තමන් ගැන ‘හොඳ’ අහන්න ලැබෙනවාට කවුරුත් කැමතියි. කවුරු හරි තමන් ගැන හොඳ කිව්වා, ප්‍රශංසා කළා කියලා කිව්වොත් “මොනවද කිව්වේ?” කියලා නොඅසන, නොසොයන අය හොයාගන්න හරි ම අඩුයි. ඒ වගේ ම යි; තමන් ගැන ඒ කරපු ප්‍රශංසාවන් ගැන හිත හිතා සිටින්නයි අපේ හිත කැමති.

එක්කෝ ඒ කළ ප්‍රශංසාව බොහොම තදට හිතේ සනිටුහන් කරගෙන අකුරක් නෑර ආයෙ ආයෙමත් සිහිපත් කර ගන්නවා. සටහන් කළ දෙයක් නම් නැවත නැවත අරගෙන කියවනවා. පටිගත කර ගත් දෙයක් නම් යළි යළිත් අහනවා… ඕක තමයි අපේ චිත්ත ස්වභාවය. ප්‍රශංසාවට බොහොම යුහුසුළු ව හිත නැමෙනවා වුණත්, ඇති ම ගුණයක් ගැනත් ප්‍රශංසා කරන්න මේ හිත් නැමෙන්නේ බොහොම අඩුවෙන්. ඇගයීම් ලබන්න කැමති වුණාට අගයනවා අඩුයි… ප්‍රශංසා ලබන්න කැමති වුණාට ප්‍රශංසා කරනවා අඩුයි…

අති දීර්ඝ සසර ගමනක යන, ඒ සසරට ම යොමු වෙන ආකාරයට පුරුදු පුහුණු වුණු සාමාන්‍ය හිත්වල ස්වභාවය මෙහෙම වුණාට සසරෙන් නිදහස් වුණ, සසරට නොවැටෙන අසාමාන්‍ය සිතක් උපදවා ගත්ත මුනිවරුන්ගේ සිත්වල ස්වභාවය මෙයට හාත්පසින් ම වෙනස්…

එදා… භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ… ජාතිභූමි නම් වූ ගමෙන් පැවිදි වූ ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේලා බොහෝ දෙනෙකු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා. සතුටු සාමීචි කථා අවසානයේ සම්බුදුරජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් මෙසේ විමසා සිටියා.

“පින්වත් මහණෙනි, ජාතිභූමිවැසි කවර හෝ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර මහත් සම්භාවනාවට පාත්‍ර ව සිටිනවා ද තමනුත් අල්පේච්ඡයි කියලා… අල්පේච්ඡ භාවයේ ගුණ කියනවා කියලා…..
තමනුත් ලද දෙයින් සතුටු වෙමින් වාසය කරනවා කියලා….. ලද දෙයින් සතුටුව වාසය කිරීමේ ගුණ කියනවා කියලා…..”

මේ ආකාරයෙන්, දස කථාවෙන් යුතු වුණ, දස කථාවෙන් අවබෝධය ඇති කරවන, දස කථාවේ ගුණ කියන, අන්‍යයන්වත් දස කථාවේ සමාදන් කරවන කවුරුන් හෝ භික්ෂුවක් ජාතභූමියේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර මහත් සම්භාවනාවට පාත්‍ර ව සිටිනවා ද කියා භාග්‍යවතුන් වහන්සේ විමසා වදාළා.

“ස්වාමීනී, මන්තානි බ්‍රාහ්මණතුමියගේ පුත්‍ර රත්නය වන ආයුෂ්මත් පුණ්ණ කියලා තෙරුන් වහන්සේනමක් ඉන්නවා. ජාතිභූමියෙන් පැවිදි වුණ, ජාතිභූමියේ වාසය කරන සබ්‍රහ්මචාරී භික්ෂූන් අතර උන්වහන්සේ ඔය විදිහට මහත් සම්භාවනාවට ලක් වෙලා තියෙනවා…

තමාත් අල්පේච්ඡයි. ඒ වගේ ම භික්ෂූන්ටත් අල්පේච්ඡ බවේ ගුණ කියනවා…..”

මේ ආකාරයෙන් ඒ ජාතභූමිවැසි භික්ෂූන් වහන්සේලා මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ දස කථාවෙහි ලා දක්වන අගපත් භාවය සතුටින් හෙළිදරව් කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ කථාව සතුටින් අනුමෝදන් වුණා.

මෙතැන වැඩ සිටියා ගෞතම සම්බුදු සසුනේ ධර්ම සේනාධිපතීන් වහන්සේ… දකුණත් අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ… සම්බුදුරජුන් විලසින් ම ධර්ම චක්‍රය කරකවාලන, ගෞතම සම්බුදු සසුනේ ප්‍රඥාවෙන් අගපත් සාරිපුත්ත මහරහතන් වහන්සේ… උන්වහන්සේට ඒ මොහොතේ මෙවැනි විතර්කයක් උපන්නා…

‘ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණයන් වහන්සේට කොච්චර ලාභයක් ද? ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණයන් වහන්සේට කොයිතරම් හොඳ ලාභයක් ද? නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලා ශාස්තෘන් වහන්සේ ඉදිරියේ ආයුෂ්මත් පුණ්ණයන් වහන්සේගේ ගුණ වර්ණනාව කතා කරනවානේ. ශාස්තෘන් වහන්සේත් ඒ ගුණ කථාව අනුමෝදන් වෙනවානේ… අපටත් කවදා හරි දවසක ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණයන් වහන්සේ ව ඇසුරු කරන්න ලැබෙනවා නම් කොච්චර දෙයක් ද…!… කතා බස් කරන්න ලැබෙනවා නම් කොච්චර දෙයක් ද…!’

බලන්න… ඒ චින්තන රටාව මොනතරම් නම් සුවිශේෂයි ද? ‘අනේ මා ගැනත් මෙහෙම ශාස්තෘන් වහන්සේ සමීපයේ ගුණ කියනවා නම්… ඒ ගුණ කථාව ශාස්තෘන් වහන්සේත් අනුමෝදන් වෙනවා නම්…’ කියා නෙමෙයි උන්වහන්සේට හිතුණේ…

ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ආකාරයෙන් කල්පනා කළා වගේ ම සබ්‍රහ්මචාරීන් වහන්සේලා හමුවේ ඒ බව කියන්නත් ඇති…

කාලයක් ගිහින් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරද්දී මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ එහි වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ මුණගැසී සතුටු සාමීචි කථාවේ යෙදී අවසානයේ උන්වහන්සේ දිවා විහරණය පිණිස අන්ධ වනයට නික්මුණා. ඒ කාලයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියේත් සැවැත් නුවර ම යි. ඒ මොහොතේ එක ස්වාමීන් වහන්සේනමක් සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත එළඹ උන්වහන්සේ විසින් නිතර ප්‍රශංසා කරනු ලබන මන්තානිපුත්ත පුණ්ණයන් වහන්සේ සැවැත් නුවරට වැඩම කොට භාග්‍යවතුන් වහන්සේ සමඟ දහම් පිළිසඳරේ යෙදී දිවා විහරණය පිණිස අන්ධ වනයට නික්මුණ බව දැනුම් දුන්නා…

කල්පයක් පුරා මහා සාගරයට වැටෙන ජල බිංදු ගණන ගණන් කොට කිව හැකි… කල්පයක් පුරා ගොඩබිමට වැටෙන ජල බිංදු ගණන ගණන් කොට කිව හැකි… ‘සම්බුදුරජුන්ගේ මුවින් උපන් පුතා’ යන නම් ඇති… සම්බුදුරජුන්ට ම පමණක් දෙවැනි වූ මහා ප්‍රඥාවක් ඇති… ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ නිසීදනය අතින් ගෙන වහ වහා අන්ධ වනය වෙත නික්ම ගියා. සූත්‍රයේ සඳහන් වන්නේ උන්වහන්සේ මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේගේ හිස පෙනි පෙනී ම එහි වැඩම කළ බවයි. ඒ කියන්නේ, ඒ පණිවිඩය දැනගෙන උන්වහන්සේ මොහොතක්වත් පමා නො වී එහි වැඩම කළා…

එදා සවස් කාලයේ දී අන්ධ වනය තුළ ඒ මහා නාගයන් දෙදෙනා සිදු කරනු ලැබූ දහම් පිළිසඳර තමයි ‘රථවිනීත සූත්‍රය’ නමින් මජ්ක්‍ධිම නිකාය පළමු පොත් වහන්සේගේ අන්තර්ගත ව තිබෙන්නේ. සප්ත විශුද්ධි පිළිබඳ ව ගම්භීර දෙසුමක් වූ මේ දහම් පිළිසඳර අවසානයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේගේ නාමය කුමක්දැයි විමසා සිටිනවා. මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ තමන් වහන්සේ ව හඳුන්වා දුන් පසු සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආකාරයෙන් වදාරණවා…

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඇත්තෙන් ම අසිරිමත්…! ඇත්තෙන් ම අද්භූතයි…! ශ්‍රැතවත් ශ්‍රාවකයෙකු විසින් ශාස්තෘ ශාසනය දැනගෙන තිබෙන්නේ යම් ආකාරයකින් නම් අන්න ඒ අයුරින් ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණයන් වහන්සේ ඉතා ගම්භීර ප්‍රශ්න බොහොම අගේට විසඳලා දුන්නා. ආයුෂ්මතුන් වහන්සේ ව දකින්න ලැබෙනවා නම්, ඇසුරු කරන්න ලැබෙනවා නම් සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒක ලාභයක්…! මහත් වූ ලාභයක්…! අපටත් ඉතා හොඳ ලාභයක්…! අපටත් යහපත් ලැබීමක්…! ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණයන් දැකගන්න අපටත් ලැබුණා. ඇසුරු කරන්න ලැබුණා…”

මේ මොහොතේ මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ ගැඹුරු ධර්ම විනයේ අතිශය සතුටට පත් ව ප්‍රශංසා කරන මේ භික්ෂූන් වහන්සේ කවුරුන් ද කියා උන්වහන්සේගේ නාමය විමසා සිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ නාමය පවසා සිටියා. ඒ කියන්නේ, මේ දහම් කථාව ආරම්භ කරන්නට පෙර තමන් කවුරුන් ද කියා උන්වහන්සේ කියාපා නැහැ…! මේ වැඩ සිටින්නේ ධර්ම සේනාධිපතීන් වහන්සේ බව දැනගත් මන්තානිපුත්ත මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන මෙසේ ප්‍රකාශ කළා.

“ඒකාන්තයෙන් ම ශාස්තෘන් වහන්සේනමක් හා සමාන ව වැඩ සිටින පින්වත් ශ්‍රාවකයන් වහන්සේනමක් සමඟ නෙව මං මේ සාකච්ඡා කරලා තියෙන්නේ…

ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ආශ්චර්යය යි…! ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස අද්භූතයි…! ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ විසින් ගැඹුරු ප්‍රශ්න හරි අගේට විසඳලා දෙනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට මේක හරි ලාභයක්. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඉතා ම හොඳ ලාභයක්.

අපටත් ලාභයක්…! අපටත් ඉතා ම හොඳ ලාභයක්…! අපටත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ව දැකගන්න ලැබුණා. ඇසුරු කරන්න ලැබුණා…”

ඒ ශ්‍රේෂ්ඨ වූ මහා හස්තිරාජයන් දෙදෙනා, වෙන් වෙන් ව දෙදෙනා වහන්සේගේ ගුණ දකිමින් ඒ ආකාරයෙන් ඔවුනොවුන්ගේ සුන්දර කථාබහ සතුටු සිතින් අනුමෝදන් වුණා…

භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටි තවත් කලෙක අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේලා දෙනම කපෝතකන්දරකයේ වාසය කළා. එදා පුර පක්ෂයේ සඳ මෝරමින් තිබුණු දවසක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ කෙස් රැවුල් බා එළිමහනේ භාවනාවක යෙදී වැඩසිටියා. උන්වහන්සේ සමාපත්තියකට සමවැදී සිටියා.

ඒ මොහොතේ ම යහළු යකුන් දෙදෙනෙක් අහසින් ගමනක් යමින් සිටියා. සඳ වැඩීගෙන එන රාත්‍රියේ, මැනැවින් කෙස් රැවුල් බා, සමවතට සමවැදී එළිමහනේ හුන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිස ඒ සඳ එළිය වැටී දිලිසෙමින් තිබුණා. ඒ දුටු එක යකෙකුට දිලිසෙන මුඩු හිසට පහරක් දෙන්නට සිතුණා. ඒ යක්ෂයා තමන්ට සිතුණු දේ යහළු යක්ෂයාට කිව්වා. මහා ඉර්ධිමත් වූ, මහානුභාව සම්පන්න වූ, උදාර වූ මේ ශ්‍රමණයාණන් වහන්සේට පහර නොදෙන්න යැයි යහළු යක්ෂයා තුන්පාරක් ම වළකද්දීත් අර යක්ෂයා එයට කන් දුන්නේ නැහැ. ඒ යක්ෂයා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිසට බලවත් පහරක් එල්ල කළා.

ඒ පහර, සුවිශාල හස්තිරාජයෙක් බිම දමන්නට වුණත් ප්‍රමාණවත් වූ, විශාල පර්වතයක් පලන්නට වුණත් ප්‍රමාණවත් වූ අතිශය බලවත් පහරක්. ඒ පහර එල්ල කළ මොහොතේ ම පහර දුන් යක්ෂයා එතැනින් චුතව මහා නිරයේ උපන්නා.
මිනිස් ඇස ඉක්මවා ගිය දිවැසින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මේ සිදුවීම දුටුවා. උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වැඩම කොට මෙසේ විමසා සිටියා.

“ප්‍රිය ආයුෂ්මතුනි, මොකද වුණේ? ඉවසන්න පුළුවනි ද? මොකද, දරන්න පුළුවනි ද? මොකද, කිසි දුකක් නැද්ද?”

සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආකාරයෙන් පිළිතුරු දුන්නා.

“ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවනි. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට දරා ගන්න පුළුවනි. නමුත් හිසේ යාන්තමට කැක්කුමක් තියෙනවා.”

ඒ මොහොතේ සිදු වූයේ කුමක් ද කියා දත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණය ප්‍රකට කරමින් මේ ආකාරයෙන් වදාළා.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කොයිතරම් මහා ඉර්ධිමත් ද, කොයිතරම් මහානුභාව සම්පන්න ද, යන මෙය ආශ්චර්යය යි…! අද්භූතයි…!

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, මෙතැන දැන් එක්තරා යකෙක් ඔබ වහන්සේගේ හිසට පහරක් දුන්නා. ඒක මහා බලවත් පහරක්. එවන් පහරකින් මහා හස්තිරාජයෙක් ව බිම දමන්නට වුණත් පුළුවනි. මහා පර්වතයක් ඒ පහරින් පලා දමන්නට වුණත් පුළුවනි. නමුත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙහෙමයි කියන්නේ. ‘ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට ඉවසන්න පුළුවනි. ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලාන, මට දරා ගන්න පුළුවනි. නමුත් හිසේ යාන්තමට කැක්කුමක් තියෙනවා.’ කියලා…”

තමන් වහන්සේගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ මෙසේ තම ගුණය පවසද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිත ඒ වර්ණනාවෙන් කම්පා වූයේ නැහැ. එනිසා උපන් කිසිදු සසැලීමක් නැති අකම්පිත, නිර්මල සිතින් ඒ උත්තම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ආකාරයෙන් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ගුණය ම ඉස්මතු කරනු ලැබුවා…

“ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් කොයිතරම් මහාර්ධිමත් ද, ප්‍රිය ආයුෂ්මත් මොග්ගල්ලානයන් කොයිතරම් මහානුභාව සම්පන්න ද යන මෙය ආශ්චර්යය යි…! අද්භූතයි…! මෙතැන හිටපු යකෙක්වත් දැක්කා. නමුත්… අපි නම් මෙතැන පාංශු පිශාචයෙක්වත් දැක්කෙ නෑ.”

මොනතරම් සුන්දර ගුණයක් ද මේ…! තම ගුණ වර්ණනාව පසෙකට ම කොට අනිත් පාර්ශවයේ ගුණය ඉස්මතු කරන්නට උන්වහන්සේලා අමුතුවෙන් සිත සිතා සිටින්නේ නැහැ…

තවත් දවසක සුභූති තෙරුන් වහන්සේ ශ්‍රද්ධ නම් ස්වාමීන් වහන්සේ සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ සකසා වන්දනා කොට පසෙකින් වාඩි වුණා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ සුභූති තෙරුන් වහන්සේගෙන් ශ්‍රද්ධ ස්වාමීන් වහන්සේගේ නාමය විමසුවා.

“ස්වාමීනී, ශ්‍රද්ධ නම් උපාසකගේ පුත්‍ර වූ, ශ්‍රද්ධාවෙන් ම ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූ මේ භික්ෂුවගේ නම ශ්‍රද්ධ ය…”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ විමසුවා.

“කිම සුභූතියෙනි, ශ්‍රද්ධ උපාසකගේ පුතු වූ, ශ්‍රද්ධාවෙන් ම ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වූ ශ්‍රද්ධ භික්ෂුව ශ්‍රද්ධා ඇත්තහුගේ චරිතාපදානයෙන් යුක්ත ද?”

ඒ මොහොතේ සුභූති තෙරුන් වහන්සේ ශ්‍රද්ධ භික්ෂුව ශ්‍රද්ධා ඇත්තහුගේ චරිතයෙන් යුතු යැයි තමන් යම් කරුණකින් දැන ගන්නේ ද ඒ ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධා චරිතාපදානය වදාරණ සේක්වා! කියා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා.

සිල්වත් බව, බහුශ්‍රැත බව, කලණ මිතුරන් ඇති බව, කීකරු බව, සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ කුදුමහත් කටයුතුවලට උපකාරක වන බව, ගැඹුරු ධර්ම විනයේ උදාර සතුටක් ලබමින් දහම් කථාවේ යෙදෙන බව, කුසල් වැඩීමේ සහ අකුසල් ප්‍රහාණයෙහි ලා පටන් ගත් වීර්යයෙන් යුතු බව, නිදුකින් ම සතරක් වූ ධ්‍යානයන් ලබන බව, පෙර විසූ කඳ පිළිවෙළ දකිනා බව, දිවැස් නුවණ ඇති බව, ආශ්‍රව ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කොට වාසය කරන බව යන අංග එකොළොසෙන් සමන්විත වූ ඒ ශ්‍රද්ධාවන්තයාගේ ශ්‍රද්ධා චරිතය විස්තර සහිත ව සම්බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දේශනා කොට වදාළා.

ඒ මොහොතේ සුභූති තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පවසා සිටියා…

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සැදැහැවත් භික්ෂුවකගේ යම් මේ චරිතාපදානයෝ වදාරණ ලද්දාහු නම් ඒවා මේ භික්ෂුව තුළ ඇත්තේ ය. මේ භික්ෂුව ද ඒවා තුළ සිටින බව පැහැදිලි ව පෙනේ. මේ භික්ෂුව ද ඔවුන් අතර කෙනෙකි…!”

සුභූති තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ හමුවේ එසේ ගුණ කථනයේ යෙදුණා. එයින් පැහැදිලි වන්නේ ඒ ශ්‍රද්ධ ස්වාමීන් වහන්සේ ආශ්‍රව රහිත අරහත් ඵල නුවණ ලද උතුම් රහතන් වහන්සේනමක් බවයි. ඒ ශ්‍රද්ධා චරිතය අනුමෝදන් වූ භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයෙන් වදාළා.

“සුභූතියෙනි, සාදු! සාදු! එසේ වී නම් සුභූති, ඔබ මේ ශ්‍රද්ධ භික්ෂුව සමඟ වාසය කරව. සුභූතියෙනි, යම් විටෙක ඔබ තථාගතයන් වහන්සේ දකින්නට කැමති වන්නෙහි නම්, මේ ශ්‍රද්ධ භික්ෂුවත් සමඟ තථාගතයන් වහන්සේ දකින්නට පැමිණෙව…”

මොනතරම් අසිරිමත් ද…! භාග්‍යවතුන් වහන්සේ ඒ ගුණයෙන් යුතු ශ්‍රාවකයන් දැකීමට කැමතියි… ඒ විතරක් නෙමෙයි, මේ ආකාරයෙන් සබ්‍රහ්මචාරීන් වහන්සේ තමන්ගේ ගුණය ප්‍රකට කරද්දීවත්, ශාස්තෘන් වහන්සේ ඒ ගුණය අනුමෝදන් වද්දීවත් ශ්‍රද්ධ රහතන් වහන්සේ වචනයක්වත් පවසන්නේ නැහැ… “ඔව් ඔව් මම නම් එහෙමයි…” වැනි කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. උන්වහන්සේ නිහඬව ම වැඩ සිටිනවා…!

මේ ගුණ ශෝභාවන් අතිශයින් පුදුමාකාරයි… අතිශයින් විස්මිතයි… අතිශයින් ප්‍රිය උපදවන සුලුයි… තමන් ලද සුළු පැසසුම පවා යළි යළිත් සිහි කරමින් සතුටු වන, ඒ සුළු පැසසුම පවා බොහෝ ජනයා දැන ගන්නවා නම් සතුටු වන, සුළු පැසසුමෙන් ද උදම් අනන අවශේෂ ලෝකයේ රටාවෙන් සහමුලින් ම වෙන් වී ගත් මුනිවරුන්ගේ ලෝකය සැබැවින්ම වර්ණනා විෂය ඉක්මවා යන්නක්… අචින්තනීය යි…! අප්‍රමාණ යි…! අවචනීය යි…! ඒ සොඳුරු ගුණ ශෝභාවන්ගෙන් යුක්තව වැඩ හිඳිමින් දෙව් මිනිස් ලෝකයට යහපත, හිතසුව සැලසූ… ගෞතම සම්මා සම්බුද්ධ රාජ්‍යය ආලෝකවත් කළා වූ… වැඩී ගත් ගුණය ම පෙරටු කොටගෙන සසර ගිරි දුර්ගයෙන් එතෙරව පිරිනිවන් වැඩියා වූ… අනුජාත බුදු පුත්වරුනට අපගේ නමස්කාරය වේවා!!! ඒ උතුම් බුදු පුත්වරුන් ලොව බිහි කළ මිහිරි ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා!!! ඒ බුදුපුතුනට පිරිනිවනට මග කියූ ලොව අසහාය ශාස්තෘවර, ඒ භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

විශේෂ පුණ්‍යානුමෝදනාව – මේ අතිශය සොඳුරු ධර්ම පර්යායන් අප හට ද දරා ගන්නට හැකි අයුරින් සරලව පහදා දුන් ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍යධර්මයන් අනුමෝදන් වෙත්වා! අමා නිවන් සුව දුර නොවේවා!

(ඇසුර – රථවිනීත සූත්‍රය – ම. නි. 1, ජුණ්හ සූත්‍රය – ඛු. නි. 1, සුභූති සූත්‍රය – අං. නි. 6)

සටහන – උදුලා පද්මාවතී