කාළකන්දරවාසී ඵුස්සදේව මහරහතන් වහන්සේ

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් නව වැනි මාසයේ දුරුතු පුර පසළොස්වක පොහොය දවසේ මේ ලංකාදීපය නම් වූ පුංචි දිවයිනට වැඩම කළ සේක. එසේ වැඩම කොට මහියංගණය සෑය පිහිටා ඇති ස්ථානයේ වැඩ හිඳිමින් බුදු සසුනට විරුද්ධ ගති ඇති යක් පිරිස ගිරි දිවයිනට පලවා හැරිය සේක. ලංකාදීපය වනාහී අනාගතයේ ගෞතම බුදු සසුන බබළන තැන යැයි අප භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් දන්නා ලද්දේ ය. එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් ලක්දිව දරුණු යකුන් වෙනත් තැනකට පිටත් කරවා සත්පුරුෂ මනුෂ්‍යයන් හට වාසභූමි වන ආකාරයට ලංකාව පිළියෙල කරවා වදාළ සේක. නැවතත් ශ්‍රී සම්බුද්ධත්වයෙන් වසර පහක් ගිය තැන නාගයන් දමනය කිරීම පිණිස නාගදීපයටත්, අට වසරක් ගිය තැන පන්සියයක් රහතන් වහන්සේලා පිරිවර කොටගෙන කැලණියටත් වැඩම කොට වදාළහ.

මෙසේ අනන්ත අප්‍රමාණ වූ අවබෝධ ඤාණයකින් යුක්ත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලංකාදීපයට අනාගතයෙහි උදාවන යහපත අනාගත ඤාණයෙන් බලා වදාරා ලක්දිවට තුන් වරක් වැඩි සේක. අතිශයින් ම දයා කරුණා ඇති මහා කාරුණික වූ, ලොව එළිය කරන පහනක් බඳු වූ බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර වූ ලක්දිවට තුන් වරක් වැඩමවා වදාළ කාරණය නිසාවෙන් මේ භූමිය බුද්ධ පාරිභෝග වස්තුවක් බවට පත්විණි. ලංකාව කෙරෙහි හිතානුකම්පී වූ අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන වදාළහ. ඒ බුද්ධ වචනය සැබෑ කරමින් අප භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් දෙසිය තිස් හයවෙනි වර්ෂයේ මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කළ සේක. බුදු සසුන පිහිටවූ සේක. මේ පුංචි දිවයිනේ ධර්මය බැබළවූ සේක. නොයෙක් සිය, දහස්, ලක්ෂ ගණනින් සිංහල රහතන් වහන්සේලා බිහිවන්නට විය. ලංකාව පුරා සුදෝ සුදු පාටින් බබළන දාගැබ්, සිලි සිලි ගා සුළඟින් ලෙලදෙන බෝධීන් වහන්සේලා, කසාවත් පොරවා ගත් භික්ෂු භික්ෂුණීන්, දන් පැන් පුදන පින් දහම් කරන උවසු උවැසියන් සුලභව ම දකින්නට ලැබුණි. එම පින්වන්ත යුගයේ අතිශයින් ම පින් තිබුණු උත්තමයෝ පහළ වී සිටියහ. එනම් ගිහි ගෙවල් හැරදමා මේ උතුම් බුදු සසුන තුළ මහණදම් පුරා නිකෙලෙස් බවට පත් වුණු උතුමන් ය. උන්වහන්සේලා ගැන අසා සිත පහදවා ගන්නට ලැබීමත් වාසනාවක් වන්නේ ය. උන්වහන්සේලා තුළ තිබුණු කරුණාව, මෛත්‍රීය, දයාව, අනුකම්පාව සාමාන්‍ය මනුෂ්‍යයාට වඩා ශ්‍රේෂ්ඨ ය. අද අපි සිත පහදවාගන්නේ මෙසේ උතුම් මෛත්‍රියෙන් හා ඉන්ද්‍රිය දමනයෙන් යුතු වූ ශ්‍රේෂ්ඨ මුනිවරයෙකු ගැනයි. ඒ, ලංකාද්වීපයේ වැඩ සිටි කාළකන්දරවාසී ඵුස්සදේව මහරහතන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ සද්ධාතිස්ස රජුගේ සොහොයුරියකගේ පුතෙකි. ගිහිගෙදර වාසය කරන කාලයෙහි තමන්ගේ දේවිය වූ සුමනා දේවිය සමඟ ගිරිගමට පැමිණ ඇත්කුස විහාරයට (හත්ථිකුච්ඡි විහාරය) ගොස් මහා දන් දී චෛත්‍යයට පූජා පවත්වා භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවාගෙන බුදු සසුනෙහි පැහැද පැවිදි වෙනු කැමතිව අවසර ගෙන ඒ විහාරයේ විසූ මහාදේව තෙරුන් සමීපයේ පැවිදි විය. උන්වහන්සේ උපසම්පදා කළ තෙරනම රහත් බව ලැබීමට හේතු සම්පත් ඇති බව දැක කමටහන් කියා දී යම් ලෙණක ආවාසිකයකු ඇත්නම් එහි වාසය කරවයි කියා පිටත් කළේ ය. උන්වහන්සේ උපාධ්‍යායන් වැඳ එයින් නික්ම චාරිකාවේ හැසිරෙන්නේ කාළකන්දර ගමෙහි ගං තෙර පිහිටි මයිල ගසක් මුල වැලි ගොඩක එක් රැයක් විසූහ. ඒ ගසට අධිගෘහිත දේවතාවා පසුදා තෙරුන්ට මුව දෝනා පැන් හා දැහැටි දඬු දී “කාළකන්දර ගමෙහි පිණ්ඩපාතය වඩිනු මැනවැ”යි පවසා සිටියේ ය. උන්වහන්සේ මුහුණ කට සෝදා එම ගමෙහි පිඬු පිණිස හැසිරුණහ. එම දේවපුත්‍රයා කලින් ම ඒ ගමට ගොස් ‘ඵුස්සදේව තෙරනම පිඬු පිණිස වඩින්නේ ය. කැඳ බත් ආදිය පිළියෙල කොට පූජා කොට පින් කර ගනිව්’ යැයි මහ හඬින් පවසා දැනුම් දුන්නේය. ඒ ගමේ මිනිස්සු දන් පැන් පූජා කොට තෙරුන් වහන්සේ කැමති කරවාගෙන එම ගඟ සමීපයෙහි විහාරයක් ගොඩ නංවා තෙරුන් එහි වාසය කරවූහ. එම විහාරය කාළකන්දර විහාරය නමින් ප්‍රසිද්ධ විය.

එතැන් පටන් උන්වහන්සේ ගමට පිඬු පිණිස වඩින විට එය දකින කුඹුරු සී සාන මිනිස්සු ගොනුන් අතහැර තෙරුන් වැඳීමට මග දෙපසට එති. ගොන්නු ඒ කාලයේ දී තමන්ට නිදහස ලැබෙන බැවින් තෙරුන්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සතුටු සිතින් යුක්තව තෙරුන් කෙරෙහි සිත් පහදවාගෙන සිටි බැවින් මරණින් මත්තෙහි තව්තිසා දෙව්ලොව උපන්හ. ඉක්බිති එසේ උපන් පෙර ගොන්නු ව සිටි දේව පුත්‍රයෝ පන්සිය දෙනෙක් සුධර්මා සභාවෙහි රැස්ව සක්දෙවිඳු ඉදිරියේ ඵුස්සදේව තෙරුන්ගේ ගුණ වර්ණනා කළෝය. “සිල්වත්, ගුණවත්, මෛත්‍රී විහරණ ඇති, වත්පිළිවෙත්හි යෙදුණු ඵුස්සදේව නැමැති භාවනානුයෝගී තෙරනමක් පන්සියයක් භික්ෂුන්ට අවවාද දෙමින් කාළකන්දර විහාරයෙහි වාසය කරයි. උන්වහන්සේ අඩු ආශා ඇත්තේ ය, ධුතාංග දරන්නේ ය, සියලු සත්වයන්ට අනුකම්පා ඇති විවේකයෙහි ඇලුණු, ධ්‍යාන වඩන, මනා සිහි නුවණින් යුතු, ශාන්ත සිත් ඇති ව සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය පතුරුවමින් වාසය කරන්නේ ය. පෙර ජීවිතේ ගොනුන් ව ඉපිද සිටි අපි තෙරුන් කෙරෙහි සිත පහදවාගෙන දෙව්ලොව උපන්නෙමු. මිනිසුන් ගැන කවර කථා ද? ඒ සිල්වත්, මනා සංවර ඇති තෙරනම දෙව් මිනිස් බොහෝ දෙනෙකුට ද මෘග පක්ෂීන්ට ද සැප එළවන්නෙකි.”

තව්තිසා වැසි දෙවියෝ මෙසේ තෙරුන්ගේ ගුණ අසා තෙරුන් දකිනු කැමති ව දෙව් රජුට යාඥා කළහ. සක් දෙවිඳු එය පිළිගෙන කාළකන්දර විහාරයෙහි ඵුස්සදේව තෙරුන් ඉදිරියෙහි පෙනී සිට තෙරුන් වැඳ එකත්පසෙක සිට “ස්වාමීනී, තව්තිසා වැසි දෙවිවරු ඔබවහන්සේ දැකීමට කැමති වෙති. එබැවින් දෙව්ලොවට වඩිනු මැනවැ.”යි යාඥා කළේය. “දේවේන්ද්‍රය, මම තවම සේඛ භික්ෂුවක්මි. යම් ඍද්ධියකින් දෙව්ලොවට යා හැකි නම් ඒ ඍද්ධිය මට නැතැ”යි උන්වහන්සේ කීහ. “ස්වාමීනී, මම එය දනිමි. මම ඔබවහන්සේ ඔසවාගෙන යන්නෙමි. ඉවසුව මැනවැ”යි සක් දෙවිඳු කීය. තෙරුන් නිශ්ශබ්ද වූ විට හේ උන්වහන්සේ වැඩ හුන් ගලත් සමඟ ඔසවාගෙන ගියේ ය. ඔසවන කෙණෙහි ම ‘දෙවඟනන් නොදකිත්වා’ යන අදහසින් තෙරනම ඇස් පියා ගත්තේ ය.

දෙව් රජු එම ගල්තලාවත් සමඟ ම සුධර්මා දිව්‍ය සභාවෙහි තැබී ය. සියලු දෙවිවරු තෙරුන් වැඳ හාත්පසින් පිරිවරා ඉඳ ගත්හ. තෙරනම සංයුත්ත නිකායේ මහා වර්ගය කට පාඩමින් කීහ. එම දේශනාව අවසානයේ දී තෙරනම “දේවරාජයෙනි, මා මිනිස් ලොවට ගෙන යනු මැනවි. පිණ්ඩපාත කාලය වන්නේ ය.” යි කීය. සක් දෙවිඳු “යහපතැ”යි කියා ගල්තලාව සමඟ ම තෙරුන් ගෙනවුත් කාළකන්දර විහාරයෙහි තැබී ය. මින් පෙර සංයුත්ත නිකායේ මහා වර්ගය කියා අවසන් වන විට යාම තුනකින් නිමාවට යයි. එබැවින් දෙව්ලොවදීත් ඒ වර්ගය කියා අවසන් වන විට මිනිස් ලොව උදෑසන බත් කාලය යි උන්වහන්සේ දැකගත්හ. සක් දෙව් රජු මේ ආකාරයෙන් ම සය වරක් තෙරුන් දෙව්ලොවට ගෙන ගොස් ධර්ම ශ්‍රවණය කළේ ය.

ඵුස්සදේව තෙරුන් වහන්සේ එක් දිනක් බෝ මළුව හැමැද බුදු ගුණ සිහිකරමින් ඇදිලි බැඳගෙන බෝධිය දෙස බලමින් සිටියහ. මාරයා එය දැක තෙරුන් වික්ෂේප කිරීම පිණිස මහා සුළඟක් මවා බෝ මළුවෙහි කසළ ගෙනවුත් දමා ගියේ ය. නැවත බෝ මළුව නැමැද බුදු ගුණ සිහි කරමින් සිටින අතර මාරයා වඳුරෙක් වී ඒ ඒ අතට පනිමින් මළුව කැත කළේ ය. නැවතත් මළුව හැමැද බුදු ගුණ සිහි කරමින් සිටින අතර මහලු ගවයෙකු වෙසින් අවුත් බෝ මළුවෙහි ඇවිදිමින් පාගා අවුල් කළේ ය. එවිට තෙරනම මේ මාරයා යැයි දැනගෙන “පාපිෂ්ඨය, මම මනා සේ හැමදි බෝ මළුව දැක සිත පහදා ගත්තෙමි. තෝ කුමක් හෙයින් මට අන්තරාය කෙරෙහි දැ?”යි ඇසීය. මාරයා ‘තෙරුන් විසින් මා දැනගන්නා ලදැ’යි දැක බිය වෙමින් පෙනී සිටියේ ය. ඵුස්සදේව තෙරනම ඉදිරියෙහි සිටි මාරයා දැක “ඔබට බුද්ධ රූපය මවන්නට පුළුවන් දැ?”යි අසා “මම එය දකිනු කැමැත්තෙමි” යි කීය. එම අභියෝගය පිළිගත් මාරයා දෙතිස් මහා පුරිස ලකුණින් යුතු බුද්ධ රූපයක් මවාගෙන තෙරුන් ඉදිරියෙහි සිටියේ ය. ඉක්බිති තෙරනම බුද්ධ රූපය දැක ඇඳිලි බැඳගෙන ලොමුඩැහැගත් සිරුරින් යුතුව, කඳුළු පිරුණු ඇස් ඇතිව, පැහැදීමෙන් යුතුව දීපංකර පාද මූලයේ පටන් බෝසත් සිරිත මෙනෙහි කොට බුදු ගුණ සිහි කළහ. දෙතිස් මහා පුරුෂ ලකුණු කෙරෙහි සිත පහදවාගෙන සිහිකොට, ‘ඒ සියල්ල අද නොදක්නා ලැබෙත්. සියල්ල අද අදෘෂ්‍යමාන ය.’ යි මාරයා විසින් නිර්මිත රූපය දුටු තෙරනම මෙසේ විදසුත් වඩා රහත් බවට පැමිණියහ. මාරයා එය දැනගෙන ‘තෙරුන් විසින් මට වංචා කරන ලදැ’යි දොම්නස් ව එතැන ම අන්තර්දහන විය. තෙරනම රහත් වී යැයි දැන සක් දෙවිඳු ‘ස්වාමීනී, දෙව්ලොවට වඩිමු’ යැයි ආරාධනා කළේය. තෙරනම යහපතැයි එය පිළිගෙන තම ඉර්ධියෙන් එහි ගොස් දහම් දෙසා තම විහාරයට පැමිණියේ ය.

ඉක්බිති එක්තරා නා රජෙක් තෙරුන් වෙත ගොස් පන්සියයක් භික්ෂූන් සමඟ දානය පිළිගන්නා ලෙස තෙරුන්ගෙන් ඉල්ලී ය. තෙරනම නිශ්ශබ්ද වීමෙන් එය පිළිගත්තේ ය. එදවසේ ම තම්බසුමන තෙරනම පන්සියයක් භික්ෂූන් සමඟ ඵුස්සදේව තෙරුන් වැඳීම සඳහා පැමිණියේ ය. උන්වහන්සේ තෙරුන් වැඳ “ස්වාමීනී, පිණ්ඩපාතයට සුදුසු කාලය යි” කීය. “නොගිය මැනව, තෙරවරුන් හා එක්ව මම අද පිණ්ඩපාතය ගනිමි” යි තෙරුන් වහන්සේ කී කල්හි තම්බසුමන තෙරනම එකඟ විය. ඉක්බිති නා රජ ගොස් “ස්වාමීනී, පිඬු සඳහා වැඩීමට යෝග්‍ය කාලය යැ”යි දැන්වීය. අනතුරුව ඵුස්සදේව තෙරුන් ප්‍රමුඛ දහස්නමක් භික්ෂූහු නා රජුගේ විමානය සමීපයෙහි ගං ඉවුරෙහි සිටගත්හ. නා රජු සිය පිරිස සමඟ අවුත් මහ තෙරුන්ගේ පාත්‍රය ගෙන දිව්‍යාහාරයෙන් පුරවා තෙරුන්ට දුණි. දිව්‍ය සළු දෙකක් ද පාමුල තැබී ය. තෙරනම ඒ පිණ්ඩපාතයත්, සළු දෙකත් අන්‍ය භික්ෂුනමකට දුනි. නා රජ නැවත දන් පාත්‍රයක් හා සළු දෙකක් දුනි. තෙරනම එය දෙවෙනි භික්ෂුවට දුනි. මෙසේ දහසක් පමණ වූ භික්ෂූන්ට දන් දෙන අතර තම්බසුමන තෙරුන්ගේ ශිෂ්‍ය වූ දෙනමක් ඒවා ගන්ට නොකැමති වූහ. නා රජු එය දැක එතැනට අවුත් නොගැනීමට කාරණය විචාළේ ය. “අපි තමන්ට ලැබෙන දෙය පමණක් ගන්නෙමු” යි ඔවුහු කීහ. නා රජ “යහපතැ”යි කියා වස්ත්‍ර යුගල දෙකක් ඒ දෙනමගේ පාමුල තැබී ය. එහි තැබූ කෙණෙහි ම ඒ යුගල දෙක යුගල සතරක් විය. එය දැක භික්ෂූහු විස්මයට පත්වූහ. නා රජ නොසතුටු වී ඒ භික්ෂූන්ට සංවේග උපදවනු පිණිස ඵුස්සදේව තෙරුන්ගේ ගුණ ප්‍රකාශ කරමින් මෙසේ කීය.

“කාළකන්දර විහාරයේ වසන ඵුස්සදේව මහතෙරුන්ගේ පින නිසා මම ආහාරත්, වස්ත්‍රත් දෙමි. තෙරනම පිළිගෙන දහස් නමට ම දෙයි. තෙරුන් වහන්සේ පෙර ජාතිවල මෙවැනි පින් කරන ලදී. ඒ පින ඔබට නැත. ඒ තෙරනම මෛත්‍රී විහරණ ඇත්තේ ය, රහත් ය, ආශාව නැත්තෙකි. ඒ ගුණ ඔබට නැත. මේ වනයේ දරුණු වූ, නිතර ලේ මස් අනුභව කරන, එකිනෙකාට හිරිහැර කරන සත්වයෝ ඇත්තාහ. ඔවුහු ද තෙරුන්ගේ මෛත්‍රී බලයෙන් හිංසා සිත් දුරුකොට සැප ලැබූහ. යක්ෂයෝ ද නාගයෝ ද දෙවියෝ ද ඵුස්සදේවයන් වහන්සේට ප්‍රිය කළත් ඔබ ව ප්‍රිය කරන්නේ නැත. එබැවින් නුවණැත්තනි, මෙය පිළිගත මැනව.” සංවේගයට පත් ඒ භික්ෂුහූ දානත්, වස්ත්‍රත් පිළිගත්හ.

මෙසේ ඵුස්සදේව මහරහතන් වහන්සේ සියලු සත්වයන්ට ම ප්‍රිය වූහ. අනේක අප්‍රමාණ ගුණයන්ගෙන් යුතු ඒ මහරහතන් වහන්සේ දෙවියන්, මිනිසුන්, යක්ෂයින්, නාගයින්, භූතයින් හා තිරිසන්ගත ප්‍රාණීන් ද හඬවමින් සුදුසු කාලයෙහි පිරිනිවන් පා වදාළ සේක. සියලු සත්වයන්ට ම සිහි කළත් සැප එළවන, මාරයා රවටා අනන්ත ආකාසය බඳු බුදු ගුණ සිහි කොට නිකෙලෙස් බවට පත්, බුද්ධ වචනය හදවතෙහි දරා වැඩ සිටි, දිනූ ඉඳුරන් ඇති, ගෙවෙන සෑම තත්පරයක් ම මෛත්‍රී විහරණයෙන් වාසය කළ, පිරිනිවී වදාළ මේ ලක්දිව විසූ කාළකන්දරවාසී ඵුස්සදේව මහරහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා…!

(සීහලවත්ථු සහ අට්ඨකථා ඇසුරිනි)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි