මහණෙනි, මේ පස් කරුණ දකින මව්පියවරු තම පවුලට දරුවෙකු ලැබීම ගැන කැමති වෙති. ඒ කවර කරුණු පසක් ද යත්;

අප විසින් පෝෂණය කරනු ලබන මොහු අපව ද පෝෂණය කරන්නේ ය. අපගේ කටයුතු ද කරන්නේ ය. අපගේ කුල පරම්පරාව ද බොහෝ කල් පවත්වන්නේ ය. දායාදය මැනැවින් පරිහරණය කරන්නේ ය. එමෙන් ම මියගොස් පරලොව ගියවුන් උදෙසා පින් පිණිස දානාදී පින්කම් කරන්නේ ය යනුවෙනි.

මහණෙනි, මේ පස් කරුණ දකින මව්පියවරු තම පවුලට දරුවෙකු ලැබීම ගැන කැමති වෙති.

(ගාථා)

1. නුවණැති මව්පියෝ පස් කරුණක් දකිමින් දරුවෙකු ප්‍රාර්ථනා කරති. අප පෝෂණය කරනු ලබන මොහු අප ව ද පෙරලා පෝෂණය කරන්නේ ය. අපගේ කටයුතු ද කරන්නේ ය.

2. කුලවංශය බොහෝ කල් පවත්වන්නේ ය. දායාදය මැනැවින් පරිහරණය කරන්නේ ය. එමෙන් ම මිය පරලොව ගිය කල්හී දන්පැන් පුදන්නේ ය.

3. නුවණැත්තෝ මේ කරුණු පස දකිමින් දරුවෙකු ප්‍රාර්ථනා කරති. එහෙයින් ශාන්ත වූ සත්පුරුෂ වූ කෙලෙහිගුණ දන්නා කෙලෙහි ගුණ සිහිකරනා දරුවෝ,

4. තමන්ට කළ උපකාර සිහි කරමින් ඒ මව්පියන් පෝෂණය කරති. ඔවුන් විසින් පූර්වයෙහි කරන ලද කටයුතු ද ඔවුන් කළ පරිද්දෙන් ම කරති.

5. මව්පියන්ගේ අවවාදයට අනුව කටයුතු කරන, තමා පෝෂණය කළ දෙමව්පියන් පෙරළා පෝෂණය කරන, කුලවංශය නොපිරිහෙලන සැදැහැවත් සීල සම්පන්න වූ පුත්‍රයා ප්‍රශංසා ලැබිය යුත්තේ ය.

පුත්ත සූත්‍රය – අං.නි. 3