මහාසිව රහතන් වහන්සේ

මේ විශ්වයේ යම් තාක් සත්වයෝ ඇද්ද, යම්තාක් භවාග්‍රවයන් ඇද්ද ඒ සියල්ලට ම වඩා ලෝකයේ අග්‍ර වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ රහතන් වහන්සේලා ය. සම්බුදු සසුනේ පහළ වූ රහතන් වහන්සේලා ගණනින් ප්‍රමාණය කරන්ට නොහැක්කේ ය. ඒ අපගේ ගෞතම සම්බුදුරජාණෝ ජීවමාන කාලයේදීත්, පිරිනිවන් පෑමෙන් පසුවත් ජම්බුද්වීපයේත්, ලක්දිවත් දහම් ඝෝෂා පැතිර ගොස් කෝටි ප්‍රකෝටි ගණනින් මහරහත්හු බිහි වූහ. සියලු කෙලෙසුන් නැසූ, ගුණ ධර්මයන්ගේ පූර්ණත්වයට පත් ඒ මහරහතන් වහන්සේලාගේ ගුණස්කන්ධය කෙසේ නම් ප්‍රමාණ කරන්න ද.

බොහෝ විට ඉන්දියාවේ විසූ මහෝත්තම රහතන් වහන්සේලාගේ ජීවිත තොරතුරු, උන්වහන්සේලාගේ ශ්‍රී මුව මඬලින් ගිලිහී ගිය අති උත්තම සොඳුරු වදන් බොහෝ අය අසා ඇත. නමුත් ලංකාදීපය එළිය කළ පහනක් බඳු වූ අපගේ මහෝත්තම මිහිඳු මහරහතන් වහන්සේ බුදු සසුන ලංකාවේ පිහිටුවා වදාළාට පසුව සිය ගණනින් දහස් ගණනින් රහතන් වහන්සේලා ලංකාදීපයේ ද බිහි වූ සේක. අපගේ පරම්පරා දහයක් පහළොවක් ආපස්සට බැලූ කල ඒ සෑම පරම්පරාවක ම රහතන් වහන්සේනමක් වැඩ සිටි සේක. අපේ ම ලේ තිබෙන, අපි වගේ ම කොස්, දෙල්, පොල්, අල බතල කා ජීවත් වූ මුතුන් මිත්තෝ මේ බුදු සසුනට ඇතුළු ව නොපසුබසින උත්සාහයෙන් වීරියෙන් තමන් තුළ හටගත් කෙලෙස් නැති කොට ඒ අති උතුම් අමා මහ නිවනින් සැනසුනු අයුරු විස්මිත ය. මේ ලංකා පොලෝ තලයේ උන්වහන්සේලා නිකෙලෙස් හද මඬලක් දරාගෙන ගිරි ගුහාවල වාසය කරන මහා කේශර සිංහරාජයන් සේ වැඩ සිටිය අයුරු සිහි වන විට ඒ යුගය කොතරම් නම් සුන්දර ඇත්දැයි සිතේ. අහෝ! ඒ යුගය අපට දැන් අහිමි වී ඇත කියා සිහිවන විට ඇස්වලට කඳුළු බිඳු මතුවන්නේ නැත්නම් පුදුම ය.

නමුත් අපට එක වාසනාවක් ඇත. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත තොරතුරු, උන්වහන්සේලා ශ්‍රේෂ්ඨත්වයට පත් වුණ අයුරු අසා දැනගෙන පහන් සිත් ඇති කර ගත හැකි ය. උන්වහන්සේලාගේ උදාරත්වය ගැන සිත පහදවා ගත හැකි ය. ඒ ඇති වන සිතේ පැහැදීම බොහෝ කාලයක් යහපත පිණිස, හිත පිණිස පවතිනවා ම ය. දැන් සිත පහදවා ගන්න ලැබෙන්නේ, අසීමිත වීර්යයකින් තමන්ගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වය කරා ගෙන ගිය උත්තමයකුගේ තොරතුරු ගැන ය.

මහා සිව තෙරණුවෝ අටළොස් මහා ගණයකට ඉගැන්වීම් කරති. උන්වහන්සේගෙන් ඉගෙනුම ලැබූ තිස් දාහක් භික්ෂූහු රහත් බවට පත් වූහ. එක් ශිෂ්‍ය භික්ෂුවක්, ‘මාගේ අභ්‍යන්තරය නිකෙලෙස් ය. රහත් ගුණයෙන් පිරිපුන් ය. මාගේ ගුරුවරයා කෙබඳු ගුණ ඇත්දැ’යි මෙනෙහි කළේ ය. මාගේ ගුරුවරයාට කිසිදු මග ඵලයක් නැතැයි දැන, ‘අපගේ ආචාර්යයන් වහන්සේ සෙස්සන්ට උදව් වන නමුදු තමන්ට උපකාර වීමට නොහැකි ය.

උන්වහන්සේ ව සංවේගයට පත් කරවන්නෙමි’යි ආකාශයෙන් ගොස් විහාර සමීපයේ බැස ආචාර්යයන් වහන්සේ ළඟට පැමිණ වැඳ එකත්පසෙක හුන්නේ ය. කුමක් නිසා පැමිණියේදැයි ආචාර්යයන් වහන්සේ ඇසූ සේක. “එක්තරා උපදේශයක් ලබනු පිණිස ය.” ශිෂ්‍ය තෙරණුවෝ පැවසූහ.

“ඇවැත්නි, ඉඩක් නැත.”

“ස්වාමීනි, විතක්ක මාලයේ වැඩ සිටිද්දී අසමි.” “එතැන්හි අන් අය විචාරති.” “පිඬු සිඟා යන අතරමග දී?” “එතන ද අන් අය අසති.” “දෙපට සිවුර සකසා ගන්නා තැන…. සිවුර පොරවන තැන…. පාත්‍රය බැහැර කරන තැන…. නැතහොත් ගමේ හැසිරවුත් ආසන ශාලාවේ කැඳ වළඳන තැන….?” “එතනත් අන් අය විචාරති.” “ඇතුළු ගමට නික්මුණු වේලේ…. එසේත් නැත්නම් අතරමඟ බොජුන් හලේ දී…. එසේත් නැත්නම් සෙනසුනට ඇතුළු වී සිටින වේලේ….?” “ඒ ස්ථානවල ද අන්‍යයෝ විචාරති.”

“ස්වාමීනි, මුව සෝදා සේනාසනයට පිවිස ආසන තුන හතරක් උණුසුම් කරවා නුවණින් මෙනෙහි කරන්නට විවේකයක් තිබිය යුතු නො වේ ද?

ස්වාමීනි, ඔබ පෝරුවක් මෙන් අනුන්ට උපකාර වුවත් තමන්ට උපකාර කර ගැන්මට අපොහොසත් ය. ඔබ වහන්සේගේ උදෙසීමෙන් මට ප්‍රයෝජනයක් නැතැ.” යි කියා අහසට පැනනැගී තෙරනම පිටත් ව ගියේය. මහා සිව තෙරණුවෝ, ‘මේ භික්ෂුව උපදේශයක් ගැනීමට මා වෙත ආවෙක් නො වේ. මට ඇතු මෙහෙයවන හෙණ්ඩුවක් පිණිස ආවෙකි’යි දැනගෙන, ‘දැන් වෙලාවක් නෑ, උදෑසන ම යන්නෙමි’යි පාත්‍ර සිවුරු ළඟ තබාගෙන දහවලත්, මැදියම් යාමයෙත් උගන්වා පාන්දර යාමයේ පිටත්ව ගියේ ය. අතවැසි භික්ෂුව ද ‘ආචාර්යවරයා කිසියම් වුවමනාවක් සඳහා යති’යි සිතී ය. තෙරණුවෝ, ‘මා වැන්නෙකුට රහත් බව නම් කුමක් ද? රහත් බවට පැමිණ දෙතුන් දවසකින් ආපසු එන්නෙමි’යි අතවැසියාට නොදන්වා ම පිටත් වූහ. ගම කෙළවර ඇති පර්වතයට ගොස් සක්මන් කරමින් කමටහන් මෙනෙහි කළහ. එදින රහත් වීමට නොහැකි විය. වස් තුන් මස පුරා ම වීරිය වැඩුව ද නොපුළුවන් විය.

ඉක්බිති සැතපෙන ඉරියව්ව අතහැර, ‘රහත් නො වී ඇඳෙහි පිට දිග නොහරිමි, පා දෝවනය නොකරමි’යි සිතා ඇඳ ඔසවා තැබී ය. අවුරුද්දක් ගත විය. අවුරුදු දහයක් ගත විය. අවුරුදු විස්සක් ගත විය. අවුරුදු විසිනවයක් ගත විය. රහත් වීමට නොහැකි විය. සක්මන් කිරීම නිසා ම තෙරුන්ගේ පාදවල පැළුණු තැන්, ගම් දරුවෝ කටුවලින් මහති. මහා සිව තෙරුන්ගේ පාද මෙන් පාද වේවා’යි කවටකම් කරන්නෝ ඇතැමුන්ට කවට බස් දොඩති.

තෙරුන් වහන්සේ තිස්වැනි පවාරණ දිනයේ දී සිතන්නේ, ‘මා තිස් අවුරුද්දක් මහණදම් පුරන මුත් මට මග ඵලයක් නොලැබිණි. සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ විශුද්ධි පවාරණයෙන් පවාරණය කිරීමට නොහැකි වී යැ’යි සිතද්දී සිත පීඩාවට පත්ව දෑසේ කඳුළු නැගුණි. මේ අතරතුර නුදුරු ගහක එක් දෙව් දුවක් ද අඬනු ඇසිණි.

“අඬන්නේ කවරෙක් දැ?”යි තෙරණුවෝ ඇසූහ.

“ස්වාමීනි, මම දේවතා දුවක්මි.”

“කුමක් නිසා ද හඬන්නේ?”

“ස්වාමීනී, හැඬීමෙන් මග ඵල උපදවන්නට හැකි’යි සිතා මග ඵල එකක් දෙකක් උපද්දවන්නට හඬමි.” යි ඕ කීවා ය.

සංවේගයට පත් තෙරුන් වහන්සේ “එම්බා මහා සිව ය, ඔබ සමඟ දේවතාවියොත් කවටකම් කරති”යි තමන්ට පවසා විදර්ශනා වඩා රහත් වූහ.

උන්වහන්සේ ‘දැන් නිදා ගන්නෙමි’යි, ඇඳ පිළියෙල කොට, ‘පා දෝවනය කරමි’යි පියගැටපෙළ පඩිය මත හිඳ ගත්හ. උන්වහන්සේගේ අතවැසි ශිෂ්‍යයෝ ‘අපගේ ආචාර්යන් වහන්සේ මහණදම් පිරීමට ගොස් අවුරුදු තිහක් ගත විය. රහත් වීමට හැකි වී ද? නො වීදැ?’යි බලන කල රහත් බවට පැමිණ පා දොවන්නට සූදානම් ව හුන්නේ යැයි දැක, ‘අපි වගේ අතවැසියන් සිටිද්දී තමා ම පා සෝදා ගැනීම නොකළ යුතු යැ.’යි සිතා, “මම සෝදමි, මම සෝදමි” යි තිස් දහසක් ශිෂ්‍යයෝ අහසින් අවුත් වැඳ සිටියහ.

ශක්‍රයා ද දිවැසින් බලා ‘මාගේ ආර්ය වූ මහ සිව තෙරුන් වහන්සේ රහත් ඵලය පසක් කොට පා සේදීමට පැමිණි තිස් දහසක් අතවැසියන්ට පා සේදීමට නොදෙති. මා වැනි උපාසකයකු සිටිද්දී තමන් වහන්සේ ම පා සෝදා ගැනීම සුදුසු නො වේ. මම සෝදන්නෙමි’යි සිතමින් සුජා දෙවඟන සමග භික්ෂු සංඝයා සමීපයේ පහළ විය. සුජා දෙවඟන පෙරටු කොට “ස්වාමීනි, ගැහැනියකි. ඉඩ දෙනු මැනවි”යි අවකාශ ලබාගෙන තෙරුන් වෙත පැමිණ වැඳ “පා සෝදන්නෙමි”යි කීය.

“දෙව් රජුනි, දැනට අවුරුදු තිහක් මාගේ පා සෝදා නැත. දෙවියෝ වනාහී මිනිස් ගඳ පිළිකුල් කරති, යොදුන් සියයක් දුරට දැනේ.”

“ස්වාමීනී, මේ ගඳ නොදැනේ. ඔබ වහන්සේගේ සිල් සුවඳ සදෙව්ලොව ඉක්මවා ඉහළ භවාග්‍රය දක්වා පැතිර තිබේ. සිල් සුවඳට වඩා වෙනත් සුවඳක් නම් නැත. ඔබ වහන්සේගේ සිල් සුවඳින් ම පැමිණියෙමි. මම පා සෝදන්නෙමි.”

ඉක්බිති සක්දෙවිඳු වමතින් ගොප් ඇටය අල්වාගෙන, දකුණතින් පා තල පිරිමැද්දේ ය. කුඩා දරුවෙකුගේ පා මෙන් විය. ඉන් පසු තෙරුන්ගේ පා සෝදා වැඳ හේ දෙව්ලොවට ගියේ ය.

අහෝ! කෙතරම් නම් අසිරිමත් ද! තිස්දහසක් ශිෂ්‍යයන්ට රහත් වන්නට ධර්මය කියා දුන් උත්තමයාට අවුරුදු තිහක් තිස්සේ වීර්යය වඩන්නට සිදු විය. ඒ අසීමිත වීර්යය, උත්සාහය ආශ්චර්යයි. අද කඩෙන් බඩු ගන්නා සේ මග ඵල ගන්නට වෙහෙස වන ඇත්තන්ට මෙය හොඳ ආදර්ශයකි. භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලින් උපන්නා වූ, ලංකාදීපය සුවඳවත් කරමින් විකසිත වුණ විශාල රන් පියුමක් බඳු වූ, සදෙව් ලොව ඉක්මවා භවාග්‍රය දක්වා සිල් සුවඳ විහිදවූ, සක් දෙවිඳුන් ලවා පා සෝදා ගත් පිරිනිවන් පා වදාළ ඒ ආර්ය වූ මහෝත්තම මහ සිව මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

සාදු…! සාදු…!! සාදු…!!!

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි