පුහුදුන් පුද්ගල තත්ත්වයේ සිට රහතන් වහන්සේ කෙනෙකු දක්වා වර්ධනය වීම පිළිබඳ යථාර්ථවාදී විග‍්‍රහයන් බෞද්ධ චින්තනය තුළින් ප‍්‍රකට කරනු ලබයි. මුළු බුද්ධ අනුශාසනය ම කැටිකොට දක්වන ‘‘සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්තපරියෝදපනං, එ්තං බුද්ධානසාසනං” යන ගාථා පාඨය ඉතා වැදගත් ය. මෙහි පුද්ගලයෙකුගේ සංවර්ධනය සිදුකරන මූලික සාධක තුනක් දැක්විය හැකි ය. පළමුවන අවස්ථාව සියලූ පව්කම්වලින් වැළකීම වේ. පාපය යනු දස අකුසල් බව පඨමපාපධම්ම සූත‍්‍රයේ පෙන්වා දී ඇත. සිතේ ප‍්‍රකෘති නිරෝගී ගුණය කෙලසන ක‍්‍රියාවන් පාපී අදහසින් යුක්ත ය. පුද්ගල සන්තානය වික්ෂිප්ත කරන, පහත් බවට පමුණුවන, විෂම කරන, තමාටත්, අනුන්ටත් අහිතකර වන ක‍්‍රියාවලීන් සිය ජීවිතයෙන් වළක්වා තබා ගැනීම ආරම්භක පියවරයි. මෙහි දී ස්වයං විනය අවධාරණය කෙරේ. උසස් මනසකින් හෙබි මනුෂ්‍යයාට කුසලාකුසල ධර්ම පිළිබඳ පැහැදිලි හා නිරවුල් අවබෝධයක් තිබීම අවශ්‍ය වේ. මේ සඳහා දහම් දැනුම ඉතා වැදගත් ය.

බුදු දහමෙහි පුද්ගලයා විසින් කරනු ලබන සචේතනික සියලූ ම ක‍්‍රියාවන් මූලික වශයෙන් කුසල අකුසල වශයෙන් ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකට බෙදෙයි. මෙම ක‍්‍රියා කායික-වාචසික හා මානසික යන තිෙදාරින් ප‍්‍රකට වන අතර, එම ක‍්‍රියාවන්ගේ ගුණ විභාගය ‘කුසලාකුසල විනිශ්චය’ ලෙස හැඳින්වේ. බුදුසමයෙහි මිනිස් හැසිරීම් ඇගයීමේ දී භාවිත කර ඇති යෙදුම් කීපයක් ම ධර්ම ග‍්‍රන්ථයන්හි දක්නට ලැබේ. එයින් නිතර භාවිත වන යුගල පද බොහෝ ය. එ්වා අතුරෙන් ‘කුසල් – අකුසල්’ යන යෙදුම් අතිශයින් වැදගත් වේ.

මෙහි කුසල යන්නෙහි නිරෝග, නිවැරදි, පිරිසිදු, දක්‍ෂ යන අර්ථ ඇත. එ් අනුව අකුසල් යන්නෙහි රෝගී, වැරදි, අපිරිසිදු, අදක්ෂ යන තේරුම් ගැනේ. පුද්ගලයා ගිලන් කරවන, රෝගී කරවන, සිත අපිරිසිදු කරවන, වරද සහගත කරවන ක‍්‍රියා අකුසල ලෙසත්, නිරෝගී කරවන, දක්‍ෂතා ප‍්‍රකට කරවන, සිත පිරිසිදු කරවන ක‍්‍රියා කුසල ලෙසත් නිර්වචනය කෙරේ.

රාග, ද්වේෂ, මෝහ ආදි මානසික දුබලතා නිසා සිත රෝගී කරවයි. සිත පාලනය කර ගැනීමට අපහසු වේ. එවැනි රෝගී තත්ත්වයන් උදාකරන දුබලතා අඩුවීම නිසා සිත නිරෝගී වෙයි. වරදට පෙළඹීමේ හැකියාව පාලනය කර ගැනීම දක්‍ෂතාවයකි.

කුසල මූල හා අකුසල මූල යන පද ගැන ද දැන ගැනීම ඉතා වැදගත් ය. ලෝභ, ෙදා්ස, මෝහ යන තුන අකුසල මුල වන අතර අලෝභ, අෙදා්ස, අමෝහ යන තුන කුසල් මුල් වශයෙන් හැදින්වේ. එ් අනුව කුසල මූල පදනම් කොටගෙන කෙරෙන ක‍්‍රියා කුසල් හැටියටත් විග‍්‍රහ කෙරේ. එමෙන් ම පාපී අකුසල ධර්ම සොලවන, කම්පා කෙරෙන, දුරු කෙරෙන ක‍්‍රියා කුසල නමින් ද ධර්මයෙහි සඳහන් වේ.

බුදු දහමට අනුව පුද්ගල සංවර්ධනය යනු යහපත් ආකල්පවලින් මිනිස් චිත්ත සන්තානය ශිෂ්ට සම්පන්න කරවීමයි. ආකල්ප වර්ධනය පිළිබඳ කරුණු දැක්වීම සඳහා මුල් බුදු සමය විවරණය කරන ත‍්‍රිලක්‍ෂණ සංකල්පයේ අන්තර්ගතය දැන ගැනීම වැදගත් වෙයි. ‘අනිච්ච’ හෙවත් අනිත්‍ය නම්, හේතු-ඵල වශයෙන් හටගත් කිසිම දෙයක් සදාකල්හි නො පවත්වන බවයි. ‘දුක්ඛ’ නම්, දොම්නස් සහගත පීඩාකාරී අතෘප්තිකර ගතියයි. ‘අනාත්ම’ නම්, මම ය, මාගේ ය යනුවෙන් වෙනස් නොවන සදාකාලික ආත්මයක් වශයෙන් ගත හැකි යමක් නැති බවයි. මෙය ලොව හැම තැන පැතිර පවත්නා ලක්ෂණයකි. නියම විපස්සනාවට හා බෝධිඤණයට මඟ සැලසෙන්නේ ස්වභාව ධර්මයෙහි ඇති සියලූ සංස්කාරවලත්, ස්කන්ධවලත් පවත්නා මෙම විශ්ව ව්‍යාප්ත ලක්‍ෂණ ගැන මෙනෙහි කිරීමෙනි. මෙම මූලික ලක්‍ෂණ තුන පිළිබඳ අවබෝධය බුද්ධ ධර්මයෙන් සැලසෙන උසස් ම ආධ්‍යාත්මික පරිපූර්ණත්වයට පිවිසෙන ෙදාරටු විවෘත කරන යතුර සේ සැලකිය හැකි ය.

මේ අනුව ත‍්‍රිලක්ෂණ පිළිබඳ යම් ප‍්‍රමාණයකට හෝ වැටහීමක් ඇතිකර ගැනීම ධාර්මික ජීවිතයට මෙන් ම සාමාජයික ජීවිතයට ද වැදගත් ය. පුද්ගලයා ඇතුළු ලොව සියල්ලට ම පොදු සාධාරණ ධර්මතාවක් වන මේ ලක්‍ෂණය අනුව යමෙක් ලෝක ස්වභාවය දෙස බලන්නට පුරුදු වන්නේ නම්, එ් පුද්ගලයා අනවශ්‍ය අසීමිත ආශාවන් ඇතිකර ගැනීමට යොමු නො වේ. එ් නිසා තමන් තුළ ඇතිවන අනවශ්‍ය කායික-මානසික පීඩා ඇති නො වේ. ලොව අන්‍යයන් කෙරෙහි වෛරය, ක්‍රෝධය ඇතිකර නො ගැනීමටත්, ගැටුම් ඇතිකර නො ගැනීමටත් පුද්ගලයා යොමු වෙයි. මේ අනුව ත‍්‍රිලක්‍ෂණය පිළිබඳ අවබෝධය දෛනික ජීවිතය සහනයෙන්, සතුටෙන් ගත කිරීමටත්, නිවන අවබෝධයටත් හේතු වන බව තේරුම් ගෙන ක‍්‍රියා කිරීම වැදගත් වනු ඇත.

දෙවන සංවර්ධනීය අවස්ථාව ‘කුසලස්ස උපසම්පදා…’ හෙවත් කුසලය (යහපත) වැඞීම ය. මෙයින් තමාට හිතකර වූ ද අන්‍යයන්ට හිතකර වූ ද සුවදායී මනෝභාවයක් අදහස් කෙරේ. කුසලයෙන් හෙවත් පුණ්‍යයෙන් සිත ප‍්‍රසන්න වේ. ප‍්‍රණීත වේ. බුදු දහමෙහි සඳහන් පරම නිෂ්ඨාව වන නිවන කරා යොමු කරවන ක‍්‍රියා ඇගයීමෙහි ලා ද කුසල යන පදය භාවිත කළ අවස්ථා ද පෙළෙහි දක්නට ඇත. නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා උපකාරී වන චර්යාමය ලක්‍ෂණ හා මානසික ප‍්‍රත්‍යයන් විදහා දැක්වීම සඳහා ද කුසල යන පදය භාවිත කළ අවස්ථා පෙළෙහි දක්නට ඇත. නිවන් මඟට පිළිපන් දස අංගයකින් සමන්විත පුද්ගලයා කුසල් සම්පන්න පුද්ගලයෙකු හැටියට හැඳින්වෙන අවස්ථා ද දක්නට ලැබේ.

‘‘දසහි ඛෝ ඨපති ධම්මේහි සමන්නාගතෝ
පුරිස පුග්ගලං පඤ්ඤපේමී. සම්පන්න කුසලං
පරම කුසලං උත්තම පත්තිපත්තං සමණං
අයෝජක්බං….”
(සමණ මණ්ඩිකා – ම. නි.)

සූත‍්‍රයෙහි එන සඳහනට අනුව අසේඛ සම්මා දිට්ඨියේ සිට අසේඛ සම්මා විමුක්තිය තෙක් වන අංග දහයෙන් යුත් තැනැත්තා ‘සම්පන්න කුසල’ නමින් හඳුන්වා ඇත. මේ නම් රහතන් වහන්සේ ය. ධර්මයෙහි ඇතැම් තැනක අකුසල් යන්න ආස‍්‍රව හැටියට ද උපක්ලේෂ හැටියට ද අනුසය ලෙස ද හඳුන්වා ඇත. මජ්ඣිම නිකායේ ධම්මදායාද සූත‍්‍රයෙහි හා සල්ලේඛ සූත‍්‍රයේ අකුසල ධර්මයන්ගේ නාමාවලියක් සඳහන් වෙයි. එ් අතර සල්ලේඛ සූත‍්‍රයෙහි එක්, එක් අකුසල ධර්මයට ප‍්‍රතිපක්‍ෂ කුසල ධර්මය ද සඳහන් වෙයි.

කුසලයෙහි යෙදීමෙන් නිර්වාණ නැමති උත්තරීතර තත්ත්වයට පුද්ගලයා අනුක‍්‍රමයෙන් පමුණුවන බව අවධාරණය කරන බුදුරජාණන් වහන්සේ බෝධිපාක්‍ෂික ධර්ම අතර එන සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය ද කුසල් වශයෙන් දේශනා කොට ඇත. රාගය, ද්වේෂය, මෝහය අකුසල් ලෙසත් විස්තර වන අතර, එ්වායෙහි අභාවය කුසල වශයෙන් විස්තර කෙරෙයි. එමෙන් ම කුසල යන්න වැඩිය යුතු ධර්මයන් ලෙස ද දැක්වෙයි. වරක් කොසොල් රජතුමා විසින් නගන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ආනන්ද තෙරණුවෝ බුදුරජාණන් වහන්සේ කුසල පක්‍ෂයෙහිලා ගැනෙන සියලූ තත්ත්වයන් අත්කරගත් උතුමෙකු ලෙස ද හඳුන්වා ඇත.

නිවන් අවබෝධයට බාධා පමුණුවන පංච නීවරණයන් අකුසල් වශයෙන් හඳුන්වා ඇත. විශේෂයෙන් ම නිවන් මඟට පිළිපන් අයෙකු නිවන් මගෙහි සඵලතාව පිළිබඳ ඇති කරන්නා වූ අලස බව (ථීනමිද්ධය), නොසන්සුන් බව (උද්දච්ච කුක්කුච්ච), සැක සංකා සහිත බව (විචිකිච්ඡා) යන මානසික අස්ථායිතා විසින් අවබෝධය මැඩ පවත්වනු ලබයි. එ්වා නීවරණ වන අතර ම එ්වා අකුසල වෙයි. කායික, වාචසික හා මානසික ක‍්‍රියා මඟින් අකුසල ධර්ම දහයක් ප‍්‍රකාශයට පත්වන බව බුදු දහම උගන්වයි.

තුන්වන සංවර්ධන අවස්ථාව නම්, ‘සචිත්ත පරියෝදපනං….’ හෙවත් සිත පිරිසිදු කර ගැනීමයි. මෙය භාවනා (විදර්ශනා) අවස්ථාවයි. සියලූ ම හොඳ දේ සහ නරක දේ කරන්නේ සිතේ මෙහෙයවීමෙනි. සිතේ යහපත් පැත්ත මතුකර ගැනීමට අප උත්සාහ කළ යුතු ය. එ් සඳහා කළ යුත්තේ සිතට ඇතුළුවන විවිධ සිතිවිලි හඳුනාගෙන එ්වා බැහැර කොට චිත්ත සමාධිය ඇතිකර ගැනීමයි. ලෝභය, ද්වේෂය, මෝහය නොහොත් ඇල්ම, ගැටීම්, මුළාව නිසා සිත අපිරිසිදු වෙයි. සිත විටෙක සංවර වෙයි. වරෙක අසංවර වෙයි. එසේ වන්නේ සිතේ හටගන්නා සිතිවිලි අනුව ය. පිරිසිදු සිතිවිලි නිසා වචනය හා ක‍්‍රියාව යහපත් වෙයි. යහපතට යෙදූ සිත අපගේ මව්පියන් කරන යහපතට වඩා යහපතක් සිදුකරන බවත්, නොමඟට යෙදූ සිත සතුරන්ගෙන් වන විපතට වඩා විපතක් සිදුකරන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

