කරුණාව කියලා කියන්නේ මහ පුදුම දෙයක්. ඒ කරුණාවට පුළුවන් නෙතේ කඳුළැල් වගේ ම හදවතෙහි දුකත් පිසදමන්න. කෙනෙක් දුක් විඳින වෙලාවක ඔබට හිතුණොත්, ‘අනේ මට මේ කෙනාගෙ දුක නිවලා හදවතට සැනසීමක් දෙන්න ඇත්නම්.’ කියලා, ඒ ඔබේ සිතෙහි ඇතිවුණේ හදෙහි දුක් පිස දමන ළතෙත් කරුණාවයි. කෙනෙකුගෙ දුක දැක්කහම හදවත උණු වෙනවා නම් ඒ උපන්නේ අනාගතයේ ඔබේ හදෙහි දුක් පිස දමන ළතෙත් කරුණාවයි. මොකද හේතුව අපි ලෝකෙට දෙන දෙයම අනාගතයේ දී ආපිට අපට ම ලැබෙන නිසා.

බුදුරජාණන් වහන්සේ වදාළේ, “යාදිසං වපතේ බීජං, තාදිසං හරතේ ඵලං” – “යම් බඳු බීජයක් වපුරන්නේ ද එබඳු ම ඵලයක් ලබන්නේ ය.” “කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපකං” – “යහපත්ව කරන ලද දැයෙහි විපාක යහපත් ලෙස ද අයහපත්ව කරන ලද දැයෙහි විපාක අයහපත් ලෙස ද නෙළා ගන්නේ ය.” කියල යි.

ඔබ නගරයට යද්දී කිලිටි වෙච්චි වැරහැලි ඇඳගත්තු, අනුන්ට අතපාන පුංචි ළමයි ඔබ දැකලා ඇති. ඔබේ ළඟට ඇවිත් සමහරවිට නිහඬවම ඔබට අතපාන්නේ, ඒ පුංචි හිතේ තියෙන දුක, නැති බැරිකම, අසරණකම, තනිකම, ලැජ්ජාව, භය මේවා ඔක්කොම නිහඬ බව තුළ සඟවාගෙනයි. ඒ ඇස් කතා කරන හඬ ඔබට ඇහිලා තියෙනවා ද? ඔබ ඇහුවොත් ඒ දෙතොල් කතා කරලා ඒ දුක්බර කතාව ඔබට කියාවි. ඒ ඇස් ඔබේ දිහා බලාගෙන ඉන්නේ මහමෙරක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සමහරවිට බඩගින්නට කෑම එකක්, ජීවත් වෙන්න පුංචි රුපියලක් බලාපොරොත්තුවෙනුයි. කෑම කඩවල කෑම පෙනි පෙනී, ඒවායේ සුවඳ දැනි දැනී, අනිත් අය කෑම කන හැටි බල බලා, ඒත් ගන්න සල්ලි නැතිව බඩගින්නෙම ඒ දිහා බලාගෙන ඉන්න ළමයි කොච්චර නම් ඉන්නව ද? එහෙම අයව දකිනකොට ඔබට හිතුණොත්, ‘අනේ මේ ළමයට කුසගිනි නිවෙන්න කෑම එකක්වත් දෙන්න මට ඇත්නම්.’ කියලා, ඒ ඔබේ හිතේ උපන්නේ හදෙහි දුක් පිස දමන ළතෙත් කරුණාවයි.

ලොතරැයි ටිකක් අතේ තියාගෙන, හඳුන්කූරු පෙට්ටි, පන් වට්ටි, කඩල, රටකජු, වඩේ අරගෙන බස් එකට කෝච්චියට නගින්නේ, ඔබ ඉස්සරහට ඒවා අරගෙන එන්නේ ඒ දරුවා හරි අම්මා හරි තාත්තා හරි මුළු පවුලේ ම බඩගින්න නිවීම වෙනුවෙනුයි. පුංචි එවුන්ට පෑනක්, පැන්සලක්, පොතක් අරගන්නයි. ගිනි අව්වට පිච්චි පිච්චී වැස්සෙ තෙමීගෙන බයාදු හිතකින් තමයි අපි ළඟට එන්නේ. අපේ වගේ ම ඒ හිත්වලත් ලැජ්ජාව කියන දේ නැතිව නෙවෙයි. ඒත් මොනවා කරන්න ද? කර්මානුරූපව සසර ගමනක් යද්දී මේ ලැබුණු ජීවිතේ ඉතාම දුක්බර එකක් වුණා. ඒ නිසා ජීවිතේ ගැටගහගන්න ඒ ලැජ්ජාව යටපත් කරගන්න වුණා. සමහරු පේමන්ට් එකේ ටොපි බෝතල් ටිකක් තියාගෙන ටොපි විකුණනවා. දවසක් මම දැක්කා එහෙම තාත්තා කෙනෙක්, තමන්ගෙ පුතා පාසල් ඇරිලා එතනට ආවාම පාන් කාලක් ගෙනැත්, සාමාන්‍යයෙන් මනුස්සයෙක් පාන් කන්න ගන්න කිසිම ව්‍යංජනයක් නැතිව ඒ පුතත් එක්ක ඒක බෙදාගෙන කනවා. ඒ තමයි ඒ දෙන්නගෙ දහවල ආහාරය. මේවා දකිනකොට ඔබට හිතුණොත්, ‘අනේ මට මේ අසරණයන්ට උපකාර පිණිස යමක් දෙන්න ඇත්නම්.’ කියලා. ඒ ඔබේ හිතේ උපන්නේ හදෙහි දුක් පිසදමන ළතෙත් කරුණාවයි.

තව දවසක් තාත්තෙකුයි, 3 වසරෙ විතර පුංචි පුතෙකුයි අසපුවට ආවා, නගර සභාවෙන් පාර අයිනෙ තිබුණු නිවස කඩා ඉවත් කළ නිසා කූඩාරමක් හදාගන්න ඉටිකොළ මිලදී ගැනීම පිණිස රු. 500ක් ඉල්ල ගන්න. ඔය අතරෙ තව අම්මා කෙනෙකුයි, අර පුතාගෙම වයසෙ පුංචි පුතෙකුයි ඇවිත් සදහම් පොත් මැදුරේ චිත්‍ර කතා පොත් තෝරමින් හිටියා. මේ පුංචි දෙන්නා ඒ සුළු මොහොතට යාළු වුණා. අම්මා ඉන්න පුතා අම්මට කිව්වා, “අම්මේ අපි මෙයාටත් පොතක් අරන් දෙමු.” කියලා. ඒ අම්මා කිව්වා, “පුතේ එයාගෙ අම්මා එයාට අරන් දේවි.” කියලා. ඒක ඇහුණු අනිත් පුතාගෙ මුවින් පිටවුණේ හරිම දුක හිතෙන කතාවක්. “නැන්දෙ මට අම්ම කෙනෙක් නෑ.” කිව්වා. ඒ අම්මා සංවේගයට පත්වෙලා තප්පර කීපයක් අර දරුවගෙ මූණ දිහා බලාගෙන හිටියා. ඒ අම්මගෙ හිතේ හදෙහි දුක් පිස දමන ළතෙත් කරුණාව තිබුණා. ඒ පුතාටත් චිත්‍ර කතා පොතක් ලැබුණා. ඒ පුංචි හිතේ දුක නිවිල ගියා මොහොතකට. මුහුණ සතුටින් පිරිල ගියා. ඒ පොතේ තිබ්බේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලියපු ලස්සන බණ කතාවක්. ඉතිං ඒක පොඩ්ඩගෙ හිතට ගියොත් උදාවෙන යහපත ප්‍රමාණ කරන්නෙ කොහොමද? ඔබටත් අහම්බෙන් නමුත් ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් හිතක දුකක් නිවලා දාන්න ඒක මගහැරගන්න නම් එපා.

මම මේ කිව්වෙ එදිනෙදා ජීවත් වෙද්දි දකින්න ලැබෙන පුංචි සිද්ධි කිහිපයක් විතරයි. සමාජයේ ජීවත් වෙද්දි මේ වගේ දේවල් ඕන තරම් ඔබ නෙත ගැටේවි. ඔබ ගුරුවරයෙක් නම් ඒ වගේ අසරණ ළමයි ඔබට මුණගැසෙයි. ඔබ වෛද්‍යවරයෙක්, හෙදියක් නම් ඒ වගේ අසරණ රෝගීන් ඔබට මුණගැසෙයි. ඔබ ආයතනයක ප්‍රධානියෙක් නම් ඒ වගේ අසරණ සේවකයෝ ඔබට මුණගැසෙයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඒ වගේ අසරණ පාරිභෝගිකයෝ ඔබට මුණගැසෙයි. මේ කිසිවෙක් නොවුණත් ඔබ කාරුණික මනුෂ්‍යයෙක් නම් දුකට පත් අසරණ අය ඔබට ඕන තරම් මුණගැසේවි. හැමෝම දුක සේ අමාරුවෙන් ජීවත්වෙන මේ වගේ කාලෙක එහෙම අසරණ, දුකට පත් කෙනෙක් දකින්න ලැබුණහම ඔබට හිතුණොත්, ‘අනේ මට මේ කෙනාට පිහිටක් වෙන්න ඇත්නම්.’ කියලා ඒ ඔබේ හිතේ උපන්නේ අනාගතයේ ඔබේ ම හදෙහි උපන් දුක් පිස දමන ළතෙත් කරුණාවයි. ඔබ ඒ කරන උපකාරය පෙරළා ඔබ කරා එනවාමයි.

කෙනෙකුට ආමිසයෙන් උපකාර කරනවා වගේම ධර්මයෙනුත් උපකාර කරන්න පුළුවන්. ඔය දෙකෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයෙන් කරන උපකාරමයි. මොකද අපි භෞතික දෙයක් කෙනෙකුට දුන්නම ඒකෙන් ලැබෙන ප්‍රයෝජනය ඒ කෙනාට තියෙන්නේ කෙටි කාලයකට විතරයි. කෑම වේලක් දුන්නොත් ඒක සෑහෙන්නෙ එක වේලකට කුසගිනි නිවෙන්න විතරයි. එක් පාසල් වාරයකට පාසල් උපකරණ දුන්නොත් ඒක සෑහෙන්නෙ වාරය අවසන් වනතුරු පමණයි. ඇඳුමක් අරන් දුන්නොත් ඒක සෑහෙන්නෙ වසර කිහිපයකට පමණයි. ගෙදරක් හදලා දුන්නොත් ජීවත් වෙනකල් විතරයි. එහෙම වුණත් ඒ දේවලුත් ප්‍රයෝජනයි. නමුත් මේ දුර්ලභ බුද්ධ ශාසනයක් මුණගැසුණු වෙලාවේ, අසරණ කෙනෙක්ව පිනකට පෙළඹෙව්වොත්, තුනුරුවන් විෂයෙහි ඒ කරගන්නා පින, ඒ කෙනාට කල්ප සිය දහස් කෝටි, ප්‍රකෝටි ගණනිකුනුත් කිව නොහැකි තරමේ කාලයක්, මෙලොව සැප, සුගති සැපය පමණකුත් නොවෙයි; මේ විඳිමින් ඉන්න සියලු දුක් අවසන් කරලා, අමා මහ නිවන් සැපය පිණිසම සෑහෙනවා. ඒ නිසයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා, නිකෙලෙස් රහතන් වහන්සේලා හිමාල පර්වතය වුණත් රත්රන් කරලා දෙන්න තරම් ඉර්ධි බලය තිබිලත්, මේ ලෝකයට ධර්මයෙන් ම සංග්‍රහ කරන්නේ. අනුග්‍රහ කරන්නේ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා තරුණයෙක් බුද්ධ ප්‍රමුඛ සංඝයා උදෙසා දානයක් භාර ගත්තා. ඉතිං මේ තරුණයා කුලී වැඩ කරලා ජීවත්වෙන ඉතාම දුප්පත් එක්තරා දුගියෙක්ට අනුකම්පා කරලා එයාටත් එකනමකට දානෙ වේලක් දෙන්න භාර දුන්නා. ඉතිං ඒ දුගියා බිරිඳත් එක්ක අමාරුවෙන් නමුත් කුලියක් කරලා, එකනමකට දානෙ ටිකක් හදාගත්තා. අනේ! ඒත් හද කම්පා කරවන දෙයකුයි සිදුවෙලා තිබුණේ. අර තරුණයාට අමතක වුණා මේ දුගියා වෙනුවෙන් එකනමක් වෙන් කරන්න. සියලු සංඝයා එක එක ගෙවල්වලට දානෙට වැඩලා. දුගියා කල්පනා කළා, ‘මහා කාරුණික බුදුරජාණන් වහන්සේට හැර මගේ දුක වෙන කාට නම් කියන්න ද?’ එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගන්ධ කුටියට මෙයා යද්දී, භාග්‍යවතුන් වහන්සේට දන් පුදන්න බලාගෙන හිටපු රජවරු, සිටුවරු, ඇමතිවරු මෙයාව එළවා ගත්තා. මෙයා දානය වෙනුවෙන් වෙච්චි මහන්සිය භාග්‍යවතුන් වහන්සේ දිවැසින් දැක්කා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ රජවරු, සිටුවරු, ඇමතිවරු පහු කරගෙන ඇවිත් අර දුගියගෙ අතට පාත්තරේ දුන්නා. දුගියාට ඔටුන්නක් ලැබුණා වගේ. තමන්ගේ ගෙදරට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩමවාගෙන ගිහින් බොහොම ශ්‍රද්ධාවෙන් දන් පැන් පිදුවා. බුදු කෙනෙකුට පුදන දානයේ විපාකය නම් හරිම පුදුමයි. ගෙදර සියලු භාජන සත්රුවනින් පිරිලා ගියා. එදා ම නගරයේ ප්‍රධාන සිටු තනතුර ලැබුණා. දිවි ඇති තෙක් දන් දීලා මරණින් පස්සේ දෙව්ලොවයි උපන්නේ. අපගේ ගෞතම බුදුරජුන් පහළ වෙනකල්ම බුද්ධාන්තර කල්පයක් ම සුගතියේ විතරමයි උපන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උපස්ථායක සිටු කුලයක ඉපදිලා, පැවිදි වෙලා සක් දෙවිඳුන්ගෙනුත් සතරවරම් දෙවිවරුන්ගෙනුත් හිරු සහ සඳ දෙවිවරුන්ගෙනුත් භා්‍යවතුන් වහන්සේගෙනුත් අසිරිමත් ලෙස රැකවල් ලබමින් අරහත්වයටත් පත් වෙලා ‘පණ්ඩිත සාමණේර’ නමින් ප්‍රසිද්ධ වුණේ එදා ඒ කාශ්‍යප බුදුරජුන්ට දන් දුන්න අර දුගියාමයි. බලන්න පිනක මහිම. ඒ දුගියා ව ඒ වින්ද දුකින් මුදවලා මෙලොව සැපයත්, සුගති සැපයත්, සියලු සැප අතරින් අග්‍ර වූ සදාකාලික සැපය වූ අමා මහ නිවන් සැපයත් ලබා දෙන්න එදා කළ පිනට හැකි වුණා. අන්න ඒ නිසයි ධර්මයෙන් ම කරන උපකාරය දීර්ඝකාලීන, විපුල ඵල උදා කරන, ස්ථිරසාර උපකාරයක් වෙන්නෙ.

ඒ නිසයි ඒ උපකාරය කරපු කෙනාට කෙළෙහිගුණ සලකලා අවසන් කරන්න බැරි.

අපේ අනුරුද්ධයන් වහන්සේත් කලින් ආත්මයක ‘අන්නහාර’ කියලා දුගියෙක් වෙලා ඉද්දී පසේබුදුරජාණන් වහන්සේ නමකට දන් පුදලා සසර පුරාම ‘නෑ’ කියන වචනයක් නොඅසාම සැප වින්දා. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේට ම එක ම එක බත් හැන්දක් පුදන්න කියලා වෙන කෙනෙකු ව පොළොඹවපු ‘ඉන්දක’ කියලා දුගියෙක් තව්තිසාවෙ ඉපදිලා භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අහලා සතර අපායෙනුත් සදහට ම නිදහස් වුණා. ‘පුණ්ණ’ කියලා දුගියෙක් සාරිපුත්ත මහරහතන් වහන්සේට දැහැටි හා පැන් පුදලා, බිරිඳ තමන්ට ගෙනා ආහාරය උන්වහන්සේට පිදූ පිනත් අනුමෝදන් වෙලා ඒ ජීවිතයේ දී ම සිටුවරයෙක් වුණා. මොග්ගල්ලානයන් වහන්සේට එළකිරි පූජා කළ හිඟන්නෙක් ඒ පින ම සිහි කරලා සතියකින් සෝවාන් වුණා. පිට්ටු පුදපු ගොපලු දරුවෙක් සුගතියේ ගියා. අන්තිම මොහොතේ පැන් සමග අග්ගලා පුදපු සොරෙක් සුගතියේ ගියා. දුප්පතුන්ගේ මුනිවරයන් වහන්සේ වූ අපගේ මහා කස්සපයන් වහන්සේ දෙවිවරු දිව්‍ය භෝජන රැගෙන පෝලිමේ එද්දීත් ඒ අයව බැහැර කරලා අසරණ දුප්පතුන්ගේ පැල්පත් හොයාගෙන පිණ්ඩපාතෙ වැඩියා. උන්වහන්සේට ඇඹුල් කැඳ ටිකක්, පොරි ටිකක් පුදපු අය පවා සුගතියේ ගියා. ධර්මයත් අවබෝධ කරගෙන සතර අපායෙනුත් නිදහස් වුණා.

දානයට වගේ ම ඊටත් වඩා පින් රැස්වෙන තෙරුවන් සරණ යාම, සිල් රැකීම, තෙරුවන් ගුණ සිහි කිරීම, මෛත්‍රී භාවනාව, අනිත්‍ය භාවනාව ආදී පින් කරන්න කෙනෙක්ව කාරුණික ව දැනුම්වත් කරන්න, පොළොඹවන්න ඔබට හිතුණොත් ඔබේ සිතෙහි උපදින ඒ හදෙහි දුක් පිස දමන ළතෙත් කරුණාවෙන් උපරිම ඵල නෙළා ගන්න ඒ කෙනාට වගේ ම ඔබටත් ඒකාන්තයෙන් ම වාසනාව ලැබෙනවා. මොකද අපි කෙනෙක්ගේ දුක දැකලා හිතේ කරුණාව උපදවා ගන්නෙ අපිට පේන දුර ප්‍රමාණයට අනුවයි. දෙමව්පියො දරුවන්ට කරුණාවෙන් අනාගතයේ සැපය ලබන හැටි කියලා දෙන්නෙ දරුවන්ට නොපෙනෙන දුරක් දෙමව්පියන්ට පෙනෙන නිසයි. හැබැයි අපි හැමෝටම වඩා කෙළවරක් නොපෙනෙන සසරක මහා දුරක් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට පෙණුනා. නිරයේ, තිරිසන් ලෝකවල, ප්‍රේත, අසුර ලෝකවල වැටි වැටී දුක් විඳ විඳ අපි ආපු ගමන උන්වහන්සේට පෙනුණා. ඒ සියල්ල දැකලයි භාග්‍යවතුන් වහන්සේගේ සිතේ කරුණාව උපන්නේ. ‘අහෝ මේ සත්වයා සසර දුකට වැටිලා මොන තරම් නම් දුකක් විඳිනවා ද?’ කියලා. ඒ නිසා ම යි ඒ කරුණාවට ‘මහා කරුණාව’ කියලා කියන්නේ. ඒ මහා කරුණාවෙන් යුතුව දෙසූ අසිරිමත් ශ්‍රී සද්ධර්මය හේතුවෙන් කෙළ කෝටි ගණනිකුනුත් කිව නොහැකි තරමට සත්වයින් මෙලොව දුකිනුත් මිදී සැප ලැබුවා. සතර අපා දුකිනුත් මිදී සුගති සැප ලැබුවා. සසර දුකිනුත් මිදී නිවන් සැපයත් ලැබුවා. මුළු ලෝකෙටම එක වගේ කරුණාව පතුරුවන පාඩම කියා දුන්නෙත් ඒ මහා කාරුණිකයන් වහන්සේ ම යි. ඒ මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා..! අපටත් හදෙහි දුක් පිස දමා ළතෙත් කරුණාව සිතෙහි උපදවාගෙන හදෙහි සියලු දුක් පිස දමා සැනසීම උදා කරගන්නට වාසනාව ලැබේවා..!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.