කිඤ්චා’පි සෝ කම්මං කරෝති පාපකං
කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සංඝේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

කිසියම් පව්කමක් ඔහුගේ අතින් කෙරුන විට
කයින් වචනයෙන් හෝ චේතනාව මුල් කොට
එය සඟවාගෙන සිටින්ට නො හැකි ය ඔහු හට
දහමකි මෙය සදහම් දැක ගත්තු කෙනා හට
මෙය බුදු පිරිසෙහි පවතින උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම සෙත සැලසේවා!
(රතන සූත්‍රය, ඛු. නි.)

ලෝකයේ විවිධාකාර පිරිස්, විවිධාකාර ජන කණ්ඩායම් වාසය කරනවා. ඒ පිරිස් නොයෙක් නොයෙක් ගති ගුණවලින් යුක්තයි. ඒත් ඒ කිසිම පිරිසක මේ ඉහත ගාථා රත්නයේ කියවෙන අසිරිමත් ගුණය, ඒ කිව්වේ තමන්ගේ අතින් වරදක් සිදු වුණා ම එය තව කෙනෙක් දුටුවත්, නොදුටුවත් ඒ වරද සඟවාගෙන සිටින්නේ නැතිව විවෘත වීම කියන ගුණය දකින්ට ලැබේවි ද…? නැහැ. දෙවියන් මරුන් බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකයේ ඒ අසිරිමත් ගුණයෙන් යුතු වුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස විතරයි.

ඒ ශ්‍රාවක පිරිස ගිහි පැවිදි ලෙස දෙකොටසකට බෙදෙනවා. පැවිදි උතුමන්ගේ ගුණ ගැන කතා කරනු කිම… ඒ සම්බුදු ශ්‍රාවක ගිහි පිරිසේත් සිතා ගැනීමට පවා අපහසු ඉතා සොඳුරු ගුණයන්ගෙන් යුතු වුණ උපාසක උපාසිකාවන් වාසය කළා. ඒ අතරේ ඛුජ්ජුත්තරා උපාසිකාව විශේෂයි. ඇය මේ ගෞතම බුදු සසුනේ උපාසිකාවන් අතරේ බහුශ්‍රැත බවින් අගතැන්පත් තැනැත්තිය යි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ තෙරුවන් සරණ ගිය මෑණිවරුන් තම දියණියන්ට අවවාද කළෙත් “මගේ දුවේ… උඹ වේළුකණ්ඨකී නන්දමාතාව වගේ වෙයං… එහෙම නැත්නම් ඛුජ්ජුත්තරා උපාසිකාව වගේ වෙයං” කියලයි.

මේ අපූරු ශ්‍රාවිකා චරිතය ඇරඹෙන්නේ මීට කල්ප ලක්ෂයකට පෙර පහළ වූ පියුමතුරා (පදුමුත්තර) බුදුරජුන්ගේ යුගයේ. එකල දහම් ඇසීම පිණිස යන ඇයට දිනක් පියුමතුරා බුදුරජාණෝ දම් දෙසුම අවසානයේ එක්තරා උපාසිකාවක් බහුශ්‍රැත උපාසිකාවන් අතරේ අග තන්හී තබනු දකින්නට ලැබුණා. ඇයටත් ‘අනේ!…. මටත් මතු බුදු සසුනක බහුශ්‍රැත උපාසිකාවන් අතරේ අග්‍ර තැනැත්තිය වෙන්ට ඇත්නම්’ කියා ආසාවක් හට ගත්තා. ඒ පැතුමත් ඇයට තිබුණා. ඒත් ඇය වෙනදා වාගේ ම ධර්මයේ හැසිරුණා. ඒ දිවියේ දහමේ හැසිරී පින් රැස් කළ ඇය මිය ගොස් සුගතියේ ඉපදුණා.

ඉන් කල්ප ලක්ෂයක ඇවෑමෙන් මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්බුදුරජුන් ලෙස මහාමුනි අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ යුගයේ ඇය කොසඹෑනුවර උපත ලැබුවා. ඒ ඝෝෂිත නම් මහ සිටුවරයාගේ මැදුරේ සේවිකාවක වූ කිරි මවකගේ දියණිය ලෙසයි. උපතින් ම ඇයට යම් කුදු බවක් තිබුණා. ඒ නිසා ම, ඇගේ නම ‘උත්තරා’ වුවත් හැම දෙනා ඇය හැඳින්නුවේ ‘කුදු උත්තරා’ හෙවත් ඛුජ්ජුත්තරා යන නමින්. එය හැබෑවට ම ඇයගේ අඩුපාඩුවක් හේතුවෙන් යෙදුණු නමක් වුණත් ගෞතම බුදු සසුනේ ඒ නාමය බබුළුවන්නට තරම් ඇය දක්ෂ වුණා.

එය සිද්ධ වුණේ මෙහෙමයි. ඝෝෂිත සිටුවරයාගේ යහළු සිටුවරයා තමයි භද්දිය නගරයේ භද්දවතී සිටුතුමා. ඒ කාලයේ භද්දිය නගරයේ මහා දුර්භික්ෂයක් හට ගත්තා. මේ පීඩාවෙන් බේරෙන්ට භද්දවතී සිටුවරයා තමන්ගේ බිරිඳත්, ප්‍රිය දියණිය වූ සාමාවතියත් සමඟ ඝෝෂිත සිටුවරයා හමුවට යාමට පිටත් වුණා. එහෙත් අතරමඟ දී භද්දිවතී සිටුවරයාත්, එම සිටු දේවියත් කළුරිය කළා. අවසානයේ ඝෝෂිත සිටුවරයා හමුවට ගියේ සාමාවතී දියණිය පමණයි.

තම යහළු සිටුවරයාට සිදු වූ මේ අකරතැබ්බය ගැන ශෝකයට පත් වුණ ඝෝෂිත සිටුවරයා තම දියණියක් ලෙස සාමාවතී කුමරිය ව සිටු මැදුරේ පෝෂණය කළා. ඇයගේ පිරිවර ලෙස පන්සියයක් කුමාරිකාවන් ද සිටු මැදුරේ ම වාසය කරවූවා. පසුකලෙක උදේනි රජු මේ සාමාවතී කුමරිය කෙරෙහි පැහැදී පිරිවර පන්සියයක් කුමාරිකාවන් සමඟ රජමැදුර වෙත ගෙන්වා ගෙන පන්සිය දෙනාට පහසුවෙන් වසන්නට මන්දිරයක් කරවා රජුගේ ප්‍රධාන මෙහෙසියක් ලෙස සාමාවතියට ශ්‍රී සම්පත්තීන් ලබා දුන්නා. ඒ උදාර ගති ඇති සාමාවතී කුමරිය ඇතුළු පන්සියයක් කුමාරිකාවන්ගේ සේවා කටයුතු කළ සේවිකාව වුණේ ඛුජ්ජුත්තරාව යි. ඇය කුමාරිකාවන් පන්සිය දෙනාගේ ම සිත දිනාගෙන කටයුතු කරන්නට දක්ෂ වුණා.

ඛුජ්ජුත්තරාව සේවා කටයුතුවල දිනපතා අංගයක් විදියට කුමාරිකාවන් පන්සිය දෙනාට මල් රැගෙන ඒම සිදු කළා. ඇයට ඒ වෙනුවෙන් සාමාවතී බිසවගෙන් කහවණු අටක මුදලක් ලැබෙනවා. ඛුජ්ජුත්තරා කරන්නේ මේ කහවණු අටෙන් හතරක මල් අරගෙන අටේ වටිනාකමෙන් යුක්තයි වගේ කුමරියන්ට මල් ගෙන ගොස් දෙනවා. හැමදාම ඇය කහවණු හතරක් සොරකම් කළා.

ඔහොම හිටපු ඛුජ්ජුත්තරාවගේ සසරේ රැස්කළ පින මෝරන දිනය පැමිණුනා. එදා නගරයේ මිනිසුන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයට මහා දානයක් සූදානම් කළා. වෙනදා මෙන් මල් ගෙන යාමට පැමිණි ඛුජ්ජුත්තරාවට මල් වෙළෙන්දා මෙහෙම කිව්වා.

“ඈ! කෙල්ලේ ඛුජ්ජුත්තරා… උඹ හැමදාම අනුන්ට මෙහෙකම් කරන්ට ද කල්පනාව… අද ඔය ආපු ඒකේ ටිකක් ඉඳලා බුදුරජුන් ප්‍රමුඛ සඟරුවනට දන් පූජා කරලා බණ පදයකුත් අහලා ම පලයං… ටිකක් ප්‍රමාද වුණාට කාරි නෑ…”
ඇය ඒ කීම අහලා දානයට උදව් කළා. දන්පැන් පූජාත් කළා. අවසානයේ උතුම් ධර්මයත් ශ්‍රවණය කළා. අසිරිමත්! ඇය ඒ ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ශ්‍රාවිකාවක් බවට පත් වුණා. දැන් ඇය තුළ බුදු පිරිසේ ධර්මතා පිහිටා තිබෙනවා. වෙනදා වගේ නොවේ කහවණු අටේ ම මල් අරගත්තා. බිසෝවරුන් වෙත වෙනදාට වඩා දෙගුණයක් මල් රැගෙන ගියා. සාමාවතී බිසව ඛුජ්ජුත්තරාගෙන් මෙහෙම ඇහුවා.

“ඈ! උත්තරා… අද මාලාකරු වැඩිපුරත් මල් දීලා නොවැ. මොකෝ… උත්තරා ගැන විශේෂයෙන් පැහැදිලාවත් ද…?”

“එසේ නො වේ දේවී…. මා අද කහවණු අටේ ම මල් රැගෙන ආවා… වෙනදාට මා ගෙනාවේ මින් අඩයි. කහවණු සතරක් මා සොරකම් කළා. ඒත් තිලොව දිනූ මාගේ පියරජාණන්ගේ දහම අසා මං කොහොම ද සොරකම් කරන්නේ… මා කොහොම ද මුසාවක් පවසන්නේ… මාගෙන් වුණ වැරදිවලට මට සමාවෙන්ට දේවියනි…”

ඛුජ්ජුත්තරාවගේ මේ වදන් ඍජුයි. තම වැරදි පැවසීමට පැකිලීමක් නැහැ. මේ අසිරිය වුණේ කොහොමදැයි සිතා ගත නො හැකි වූ සාමාවතී බිසව ඇයගෙන් “ඈ! කෙල්ලේ කියාපන්… උඹේ මේ එකපාර වෙනසට හේතුව මොකක්ද…?” කියා විමසා සිටියා. ඛුජ්ජුත්තරා සියල්ල පවසා සිටියා. ඒ අසද්දී සාමාවතියටත් ඒ අමා දහම් අසා සුවපත් වෙන්ට කැමැත්තක් හට ගත්තා. ඇය ඉල්ලා සිටියා…

“ඛුජ්ජුත්තරා… මා ඇතුළු මේ පන්සියයක් කුමාරිකාවන්ට ඔය නුඹ දුටු දහම කියා දීපන්. අපත් සතුටුයි ඒ දහම අසන්නට…”

සියලු දෙනා දහම් අසන්නට සූදානම් වුණා. සේවිකාවකට සුදුසු අසුනක් ඛුජ්ජුත්තරා වෙනුවෙන් වෙන් කොට කුමාරිකාවන් උස් අසුන්වල අසුන්ගෙන…

“මේ විදියට කොහොම ද දේවී… ඒ පරම පිවිතුරු දහම් පද මා කියන්නේ… ඒසේ නො වේ.. එසේ නො වේ.. මා සේවිකාවක වුණත් ඒ දහම පූජනීය යි… එයට වඩා වටිනා දෙයක් නැත්තේ ම යි. ඒ දහම තුළ තුන් ලොව ජයගත් මාගේ ධර්මරාජයාණන් වහන්සේගේ ගුණ ගායනා ඇත්තේ ය… සදාකාලික සැප සලසන ශාන්තිය වූ පරම සත්‍යය ඇත්තේ ය… දිවි දෙවෙනි කොට ඒ දහමේ හැසිරුණු සව්වන්ගේ ගුණ ගායනා ඇත්තේ ය… මේ අයුරින් නම් මට නො හැකි ය පවසන්නට. දහම් අසන්නට කැමැත්තෝ ඒ දහම උස් තන්හී තබත්වා! ඒ දහම පුදත්වා! නිහතමානී වෙත්වා! එවිට බුදුරජුන්ගේ දියණී වූ මේ ඛුජ්ජුත්තරාවෝ දහම් පවසන්නී ය….”

මේ අයුරින් ඍජු ගති ඇති, ධර්මයට ආදර ගති ඇති, කලණ මිතුරියක් වූ ඛුජ්ජුත්තරාවගෙන් දහම් අසනු පිණිස ඇය ව උස් අසුනේ තබන්නට ඒ රාජ කුමාරිකාවන් සියලු දෙනා නිහතමානී වුණා. ඛුජ්ජුත්තරාව බහුශ්‍රැත යි! ඇය ඉතා මනරම් ලෙස ඒ දහම් කුමාරිකාවන්ට කියා දුන්නා. ඇයගේ දහම් අසා සාමාවතී ඇතුළු පන්සියයක් කුමාරිකාවෝ සෝතාපන්න ශ්‍රාවිකාවන් බවට පත් වුණා.

දහමේ වටිනාකම හඳුනාගෙන, ඒ ධර්මයට පුද සත්කාර කරනා නිහතමානී ජීවිතයක් උපදවාගෙන මේ සොඳුරු ධර්මය අවබෝධ කරගන්නට ඛුජ්ජුත්තරා උපාසිකාවගේ චරිත කථාවේ කොටසක් ගෙන හැර දැක්වූ මේ දහම් ලිපිය පහන් සිතින් කියවන ඔබ සැමට වාසනාව උදා වේවා!

තෙරුවන් සරණයි!

– මනෝරථපූරණී නම් අංගුත්තරනිකායට්ඨකතාව ඇසුරිනි
මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි