පි සාමාන්‍යයෙන් වචනය ගැන සැලකිල්ලක් නෑ. අප සලකන්නේ කට ගැනයි. දත් ටික මැදලා පිරිසිදුවට තබාගන්න, කට සුවඳ ගහන සුවඳ වර්ග හප හපා ඉන්න, සුවඳ හමන බුලත් විට කන්න…. එතකොට එයා හිතන්නේ කට පිරිසිදුයි කියලා. ඒ සුවඳ හමන දේවල් කාලා කටින් සුවඳ හමද්දී පුළුවන් තරම් කියන්නේ බොරු නම් එතකොට කට සුවඳ හැමුවාට ඒ කටින් පිටවන වචන සම්පූර්ණයෙන් අපිරිසිදුයි. කටින් කොතරම් මිහිරි සුවඳ හැමුවත් කේළාම් නම් කියන්නේ වචනය අපිරිසිදුයි. එහෙම නම් වචනය පිරිසිදු වෙන්නේ කට සුවඳ ගැසීමෙන් නො වෙයි, ඉන්ද්‍රිය දමනය තුළ – ජීවිත අවබෝධය තුළ පිහිටා කටයුතු කිරීමෙන් බව අප නිවැරදිව තේරුම් ගන්න ඕනේ.

මුසාව දින චරියාවේ සාමාන්‍ය අංගයක් බවට පත්ව තිබෙන සමාජයක, මුසාව නිසා බොහෝ විපත් අර්බුද අකටයුතුකම් වෙන සමාජයක, මුසාවේ විපාක නොදන්න සමාජයක ජීවත්වන ඔබ නිතර ම ඔබේ සිත කය වචනය රැකගන්න මහන්සි ගන්න ඕනේ. සමහර විට එකතු වුණු වෙලාවක කතාකරන්නේ ඕපදූප. මෙය අයත් වන්නේ දෙතිස් කතාවලට. මේ ඕපදූපවලට පැටලෙන කෙනාට වචනයේ සංවරකමක් නෑ. වචනය හැසිරවීමේ බලය එයාට නෑ. ඒ නිසා එයාගේ සිත තුළ තියෙන දේවල් කටින් පිටවෙනවා. එයාවත් දන්නේ නෑ අන්තිමට ඒ පිටවෙන දේවල් අතර දූෂිත වචනත් තියෙනවා. දූෂිත වචන කියන්නේ බොරු, කේළාම්, පරුෂ වචන, හිස් වචන. සිහිනුවණින් තොරවීම තමයි මේ විදිහට වචනය අසංවර වෙන්නේ.

බොරු කීමෙන් වැළකීමට නම්, ‘මම ඇත්ත කථාකරන කෙනෙක් බවට පත්වෙනවා. කෙනෙකු කිසිසේත් ම රවටන්නේ නැති කෙනෙක් බවට පත්වෙනවා. යහපත් වචන කථාකරන කෙනෙක් බවට පත් වෙනවා.’ යන කරුණ හිතේ දැඩිකොට ගන්න ඕනේ. ඒ කෙනාට සමඟියටත් ලොකු ආසාවක් තියෙන්න ඕනේ. සමඟියට කැමැත්ත, සමඟියෙන් සතුටු වීම, සමඟිය ඇති වෙන දේ පමණක් කථාබහ කිරීමට තරයේ අදිටන් කොට සිටීම යන මේ කරුණු තියෙනවා නම් කේළමෙන් වළකින්න පුළුවන් වෙනවා.

සමහරු ඉතා ම නිසරු කථාවලින් තමන්ගේ ජීවිත ගෙවනවා විනා තමන්ට කිසිදු ජීවිත අවබෝධයක් ඒ තුළින් ලැබෙන්නේ නෑ. සම්පප්‍රලාපයෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය මනාකොට පුරුදු කළොත් එයාට වචනයෙන් බොහෝ පින් රැස්කර ගන්න පුළුවන්.

බිඳුණු සිත් සනසන්න

බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා කිරීම, ලෝකයේ යහපතට කතා කිරීම, අසමඟි අය සමඟි කිරීම, බිඳුණු සිත් ඇති අයගේ සිත් සැනසීම, ධෛර්ය සම්පන්න වීමට කරුණු කීම, ජීවිතාවබෝධය පිණිස උපකාර වන දේවල් කියා දීම යන මේ සියල්ල වචනයෙන් කරන්න තියෙන පින්කම්. මේ සියලු පින්කම් කිරීමේ වාසනාව අපට ලැබෙනවා. යම් වචනයක් කතාබස් කරද්දී ඒ තුළින් අකුසල් වැඩෙයි නම් – කුසල් පිරිහෙයි නම් ඒ වචන කථා නොකළ යුතු බවත්, යම් වචනයක් කථාබස් කරද්දී ඒ තුළින් කුසල් වැඩෙයි නම් – අකුසල් පිරිහෙයි නම් ඒ වචන කථා කළ යුතු බවත් බුදු සමිඳාණෝ අපට වදාළ සේක.

දිනක් මගධ මහා අමාත්‍ය වූ වස්සකාර බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට මෙසේ කීවා.

“ගෞතමයන් වහන්ස, යම් කිසිවෙක් මා විසින් මෙසේ දක්නා ලදැයි දුටු දේ කියයි නම් එහි දෝසයක් නැත. මා විසින් මෙසේ අසන ලදැයි යම් කිසිවෙක් ඇසූ දෙය කියයි නම් එහි දෝසයක් නැත. මා විසින් මෙසේ ගන්ධය ආඝ්‍රාණය කරන ලදැයි යම් කිසිවෙක් කියයි නම් එහි දෝසයක් නැත. මා විසින් මෙසේ දිවෙන් රස විඳින ලදැයි යම් කිසිවෙක් කියයි නම් එහි දෝසයක් නැත. මා විසින් මෙසේ කයෙන් පහස ලබන ලදැයි යම් කිසිවෙක් කියයි නම් එහි දෝසයක් නැත. මා විසින් මෙසේ සිතන ලදැයි යම් කිසිවෙක් කියයි නමි එහි දෝසයක් නැත. ස්වාමීනි, මම මෙවැනි මතයක් දරමි.”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“බමුණ, දුටු යමක් ගැන අන් අයට කියන විට අකුසල් වැඩෙත් ද කුසල් පිරිහෙත් ද මෙබඳු දුටු දෙය නොකිය යුතු යැයි මම කියමි. බමුණ, යම් දුටු දෙයක් කියන විට අකුසල් යටපත් වෙත් ද කුසල් දහම් වැඩෙත් ද එවැනි දුටු දෙය කිය යුතු යැයි මම කියමි.

බමුණ, යම් ඇසූ දෙයක් අන් අයට කියන විට අකුසල් වැඩෙත් ද කුසල් දහම් පිරිහෙත් ද මෙබඳු දෙය නොකිය යුතු යැයි කියමි. බමුණ, යම් ඇසූ දෙයක් අන් අයට කියන විට අකුසල් යටපත් වෙත් ද කුසල් දහම් වැඩෙත් ද මෙබඳු වූ ඇසූ දෙය කිය යුතු යැයි මම කියමි. බමුණ, නාසයෙන් ආඝ්‍රාණය කළ යම් දෙයක් අන් අයට කියන විට අකුසල් වැඩෙත් ද කුසල් දහම් පිරිහෙත් ද මෙබඳු ආඝ්‍රාණය කළ දෙය නොකිය යුතු යැයි මම කියමි. බමුණ, යම් ආඝ්‍රාණය කළ දෙයක් අන් අයට කියන විට කුසල් දහම් වැඩෙත් ද අකුසල් දහම් පිරිහෙත් ද මෙබඳු ආඝ්‍රාණය කළ දෙය කිව යුතු යැයි මම කියමි. බමුණ, යම් දිවෙන් විඳින රසයක් අන් අයට කියන විට අකුසල් වැඩෙත් ද කුසල් දහම් පිරිහෙත් ද මෙබඳු රසය ගැන නොකිය යුතු යැයි කියමි. බමුණ, යමෙක් දිවෙන් විඳින රසයක් අන් අයට කියන විට අකුසල් පිරිහෙත් ද කුසල් දහම් වැඩෙත් ද මෙබඳු රසය ගැන කිව යුතු යැයි මම කියමි. බමුණ, යමෙක් කයින් ලබන පහසක් අන් අයට කියන විට අකුසල් වැඩෙත් ද කුසල් දහම් පිරිහෙත් ද මෙබඳු පහස ගැන නොකිව යුතු යැයි මම කියමි. බමුණ, කයින් ලබන පහසක් ගැන අන් අයට කියන විට අකුසල් යටපත් වේ ද කුසල් දහම් වැඩෙත් ද මෙබඳු පහස ගැන කිව යුතු යැයි මම කියමි. බමුණ, යමෙක් මනසින් සිතූ සිතුවිලි අන් අයට කියන විට අකුසල් වැඩෙත් ද කුසල් දහම් පිරිහෙත් ද එබඳු සිතුවිලි ගැන නොකිව යුතු යැයි මම කියමි. බමුණ, මනසින් සිතූ යම් සිතුවිලි අන් අයට කියන විට අකුසල් පිරිහෙත් ද කුසල් දහම් වැඩෙත් ද එබඳු සිතුවිලි ගැන කිව යුතු යැයි මම කියමි.”

මේ දේශනාව අසා වස්සකාර බමුණා සතුටට පත් වුණා. (වස්සකාර සූත්‍රය – අං. නි. 2)

වස්සකාර බමුණාට භාග්‍යවතුන් වහන්සේ වදාළේ වටිනා ධර්මයක්. එනම්, දැක්ක දෙය අසන ලද දෙය ආඝ්‍රාණය කරන ලද දෙය රස විඳින ලද දෙය පහස ලැබූ දෙය සිතූ දෙය අන් අයට කීමේ දී සැලකිලිමත් විය යුතු බවයි. ඒ කියන ලද දෙය තුළින් අයහපත් ප්‍රතිඵල ලැබේ නම්, එයින් තමන් තුළත් අනුන් තුළත් අකුසල් වැඩෙයි නම් – කුසල් පිරිහෙයි නම් ඒ දෙය නොකිව යුතුයි.

වචී දුෂ්චරිතයෙන් ඉෂ්ට, කාන්ත, මනාප විපාක ලැබෙනවා කියන එක සිදුනොවන දෙයක් බවත්, වචී දුෂ්චරිතය නිසා සුගතියේ උපතක් කරා යෑමක් සිදු නොවන බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළා.

එමෙන් ම වචී සුචරිතය නිසා අනිෂ්ට, අකාන්ත, අමනාප විපාක ලැබෙනවා කියන එක සිදු නොවන බවත්, දුගතියේ උපත් කරා නොයන බවත්, සුගති රැකවරණ සැලසෙන බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළා.

දිනක් අභයරාජ නම් නිගණ්ඨ ශ්‍රාවක කුමාරයෙක් නිගණ්ඨනාථපුත්ත වෙත පැමිණියා. එවිට නිගණ්ඨනාථපුත්ත විසින් ඒ කුමරු හට වාදයක් උගන්වනු ලැබුවා. ඒ වාදය ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වාද කරන්නැයි උපදෙස් ද ලැබුණා.

“කුමරුනි, ඔබ ගිහින් ශ්‍රමණ ගෞතමයන්ගෙන් අහන්න. ‘භවත් ගෞතමයෙනි, ඔබවහන්සේ අන් අයට අප්‍රිය අමනාප වූ දේවල් කියනවා ද? එහෙම නැත්නම් කියන්නේ නැද්ද?’ කුමරුනි, ‘කියනවා’ කිව්වොත් මෙසේ පිළිතුරු දෙන්න. ‘එහෙම නම් ශ්‍රමණ ගෞතමයෙනි, ඔබවහන්සේත් සාමාන්‍ය මිනිස්සුත් අතර වෙනසක් නෑනේ’ කියලා කියන්න.

‘කුමරුනි, මම අප්‍රිය අමනාප දේවල් අන් අයට කියන්නේ නෑ’ කිව්වොත් මෙසේ වාද කරන්න. ‘එහෙම නම් ඔබ වහන්සේ අර දේවදත්ත අපායේ උපදිනවා, දේවදත්ත කල්පයක් නිරයේ පැහෙනවා, ගැලවිල්ලක් නෑ’ කියලා ප්‍රකාශයක් කරල තියෙනවනේ. ‘ආන්න ඒකට දේවදත්තට හොඳටම කේන්ති ගිහින් සතුටකින් නෙමේ ඉන්නේ’ කියලා කියන්න. එතකොට කුමාරය, ඔය ශ්‍රමණ ගෞතමයන්ට කර කියා ගන්න දෙයක් නැතුව යයි. උත්තර නැතුව යයි. හරියට යකඩ ගුලියක් උගුරේ හිර වුණා වගේ තියෙයි. එතකොට රාජ කුමාරය, මේ මුළු මහත් ජම්බුද්වීපය ම ඔබ ගැන දැනගනියි. ‘ඒ සා මහත් ඍද්ධි ඇති ශ්‍රමණ ගෞතමයන් ව අභයරාජ කුමාරයා විසින් පරාජය කළා’ කියලා කල්‍යාණ කීර්ති රාවයක් පැතිරිලා යයි.”

මෙසේ වාදය ඉගෙනගෙන අභයරාජ කුමරු බුදුරජාණන් වහන්සේට තම නිවසට දානයට ආරාධනා කොට දන් වළඳා අවසන් වූ පසු වාදය ආරම්භ කළා.

“භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ අන් අයට අප්‍රිය අමනාප වූ දේ කියනවා ද?”

“කුමරුනි, මේ ප්‍රශ්නයට ඒකාන්ත පිළිතුරක් කිව නොහැකියි.”

එවිට අභයරාජ කුමරු මෙසේ ප්‍රකාශ කළා.

“ස්වාමීනි, ඔබ වහන්සේ මේ ආකාරයෙන් පිළිතුරු දෙන්නේ නම් නිගණ්ඨයා විසින් ඉගැන්වූ වාදය මෙතනින් ම ඉවරයි.”

එවිට අභයරාජ කුමාරයා නිගණ්ඨයා ඉගැන්වූ වාදය ගැන සියලු විස්තර හෙළි කළා. මේ මොහොතේ අභයරාජ කුමරුගේ සිඟිති දරුවා උකුලේ සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ අසා වදාළා.

“රජ කුමරුනි, මේ දරුවා ඔබගේ හෝ කිරිමව්වරුන්ගේ හෝ ප්‍රමාදය නිසා ගල් කැටයක් හෝ දඬු කැබැල්ලක් මුඛයේ දාගෙන උගුරේ හිරකර ගන්නේ නම් ඔබ කුමක් කරන්නෙහි ද?”

“ස්වාමීනි, මට පහසුවෙන් ගැනීමට නොහැකි වූවොත් වමතින් හිස තද කොට දකුණතේ ඇඟිල්ල වක් කොටගෙන ලේ වැගිරෙද්දී වුව ද බැහැර කරන්නෙමි.”

“ඒ කවර හෙයින් ද?”

“ස්වාමීනි, මට මේ සිඟිත්තා කෙරෙහි අනුකම්පාවක් ඇත.”

එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

අභයරාජ කුමරුනි, ඔබට මේ දරුවා ගැන යම් අනුකම්පාවක් ඇද්ද එපරිදි ම තථාගතයන් හට සත්වයන් කෙරෙහි අනුකම්පාවක් ඇත. එහෙයින් ඔබ පෙර ඇසූ ප්‍රශ්නයට මෙසේ පිළිතුරු දෙමි.

කුමරුනි, යම් වචනයක් අසත්‍යය ද අනර්ථය පිණිස පවතිනවා ද අන් අයට එය අප්‍රිය වූ අමනාප දෙයක් වේ ද තථාගතයන් වහන්සේ එබඳු වචන නොකියති.

යම් වචනයක් අසත්‍යය ද අනර්ථය පිණිස පවතිනවා ද අන් අයට එය ප්‍රියමනාප දෙයක් වේ ද තථාගතයන් වහන්සේ එබඳු වචන ද නොකියති.

යම් වචනයක් සත්‍ය වුව ද අනර්ථය පිණිස පවතිනවා ද අන් අයට එය අප්‍රිය වූ අමනාප දෙයක් වේ ද තථාගතයන් වහන්සේ එබඳු වචන ද නොකියති.

යම් වචනයක් සත්‍ය වේ ද අනර්ථය පිණිස පවතිනවා ද ඒ වචන අන් අයට ප්‍රියමනාප වුව ද තථාගතයන් වහන්සේ එබඳු වචන ද නොකියති.

යම් වචනයක් සත්‍ය වේ ද අර්ථය පිණිස පවතිනවා ද ඒ වචන අන් අයට අප්‍රිය අමනාප දෙයක් වුව ද ඒ වචන තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරන්නට කල් දන්නාහු වෙති.

යම් වචනයක් සත්‍ය වේ ද අර්ථය පිණිස පවතිනවා ද අන් අයට ප්‍රියමනාප වේ ද තථාගතයන් වහන්සේ ඒ වචනත් ප්‍රකාශ කරන්නට කල් දන්නාහු වෙති.”

(අභයරාජ කුමාර සූත්‍රය – ම. නි. 02)

එනම්, කිසිවිටෙකත් තථාගතයන් වහන්සේලා අසත්‍ය දේ කතා නොකරන සේක. අනර්ථය පිණිස පවතින දේ කතා නොකරන සේක. මිනිසුන්ට මනාප වුව ද අමනාප වුව ද තථාගතයන් වහන්සේලා කතා කරන්නේ සත්‍ය වූත්, අර්ථය සහිත වූත් දේ පමණයි.

දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල සමිඳුන්ගෙන් මෙසේ විමසා වදාළා.

“රාහුලය, කැඩපතින් ඇති ප්‍රයෝජනය කුමක් ද?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ප්‍රත්‍යවේක්ෂා කර කර මුහුණෙත්, කයෙහිත් අඩුපාඩු සකසා ගැනීම පිණිසයි.”

“රාහුලය, අන්න ඒ වගේ ම ප්‍රත්‍යවේක්ෂා කර කර, ප්‍රත්‍යවේක්ෂා කර කර වචන කථා කළ යුතුයි.”

“ඔබට යමක් කතා කරන්න සිතුණොත් මේ විදියට නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. ‘මට යමක් කතා කරන්න කැමැත්ත ඇති වුණා. ඒ දේ කථා කළොත් මට අයහපත පිණිස පවතිනවා ද, අන් අයට අයහපත පිණිස පවතිනවා ද, දෙපාර්ශවයට ම අනර්ථය පිණිස පවතිනවා ද, මේක අකුසලයක් ද, මෙයින් දුක් විපාක ලැබෙනවා ද’ කියලා.

මේ විදිහට රාහුල නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරන විට ඔබට වැටහුණේ ‘මම කතා කරන්න සැරසෙන දෙය මටත් අයහපත පිණිස පවතිනවා, අන්‍යයන්ටත් අයහපත පිණිස පවතිනවා, ඒක අකුසලයක්, දුක් විපාක ලැබෙනවා’ කියලා, එවිට ඒ දෙය කතා නොකර සිටින්න ඕන. එහෙත් ඔබ කතාකරන්න සූදානම් වූ දෙය තමන්ට යහපත පිණිසත්, අන්‍යයන්ට යහපත පිණිසත් හේතු වෙනවා නම්, දෙපාර්ශවයට යහපත පිණිස පවතිනවා නම්, කුසල් නම්, සැප විපාක තිබේ නම් ඒ දේ ඔබ කළ යුතුයි.

රාහුල, යමක් කතා කරමින් සිටින විට ද පෙර කී ක්‍රමයට ම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි. එවිට තමන්ටත්, අනුන්ටත්, දෙපාර්ශවයටත් කතා කරමින් සිටින දෙය අයහපත පිණිස පවතී නම්, දුක් උපදවයි නම්, දුක් විපාක ඇතිකරවයි නම්, එය ඔබ කතා නොකර සිටින්න.

කතා කරමින් සිටින දෙය තමන්ටත්, අනුන්ටත්, දෙපාර්ශවයටමත් යහපත පිණිස පවතී නම්, කුසල් නම්, සැප විපාක ලැබේ නම් ඒ දෙය දිගට ම කතා කරගෙන යා යුතුයි.

රාහුල, කතාබස් කොට ඉවර වූ පසුත් මෙසේ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ය. ‘මම යම් යම් දේ කතා කළෙමි. එය මටත්, අන් අයටත්, දෙපාර්ශවයටමත් අයහපත පිණිස පැවතියේ ද? එය අකුසල් වේ ද? ඉන් දුක් විපාක ලැබේ ද?’ කියා ය. එවිට මෙසේ වැටහුණොත් ‘මං මේ වචනයෙන් කරන ලද ක්‍රියාව මට විපත පිණිස පවතිනවා. අනුන්ටත් විපත පිණිස පවතිනවා. දෙපාර්ශවයටත් විපත පිණිස පවතින්නකි. දුක් විපාක ඇතිකරවනවා.’

මෙසේ ඔබට වැටහුණොත් ශාස්තෘන් වහන්සේ ළඟට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේනමක් ළඟට හෝ ගොස් ඒ වචනයෙන් වූ අකුසලය ගැන කිව යුතු ය. හෙළි කළ යුතු ය. විවර කළ යුතු ය. එසේ හෙළි කොට ආයති සංවරයට පැමිණිය යුතු ය. එසේ ප්‍රත්‍යවේක්ෂා කරන ඔබට ‘මම කතා කරපු දේවල් කුසලයක්, සැපවිපාක ලබා දෙන්නක්. තමන්ටත්, අනුන්ටත්, දෙපාර්ශවයටත් යහපත පිණිස පවතින්නක්’ යැයි වැටහෙන්නේ නම් රාහුල ඔබ විසින් දිවා රාත්‍රී ප්‍රීිති ප්‍රමෝදයෙන් කුසල් දහම් තුළ හික්මී වාසය කළ යුතුයි.”

සමහරු වචනය සංවර කර නොගෙන, සමාධිය වඩන්නට වෑයම් කරනවා. එය එතරම් සාර්ථක වෑයමක් නො වෙයි. ‘සම්මා වාචා’ ඇතුළත් වන්නේ සීල ස්කන්ධයටයි. ඒ අනුව, සමාධි, ප්‍රඥා සම්පූර්ණ වීම පිණිස මෙය ඉතා වැදගත්. මේ මාතෘකාව පිළිබඳ විස්තර ධර්ම විනය තුළ තවත් බොහෝ සඳහන්. එම නිසා, ඔබත් සිත රැකගෙන, පිරිසිදු වචන ඇති ජීවිතයක් ගොඩනගාගෙන, මේ ගෞතම බුදු සසුනේදී ම මාර්ග ඵල අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වීමට මහන්සි ගන්න. ඒ සඳහා ඔබට තුනුරුවනේ අනන්ත ආශීර්වාදය සැලසේවා!.