් තියෙන දෙයක් කා බී සුව සේ සිටීම නොවේ. නැන්දා මාමා ස්වාමියා හා අනෙක් වැඩිහිටියන් හට ආහාර බෙදා දී, ඔවුන් කෑ බී බව හොඳින් පරීක්ෂා කර, අඩුපාඩු සපයා දී ඔවුන්ගේ කටයුතු ඉවර වූ පසු තමා ද පහසුවෙන්, විපිළිසර බවකින් තොරව සුව සේ සිට ආහාර ගත යුතුයි යන්නයි. මෙමගින් යුතුකම් ඉටු කරනවා සේ ම මහා පුණ්‍ය සම්භාරයක් රැස් කර ගන්නට ද හැකි ය. ඒ පින ද හොඳ ජීවිතයක් ගත කිරීමට ඉවහල් වෙයි.

සුව සේ නිදා ගන්න.

මෙකල බොහෝ ස්ත්‍රීන් කරන්නේ කලින්ම උයා පිහා හෝ තියෙන දෙයක් රත් කර තබා කල් ඇතුවම නින්දට යෑමයි. එසේ නැත්නම් රූපවාහිනිය අසල වාඩි වීමයි. සැමියන්ට, දරුවන්ට, දෙමාපියන්ට “උයලා තියෙන්නෙ අරගෙන කන්න..” යැයි කියති. එසේ නැත්නම් සියල්ලන්ට ම පෙර ඇඳට ගොස් වකුටු වී නිදා ගනිති. මේ අයුරින් කෙසේ නම් අන් අය සතුටු කරන්න ද? නමුත් ධනංජය සිටුතුමා විශාඛාවන් හට කීවේ ස්වාමියාගේ, දෙමාපියන්ගේ කටයුතු අවසන් කර, ඔවුන් හැමදෙනා නිදා ගත් පසු නිවසේ දොරවල් ජනෙල් වසා දමා, අනෙක් කටයුතු සොයා බලා පරීක්ෂා කොට සියල්ලන්ට ම පසුව නිදා ගත යුතු බවයි.

ගිනි පිරිමසන්න.

ස්වාමියා, නැන්දා, මාමා යනු ගින්දර හා සමාන කොට සැලකිය යුතු ය. ඔවුන්ගේ හිත් නොබිදෙන ලෙස කටයුතු කළ යුතුය. ඔවුන් ගෞරවයෙන් පිදිය යුතු ය. එකල ගින්දර පූජනීය දෙයක් වශයෙන් සලකනු ලැබිණ. විශේෂයෙන් බ්‍රාහ්මණයෝ ගින්දර, දෙවියන් හා සම කොට සැලකූහ. එසේම ස්වාමියාටත්, ස්වාමියාගේ දෙමාපියන්ටත් ගරු සත්කාර කළ යුතු ය.

ඇතුළු ගෙයි දෙවියන් පුදන්න.

මෙහි දී ‘ඇතුළු ගෙයි දෙවියන්’ යනු නැන්දා, මාමා, ස්වාමියා යන අය යි. ඉතිං ඔවුන් දුටු කල දෙවියන් දුටුවාක් සේ සත්කාර සම්මාන ඇප උපකාර කළ යුතු ය. හිස් මුදුනේ තබා වන්දනා කළ යුතු ය. ආදරයෙන් සැලකීම කළ යුතු ය. අද සමාජයේ නම් ඔවුන්ට දෙවියන් සේ කෙසේ වෙතත් ටික දිනකින් ම ජන්මාන්තර සතුරෝ ලෙස සලකති. නොයෙක් ඇද කුද සොයා නිවසෙන් පන්නා ගන්නට කටයුතු කරති. එසේ බැරි වූ කල තිරිසන් සතුන්ට සේ කටයුතු කරති. වැඳුම් පිදුම් කෙසේ වෙතත් රැවුම්, බැණුම් ගැරහුම්වල නම් කෙළවරක් නැත. එසේ හැසිරෙන ස්ත්‍රීන්ට නම් යහපත් ජීවිතයක් කිසිදා නොලැබෙයි. ඒ නොකටයුතුකම් දකින දෙවිවරු ඔවුනට අනුකම්පා නොකරති. උදව් උපකාර නොකරති. ආශීර්වාද නොකරති.

එදා විශාඛා දියණිය තම පියාණන්ගෙන් ලැබුණු මේ දස අවවාද මහා නිධානයක් පිළිගන්නා සේ හිස් මුදුනින් පිළිගත්තා ය. මෙකල දියණිවරුත් ඒ අයුරින් පිළිගෙන කටයුතු කළහොත් ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරන්නට ඔවුන්ට වාසනාව උදා වන බව නිසැක ය. ඔවුන්ගේ මෙලොවත්, පරලොවත් සාර්ථක වෙයි. දෙවියෝ ද උපකාර කරති. ආශීර්වාද කරති. සමාජයෙන් ද පිදුම් ලබති.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.