මලියදේව රහතන් වහන්සේ

මේ සංසාරයේ ගමන් කරන සත්වයන්ට නොයෙක් ජාතිවල නොයෙක් දේවල් මුණගැසී ඇත. දුර්ලභව නොව සුලභව ලැබී ඇත. ගෙවල් දොරවල්, යාන වාහන, ස්වාමිවරු, බිරින්දෑවරු, දූ පුතුන් මේ හැම දෙයක් ම මුණගැසී ඇත. නමුත් මේ සසර ගමනේ දී නොලැබුණු, මුණනොගැසුණු වස්තු තුනක් ඇත. එනම් බුද්ධ රත්නය නමැති වස්තුවයි, ධර්ම රත්නය නමැති වස්තුවයි, සංඝ රත්නය නමැති වස්තුවයි. මේ උතුම් තෙරුවන ගැන සිත පහදවා ගැනීමට වාසනාව ලැබී නැත. නමුත් මේ උතුම් තෙරුවන ගැන සිත පහදවා ගැනීමට කෙනෙකුට වාසනාව උදාවුණොත් ඇත්තෙන්ම දුර්ලභ ලැබීමකි.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී පුරා සතලිස් පස් වසරක් ලෝ සතුන් වෙත කරුණාවෙන් ධර්මය දේශනා කළ සේක. ඒ ධර්මය අසා බොහෝ දෙනා ගිහි ගෙවල් අතහැර බුදු සසුනේ පැවිදි වී උතුම් අරහත්වය සාක්ෂාත් කොට අමා මහ නිවනින් සැනසුණහ. ඒ උතුම් අරහත් සඟ පරපුර තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ද දඹදිව් තලයේ කාලයක් වැඩ සිටි සේක. ධර්මාශෝක අධිරාජයාගේ රාජ්‍ය සමයේ ඒ උතුම් අති පාරිශුද්ධ නිර්මල ධර්මය සිය නිකෙලෙස් හද මඬලෙහි දරාගෙන අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ සේක. ඉන් පසු ලංකාවේ ද රහතන් වහන්සේලා බිහි වුණි.

ඒ රහතන් වහන්සේලාගේ ජීවිත පැවැත්ම සාමාන්‍ය කෙනෙකුට කොහෙත්ම සිතා ගත නො හැකි ය. ඒ තරම් ම සැහැල්ලුය. ඒ තරම් ම සරල ය. මේ ලෝකයේ ඉතාමත් ම නිදහසේ ඇවිද යන්නේ රහතන් වහන්සේලා පමණි. සියලු කෙලෙසුන් නසා නිකෙලෙස් හදමඬලක් දරාගෙන වැඩසිටින ඒ රහතන් වහන්සේලා කෙසේ නම් මැනිය හැකි ද? මිනිසුන්ට ද රාගය ඇත. දෙවියන්ට ද රාගය ඇත. නමුත් රහතන් වහන්සේලාට රාගය නැත. මෙය ආශ්චර්යයකි. මෙවන් නිකෙලෙස් මුනිවරු උදෙසා මලක් පූජා කරන්න ඇත්නම්… දන් හැන්දක් බෙදන්න ඇත්නම්… පැන් බඳුනක් පූජා කරන්න ඇත්නම්… ස්තූති ප්‍රශංසා කරනවා නම්… සිත පහදවා ගනී නම්… ඒ කෙනාට බොහෝ කාලයක් යහපත පිණිස හේතුවනු ඇත. ඒ නිසා අද අප සිත පහදවා ගන්නේ ලංකාවේ වැඩ විසූ මලියදේව රහතන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ ගැන බොහෝ දෙනා දන්නේ ලංකාවේ වැඩ විසූ අවසාන රහතන් වහන්සේ කියා ය. නමුත් එය අසත්‍යයකි. ඉන් පසුව ද ලංකාවේ රහතන් වහන්සේලා බිහි වූහ. මූගපක්ඛ ජාතකයෙහි තේමිය කුමාරයා වී අපගේ මහා බෝධිසත්වයෝ රජකම භාරගැනීමට අකැමැත්තෙන් බිහිරෙක්, ගොළුවෙක්, කොරෙක් වශයෙන් අවු. 16ක් අන් අයට පෙනෙන්නට සිටියේ ය. අවසානයේ සියලු දේ අතහැර ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වී වනගත වී ධ්‍යාන අභිඤ්ඤා උපදවා ගත්තේ ය. ඒ රාජ්‍යයේ රජතුමා, ඇමතිවරු, දේවිය ඇතුළු සියලු ම වැසියෝ ද සියලු දේ අතහැර මහා බෝධිසත්වයන්ගේ අවවාද අනුශාසනා ලබමින් තවුස් ජීවිත ගත කළහ. රා බීමට ඇබ්බැහි ව හුන් කිහිප දෙනෙකු එකරුණෙහි ලා ප්‍රමාද විය. එසේ රා බීමෙහි ඇබ්බැහි වී සිටි කීපදෙනා අතරින් ප්‍රමාද වී අවසානයට ම ගිහි ජීවිතය අතහැරිය කෙනා වූයේ ඒ කාලයේ සුරා සොඬෙකු වූ අපගේ මලියදේව රහතන් වහන්සේ ය. එම නිසා උන්වහන්සේ පිරිනිවන් පාන මොහොතේ මෙසේ ප්‍රකාශ කළහ, “මූගපක්ඛ සමාගමෙහි බුදු පිරිසෙහි අවසාන කෙනාත් සසරින් එතෙර වූයේ ය” යනුවෙනි. මෙය පටලවා තේරුම් ගැනීමෙන් උන්වහන්සේ ලංකාවේ අවසාන රහතන් වහන්සේ යනුවෙන් බොහෝ අය කියති.

උන්වහන්සේගේ ජීවිතය සම්බන්ධයෙන් බොහෝ සිද්ධි සඳහන් වී ඇත. මලියදේව තෙරුන් වහන්සේ උපසම්පදා වී වස් තුනක් පමණ පිරී ඇතිව සිටිය දී ධර්ම විනය ඉගෙනගැනීම සඳහා කල්ල ගමෙහි මණ්ඩලාරාමක මහ වෙහෙරට වැඩියේ ය. එහි දී ධර්ම විනය ඉගෙන ගනිමින් විදර්ශනා භාවනාවේ ද යෙදෙයි. දිනක් කල්ල ගමෙහි පිඩුසිඟා වඩින විට උන්වහන්සේට එක් උපාසිකාවක් කැඳ හැන්දක් පිළිගන්වා පුත්‍ර ප්‍රේමය උපදවා ඇතුළු ගෙයි හිඳුවා දානය වළඳවා, “පුත්‍රයන් වහන්ස, කවර ගමකින්දැ?”යි ඇසුවා ය. “මෑණියෙනි, මම මණ්ඩලාරාමක මහ වෙහෙරෙහි ධර්ම විනය ඉගෙන ගනිමි.” “එසේ නම් පුත්‍රයන් වහන්ස, ඉගෙනුම් ඇති තාක් නිතිපතා මගේ ගෙදරින් පිණ්ඩපාතය වළඳන්න.” යැයි ඕ කීවා ය. උන්වහන්සේ එම ආරාධනය පිළිගෙන එහි ම දානය වළඳයි. “සුවපත් වේවා…! දුකින් මිදේවා…!” යන වචන පමණකින් ම අනුමෝදනා කර වඩියි.

වස් තුන් මාසය ඇයගෙන් ම පිණ්ඩපාතය ලබාගෙන ඒ වස් තුන් මස ඇතුළත සිව් පිළිසිඹියාපත් මහරහත් භාවයට පත් වී වස් පවාරණය කළහ. වෙහෙරවැසි භික්ෂූහු, “ආයුෂ්මත් මලියදේවයනි, අද බොහෝ මිනිසුන් රැස්වෙති. ඔවුන්ට ධර්මය දේශනා කරන්න.” යැයි පැවසූහ. උන්වහන්සේ ඇරයුම පිළිගත්හ. තරුණ සාමණේරවරු, “අද ඔබගේ පුත් තෙරණුවෝ දහම් දෙසති”යි උපාසිකාවට කීහ.‘ඒ නිසා විහාරයට ගොස් බණ අසන්නැ.’යි ඇඟවූහ. “අනේ ස්වාමීනී, විහිළු නොකළ මැන. මගේ පුත්‍රයන් වහන්සේ බණ කියන්න දන්නේ නැත. මපුතු මේ තාක් කල් මට අනුමෝදන් කළේ ‘සුවපත් වේවා, දුකින් මිදේවා’ යන දෙවදන පැවසීමෙන් පමණි.” යි ඕ කීවා ය. “උපාසිකාව, ඒ වුණාට කම් නෑ. හවසට ගිහින් බණ අසන්න.” යැයි සාමණේරවරු පැවසූහ.

උපාසිකාව ද සුවඳ හා මල් ගෙන ගොස් පූජාකර පිරිස් කෙළවර බණ අසන්නට වාඩි වී උන්නී ය. මලියදේව තෙරණුවෝ බණ අසුනෙහි හිඳ විසිතුරු විජිනිපතක් ගෙන මුල් ගාථා කියා, “මම මහා උපාසිකාවන්ට ද පද දෙකකින් ම අනුමෝදනා කළෙමි. අද මුළු රැය ත්‍රිපිටකයෙන් ම කරුණු දක්වමින් ඒ පද දෙකේ අර්ථය කියන්නෙමි”යි ධර්ම දේශනාව අරඹා රැය මුළුල්ලේ ම බණ කීහ. අරුණ උදා වීමත් සමඟ දහම් දෙසුම අවසානයේ මහ උපාසිකාව සෝවාන් ඵලයෙහි පිහිටියා ය.

දුටුගැමුණු රජුගේ පුත් මහ පිනැති සාලිය කුමාරයෝ කලින් ජීවිතයේ දී ලංකාදීපයෙහි මහවැලි ගං සමීපයෙහි මුණ්ඩපාක නම් ගමෙහි කම්මල්කරුවෙක් ලෙස ජීවිතය ගත කළේ ය. එක දවසක් කර්මාන්ත මිලට ඌරු මස් ලැබුණි. හේ එය රසවත් ලෙස පිසවා ‘හෙට දවසේ රහතන් වහන්සේලා අටනමක් මගේ ගෙදරට දානය පිණිස වඩිනු මැනවැ’යි කාල ඝෝෂා කළේ ය. එය දිව කනින් ඇසූ තලගුරු වෙහෙරේ ධම්මදින්න මහරහතන් වහන්සේ, රහතන් වහන්සේලා හත්නමක් සමඟ අහසින් වැඩියහ. එම රහතන් වහන්සේලා හත්නම අතර මලියදේව මහරහතන් වහන්සේ ද සිටි බව සඳහන් වේ. එම ජීවිතයේ බොහෝ පින් දහම් රැස්කරගෙන ආයු කෙළවර එයින් මිය ගොස් ඒ කම්මල්කරු දුටුගැමුණු රජ්ජුරුවන්ට පුත් ව උපන්නේ ය.

එසේ ම තවත් අවස්ථාවක දුටුගැමුණු රජතුමා කුමාර කාලයේ දී පියාට පරිභව කොට සේවකයෙකු සමඟ කඳුකරයට පැන ගිය මොහොතෙහි තමන්ගේ කඩුක්කමක් තලා ඇඹුල් කැඳත්, තණහාලේ බතුත් සකසා දානයට කාලඝෝෂා කළ අවස්ථාවේ රහතන් වහන්සේලා පස්නමක් එය දිව්‍ය ශ්‍රවණයෙන් අසා එතැනට වැඩම කොට එම දානය පිළිගත්හ. ඒ අතර මලියදේව මහරහතන් වහන්සේ ද සිටි බව සඳහන් වේ. උන්වහන්සේ සමන්කුළු පව්වාසි නවසියයක් භික්ෂූන් වහන්සේලාට ඒ දානය වැළඳවූහ.

එක් මහලු ස්ත්‍රියක් මලියදේව මහරහතන් වහන්සේට කැඳ කෝප්පක් පූජා කළා ය. ඒ පිනෙන් කල්ප හැටක් එම මහලු ස්ත්‍රිය සැප විඳින බව උන්වහන්සේගේ දිවැසට පෙනුණි. තවත් භික්ෂුවක් සඳහන් කළේ කල්ප අසූවක් සැප විඳින බව ය. එය අසා තවත් භික්ෂුවක් වදාළේ කල්ප සීයක් සැප විඳින බවයි. මෙසේ උන්වහන්සේලාගේ දිවසට පෙනෙන අයුරු වදාළ සේක. නමුත් එකල වැඩසිටි මහා සංඝරක්ඛිත මහරහතන් වහන්සේ වදාළේ එම දානයේ අනුසස් අප්‍රමේය වූ, කල්ප වශයෙන් ගණන් කළ නොහැකි වූ කාලයක් විපාක දෙන බවයි. ප්‍රමාණ කළ නොහැකි උත්තමයෙකු උදෙසා දෙන දානයේ විපාක ප්‍රමාණ කළ නොහැකි ය.

එසේ ම එක් අවස්ථාවක මලියදේව මහරහතන් වහන්සේට රාත්‍රී කාලයේ බලවත් වූ බඩ රුජාවක් හට ගත්තේ ය. එය බෙහෙත් කැඳක් වැළඳූ කල්හි සන්සිඳෙයි. එවැනි බෙහෙත් කැඳක් කොහෙන් ලැබේදෝයි දිවැසින් බැලූ සේක. සුලුගුලු නම් උපාසකයෙක් සමීපයෙන් ලැබෙන බව දැන උදෑසනින් ම නැගිට තම කටයුතු නිමවා ඍද්ධියෙන් අහසට පැන නැඟී සුලුගුලු උපාසකගේ නිවසට පැමිණියහ. ඒ උපාසක තෙරුන් වහන්සේ ගිලන් බව දැන අවශ්‍ය බෙහෙත් ඖෂධ සොයා කැඳ මුට්ටිය ළිපේ තබා නැවත පැමිණ තෙරුන් වහන්සේගේ සමීපයෙහි වාඩි වූයේ ය.

ඉක්බිති තෙරුන් වහන්සේ උපාසකගෙන් මෙසේ ඇසූහ.

“උපාසකය, බෙහෙත් කැඳ එක පිසෙන තෙක් තව්තිසා දෙව්ලොවට ගොස් සිළුමිණ සෑය වැඳ එනු කැමති ද?”

“ස්වාමීනි, මම කැමති වුණත් මට අහසින් යා හැකි ඍද්ධියක් නැත්තේ ය.”

“උපාසක, යනු කැමති නම් අපගේ ආනුභාවයෙන් කැඳවාගෙන යන්නම්.”

උපාසකයෝ කැමැත්ත පළ කළ පසු මලියදේව මහරහතන් වහන්සේ ඍද්ධියෙන් තව්තිසා දිව්‍ය ලෝකයට සිළුමිණි සෑය වැඳීම පිණිස ඔහු ව කැටුව ගියහ. එහි දී නොයෙක් පින් කළ දෙවියන්ගේ විස්තර ද දැනගෙන මෛත්‍රී බෝධිසත්වයන් දුන් සළු ද රැගෙන නැවත මනුලොවට පැමිණියහ. ඉන් පසු බෙහෙත් කැඳ වැළඳූ පසු උන්වහන්සේගේ රෝගය සන්සිඳුණි. එකල්හී නැවත තමන් වහන්සේ වසන වේගිරිය විහාරයට ම වැඩි සේක.

භාග්‍යවතුන් වහන්සේ ‘ඡ ඡක්ක සූත්‍රය’ දේශනා කළ කල්හි හැට නමක් රහත් වූහ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙසූ කල්හි ද මුගලන් මහරහතන් වහන්සේ හා අසූ මහ තෙරවරුන් දේශනා කළ කල්හි ද හැට බැගින් රහත් වූහ. එසේ ම ලංකාදීපයේ මලියදේව මහරහතන් වහන්සේ ලෝවාමහාපායෙහි ද මහා මණ්ඩපයෙහි ද සෑගිරියේ ද සාත්‍යවංශ විහාරයෙහි ද කූටාලි විහාරයේ ඇතුළු ගෙහි ද වාතක පර්වතයෙහි ද නැගෙනහිර ගෙහි ද දීඝවාපියෙහි ද ලෝකන්දරයේ ග්‍රාම මණ්ඩපයේ ද දේශනා කළ කල්හි ඒ හැම ස්ථානයේ ම හැට බැගින් රහත් වූහ. එයින් පසු උන්වහන්සේ සිතුල්පව්වට වැඩියහ. සිතුල්පව් විහාරයේ හැට වියැති මහතෙරුන් වහන්සේ පැන් පහසු වීම සඳහා පොකුණට බැස්සහ. මලියදේව මහරහතන් වහන්සේ උන්වහන්සේ ළඟට ගොස් “ස්වාමීනි, පැන් පහසු වන්නේදැ?”යි විමසූහ. මහ තෙරණුවෝ කථාවෙන් ම ‘මලියදේව නම් රහතන් වහන්සේ කෙනෙක් ඇතැ’යි කියත්. මේ ඔහු විය යුතු යැ’යි දැන, “නුඹ ‘දේව’ දැ?” යි ඇසූහ. “එසේ ය ස්වාමීනි.” එවිට ඒ ස්ථවිරයන් වහන්සේ “ඇවැත්නි, මම හැට වියේ සිටිමි. කිසිවෙකුට ශරීරය ස්පර්ශ කරන්නට දී නැත. මා ස්නානය කරවන්නැ.”යි ගොඩට වී ඉවුරේ සිටියහ. මලියදේව තෙරණුවා් සියලු අත් පා අතුල්ලා මහ තෙරණුවෝ නෑවූහ. ඉක්බිති මහ තෙරණුවෝ “දේව ය, අපට ධර්මදානය දීමට වටී.” යැයි කීහ. “යහපති ස්වාමීනි.” යි මලියදේව තෙරණුවෝ එය පිළිගත්හ.

සන්ධ්‍යා යාමයේ බණ ඇසීම සඳහා කල් දැන්වූහ. හැටවිය ඉක්මවූ හැටනමක් බණ ඇසීමට පැමිණියහ. මලියදේව මහරහතන් වහන්සේ ‘ඡ ඡක්ක සූත්‍රය’ දේශනා කළහ. සූත්‍රය අවසානයේ ඒ මහා තෙරවරු හැටනම ම රහත් වූහ. ඉන් පසු තිස්ස මහා විහාරයේ දී ද කැලණියට ගොස් නාගමහා විහාරයේ කාලකච්ඡගම දී ද එයින් දාහතර වන දින යට ප්‍රාසාදයේදී ද පොහෝ දින චතුප්‍රාසාදයේදී ද මේ සූත්‍රය දේශනා කොට හැටනම බැගින් රහත් වූහ. මෙසේ මලියදේව මහරහතන් වහන්සේ විසින් ඡ ඡක්ක සූත්‍රය දේශනා කළ කල්හි හැට තැනක දී හැටනම බැගින් රහත් වූහ.

මෙසේ ලංකාදීපයේ ගෞතම බුදු සසුන හිරු මඬල සේ, සඳ මඩල සේ බැබළවූ සේක. උන්වහන්සේගේ ආයු කෙළවර කල්ලගම මණ්ඩලාරාමයේ දී පිරිනිවන් පා වදාළ සේක. මේ ලංකාදීපය ආලෝකවත් කළ පහනක් බඳු වූ, උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය හදෙහි දරාගෙන මිනිසුන්ගේ සිත් සතන් සැනසූ, නිකෙලෙස් මුනිවරු බිහි කළ මුනිවරයා උන්වහන්සේ ම වන සේක. ඒ උතුම් මලියදේව මහරහතන් වහන්සේට බත් හැන්දක් බෙදා, කැඳ කෝප්පයක් පූජා කොට සිව්පසයෙන් ඇප උපස්ථාන කළ මිනිසුන් බොහෝ ප්‍රමාණයක් අදටත් දෙව්ලොව සිටිති. ඒ දෙවිවරු ඒ උත්තම නාමය සිහි කොට අදටත් වන්දනා කරති. නිකෙලෙස් හදමඬලක් දරා වැඩ සිටි, ලංකාදීපය සුවඳවත් කළ සුවඳ කුසුමක් බඳු වූ, පිරිනිවන් පා වදාළ මලියදේව රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා…!

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි)