අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කාලයක දී සිදුවූ දෙයකි මෙය. ඉතා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් බුද්ධ ශාසනයෙහි පැවිදි විය. ඒ තෙරුන් වහන්සේ දිවි දෙවැනි කොට උතුම් සීලය ආරක්ෂා කළ සේක. විශේෂයෙන් බඹසර ගැන හොඳ අවධානයක් තිබුණේය. බඹසර කැඩෙන්නේ ඉන්ද්‍රිය අසංවරයෙන් බැවින් ඉඳුරන් හොඳින් සංවර කළ සේක. අහන, දකින, හිතන, දැනෙන අරමුණුවලින් රාගය ඇවිස්සෙන්න දුන්නේ ම නැත. වතුරෙන් උඩට ඉබ්බා හිස දමා මිනිසෙක් දුටු පමණින් ‘මාව නොදකිත්වා’ යැයි ජලයේ ඇතුළට කිමිදෙන සෙයින් මේවා දැක්කොත්, ඇහුවොත් මගේ රාග කෙලෙස් ඇවිස්සෙයි කියා සිතුණ පමණින් අසුභ ආදී අරමුණෙහි කිඳා බැසීමට උන්වහන්සේ පුරුදු වූහ. ඉන්ද්‍රිය සංවරය විසූක දර්ශනයෙන් බිඳෙන බැවින් කාලගෝට්ටි අස්සේ නොයා හුදෙකලාවට ආසා කළහ. නමුත්, නවක භික්ෂුවක් නිසාවෙන්, කොස්වාළිහිණියා කොහේ ගියත් සවස් වෙනකොට පිරිස අතරට එනවා වාගේ හුදෙකලාවට ආසා කළත්, තනිව බණ භාවනා කළත් ගුණවත් සංඝයාගෙන් ඈතට නම් වැඩියේ නැත.

විටින් විට හිත අසංවර විය. රාගය සිතට ආවේ ය. ශ්‍රේෂ්ඨ ගවයා කරත්තේ බැන්දට පස්සේ දාන බර කොහොම හරි අදිනවා වාගේ කොහොමහරි සමාදන් වුණ සිල් පද රැක ගත්හ. බඹසරට ස්ත්‍රිය කටුවක් බැවින් ස්ත්‍රීන් දෙස නම් නොබැලුවේය. පිණ්ඩපාතය බෙදද්දීවත් ඇඟිලි, නිය පොතු ආදී කිසි නිමිත්තක් ගත්තේ නැත. තවත් ශ්‍රමණ ගුණධර්ම පුරුදු කළේය. මැණිකක් වාගේ පවිත්‍රව ඉන්න ආසා කළේය. මේ විදියට උපසම්පදාවෙන් වසර පහක් සංඝයා අතර වැඩ සිටියේය. තම ගුරු ස්වාමීන් වහන්සේගෙන් වනයට යන්ට අවසර ඉල්ලීය. ශිෂ්‍ය තෙරුන්ගේ යහපත් ඇවතුම් පැවතුම් හා වීර්ය පුරුදු කිරීමත්, පිරිසිදු සීල සංවරයත් ගැන ගුරු ස්වාමීන් වහන්සේ ගොඩක් පැහැදී සිටියහ.

උන්වහන්සේ ඒ සඳහා අවසර ලබා දුන්හ. මහ වනයට පැමිණුන ගෝල ස්වාමීන් වහන්සේ වනයේ කුටියේ ඇඳ පවා අයින් කොට අරහත්වයට පත් වන ආසාවෙන් සක්මනෙනුත්, හිඳගනිමිනුත් භාවනා කළහ. පිණ්ඩපාතය ගැන සැලකිල්ලක් ලොකුවට දැක්වූයේ නැත. ආහාර මදිකමින් උන්වහන්සේ දුර්වල වූහ. දිනක් සක්මන් කරමින් සිටියදී ම උන්වහන්සේ අපවත් වූහ. සක්මනෙහි ම මිය ගිය ශරීරය ඇද වැටිණ.

යම් කෙනෙකු සක්මන් කරමින් හෝ භාවනා කරමින් ඉඳගෙන යමකට හේත්තු වී හෝ සක්මනේ කෙළවර නිදා සිටිය දී හෝ ධර්මාසනයේ දහම් දෙසමින් හෝ මිය යයි නම් ‘ධර්මයේ හැසිරෙමින් මිය ගියා’ කියන ගණයට වැටේ. එසැණින් සුගති උපත සැලසේ. මේ තෙරුන් වහන්සේ ද අපවත් වී තව්තිසා භවනේ මහා විමානයක ගව් තුනක් උසැති සොඳුරු දිව්‍ය පුත්‍රයෙක් ව ඉපදුණහ.

විමානය තුළ දහසක් දිව්‍ය අප්සරාවන් සතුටින් පිනා ගොස් ‘අපගේ දිව්‍ය පුත්‍රයා පහළ වූයේ යැ’යි වට වුණහ. දිව්‍ය අප්සරාවන්ගේ ලස්සන කියන්නට මනුස්ස ලෝකයේ උපමා නැත. සිතා ගත නොහැකි තම් ලස්සන ය. ඒ දිව්‍ය පුත්‍රයා තවම ශ්‍රමණ සංඥාවෙන් ම සිටියේය. ස්ත්‍රී හඬින් ඔවුන් විහාර චාරිකා පැමිණි ස්ත්‍රීන් යැයි සිතා බිම බලා ගත්තේය. දිව්‍ය අප්සරාවෝ නැටුම් ගීත දැක්වූහ.

දිව්‍ය පුත්‍රයා දිව්‍ය සළුව සිවුර සේ පොරවා සක්මන් කළේය. අප්සරාවෝ ‘මේ නම් ශ්‍රමණ දිව්‍ය පුත්‍රයෙක් යැ’යි සිතා විශාල දර්පණයක් ඉදිරියේ තබා, “ඔබ දැන් ශ්‍රමණ කෙනෙකු නොවෙයි. දැන් දිව්‍ය පුත්‍රයෙක්. අපි දහසක් දිව්‍ය අප්සරාවන් ඔබ වෙනුවෙන් උපස්ථානයට යි සිටින්නේ. මේ දෙව්ලොව සැපය විඳින්ට කාලය යි.” කියා වට කර ගත්තෝ ය.

දිව්‍ය පුත්‍රයාට සිදු වී ඇති දෙය වැටහිණි. ‘අහෝ මාගේ උතුම් පවිත්‍ර බඹසරට කුමක් වේවිදෝ. නිවන පතමින් සිටි මා හට කුමක් සිදු වූයේදෝ. මා හට දැන් පිළිසරණ කවුදෝ…’ යි සිත්හි සංවේගය හටගත්තේය. වහා එතැනින් අතුරුදහන් වී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ විය. නොබිඳුණු සිල් ඇති මේ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වන්දනා කොට එකත්පස් ව සිට මෙසේ පැවසීය.

“අනේ ස්වාමීනි, මේ අප්සරාවන් හරියට ඝෝෂා කරනවා. පිශාචයෝ ගොඩක් එකතු වුණා වගේ. මෝහයෙන් හැදිච්ච වනාන්තරයක් වගෙයි. මෙතැනින් නිදහස් වෙන්නේ කොහොමද?”

භාග්‍යවතුන් වහන්සේ මොහුගේ ජීවිතය දුටු සේක. සසරට නොඇලෙන කැමැත්ත දුටු සේක. නොබිඳුණු සිල් ඇතිව දහම ම සොයන බව දුටු සේක. අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ආර්ය මාර්ගය නමැති ඍජු මාර්ගයක් තියෙනවා. බය නැති තැන නමැති දිශාවට යි ඒ මාර්ගය වැටිලා තියෙන්නේ. කිසි සද්දයක් නැති රථයක් තියෙනවා. ඒ රථය කැරකෙන්නේ දහම් රෝදවලින්.

ඒ රථයේ වාඩිවෙන ආසනේ තමයි ලැජ්ජා – බය දෙක. ඒ රථය සරසවලා තියෙන්නේ සිහිය නමැති සැරසිල්ලෙන්. සම්මා දිට්ඨිය පෙරටු කර ගත් ආධ්‍යාත්ම බලයෙන් යුතු ශ්‍රී සද්ධර්මය තමයි ඒ රථයේ රියදුරා.

යම් කිසි ස්ත්‍රියකට හරි පුරුෂයෙකුට හරි ඔය ජාතියේ රථයක් තියෙනවා නම් එයාට ඒ රථයෙන් අමා නිවනට ළං වෙන්ට පුළුවනි.”

මේ උතුම් බුද්ධ වචන ඒ දිව්‍ය පුත්‍රයා තේරුම් ගත්තේය. අවබෝධ කළේය. උතුම් සෝතාපන්න ඵලයට පත් විය. යාන්තං මේ මඩ වගුරෙන් ගැලවිනි. උත්තම බ්‍රහ්මචරියාවේ මනා ව පිහිටියේය. දැන් කෙසේ නම් සිල් පළුදු වන්න ද? අනික් කාරණාව, දහමේ හැසිර නිදි වරාගෙන බණ භාවනා කරමින් කළ උත්සාහය විපාක දුන්නේ, මුදුන්පත් වූයේ ධර්මය අසද්දී ය. අනික උත්සාහ කළේ මනුලොව ය. අවබෝධ කළේ දෙව්ලොව ය. මේ ධර්මාවබෝධය හරි අපූරු සංසිද්ධියකි.

තවත් විශේෂ කරුණක් වෙයි. මේ දෙවියා භාග්‍යවතුන් වහන්සේ කරා ගෙනාවේ ඔහුගේ උතුම් බඹසරත්, නිවන් දකින්නට තියෙන බලවත් කැමැත්තත් ය. අද කාලේ දිව්‍ය අප්සරාවෝ නොව එක නාටු ස්ත්‍රියක් නිසා සමහරු බ්‍රහ්මචරියාව සුන්නද්දූලි කර ගනිති. දිව්‍ය අප්සරාවන් ගැන කවර කතා ද… පුංචි ජංගම දුරකථනය අද කාලේ කී දෙනෙකුගේ සිල් කඩනවා ද? ඇත්තටම ඒ කරුණෙන් ඒ උපකරණ මහා අසත්පුරුෂ, සතුරු උපකරණ ජාතියක් යැයි හැඟේ.

දෙවියා තමන් නැවත ඉපදී ඇති නිසාත්, දෙව් අප්සරාවියෝ තමා උදෙසා වන බැවිනුත්, එහි සිල්පද කවුරුන්වත් පනවා නැති බැවිනුත් ඒ ස්ත්‍රීන් ළඟට ගියා නම් එහි වරදක් තිබේ ද? නැත. එහෙත් ඔහු බඹසරට ආසා කළ නිසා, කාමයට අප්‍රිය නිසා භාග්‍යවතුන් වහන්සේ සොයා ගියේය. නොබිඳුණු සීලයෙන් ධර්මය ඇසුවේය. සෝතාපන්න වී සතර අපායේ ගිනි නිවා ගත්තේය. එදා ස්ත්‍රීන් සමඟ එකතු වුණා නම්, ප්‍රමාද වූවා නම් ඔහුට ඒ අවස්ථාව මඟ හැරී යන්නට තිබිණි. මේ තමයි බඹසර ගැන කතාව… බඹසරට ආස කෙනාට දිව්‍ය අප්සරාවියෝ ප්‍රේතියන් සේ පෙණින.

කාමාශක්ත ජනයාට ප්‍රේතියෝ දිව්‍යාංගනාවන් සේ පෙනෙති. මේ මායාවෝ සිතෙහි ම ජනිත වෙති. එනිසා ම මේ කාමය ‘සංකල්ප රාගය’ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මේවා නුවණින් තේරුම් ගත යුතු ය. ඔබ රකිනා පිරිසිදු සීලය ඔබට කවදා හෝ සැනසිල්ල ලබාදෙනු ඇත. බලවත් රෝගයකින් මිදෙන්නට අප්පිරියාවෙන් නමුත් බොන කසායක් සේ දුෂ්කර ව නමුත් උතුම් සිල් පද රැකිය යුතු ය. සීලය, කෙලෙස් යුද්ධය කරනා භූමිය යි.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි