පංච නේත්‍රයෙන් හෙබියා වූ අප භාග්‍යවතුන් වහන්සේ සොඳුරු වූ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය අනාගතයේ ලංකාද්වීපයේ පිහිටන බව අනාගත ඤාණයෙන් බලා වදාළ සේක. එමෙන්ම අතිශයින් දයා කරුණා ඇති, මහා කාරුණික වූ, ලොව එළිය කරන පහනක් බඳු වූ බුදුරජාණන් වහන්සේ ඉතා සුන්දර මෙලක්දිවට තුන් වරක් වැඩි සේක. අප භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් වැඩමවා වදාළ කාරණය නිසාවෙන් මේ ලංකාද්වීපය සුපූජනීය වන්නේය. තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පසු බුදු සසුන පැතිරවීම පිණිස රටවල් නවයකට රහතන් වහන්සේලා පිටත් කොට යවන ලදී. එකල අපගේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ උපසම්පදාව ලබා දොළොස් අවුරුද්දකි. උන්වහන්සේගේ උපාධ්‍යාය වූ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසිනුත් උතුම් සංඝ රත්නය විසිනුත් උන්වහන්සේට නියම කරනු ලැබුවේ ලංකාවට වඩින්ටයි. ලංකාද්වීපයට වඩින්නට සුදුසු කල්හි සක් දෙව් රජුන් අපගේ උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණියේය. “ලක්දිව් වැසියන් සම්බුදු සසුන කෙරෙහි පහදවන්නට ලංකාවට වඩින්ට ස්වාමීනී, අපගේ සම්බුදුරජාණන් වහන්සේත් ලංකාවෙහි බුදු සසුන ඔබවහන්සේ විසින් පිහිටුවන බවට පිරිනිවන් පානා අවස්ථාවේදී අපට වදාළ සේක. අපිත් ඔබවහන්සේලාට උපකාරී වන්නෙමු” යනුවෙන් කියා සිටියේය.

උතුම් බුද්ධ වචනය සත්‍ය කරමින් මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවා වදාළ සේක. මේ දිවයිනට පිළිසරණ වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවාසීන් කථා කළ දීප භාෂාවෙන් ධර්මයෙහි අරුත් වදාළ සේක. සද්ධර්ම මාර්ගයෙහි බැසගන්ට කටයුතු කොට වදාළ සේක. ලක්වැසි සිංහල ජනතාවට දහම් අමා පැන් පොවා වදාළ සේක. පළමුවෙන්ම මේ ලක්දිව පහළ වුණු සිංහල රහතන් වහන්සේ වන්නේ මහා අරිට්ඨ මහා අමාත්‍යතුමා ඇතුලු සහෝදරයන් පනස් පස් දෙනා ය. සසරේ රැස්කළ පිනෙන් මහා ප්‍රඥාවන්ත වූ ඒ සියලු දෙනා ම පැවිද්ද පිණිස කෙස් රැවුල් බා අවසන් වෙනවාත් සමග ම උතුම් අරහත්වයට පත්වූහ. මෙයින් ආරම්භ වූ සිංහල රහත් සඟ පරපුර ලක්වාසී මහජනයාට අනුකම්පා පිණිස ගම් දනව් සිසාරා අමා දහම් බෙරය වයමින් සිංහලයින්ට සුගති රැකවරණය සලසමින් මනුෂ්‍යයින්ට පින් කෙතක් වෙමින් සම්බුද්ධ ශාසනය බැබළවීය. මේ සියලු යහපත සිංහල ජාතියට උදාවූයේ සිංහලයින්ගේ මුල් ගුරු දෙවිඳු වූ මිහිඳු මහරහතන් වහන්සේ නිසයි. මුළු සිංහල ජාතිය ම උන්වහන්සේට ණයගැති වෙනවා පමණක් නොව කෙළෙහිගුණ දක්වා ද අවසන් කළ නොහැක. මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ද බොහෝ රහතන් වහන්සේලා, මගඵලලාභීන් ලංකාවෙහි වැඩසිටියහ. පෙර කළ පින් ඇති උන්වහන්සේලා ලක්වැසි මිනිසුන්ට බොහෝ යහපත සලසා පහන් සිලක් නිවෙනා ලෙස පිරිනිවුණ සේක. මෙසේ පිරූ පින් ඇති ලක්වැසි උතුම් රහතන් වහන්සේ නමක් පිළිබඳවයි අද ඔබට සිත පහදවාගන්නට ලැබෙන්නේ. එනම්, පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේ යි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර මේ මහාභද්‍ර කල්පයේ බුද්ධත්වයට පත් වූ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක් දනව්වැසි පුරුෂයෙක්, හිරියල් සුණු විකුණමින් ගම් නියම්ගම් රාජධානි ආදියෙහි ඇවිදිමින් ගොස් එක් පිටිසර ගමකට පැමිණියේය. එකල්හි ඒ ගම යෞවන ස්ත්‍රියක් එය දැක මිලට ගෙන ඒ වෙළෙන්දා ආහාරයක් නොලත් බව දැන සුවඳ ගිතෙල් මුසු ඇල් හාලේ බත් සමග මොණර මස් කෑමට දුන්නේය. එකෙණෙහි ම එක් බල්ලෙක් වෙව්ලමින් බඩසයින් පීඩිතව කෙළ වගුරුවමින් ඔහු ඉදිරියට ආයේය. එකල ඒ වෙළෙන්දා කරුණාවෙන් කම්පිත වූ සිත් ඇතිව මොණර මස් සමග ගිතෙල් මුසු මහත් බත් පිඬක් දුන්නේය. ඒ බත අනුභව කොට සතුටුව නගුට වනමින් වෙළෙන්දාගේ මුහුණ බල බලා සිටියේය. මේ දැක වෙළෙන්දා සතුටුව සොම්නසින් පිරී ප්‍රාර්ථනා කරනුයේ, ‘මේ මා කළා වූ පුණ්‍ය කර්මයෙන් ජාතියක් ජාතියක් පාසා සුවඳ ගිතෙල් මුසු මොණර මස් හා ඇල්හාලේ බත් ලැබේවා! මේ පිනෙන් අවසානයේදී අමා මහ නිවන් දකිම්වා!’ ඒ වෙළඳ පුත්‍රයා ජීවිතාවසානයේ දෙව්ලොව උපන්නේය. එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අපමණ දිව්‍ය සම්පත් අනුභව කොට එයින් චුතව මිනිස් ලොව පන්සිය වරක් ඉපදී මොණර මස් හා ගිතෙල් සමග ඇල්හාලේ බත් නොඅඩුව ලැබුවේය. ඉක්බිති අප ගෞතම බුදුරජුන් පිරිනිවන් පෑ පසු ලක්දිව මහවැලි ගඟ අසල පූගලු නම් ගම එක්තරා ගෙදරක උපන්නේය. දෙමව්පියෝ ඔහුව ‘තිස්ස’ යයි නම් කළහ. හෙතෙම යෞවන අවස්ථාවට පැමිණි කල්හි ගිහිගෙයි ආදීනව හා පැවිද්දේ අනුසස් අසා සියලු ම සම්පත් හැර දමා පූගලූ විහාරයට ගොස් මහණ වී උපසම්දා විය.

තිස්ස තෙරුන් වහන්සේ රෑ දවල් අප්‍රමාදීව වීර්යය වඩා නොබෝ කලකින් ම උතුම් වූ රහත් බවට පැමිණ මුළු ලොවට අග්‍ර පින් කෙතක් වූහ. මහා පුණ්‍ය ඉර්ධියකින් හා නුවණින් යුතු වූහ. බුදුන් වදාළ ත්‍රිපිටක ධර්මය ඉගෙන නිමවා ‘පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේ’ යයි මුළු ලක්දිව ප්‍රසිද්ධ වූ සේක. උන්වහන්සේගේ පාත්‍රය යම්කිසි ඉසුරුමත් කෙනෙක් හෝ දිළින්දෙක් ගන්නේ වී නමුත් සුවඳ ගිතෙල් මුසු මොණර මස් සමග රත් ඇල්හාලේ බත් ම පුරවා දෙති. මෙසේ හැට අවුරුද්දක් ඉක්ම ගියේය. එක් ඇමතියෙක් සිතනුයේ ‘මේ තෙරුන් වහන්සේට හැම දවසේ ම සුවඳ ගිතෙල් මුසු මොණර මස් හා ඇල්හාලේ බත් ම ලැබෙයි’ යි බොහෝ දෙනා කියති. මා විසින් මෙය පරීක්ෂා කළ යුතුයි’ සිතා තමාගේ ගෙදරට ගොස් බිරිඳ අමතා “සොඳුරී හෙට දවසේ මම පූගලුවාසී තිස්ස තෙරුන්ට දනක් දෙන්ට කැමතියි. තෙරුන් වහන්සේ පැමිණි කල්හී නිවුඩු සහලෙන් කුඩු මුසු කැඳක් පිස වළඳවා වේලාව සමීප වූ කල්හි පලා මාළුවක් හා කාඩි ඇඹුල් දෙවැනි කොට නිවුඩු හාලේ ම බත් දෙන්නැ” යි කියා රැය පහන් වූ විට විහාරයට ගොස් තෙරුන්ට “ස්වාමීනී, අද අපට අනුග්‍රහ කළ මැනව” යි ආරාධනා කොට අන් තැනකට ගියේය.

ඉක්බිති ඔහුගේ ගෙදර අධිගෘහිත දෙවියා මේ කථාබහ අසා ‘මොවුහු තෙරුන් වහන්සේගේ පුණ්‍ය ඍද්ධිය ගැන නොදන්නේයැ’ යි සිතා ඒ ගෙදර සිටි මහලු මිනිසෙකුගේ වෙස් ගෙන ඇල් සහල්, මොණර මස් හා ගිතෙල් කළයක් ද රැගෙන ගෙදරට පැමිණ අමාතය්‍යාගේ භාර්යාවට දුන්නේය. ඇය විසින් ‘කොහෙන් ගෙන එන ලද්දේ දැ’ යි ඇසූ කල්හි මහලු මිනිසා වෙසින් සිටින දේවතාවා මෙසේ කීවේය. “මෑණියනි, අමාත්‍ය පුත්‍රයා අතරමග මා දැක ‘පින්වත, අද පූගලූවාසී තිස්ස හිමියන්ට දනට ආරාධනා කරන ලදී. මේ දානෝපකරණ ගෙන ගොස් අපගේ ගෙදරට දී මෙයින් බත් පිස ව්‍යඤ්ජන සහිතව තෙරුන් වළඳවන්න යැයි කියන්න’ යැයි මට පැවසුවේය.” මෙසේ කියා මඳ දුරක් ගොස් අතුරුදහන් විය. ඇය ඒ කථාව අසා මස් සහිත බත් පිළියෙල කොට තෙරුන් වහන්සේ පැමිණි කල්හි පාත්‍රය ගෙන වඩාහිඳුවා සුවඳ ගිතෙල් හා මොණර මසින් යුක්ත වූ සුවඳ ඇල්හාලේ බත වැළඳවූහ. තෙරුන් වහන්සේ වළඳා විහාරයට වැඩි සේක. ඉන් පසු ඇමතියා පැමිණ භාර්යාවගෙන් තෙරුන්ට දානය දුන්නේ දැයි විචාළේය. එකල භාර්යාව “ඔබ එවූ දානෝපකරණයන්ගෙන් ඇල් හාලේ බත් පිස සුවඳ ගිතෙල් හා මොණර මස් සහිතව තෙරුන් වහන්සේ වැළඳවීමි” යි කී කල්හි “සොඳුර, මා එවූ උපකරණයක් නැත. ඒවා රැගෙන ආවේ කවුරුදැ” යි විචාළේය. ඒ මහලු මිනිසාගෙන් ද ඇසූ කල්හි ‘එසේ වූ දෙයක් මා ගෙනායේ නැතැ’යි කී කල්හි මේ නම් ඒ තෙරුන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියෙකු විසින් කළ දෙයක් ම යැයි සිතා බුදු සසුනෙහි පැහැද එතැන් පටන් තම ශක්ති පමණින් මහදන් පවත්වා දානපතියෙක් විය.

පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේ ජීවිතාන්තය දක්වා පින් බලයෙන් ලබන ලද එබඳු ආහාරය ම අනුභව කොට පිරිනිවෙන්නට සුදුසු කල් දැනගත් පසු විහාරයෙහි සංඝයා රැස්කරන ගෙඩිය ගස්වා තමන් වහන්සේ පිරිනිවන් පානා බව කී සේක. එකල භික්ෂූන් වහන්සේලා “ස්වාමීනී, නුඹවහන්සේ මහා පිනැති සේක. නුඹවහන්සේගේ පින මුළු ලංකාවෙහි ම ප්‍රකට ය. අතීතයෙහිදී කරන ලද කවර නම් පින්කමක බලයෙන් මේ විපාක ලැබීදැ” යි විචාලහ. එය අසා තෙරුන් වහන්සේ තමා විසින් කාශ්‍යප බුදුන් සමයෙහි බල්ලාට බත් දුන් පින ප්‍රකාශ කොට කළ ප්‍රාර්ථනාව ද පැවසුවේය. “එබැවින් පිනැත්තවුන් තුන් සිත පහදවා තමන් කළ පින් බලයෙන් ලබන්නා වූ පුණ්‍ය විපාකය මනුෂ්‍යයන් විසින් තබා මාරයා විසිනුත් වැළැක්විය නොහැකිය. දැනුදු යම් කෙනෙක් කම්පල අදහා තුන් සිත පහදවා යම් ආහාරයක් දුන්නාහු වී නම් ඔහු මා සේ ම දිව්‍ය සම්පත්තිය, මනුෂ්‍ය සම්පත්තිය, නිවන් සම්පත්තිය යන ත්‍රිවිධ සම්පත්තිය ම සැපසේ ලබන්නේය.” මෙසේ තෙරුන් වහන්සේ භික්ෂු සංඝයා මධ්‍යයෙහි පූර්වජන්මයෙහි කළ පින ද ප්‍රකාශ කොට දක්වා අවවාද කොට පහන් සිලක් නිවෙනා ලෙස පිරිනිවුණ සේක. රහතන් වහන්සේ වදාළ ධර්ම කථාව අසා මහජනයෝ දානාදී වූ පින්කම් කොට බොහෝ දෙන දෙව්ලොව උපන්හ.

මෙසේ ස්වල්ප වූ දානයෙන් පවා ශ්‍රද්ධාවන්තයෝ ඉතා අද්භූත වූ ආශ්චර්යවත් වූ අපමණ විපාක ලබන්නාහ. බොහෝ දන් පින් කළා වූ අය විසින් ලබන පුණ්‍ය විපාකය බුදු කෙනෙකුට මිස කාට නම් කිව හැකි ද? ඒ නිසා සසරෙන් එතෙරට වැඩි ඒ මුනිවරු උදෙසා යමෙක් බත් හැන්දක් බෙදුවා ද, පැන් පොදක් පූජා කරගත්තා ද, දැක සිත පහදවාගෙන වන්දනා කළා ද, අපමණ පින් රැස්වන්නේය. අදට ද උන්වහන්සේලා සිහිකොට පහන් සිතක් ඇති කරගෙන උන්වහන්සේලාගේ ශ්‍රී නාමය උදෙසා පහනක් දැල්වුවත්, මලක් පිදුවත්, සුවඳ ස්වල්පයක් පිදුවත් බොහෝ පින් රැස්වන්නේය. ඒ නිකෙලෙස් මුනිවරු වැළඳූ අමා මහ නිවන් නමැති බොජුන් අපට ද වළඳන්ට වාසනාව ලැබේවා! මහා පුණ්‍ය ඍද්ධියකින් යුතු වූ බුදුරජාණන් වහන්සේගේ හද මඬලින් උපන් පුත්‍ර රත්නයක් වූ ලංකාවෙහි වාසය කළ පූවපබ්බතවාසී තිස්ස රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!

සද්ධර්මාලංකාරය ඇසුරිනි.
මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි