highlights of the week
Home » NEW ARTICLES » ලෝ සත සෙත සදනු පිණිස නෛෂ්ක්‍රම්‍යය සොයා වැඩි පුණ්‍ය චාරිකාවේ පිය සටහන් . . (අවසන් කොටස)

ලෝ සත සෙත සදනු පිණිස නෛෂ්ක්‍රම්‍යය සොයා වැඩි පුණ්‍ය චාරිකාවේ පිය සටහන් . . (අවසන් කොටස)

දිවකුරු සම්බුදු පාමුල විවරණ සිරි ලබා දෙවි මිනිසුන්ගේත්, නොමිනිස් වූ සොබා දහමේත් උත්තමාචාරයට බඳුන්ව යළි වනයට වැදුණු අප මහා බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය චාරිකාවේ නොමැකුණු පියවර සටහන් ය මේ දැකගන්නට වෙර දරන්නේ….

සූර්ය දිවාකර තෙමේ පෙරදිගින් උදා වී අවරගිරින් බැසයමින් සුපුරුදු වූ නොනවතින ගමනේ යෙදෙන්නට විය. කාලය කෙමෙන් ගතවන අතරේ දිවකුරු නම් වූ සම්බුද්ධ දිවාකරයාණෝ බොහෝ දෙවි මිනිසුන්ට නිවන් පුර ද්වාරය විවර කොට වදාළ සේක. බොහෝ මිනිසුන්ට සුරපුර දොරටු විවර කොට වදාළ සේක. මෙලෙසින් බුදු කිස නිමවා වදාළ තුන් ලෝකයට ම එක ම අස්වැසිල්ල වූ දීපංකර භාග්‍යවතුන් වහන්සේ අනිත්‍ය ධර්මතාවයේ කුරිරු බව ලොවට පසක් කරමින් බොහෝ ජනයාගේ නෙත් කෙවෙනි අග කඳුළින් තෙත් වෙද්දී පිරිනිවන බලා වැඩම කළ සේක. කාලයේ ඇවෑමෙන් වියැකී යමින් තිබුණු බුදු සසුන ලොවෙන් අතුරුදන් වී ගොසින් බුද්ධ ශූන්‍ය වූ අන්ධකාර යුගයක් ඇති විය.

මෙලෙසින් කල්ප ලක්ෂ ගණනින් කාලය ගෙවී යන අතරේ වරින් වර ඉතාමත් දුර්ලභ ලෙසින් බුදුවරු ලොවට පහළ වී සසර සරතැසින් විඩා වූ ජනී ජනයා, දෙව් බඹුන් අමා නිවන වෙත කැඳවාගෙන යන ලදී. එදා මෙදා තුර අතර කාලයේ දී සම්බුදුරජාණන් වහන්සේලා විසි හතරනමකගෙන් අප මහා බෝසතාණන් වහන්සේට විවරණ ලැබුණි. විසි හතර වතාවක් ම සත්වයන් සසරින් එතෙර කරවන බුදුරජාණන් වහන්සේලා මුණ ගැසුණි. එනමුත් තමන්ගේ විමුක්ති සැපයත් අතැර දමා සසර දුකින් පීඩිත ලෝ සතුන් දුකින් එතෙර කරවීමේ තිරසර අදිටන කිසිදු මොහොතක මඳක්වත් වෙනස් වූයේ නැත. සම්බුදුරජාණන් වහන්සේලා සිව්විසි වතාවක් මුණ ගැසෙද්දී පවා පරාර්ථචර්යාව උදෙසා කැප කළ දිවිය, අසරණ සත්වයන් දුකින් එතෙර කරවීමේ අදහසින් තැබූ පා කිසි විටෙක යළි හැරවුණේ නැත. බෝසතාණන් වහන්සේ සූවිසි විවරණ ලබද්දී සම්බුදු බව පතමින් වැඩි ගමනේ මඟ හසර මැනවින් පසක් කර ගත් සේක.

පාරමී දම් පුරමින් බෝසතාණන් වහන්සේ වැඩි ගමන අතිශයින් ම දුෂ්කර ය. බලගතු වීර්යයක් හා අසාමාන්‍ය ගුණ දහමින් සුපෝෂිත වූ බෝසත් චරිතයකට විනා වෙන කිසිවෙකුට එවැනි ගමනක් සිතාගතවත් නො හැකි ය. එය එතරම් ම අසාමාන්‍ය වූ දුර්ලභ වූ විස්මිත දෙයකි. පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමතිස් පෙරුමන් සපුරාලන්නට බෝසතාණන් වහන්සේ ගත් වෙහෙස, ඒ වෙනුවෙන් විඳි දුක් ගැන දන්නෝ කවරහු ද? ඒ සියලු දුක් විඳ දරා ගත්තේ සසර දුකින් පීඩිත ලෝ සතුන් සසරින් එතෙර කරවීමේ දයාබර අදහසින්, ලෝකානුකම්පාවෙන් හද මඩල තෙත් වී ගිය නිසාවෙනි.

සසර සැරිසරන සත්වයෝ අනේකප්‍රකාර වූ දුක් පීඩා විඳිති. කුසගින්නෙන්, පිපාසයෙන්, ජරා මරණ දුකින් ලෙඩවීමෙන්, ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිදුවන වියෝ දුකින්, සතර අපා බියෙන් ආදි වශයෙන් නිමක් නැති කටුක දුක් පීඩා විඳිති. මෙලෙසින් සා පිපාසයෙන් තැවි තැවී දුක් විඳින අසරණයින්ට සරණ වන්නට බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පතා පෙරුම් දම් පුරද්දී කී වතාවක් නම් බඩගින්නෙන්, පිපාසයෙන්, දුක් විඳින්නට ඇති ද? රජ මැදුරු, මාලිගා, සුවපහසු යහන්, රස මසවුළු සහිත මධුර වූ බොජුන් පසෙක දමා රුක් සෙවණේ අව් වැසි සුළං මැසි මදුරු සර්පයින්ගේ පීඩා විඳිමින් රූක්ෂ, කටුක බොජුන් වළඳමින් කෙතරම් කල් අප වෙනුවෙන් වෙහෙස ගන්නට ඇති ද? බෙලි කැපුම් ලබමින් මහ සයුර පරදන තරමට ලේ වගුරුවමින් බිහිසුණු සසර ගමනක නියැලෙන අසරණ අපව එකී කුරිරු ඉරණමින් මුදවාලන්නට සම්බුද්ධත්වය පතමින් ඇස්, ඉස්, මස්, ලේ, දන් දෙන විට, දිවි පරදුවට තබමින් පෙරුමන් පුරන විට ඒ බෝසත් සිරුරින් කෙතරම් නම් ලේ දහරා ගලා යන්නට ඇති ද? ඒ බවට ඛන්තිවාදී ජාතකය මොනවට සාක්ෂි දරයි.

එය බෝසතාණන් වහන්සේ ඉවසීම නම් වූ පාරමිතාව පුරන ලද ජීවිතයකි. එහි දී නපුරු දුෂ්ට රජෙකු බෝසත් තවුසාණන්ගේ ක්ෂාන්තිය කොහේ ඇත්දැයි විමසමින් බෝසතාණන් වහන්සේ අල්ලා බිමට ඇද දමා කටු කසයෙන් තලා ඉදිරිපසටත් පිටුපසටත් දෙපසටත් යන පැති හතරට කස පහර 2000ක් ගැස්සවී ය. එකල්හී බෝසතුන්ගේ සිවිය ද හම ද මස් ද පැලී ලේ වැගිරෙන්නට විය. තොපගේ ක්ෂාන්තිය කොහේ තිබේදැයි අසන විට හදවත තුළ ක්ෂාන්තිය පවතී යැයි බෝසතුන් පිළිවදන් දුන්හ. එවිට වධකයා බෝසතුන්ගේ අත් දෙක කපා දැමී ය. පා දෙක ද කපා දැමී ය. අත් පා දෙකෙළවරින් රුධිර දහරා දිය පහරක් සේ ගලා යන්නට විය. නැවතත් තොපගේ ක්ෂාන්තිය කොහේ ඇත්දැයි විමසද්දී හදවතෙහි ක්ෂාන්තිය පවතී යැයි බෝසත් තවුසාණන් පිළිතුරු දුන්හ. අනතුරුව බෝසතුන්ගේ කන් දෙක හා නාසය ද කපා දැමී ය. ගලා ගිය රුධිරයෙන් බෝසත් සිරුර තෙමී ගියේ ය. මෙසේ වධ බන්ධන දෙන විට පවා බෝසතාණන් වහන්සේ රජු කෙරෙහි අල්ප මාත්‍ර ද්වේෂයක් ඇති නොකර ගෙන, නො කිපී, ඉවසීම නම් වූ පාරමිතාව පිරූහ. එදවස මෙම සිදුවීම වන විට බෝසතාණන් වහන්සේට දැනුන වේදනාව කෙතරම් ද කියා අද දවසේ මේ සිදුවීම වචනයෙන් අහන අපට තේරුම් ගත නො හැකි ම ය. සම්බුද්ධත්වය උදෙසා වෙහෙසුණු අසංඛෙය්‍ය කල්ප ලක්ෂ හතරක කාලයෙන් එක් හෝරාවක කාලය පමණකි මේ. එසේ නම් සම්බුදු බව උදෙසා වෙර වීරිය වඩද්දී කී වතාවක් නම් බෝසත් සිරුරෙන් ගලා ගිය රුධිර දහරාවෙන් මහ පොළොව තෙමී යන්නට ඇත්ද?

එපමණකුදු නො වේ. ප්‍රිය විප්‍රයෝගයෙන් හට ගත් වියෝ දුකින් මහ සයුර පරදන්නට කඳුළු වගුරුවන දෙවි මිනිසුන්ගේ කඳුළැලි පිස දමනු පිණිස උතුම් සම්බුද්ධත්වය පතා සෙනෙහෙබර බිරිඳ, මොළකැටි දරුවන් දන් දෙන විට, බෝසත් දෙනෙතින් කෙතරම් කඳුළැලි කඩා හැලෙන්නට ඇති ද? කෙතරම් නම් සෝ සුසුම් හමා යන මඳ පවන හා මුසු වන්නට ඇති ද? මේ ගැන සිතන විට එක්තරා ජාතකයක් නිරායාසයෙන් සිහියට නැගේ. බෝසතාණන් වහන්සේගේ මනුලොව අවසන් අත්බැව් වූ වෙසතුරු සිරිතයි ඒ. බෝසත් දිවියක ඇති නිර්මල බව, පිවිතුරු බව, උදාරත්වය, අමිල වූ ගුණ දහමින් පිරිපුන් බව මොනවට කියාපාන වෙසතුරු සිරිතේ තතු මෙසේ ය. එහි සඳහන් අසිරිමත් වූ, සිත් සතන් මවිත කරවන, ලොව්තුරු හැඟුම් ජනිත කරවන, පහන් සංවේග උපදවන, සැදැහැ සිත් කුළුගැන්වෙන සියලු තතු දැක්වීමට තරම් ප්‍රතිබල නොවන බැවින් ඉතා සංක්ෂේපයෙන් මූලික සිදුවීම පමණක් මෙලෙසින් ගෙන හැර දැක්වේ.

අප මහා බෝසතාණන් වහන්සේ අට හැවිරිදි වෙස්සන්තර කුමරුව සිටිය දී මෙසේ සිතී ය.

‘ඉතිං කිසිවෙක් මගෙන් හදවත ඉල්ලන්නේ නම් පපුව පලා හදවත දන් දෙමි. ඇස් ඉල්ලන්නේ නම් ඇස් උගුලුවා දෙමි. මස් ඉල්ලන්නේ නම් මුළු සිරුරෙන් ම මස් ගලවා දෙන්නෙමි. ලේ ඉල්ලන්නේ නම් මම එය දෙමි. යමෙක් මේ කය ඉල්ලන්නේ නම් මම මුළු සිරුර ම දෙමි.’ දන් දීමෙහි ඇලුණ වෙස්සන්තර කුමරුගේ මෙම චිත්ත පරිවිතර්කය දරා ගත නො හැකි වූ මහපොළොව කම්පාවට පත් විය.

යොවුන් වියට පත්ව පිය රජු වෙතින් රාජ්‍යය ලැබ රජකම් කරන විට දිනපතා හය ලක්ෂයක් වියදම් කොට මහා දාන දුන්නේ ය. පිරිපුන් ශ්වේත වර්ණ ඇති, අහසින් ගමන් කරන, දිශාවලට වැසි ලැබදෙන මංගල සම්මත හස්ති රාජයෙක් රාජ්‍යයෙහි විය. කලිඟු රට නියඟයක් හටගෙන දුර්භික්ෂයක් ඇති වී ජනයා මහත් ව්‍යසනයට බඳුන් විය. කලිඟු රට රජු වැසි ලබාගැනීම සඳහා වෙස්සන්තර රජුගේ ශ්වේත හස්තියා ඉල්ලාගෙන එන්නැයි බමුණන් පිටත් කළේ ය. බමුණන් ගොස් හස්තියා ඉල්ලන විට දානයෙහි තුටු පහටු සිත් ඇති වෙස්සන්තර රජු ලක්ෂ ගණන් වටිනා මුතු මැණික් ආදි සැරසිලි සහිතව පන්සියයක් කුල ඇත් වෙදුන් හා ඇත් ගොව්වන් සහිතව හස්තියා දන් දුන්නේ ය. මෙසේ දන්දෙන විට යළිත් මහපොළව කම්පාවට පත් විය.

රාජ්‍යයේ මංගල හස්තියා දන් දීම ගැන කිපුණු රට වැසියෝ පිය රජුට දන්වා වෙස්සන්තර රජු රටින් නෙරපීමට කටයුතු කළහ. රටින් පිටුවහල් කරන ලද බව දැනගත් වෙස්සන්තර රජු රාජ්‍යය අතැර පිටවීමට පෙර ලද අවසරයෙන් යළිත් සත්තසතික නම් මහා දානයක් දුන්නේ ය. ඇතුන්, අශ්වයන්, රිය, ස්ත්‍රීන්, දෙනුන්, දාසියන් හා දාසයන් හත්සියය බැගින් දන් දුන්නේ ය. මෙලෙසින් දන් දෙන විට යළි මහපොළව කම්පා විය.

මෙලෙසින් මහ දන් දී පිය රජු, මව් දේවිය කඳුළු සලද්දී, රජ මැදුරේ සේවකයන් හා දුගී මගී යාචකාදීන් හඬා වැටෙද්දී වෙස්සන්තර රජු රටින් පිටවන්නට යන විට මන්ද්‍රි බිසව දරු දෙදෙනා ද රැගෙන රජු සමඟ පිටත් වූවා ය. රාජ්‍යය අතහැර රජු පිටව යන මොහොතේ මිහිමඬල එය දරා ගත නො හැකිව බිහිසුණු හඬ නංවමින් යළි කම්පා විය.

රථයට නැගී වන පියස බලා යන රජුගෙන් අතරමග දී බමුණෙක් පැමිණ අශ්වයන් ඉල්ලී ය. තම පහසුව ගැන නො සිතූ රජු අශ්වයන් දන් දුන්නේ ය. මහ පොළව යළි යළි සැලෙන්නට විය.

දෙවියන් දේව ඍද්ධියෙන් තිත් මුව වේශයක් ගෙන අවුත් අශ්වයන් නොමැති රථය ඉදිරියට ගෙන ගියහ. ටික දුරක් යන විට වෙනත් බමුණෙක් පැමිණ රථය ද ඉල්ලී ය. රජු රථය ද දන්දෙන විට තිත් මුව වේශයෙන් ආ දෙවිවරු නො පෙනී ගියහ. යළිත් වරක් මිහිකත කම්පා විය.

දෙදරුවන් වඩාගෙන රජු හා බිසව පා ගමනින් ම දුරු කතර ගෙවා වග වලසුන්ගෙන් ගහන වංකගිරියට පැමිණියහ. එහි දී පැවිදි වෙස්ගෙන බඹසර රකිමින් සෙනසුනක වාසය කරන්නට විය. මන්ද්‍රී දේවී වනයට වැද ඵල වැල ගෙනවිත් රජු හා දරුවන් ව පෝෂණය කළා ය. දිනක් මන්ද්‍රි දේවිය ඵල වැල ගෙනෙන්නට ගිය අතරේදී වෙසතුරු රජු සොයා මහලු ජූජක බමුණා පැමිණුනි. බිරිඳගේ අණ පරිදි දාසයන් සොයාගෙන පිටත් වුණු මේ මහලු, නපුරු පෙනුම ඇති බමුණා පැමිණ දෙදරුවන් ඉල්ලී ය. බියෙන් තැති ගත් ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදරුවෝ පොකුණට බැස නෙළුම්පතක් යට සැඟවී සිටියහ. පියරජු දෙදරුවන් අමතද්දී අතිශයින් ම කීකරු වූ සුවච ගති පැවතුම් ඇති දෙදරුවෝ පැමිණ පිය රජුගේ දෙපා වැළඳ කඳුළු වගුරුවන්නට විය. දරුවන්ගේ නෙත් කෙවෙනිවලින් රූරා වැටුණු කඳුළින් පියරජුගේ සිරිපතුල් තෙමී ගියේ ය. දරු පෙමින් භරිත සිත් ඇති වෙස්සන්තර රජුගේ දෙනෙතින් පැන නැගුණු කඳුළු කැට ලේ බවට පත් වී දරුවන්ගේ පිට තෙත් කළේ ය. බෝසතාණන් වහන්සේ දරුපෙම නම් බලවත් බන්ධනය තදින් මැඩගෙන හඬා වැළපෙන දරුවන් දන් දුන්නේ සම්බුද්ධත්වය ලබා සසර දුකින් පීඩිත සත්වයන් සසර කතරින් එතෙර කරලීමේ සෙනෙහෙබර පැතුමිනි. වැල්පටකින් දෙ අත් බැඳ වේවැලින් තලමින් දරුවන් රැගෙන යන විට පය පැකිලී බමුණා වැටුණු අවසරයෙන් පැනගත් දෙදරුවෝ දුවවිත් පියරජු පා වැළඳගෙන මෙලෙසින් අයැද සිටියහ. “පිය රජුනි, මෑණියන් ආරාමෙන් පිටව ගොස් තිබේ. ඈ පැමිණියාට පසු නපුරු බමුණාට අපිව දෙන්න. ඊට පස්සේ ඔහු අපිව මැරුවත් කමක් නෑ. පියාණෙනි, නංගී ක්‍රිෂ්ණජිනා තාමත් ඉතා මොළකැටියි. ඈ ව තියාගෙන මං පමණක් දෙන්න.” කඳුළින් තෙත් වූ නෙත් යුග ඇති දරුවෝ මෙලෙසින් වැළපෙද්දී ඇටමිදුලු දක්වා ම පැතිරී ඇති දරු සෙනෙහස සිරකරගෙන පිය රජු මුනිවත රකින්නට විය. එවිට පුතු ජාලිය “පියාණෙනි, ඔබගේ හදවත ගලක් වූයේ ද? මෑණියන් පියාණන් දකින්න නොමැතිවීමෙන් අපි බොහෝ දුකට පත් වන්නෙමු.” යි පැවසී ය. මෙලෙසින් වියෝ දුකින් මිරිකී ගිය දරුවන් මොළොක් බසින් කළ දුක් අඳෝනාවන් සවනත වැකෙත් ම පිය රජුගේ හදෙහි නැගුණු ශෝකය, සන්තාපය නිම්හිම් නැතිවිය.

බුර බුරා පැන නැගී දෝර ගලා යන දරුපෙම, ලෝක සත්වයන් කෙරෙහි පැන නැගුණු ලෝකානුකම්පාව නම් වූ වරපටින් බැඳ තබා දරුවන් දන් දෙන විට එය උසුලාගත නො හැකිව මිහිමඩල වැළපෙන්නට විය. සියුමැලි දරු දෙදෙනාට තරවටු කරමින් නපුරු ජූජක බමුණා නොපෙනී ගිය කල්හි එතෙක් හදෙහි සිර කර තැබුණු දරු ස්නේහය උතුරා ගලා යමින් මහා දුකකින්, චිත්ත සන්තාපයකින් වෙසතුරු රජුගේ හද මඩල වෙලී යන්නට විය. ආරාමය තුළට ගොස් විලාප තියමින් බෝසතුන් හඬන්නට පටන් ගත්හ. එකල්හී බෝසත් නෙතින් ගලා ගිය උණු කඳුළු ලේ බවට පත් වී බිම පතිත විය. සත්පුරුෂයන් දන් දී පසුතැවිලි නොවෙතියි සැණෙකින් සිහිය උපදවා ගත් බෝසතුන් පෙර බෝසත්වරුන්ගේ චරිතාපදානයන් පිරික්සා බලන්නට වූහ. අඹු දරුවන් දන් නො දී සම්බුදු බවට පත් වූ කිසිවකු නැත. එනිසා දරුවන් දන් දීම කළ යුතු ම දෙයකි. තව ද සිය දරුවන් සිවිරට පියරජු විසින් මුදවා ගන්නේ ය. මහා තෙදවත් වූ හිරු සඳු තැටියක් සේ ගෙන එය පරිභෝග කළ නො හැක්කාක් මෙන් මහා පින් ඇති දෙදරුවන්ගෙන් මෙහෙවර ලැබුමට ජූජක බමුණාට හැකියාවක් නැත. පියරජු ඒකාන්තයෙන් දරුවන් මුදවන්නේ යැයි සිතා බෝසතුන් ශෝකය මැඩගත්හ.

යළිත් වරක් බමුණු වෙස්ගත් සක් දෙවිඳු පැමිණ ප්‍රියාදර මන්ද්‍රි බිසව ඉල්ලා ඇයව දන් දෙන විට දී ද මිහිමඩල කම්පා විය. මෙලෙසින් සත් වරක් මිහිකත කම්පා කරවමින් වෙසතුරු රජු මහා දන් දෙමින් දාන පාරමිතාව පිරූහ.

වෙසතුරු සිරිත සැකෙවින් දැක්වූ විට මෙපරිදි වේ. භාග්‍යවතුන් වහන්සේ වදාළ සවිස්තරාත්මක වූ ජාතකය කියවන්නවුන්ට බෝසත් චරිතයේ ඇති පිවිතුරු බව, උදාර බව, සෞම්‍ය බව, පරහිතකාමී බව, ලෝකානුකම්පාව ආදි මෙකී නො කී අනේක විධ ගුණ දහම්වල ඇති සුන්දරත්වය අත්වින්ද හැකි ය. පහන් සංවේග උපදවා ගත හැකි ය. ශාස්තෘන් වහන්සේ අරබයා නිම්නැති භක්ත්‍යාදරයක් ගෞරව බහුමානයක් උපදවා ගත හැක්කේ ම ය. එනිසා ලොව්තුරු හැඟුමින් සිත් සතන් සුවපත් කරනු රිසියෝ වෙසතුරු සිරිත කියවත්වා! (අනෙකුත් ජාතක ද කියවත්වා!)

ඉදින් මෙලෙසින් මෙම ජාතකය, බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය පතා හෙළුෑ කඳුළැලි, සෝ සුසුම් පිළිබඳ ව මොනවට සාක්ෂි දරයි. එහෙත් මෙය පෙරුමන් පිරූ නිම් නැති සසරේ එක ම එක අවස්ථාවක් පමණකි. මිහිකත හඬා වැටුණු මෙපුවත අසන අපගේ හදවත් උණුසුම් වී යන්නේ ම ය. එසේ නම් එදවස එම සිදුවීම අත්විඳින විට බෝසත් හද මඬල සිප ගත් සෝ දුක් ගිනි කෙතරම් දැයි සිතාගතවත් නො හැකි ය. බෝසතාණන් වහන්සේ එය කෙලෙසින් නම් දරා ගන්නට ඇත්දැයි සිතාගත නො හැකි ය.

සතර අපායේ වැටි වැටී යන නීච වූ සසර ගමනෙන් විඩාපත් වූවන් ගිමන් නිවා අස්වසාලන්නට සම්බුද්ධත්වය පතමින් බෝසතුන් වැඩි ගමන මල් යායක් මැද්දෙන් වැටුණු මං පෙතක් මෙන් නො වී ය. එය කටු කොහොල් පිරුණු ඝෝර සසර ගමනකි. ගුණ දහම් පුරමින් වැඩි ගමනේ දී මේ තුච්ඡ සසරේ ම්ලේච්ඡත්වය ලොවට පසක් කරමින් අප මහා කාරුණිකයන් වහන්සේට තිරිසන් අපායේ පවා උපත ලබන්නට සිදු විය. තිරිසන් ජීවිතයේ සිටිය දී පවා බෝසතාණන් වහන්සේ පෙරුම් දම් පුරමින් ගුණ දහම් දියුණු කළ අයුරු පුදුම සහගතයි. ආශ්චර්යයි. සූවිසි බුදුවරයන් වහන්සේලාගෙන් ම විවරණ ලබා පාරමී දම් පුරමින් ගුණ දහම් වඩමින් පින් පුරාගෙන යන ගමනේ දී බෝසතාණන් වහන්සේත් තිරිසන් අපායේ උපත ලැබුයේ නම් එවන් කිසිවක් නොමැතිව අල්ප පිනකින් යුතු අපගේ ජීවිතවල සතර අපායට වැටීමේ ඇති අනතුර කෙතරම් බියජනක ද? මෙලෙසින් සතර අපායේ පවා උපත ලද බෝසතාණන් වහන්සේ අපමණ දුක් විඳිමිනුයි පාරමී දම් සපුරා ගත්තේ. අසංඛෙය්‍ය සතරකුත් කල්ප ලක්ෂයක් පුරාවට මෙබඳු දුක් කෙතරම් විඳ දරා ගන්නට ඇත්ද? අප අසා තිබෙන්නේ, අප දන්නේ බෝසතුන් විඳි දුක් සයුරෙන් ඉතා ම ස්වල්පයකි. උපමාවකුදු දක්වාලිය නොහැකි තරම් අල්පයකි අපි දන්නේ. සැකෙවින් දක්වන්නේ නම් පරාර්ථචර්යාව උදෙසා, අන්‍යයන්ගේ සැප කැමතිව මෙතරම් කැප කිරීමක් කළ, එතරම් දුක් ගැහැට විඳි වෙන කිසිවෙක් ලොව නැත. මෙබඳු ගුණ සොබා දහමට පවා කෙසේ නම් නො දැනී තියේවි ද?

අද දවසේ බුදු වදන් අසා ගිනි ගත් සිත් සතන් නිවා දහම තුළ සැනසෙන අපි අපගේ ශාස්තෘන් වහන්සේට කෙතරම් නම් ණයගැති වෙමු ද? තිලොවග සම්බුදු පදවි දැරූ අප මුනිඳුන් ඒ උදෙසා ගත් පරිශ්‍රමය පිළිබඳ මනා විග්‍රහයක් කිරීමට තරම් අපි ප්‍රතිබල නො වෙමු. සැබැවින්ම එය අපට කළ නො හැකි ම ය. කෙසේ නම් ඒ අසාමාන්‍ය වූ බෝසත් සිරිත ගැන අප විවරණය කරන්න ද? කෙසේ නම් ඒ ගුණ කඳට තුති පුදා අවසන් කරන්න ද? කෙසේ නම් ඒ ගුණ අපි වනන්න ද?

සැබැවින්ම මේ ලිපිපෙළ බෝසත් චරිතය විනිවිද දකින්නට කළ පරිශ්‍රමයක් ද නො වේ. එවැනි පරිශ්‍රමයක් දැරීම පවා අප හට උගහට ය. මෙය වනාහී බෝසත් සිරිත පිළිබඳ ලැබූ අල්ප මාත්‍ර දැනුමිනුත් අංශුවක් පමණ ඉතාමත් සංක්ෂිප්තව ගෙනහැර දැක්වීමක් පමණකි.

කෙසේ වනන්න ද ගුණ වරුණා – නිමක් තෙරක් නැත ගුණ සයුරා

වදනින් දක්වාලිය නො හැකි, සිතින් සිතා ගත නො හැකි අචින්තනීය වූ පසසා නිමකළ නො හැකි අපමණ වූ ගුණ ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
ශාස්තෘ සම්පත්තිය හඳුන්වා දී මඟ හසර පෙන්වූ ගුරු උතුමන්ට පින් පෙත් අනුමෝදන් වේවා!

ආශ්‍රිත ග්‍රන්ථ : බුද්ධවංශ පාලි
ජාතකට්ඨ කථා
ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මැණියන් වහන්සේ නමක් විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපමණ ලෝ සතුනට සෙත සැලසූ අසිරිමත් තථාගත දින චරියාව

භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන්ගේ සිත්සතන් තම සිතින් පිරිසිඳ බලා ඇතැම් කෙනෙක් සරණාගමනයෙහි පිහිටත් ද ඇතැමෙක් සෝතාපන්න වෙත් ද සමහරු සකදාගාමී, අනාගාමී වෙත් ද සමහරුන් පැවිදිව අග්‍රඵලය වූ අරහත්වය ලබා ගනිත් ද එසේ දහම් දෙසන සේක.