අල්පේශාක්‍ය – මහේශාක්‍ය කියන වචන දෙක ඔබ මීට පෙර අසා ඇති. අල්පේශාක්‍ය දෙවිවරුත් ඉන්නවා, අල්පේශාක්‍ය මිනිස්සුත් ඉන්නවා. මහේශාක්‍ය දෙවිවරුත් ඉන්නවා, මහේශාක්‍ය මිනිස්සුත් ඉන්නවා. ඔබ දැක තිබෙනවාද අල්පේශාක්‍ය මිනිසුන්ව? ඔවුන්ගේ ආනුභාවය අඩුයි. කිසි කෙනෙක් ගණන් ගන්නේ නෑ. අන් අයගේ අවධානයට ලක් වෙන්නේ නෑ. ප්‍රසිද්ධ නෑ. පිරිසක් අතරදී කිසි පිළිගැනීමක් නැහැ. ඒ තමයි අල්පේශාක්‍ය මිනිස්සු. ඇයි ඔවුන්ට එහෙම වුනේ? බුද්ධ දේශනාවට අනුව එබඳු ඉරණමක් අත්වෙන්නේ පෙර ජීවිතවලදී අනුන්ට ලැබෙන ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසාවලට ඉරිසියා කරලා තියෙන නිසයි. ඊර්ෂ්‍යා කිරීමේ විපාකය එයයි. එබඳු අල්පේශාක්‍ය කෙනෙකු වීමට ඔබ කිසිසේත්ම කැමති නෑ නේද?

එහෙනම් කවදාවත් වෙන කෙනෙකුට ලැබෙන ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසාවලට ඉරිසියා කරන්න එපා! තව කෙනෙකුට ලාභ – සත්කාර – කීර්ති – ප්‍රශංසා ලැබෙනවා දකිනකොට, තව කෙනෙක් දියුණු වෙනවා දකිනකොට ඒ දිහා බලලා සතුටු වෙන්න. එතකොට එහි ආනිශංසය හැටියට ඔබ මහේශාක්‍ය කෙනෙක් බවට පත්වේවි. යන යන තැන ඔබට ලොකු පිළිගැනීමක් ලැබේවි. ඔබ ගැන කවුරුත් කතා කරාවි. ආනුභාව සම්පන්න කෙනෙක් වේවි.

(මජ්ඣිම නිකායේ චූළ කම්මවිභංග සූත්‍රය ඇසුරිනි)