ධර්මස්වාමී වූ අප භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දෙව් මිනිසුන්ට චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කළ සේක. පුරා සතලිස් පස් වසක් ම උන්වහන්සේගේ බුදු මුවින් පිට වූයේ සත්වයාව සසර සැඩ පහරින් එතෙර කරවන අමෘතය බඳු වූ ශ්‍රී සද්ධර්මය යි.

බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් ඒ තථාගත ශ්‍රී සද්ධර්මය ක්ෂීණාස්‍රව මහරහතන් වහන්සේලා විසින් ද වදාරන ලද්දේය. ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසු ශිෂ්‍ය රහතන් වහන්සේලාත් ඒ දහම් සක ප්‍රවර්තනය කරමින් සිටියහ.

රහත් සඟ පරපුරෙන් පරපුරට පැමිණි ඒ තථාගත ශ්‍රී සද්ධර්මය ශාස්තෘත්වයෙන් පිදුම් ලබන්නේය. භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “ආනන්ද, මා විසින් යම් ධර්මයක් දෙසන ලද්දේ ද යම් විනයක් පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් පසු ශාස්තෘහු බවට පත්වන්නේ ඒ ධර්ම විනය යි.” යනුවෙනි. අපගේ ශාස්තෘන් වහන්සේගේ පුත්‍ර රත්නයක් වූ අපගේ ආදි ගුරුදේවෝත්තම මහා මහින්ද මහරහතන් වහන්සේ තම නිකෙලෙස් හදමඬලෙහි ඒ උතුම් ධර්ම විනය දරාගෙනයි මේ පුංචි ලක්දිවට වැඩම කළේ. උන්වහන්සේ ඒ උතුම් වූ ධර්ම විනය මේ ලංකාද්වීපයේ මනා කොට පිහිටුවා වදාළ සේක. මිහිඳු මහරහතන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අසා පැහැදුනු සිංහලයෝ ධර්මරාජයන් වහන්සේ සරණ ගියෝය. ඒ දහම් සවනට වැටෙත් ම ලක්වැසි මහා පින්වන්තයෝ ගිහිගෙවල් හැරදමා බුදු සසුනෙහි පැවිදි වී අමා මහ නිවන අවබෝධ කළෝය. මෙසේ සියදහස් ගණනින් ලක්දිව රහතන් වහන්සේලා ද බිහිවෙන්නට පටන් ගති. ඒ උතුම් මුනිවරු ද මේ චතුරාර්ය සත්‍යය ධර්මයම ප්‍රකාශ කළෝය.

මේ තථාගත ශ්‍රී සද්ධර්මය මහා අසිරිමත් ආනුභාව සම්පන්න වූවකි. සත්වයාට දෙව් මිනිස් සැප පමණක් නොව නිවන් සැපය පවා ලබාදෙන්නේ මේ ධර්මයෙනි. මේ ලෝකයෙහි සත්වයාට සියලු සැප ලැබෙන්නේ ධර්මයෙන් ම ය. අධර්මයෙන් නොවේ. මෙලොවත් පරලොවත් උතුම් වන්නේ ධර්මය ය. මේ ධර්මය නම් සසර සයුරෙන් එතෙර කරවන මහා නෞකාවක් වැනිය. සියලු රසයන්ට වඩා ධර්ම රසය උතුම් වන්නේය. බුදුරජුන් ජීවමාන කල මිහිරට ධර්මය කියන ශබ්දයට සවන් දෙමින් සිටි ගෙම්බෙක්, ගොපල්ලෙකුගේ කෙවිටට යටවී මරණයට පත් වී දෙව්ලොව මණ්ඩුක නම් දිව්‍ය පුත්‍රයෙකු ව ඉපිද බොහෝ සැප සම්පත් විඳින්නේය. මෙසේ ධර්මය කියන්නා වූ ශබ්ද මාත්‍රයක් අසා එපමණ කුසල් බලයෙන් දෙව්ලොව රැකවරණය ලැබෙන්නේ නම් මේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කොතරම් නම් ආනුභාව සම්පන්න ද? මේ ලක්දිව ද තිරිසන්ගත ව ඉපිද ධර්මය දේශනා කරන ශබ්දයට පැහැදී ඒ කුසල් බලයෙන් මනුලොව ඉපිද උතුම් බුදු සසුනෙහි පිහිට ලබාගත් ලක්වැසි රහතන් වහන්සේ
නමක් ගැනයි අද සිත පහදවා ගන්නට ලැබෙන්නේ.

මේ ලක්දිව ඉතා සුන්දර වූ උදළුකුළු නම් විහාර ආරාමයක් පිහිටා තිබුණේය. ඒ විහාරයට නුදුරු වූ සමීප වනයෙහි ඌරන්, මුවන් ආදී වූ බොහෝ සිවුපාවෝ වාසය කරති. එකල ගමක වාසය කරන වැදි පුත්‍රයෙක් දඩයමක් කර ගැනීමට සිතා ඒ වනයට පිවිස දුනු හී මානාගෙන මුවන් එනු බලා හැංගී සිටියේය. එකල්හී එක් මුවෙක් තණකොළ කමින් පැන් බොනු පිණිස පැන් තොටට යමින් සිටියේය. ඒ මොහොතෙහි ම, අසල විහාරයෙහි බණ කියන ශබ්දය අසා ධර්ම දේශකයාණන් වහන්සේගේ මිහිරි ස්වරයෙහි පැහැදී කර දික්කොට උඩට එසවූ කන් ඇතිව දකුණු පය බිම නොතබා ඒ නිමිත්ත ග්‍රහණය කොට නිශ්චලව සිටියේය. එකෙණෙහි ම සැඟවී සිටි වැදි පුත්‍රයා ධර්ම දේශනා ස්වරයෙහි පැහැදී සිටි මුවාට එකම හී පහරක් විද මරණයට පත් කළේය. ඒ මුවා කාලක්‍රියා කොට එම වෙහෙරෙහි වසන අභය නම් මහ තෙරුන් වහන්සේගේ නැගණියගේ කුසේ පිළිසිඳගෙන සුදුසු කල මව්කුසින් බිහිව ක්‍රමයෙන් වැඩී සත් හැවිරිදි වයසට පැමිණියේය. එකල්හී ඒ පුත්‍රයා මව්පිය දෙදෙනාගෙන් නිතරම පැවිදි වීමට අවසර ඉල්ලයි. ඉන්පසු මව්පියන් විසින් ඔහුව අභය මහ තෙරුන් වහන්සේ සමීපයට කැඳවාගෙන යනු ලැබිණ. මහ තෙරුන් වහන්සේ නොබෝ දවසකින් කර්මස්ථාන දී ඔහුව මහණ කරවූ සේක. ඒ සාමණේරයන් වහන්සේ කලින් ජීවිතයේ මුවෙකුව ඉපිද ධර්මය ශ්‍රවණය කළ කුසලයේ ආනුභාවයෙන් කරගෙහ දී ම අරහත්වයට පත් වූ සේක. උන්වහන්සේගේ ඥාතී වූ අභය මහ තෙරුන් වහන්සේ වනාහී පංච අභිඥා පමණක් ඇති සේක. අරහත්වයට පත් නොවී වාසය කරන සේක.

එක් දවසක් සාමණේර රහතන් වහන්සේ, උපාධ්‍යායන් වහන්සේ සමීපයට එළඹුණු සේක. ඒ වෙලාවෙහි උන්වහන්සේ අත දික්කොට අත්ලෙන් සඳමඬල පිරිමදිමින් සිටි සේක. එය දුටු සාමණේරයන් වහන්සේ මහ තෙරුන් වහන්සේ අරහත්වයට පත් නොවූ බව දැන සංවේගයට පත් කිරීමට සිතා, “ඔබවහන්සේගේ ඍද්ධි මහිමය රැක තබා වදාළ යහපතැයි” කියූ සේක. අභය මහ තෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේ අරහත්වයට පත් වූ බව නොදැන ඒ වචනය මෙනෙහි නොකළ සේක. ඒ බව දැන සාමණේර රහතන් වහන්සේ ඍද්ධි බලයෙන් දහසක් සඳ මඬුලු ගෙන හැර තෙරුන් වහන්සේට දක්වා, “ස්වාමීනි, සඳ මඬුලු සියයක්, දහසක්, ලක්ෂයක් ගෙනහැර දැක්වීම බැරි දෙයක් නෙවෙයි. යම් භික්ෂුවක් එකම තෘෂ්ණාව දුරු කොට වදාළේ වේ නම් එයයි උත්තම වන්නේ.”යි කියා උපාධ්‍යායන් වහන්සේට මෙසේ අනුශාසනා කළ සේක.

“යම්කිසි පුරුෂයෙක් මුහුද දක්නා පිණිස ගොස් වෙරළේ සිට මහා සමුද්‍රය දැක ගැඹුරු ජලයෙහි තිබෙන දසවිධ රත්නයන්, කොරල් පර ආදී වූ කිසි විශේෂයක් දක්නට නිසි දිව්‍ය ඥානයක් නැතත් දුටුව දේ පමණක් ම සිතින් ගෙන ‘මහා සමුද්‍රය මම දැක්කෙමි’ යි කියා ද එපරිද්දෙන් ම මේ ශාසනයෙහි යම් භික්ෂුවක් ස්ථීරව ම නොපවතින අභිඥා බලයෙන් කෙලෙස් ප්‍රහාණය නොකොට ‘මම අරහත්වයට පත් වූයෙමි’ යි සිතන්නාහු වී නම් ඔහු තෘෂ්ණා දාසභාවයෙන් නොමිදී ම වාසය කරන්නේය. යම්කිසි භික්ෂුවක් එබඳු තෘෂ්ණාව ප්‍රහාණය කළේ නම් මාර උගුලෙන් මිදුනේය.” යැයි වදාළ සේක. මෙසේ සාමණේරයන් වහන්සේ වදාළ අනුශාසනා ධර්මය අසා අභය මහතෙරුන් වහන්සේ විදර්ශනා වඩා එදවසේ ම අරහත්වයට පත් වූ සේක.

ඉක්බිති දෙවන දවසේ අභය මහතෙරුන් වහන්සේගේ නැගණිය වන සාමණේර රහතන් වහන්සේගේ මව්වන උපාසිකාවෝ එම දෙනමට ම දානයට ආරාධනා කළෝය. එවිට මහ තෙරුන් වහන්සේ “උපාසිකාවෙනි, අද බොහෝ භික්ෂූන් දැක ඔබ විසින් සිත පහදවා ගත යුත්තේය. ඔබ විසින් දානය පිළියෙල කළ යුත්තේ දෙනමකට පමණක් ය.” යැයි වදාරා පිටත් කළහ. ඉන්පසු දානයට වැඩිය යුතු වේලාව පැමිණි පසු තිස්දහසක් පමණ භික්ෂූන් සමඟ ගමට වැඩි සේක. උපාසිකාව භික්ෂූන් වහන්සේලා දැක සහෝදරයන් වහන්සේටත්, පුත්‍රයන් වහන්සේටත් ආසන දෙකක් පැනවූවාය. ඒ ආසන දෙදෙනා වහන්සේගේ ආනුභාවයෙන් තිස්දහසක් පමණ විය. හැමදෙනා වහන්සේ ම තමන් වහන්සේට පැණවූ ආසනවල වැඩ හුන් සේක. එකල්හී දෙනමකට පමණක් සෑදූ දානය ආදී සියල්ල ම තිස්දහසක් සංඝයා වහන්සේලාට ම ප්‍රමාණවත් විය. ආහාර වළඳා අවසන් වූ පසු උපාසිකාවෝ, දුන් දනෙහි අනුසස් අසනු කැමතිව සාමණේර රහතන් වහන්සේගේ පාත්‍රය රැගෙන සිටියහ. උන්වහන්සේ මිහිරි හඬින් බණ වදාළ සේක. ඒ ධර්ම දේශනාව අවසානයෙහි මව්පිය දෙදෙනා ආදී කොට ඇති පන්සියයක් පමණ ස්ත්‍රී පුරුෂයෝ සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඒ ධර්ම දේශනය බොහෝ දෙනාට යහපත උදා කළේය.

යමෙක් තුනුරුවන් විෂයෙහි සිත පහදවාගෙන ධර්ම ශ්‍රවණය කළේ නම් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලැබීම පුදුමයක් නොවේ. නිර්වාණ සම්පත්තිය ලැබීම පිණිස ද එය උපකාර වන්නේය. එම නිසා, “මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මය යි” යන බුදු වදන කෙතරම් සත්‍යයක් ද? ඒ ධර්මය ලෝකයාට දේශනා කළ මහා කාරුණික වූ ධර්මරාජ වූ අප මහා මුනීන්ද්‍රයාණන් වහන්සේව සරණ යන්න ලැබීම කෙතරම් නම් භාග්‍යයක් ද? ඒ බුද්ධ රත්නයට නමස්කාර වේවා! ධර්ම රත්නයට නමස්කාර වේවා! සංඝ රත්නයට නමස්කාර වේවා !

ධර්ම ශ්‍රවණානුභාවයෙන් අරහත්වයට පත්ව ලංකාවෙහි උදළුකුළු විහාරයේ වාසය කළ ඒ සාමණේර රහතන් වහන්සේට අපගේ වන්දනාව වේවා! එසේ ම, සාමණේර රහතන් වහන්සේගේ අනුශාසනාව හිස් මුදුනින් නිහතමානීව පිළිගෙන සංවේගය උපදවා අරහත්වයට පත් වූ අභය රහතන් වහන්සේටත් නමස්කාර වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.