භාවනාවෙන් ආශාව, කෝපය වැනි කෙලෙස් නිසා ඇතිවන මානසික නොසන්සුන්තාව නැතිව යයි. නිවැරදි තීරණ ගැනීමේ හැකියාව ද මේ නිසා වැඩි වෙයි. එක අරමුණක සිත තබාගෙන සිටීමට පුරුදු වීම නිසා සිතේ ඇතිවන නොයෙක් වැරදි අදහස්, නරක සිතිවිලි ක‍්‍රමයෙන් අඩුවෙන්නට පටන් ගැනේ. සිත විවිධ අදහස් නිසා විසිර යාම වැළකේ. ආශාව, කෝපය වැනි අවේග පාලනය කර ගනිමින් මානසික සන්සුන්තාව වැඩිකර ගැනීමටත්, නිවැරදි තීරණවලට එළඹීමටත්, එමඟින් සාර්ථක ජීවිත ගත කිරීමටත් භාවනාව ඉවහල් වේ.

සිත දියුණුකර ගැනීමෙහිලා ප‍්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ තමා දෙසට අවධානය හා සිහිය යොමුකර තමාගේ සැබෑ තත්ත්වය අවබෝධකර ගැනීමයි. තමා පිළිබඳ ඉතා සූක්ෂම විග‍්‍රහකරණයකින් බලත් බලත් ම තමා තුළ තිබෙන නොමේරු ගති, ආශා, සිත්හි ඊර්ෂ්‍යා, තරහ, මදමාන ආදි මුළාවන් පෙනෙන්න පටන් ගනියි. එසේ දැකීමත් සමඟ එ්වා දුරු වෙයි. මෙම වැදගත් මනෝවිද්‍යාත්මක සත්‍යය රතන සූත‍්‍රයෙහි ‘සහාවස්සදස්සන සම්පදාය’ යන ගාථාවෙන් පැවසෙන පරිදි නිවැරදි වර්ධනය සඳහා මම ය, මාගේ ය යන ආත්මවාද හැඟුම ද සත්‍ය පිළිබඳ සැකය ද විවිධ ශීල ව‍්‍රත දැරීමෙන් සත්‍යය අවබෝධ කළ හැකි ය යන මුළාව ද දුරු වී යාම අවශ්‍ය ය. මේ අනුව බලන විට සියලූ නරක දේ දුරු කිරීමත්, කුසල් නොහොත් යහපත් දේ කිරීමත්, සිහිය නිබඳව පිරිසිදුවෙන් තබාගැනීමට වෙර වැඞීමටත් – යහපත් ආකල්ප වර්ධනය සඳහාත් උචිත පදනම වේ.

මේ අනුව බෞද්ධ ජීවන රටාව පංච ශීලය, සතර බ‍්‍රහ්ම විහරණ, තිස් අටක් මංගල ධම්, දස පාරමිතා, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සප්ත (බොජ්ඣංග) සප්ත ආර්ය ධනය ආදි උසස් සාරධර්ම හා මනුෂ්‍ය ධර්ම පදනම් කරගෙන ඇත්තේ ය. වර්තමානයේ වියවුල් සහගත මනුෂ්‍ය සමාජයක් බිහි වී ඇත්තේ ඔවුන්ට තමාටත්, අන්‍යයන්ටත්, ස්වභාව ධර්මයටත් හිතකර සාමකාමී ජීවන ශෛලියක් ගොඩනගා ගැනීමට නො හැකි වී ඇති බැවිනි. එවන් සමාජයක් සුවපත් කිරීමෙහිලා බුදු දහමෙන් ලැබෙන ආලෝකය ඉමහත් ය.

මහාමේඝ 2015 මැදින් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාලබේ සුසීලාරාම විහාරාධිකාරී, කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ ආචාර්ය
ශාස්ත‍්‍රපති බෝදාගම සීලවිමල ස්වාමීන් වහන්සේ.