මහා කාරුණික වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ තුන් වරක් ලංකාදීපයට වැඩම කිරීමෙන් අනාගතයෙහි බුදු සසුන පිහිටන මේ දීපය සුපූජනීයත්වයට පත් කළ සේක. ලෝක සත්වයාට බොහෝ කල් හිතසුව පිණිස කටයුතු සලසා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේගේ පිරිනිවීමෙන් අවුරුදු 236 දී තුන්වන ධර්ම සංගායනාව මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. එහි දී උතුම් සංඝරත්නය විසින් ලෝකනාථ මුනිදාණන්ගේ ඖරස පුත්‍ර වූ අපගේ මහා නුවණැති මහින්ද මහරහතන් වහන්සේට ලක්දිවට වඩින්නට නියම කළා. ඉන් පසු උන්වහන්සේ ගෞතම සම්මා සම්බුදු සසුන කෙරෙහි සිංහලයින් පහදවනු පිණිස සුදුසු කාලයේ දී ලංකාවට වැඩම කළ සේක. ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුතුව ධර්මය දේශනා කළ සේක. මේ දිවයිනට පිළිසරණ වූ උන්වහන්සේ සද්ධර්ම මාර්ගයෙහි බැසගන්ට කටයුතු කොට වදාළා. මෙසේ ක්‍රමක්‍රමයෙන් මේ සිංහලදීපයෙහි මගඵල ලාභීන් බිහිවෙන්නට පටන් ගත්තා. බොහෝ පින් තිබූ මිනිසුන් ගිහි ගෙවල් හැර දමා උතුම් බුදු සසුනේ පැවිදි වී පිළිවෙත් පුරා මහරහතන් වහන්සේලා බවට පත් වී උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස පැවැත්වූ සේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරමින් මතු සඟ පරපුරට දායාද කළ සේක. ලංකාදීපය කසාවතින් බැබළවූ සේක.

උතුම් සිංහල මහරහතන් වහන්සේලාගෙන් පිරී පැවතුන මේ දීපයට වරින් වර මිසදිටු ගත් දෙමළ රජවරුන්ගේ ආක්‍රමණවලට මුහුණ දෙන්නට සිදු වුණා. අටලෝ දහමින් කම්පා නොවන උන්වහන්සේලා දෙමළුන් විසින් දාගැබ්වලට, බෝධීන් වහන්සේලාට කරන විනාශයන් දකිමින් කම්පා නොවී උපේක්ෂාවෙන් යුතුව වැඩ සිටියා. ලංකාදීපයේ පරසතුරු කටුකොහොල් ඉවත් කරලා බුදු සසුන බබුළුවන දුටුගැමුණු නමින් මහා පින්වන්ත රජෙක් පහළ වුණා. දස මහා යෝධයන් පිරිවර කොට සිටි දුටුගැමුණු මහරජතුමා දෙමළුන් පරාජයට පත් කරමින් බුදු සසුන බැබළෙව්වා. එදා දුටුගැමුණු මහරජතුමාත් සමග එක්වී නොපැරදෙන මහා යුද්ධ විසි අටක් කරමින් යම් මහා යෝධයෙක් ජීවිත පරිත්‍යාගයෙන් වෙන් නොවී එකට සිටියා ද පසුව තනිවම කෙලෙස් සතුරන් සමග යුද්ධ කරමින් ජය ලබාගත්, ලංකාවේ පහළ වුණු යෝධ සිංහල මහරහතන් වහන්සේනමක් ගැනයි අද ඔබට සිත පහදවා ගන්නට ලැබෙන්නේ. එනම් ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ කාශ්‍යප නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවත්නා කාලයෙහි එක්තරා පුරුෂයෙක්ව ඉපිද වැඩිවිය පැමිණ කටයුතු දන්නා අවස්ථාවේ විහාරයට ගොස් බණ අසා බුදු සසුනෙහි පැහැදී සංඝයා වහන්සේට ආරාධනා කොට මහා දානයක් දුන්නා. එතැන් පටන් අවුරුදු විසිදහසක් මුළුල්ලෙහි ක්ෂීර පායාස දානය දී අනිකුත් බොහෝ පින්කම් කොට දෙව්ලොව ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිව්‍ය සැප සම්පත් අනුභව කළා. ගෞතම බුදුරජුන් පිරිනිවීමෙන් පසු මේ ලංකාදීපයේහි රුහුණු රට කොටගල නම් පර්වත සමීපයේහි කැතිගම රෝහණ නම් ඉසුරුමත් පවුල්කාරයෙකුට දාව පුත්‍රයෙක් ව උපන්නා. ඔහුට ගෝඨාභය රජ්ජුරුවන්ගේ නමින් ‘අභය’ කියලා නම තැබුවා. වයස අවුරුදු දහය දොලහ වෙද්දී ඒ දරුවා මහා බලසම්පන්න වුණා. හතරපස් දෙනෙකුට ඔසවන්ට බැරි ගල් අරගෙන පන්දු ක්‍රීඩාවේ යෙදෙනවා වගේ සෙල්ලම් කරමින් ඒ ගල් වීසි කළා. අවුරුදු දහසය වෙද්දී ඔහුගේ පියා ඔහුට ලොකු මුගුරක් සාදවලා දුන්නා. ඒ විශාල මුගුරෙන් තල් ගස්, පොල් ගස්වල කඳට ගහලා බිම හෙළනවා. ඒ නිසා ම, ‘අභය යෝධයා’ කියා ප්‍රසිද්ධ වුණා. අභය යෝධයාගේ පියා මහාසුම්ම මහරහතන් වහන්සේගෙන් බණ අසා ගිහි ගෙයි කලකිරී බුදු සසුනේ පැවිදි වුණා. ‘මාගේ පුතණුවන් අස්ථානයේ නොනසිත්වා’ යි සිතා කැඳවාගෙන ගොස් ඔහුව ද මහණ කළා. නොබෝ දවසකින් ම පියාණන් රහත් භාවයට පත් වුණා. එසේ හෙයින් උන්වහන්සේගේ පුත් වූ අභය සාමණේරයන් ‘ථේරපුත්තාභය’ නමින් ප්‍රසිද්ධ වුණා.

මේ කාලය වන විට දෙමළුන් ලංකාද්වීපයේ බෝධීන් වහන්සේලා කපා දමනවා. දාගැබ් පිළිම ආදිය සිඳ බිඳ නසනවා. සංඝයා වහන්සේලා ව පීඩාවට පත් කරනවා. ලැව්ගිනි ගත් වනාන්තරයක් සෙයින් මුළු ලංකාද්වීපයම ‘දෙමළ ගිනි’ ගෙන දැවී යමිනුයි තිබුණේ. ගම් සියල්ල නැසී නොගම්ව ගියා. මේ විනාශය දුටු ථේරපුත්තාභය සාමණේරයන් වහන්සේ මෙසේ සිතූ සේක. ‘අප බුදුහු දීපංකර බුදුන් සමයෙහි තමන් වහන්සේට හස්තප්‍රාප්තව තිබූ නිර්වාණ සම්පත්තිය හැර සසර දුක් ගන්නා සියලු සත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් සසරට වැද පාරමී දම් පුරා ලොව්තුරා බුදු ව සූවිසි අසංඛ්‍යෙයක් සත්වයන් සසර දුකෙන් නිදහස් කළ සේක. එසේ ම මම ද දුටුගැමුණු රජ්ජුරුවන්ට සහාය දී දෙමළ කසල හැර බුද්ධ ශාසනය ආරක්ෂා කොට දැන් සේ ම මහණ වී අත්‍යයන්ත නිර්මල ශීලයෙහි පිහිටා නිර්වාණ සම්පත්තිය සිද්ධ කොට ගනිමි.’ මෙසේ සිතා සිවුරු හැර ගෝඨයිම්බර යෝධයාගේ සහය ඇතිව රජ්ජුරුවන් ළඟට ගොස් පෙනී සිටියා. රජතුමා බොහෝ සතුටුව ඉන්ට සිටින්නට තැන් සලස්වා තමන් සමීපයෙහි තබා ගත්තා. පසුව දුටුගැමුණු රජතුමා හා එක්ව ගොස් මහ මුගුරක් ගෙන දෙමළුන් සමග සටන් කරමින් ඔවුන්ව පරාජය කොට මුළු ලක්දිව එක්සේසත් කොට දී ලෝ සසුන් බබුළුවා අනුරාධපුරයේ විසුවා. පසුව රජ්ජුරුවන් විසින් දස මහා යෝධයන්ට තනතුරු දෙන දවසේ මෙකී ථේරපුත්තාභය යෝධයාණෝ තනතුරු භාර ගත්තේ නැහැ. “කුමක් පිණිස නොගන්නේ දැ?”යි විචාල කල්හි “දේවයන් වහන්ස, යුද්ධයක් තියෙනවා නොවැ.” කියලා පිළිතුරු දුන්නා. “රාජ්‍යය එක්සේසත් කරන්ට යුද්ධයක් කළාට පස්සේ තවත් තියෙන යුද්ධය කුමක් ද?” “දේවයන් වහන්ස, ජය ගන්ට ඉතා අසීරු වූ මේ කෙලෙස් සතුරන් එක්ක තියෙන යුද්ධෙත් කරන්නට ඕනෑ. කෙලෙස් සතුරන් හා සමාන සතුරු කෙනෙක් නැත. ඒ සතුරන් පරදවන්ට පැවිදි වීමට අවසර දුන මැනවැ”යි කියා රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන පැවිදි බව ලබා අප්‍රමාදීව සමථ විදර්ශනා වඩා සිව් පිළිසිඹියාපත් රහත් බවට පැමිණ පන්සියයක් රහතන් වහන්සේලා පිරිවරාගත් සේක. ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගිහි කාලයේ මුගුරක් ගෙන සතුරන් නසා දැම්මාටත් වඩා වැඩි වේගයෙන් පිරූ පින් ඇති උන්වහන්සේ ප්‍රඥාව නමැති මහ මුගුර ගෙන කෙලෙස් සතුරන් නසා දැමූ සේක. මේ ලක්දිව හිරු සඳු සේ ප්‍රසිද්ධ වූ සේක.

අපගේ දුටුගැමුණු මහ රජ්ජුරුවෝ මාරාන්තික රෝගයකින් ගිලන් බවට පත් වුණා. රජ්ජුරුවන්ව දෝලාවක සතපවාගෙන මහසෑය ළඟට වඩමවාගෙන විත් දෝලාවෙන් ම මහසෑය පැදකුණු කළා. පසුව දකුණු දොරටුව අසල බිම අතුරන ලද සයනයක සැතපෙව්වා. අපගේ රජ්ජුරුවන්ගේ අසනීප තත්ත්වය ගැන අසන්ට ඒ ඒ රටෙන් වැඩිය භික්ෂූන් වහන්සේලාගේ ගණන අනූහය කෝටියක් වුණා. රජතුමා එතැන වැඩ නොසිටින ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ගැන සිතුවා. ‘මං එදා නොපැරදෙන මහා යුද්ධ විසි අටක් කරද්දී යම් මහා යෝධයෙක් වෙන් නොවී මාත් සමග ජීවිත පරිත්‍යාගයෙන් එකට සිටියා ද මරණය සමග යුද්ධ කරන වෙලාවේ මං පරදින බව දැකලා වෙන්ට ඇති දැන් අපගේ ථේරපුත්තාභය තෙරුන් වහන්සේ මං ළඟට එන්නේ නැත්තේ.’ කිරිඳි ඔය ඉස්මත්තේ පංජලී පර්වතයේ වැඩ සිටි ථේරපුත්තාභය රහතන් වහන්සේ රජ්ජුරුවෝ සිතපු අදහස දැකලා පන්සියයක් රහතන් වහන්සේලා සමග ඉර්ධි බලයෙන් අහසින් ඇවිත් අපගේ දුටුගැමුණු රජතුමාව වටකරගෙන සිට ගත්තා. උන්වහන්සේව දැකලා මහත් සතුටට පත් රජතුමා තමන් ඉදිරියේම වඩා හිඳුවාගෙන “ස්වාමීනී, ඒ කාලයේ යුද්ධෙට ගිහින් අපි හැමෝම එකට යුද්ධ කළා. දැන් මං තනියම මාරයා සමග යුද්ධයක යෙදිලා ඉන්නවා. මාරයා නැමැති සතුරාව පරාජය කරන්ට බැරි බව පේනවා.” යැයි කියා සිටියා. එතකොට ථේරපුත්තාභය මහරහතන් වහන්සේ මෙහෙම වදාළා.

“මහ රජ්ජුරුවෙනි, භය වෙන්ට එපා! කෙලෙස් සතුරන් පරදවන්නේ නැතුව මාරයා නැමැති සතුරාව පරදවන්ට බැහැ. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සංස්කාරයන්ට අයිති හැම දෙයක්මත් තමාගේ වසඟයේ පවත්වන්ට බැහැ බිඳිලා යනවා. අපගේ ශාස්තෘන් වහන්සේ සියලු සංස්කාරයන් අනිත්‍යයයි කියා වදාළේ මේ නිසයි. ලැජ්ජා භය කිසිවක් නැති මේ අනිත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ වෙතත් පැමිණුනා නොවැ. ඒ නිසා මේ සංස්කාරයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියා සිතනු මැනව. ඔබතුමා මේ මනුලොව සිටිය දී බොහෝ පින් කර ගත්තා. ඔබතුමා විසින් ලංකා රාජ්‍යය එක් ඡත්‍රයක් යටතට ගත්තේ බුද්ධ ශාසනය බැබළවීම පිණිස ම යි. මහා පුණ්‍යවන්තයාණෙනි, රජ වූ දවසේ ඔබ විසින් කරන ලද පින් සිහි කළ මැනව. එහි සැප විපාක ඔබතුමාට වහා ම ලැබේවි.” මහරහතන් වහන්සේගේ වචනය අහලා රජතුමා ඉතාමත් සතුටු සිතකින් යුක්ත වුණා. “ස්වාමීනී, ඔබ වහන්සේ මට මේ මාරයා සමග වන යුද්ධයේදීත් බොහෝ උපකාර වුණා” කියලා උන්වහන්සේට පැවසුවා. සතුටින් සිටින දුටුගැමුණු රජතුමා පින්පොත ගෙන්වාගෙන එය කියවන්න කිව්වා. එය අසාගෙන සිටි රජතුමා මෙහෙම කිව්වා. “ඉසුරු සම්පත් මත පිහිටාගෙන කළ පින්කම්වලට වඩා මා ඉතා දුකට පත් වී සිටි අවස්ථාවේ දිවි පරදුවට තබා පූජා කර ගත් දාන දෙක නම් මතක් වෙද්දි හිත පිනා යනවා.” එය ඇසූ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ‘ඒ දාන දෙක ගැන ම හිත පහදවන්ට ඕනෑ ය’ යන අදහසින් දුෂ්කර අවස්ථාවේ දුන් දානය ගැන ම වර්ණනා කළා. මෙසේ වදාළ ථේරපුත්තාභය රහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ සිත සතුටට පත් කළා. ඉන් පසුව සංඝයා වහන්සේලා සූත්‍ර සජ්ඣායනා කරන්ට පටන් ගත්තා. දේවතාවෝ දෙව්ලෝක හයෙන් ම දිව්‍ය රථ එවා තිබුණා. සෑම දිව්‍ය ලෝකයකින් ම කතා කරන්නට පටන් ගත්තා. ඉන් පසු රජතුමා ථේරපුත්තාභය මහරහතන් වහන්සේගෙන් මෙය ඇසුවා. “ස්වාමීනී, කොයි දිව්‍ය ලෝකය ද වඩාත් මනරම්?” “රජ්ජුරුවෙනි, සත්පුරුෂයන්ගේ සම්මතය අනුව තුසිත දෙව්ලොව තමයි මනරම්. අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේත් වැඩ ඉන්නේ තුසිත පුරයේ නොවැ.” අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේගේ වචනය ඇසූ දුටුගැමුණු රජතුමා මහාථූපය දෙස බලාගෙන වැතිරී සිටිය දී ම දෑස් පියාගත්තා. මිනිස් ලොවෙන් චුත වූ කෙණෙහි ම තුසිත දෙව්ලොවින් පැමිණි දිව්‍ය රථයෙහි ඕපපාතිකව දෙව් රජෙක්ව උපන්නා.

මෙසේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ අවසාන මොහොතේදීත් දුටුගැමුණු මහරජතුමාට බොහෝ උපකාරී වුණා. උන්වහන්සේ ගිහි කාලයේදීත්, පැවිදි වූ පසුත් සසුන බබුළුවන්ට බොහෝ ඇප කැප වුණා. “යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන් පරදවා ජයගත්තත් ඒක නියම ජයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් කෙලෙස් යුද්ධයෙන් ජයග්‍රහණය කළොත් ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා” යන උතුම් බුද්ධ වචනය සත්‍ය කරමින් උන්වහන්සේ කෙලෙස් යුද්ධය ජයගත් සේක. මොහඳුර නසා අරහත් ඵලය නමැති ප්‍රඥා ප්‍රදීපය දල්වාගෙන වැඩ සිටි එබඳු මහෝත්තම රහතන් වහන්සේලා පවා ලෝක සත්වයාගේ අවිදු අඳුර නසන මහා ප්‍රදීපයක් බඳුව වැඩ සිට මරණය නමැති දරුණු සැඩ සුළඟින් පහර වැදී නිවී ගිය සේක. අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේ ද තමන්ගේ ආයු ඇති පරිදි වැඩහිඳ පිරිනිවන් පා වදාළ සේක. ලක්දිව සුවඳවත් කළ මහා පුෂ්පයක් බඳු වූ, ක්ලේශ යුද්ධ භූමියෙහි ප්‍රඥාව නමැති ආයුධය ගත් මහා යෝධයෙක් සේ සියලු ක්ලේශයන් නැසූ, ලංකා ජනයාට කුසල් නමැති බිජුවට වපුරා මහත්ඵල මහානිශංස කරන සරු කෙතක් බඳු වූ අප ශාස්තෘන් වහන්සේගේ හදමඩලින් උපන් පුත්‍රයෙක් වන ලක්දිව පහළ වුණු සිංහල මහරහතන් වහන්සේනමක් වන අපගේ ථේරපුත්තාභය මහරහතන් වහන්සේට නමස්කාර වේවා…!

සාධු ! සාධු ! සාධු !

 සටහන – මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.