සිඟිති ලොවට පින් සිතුවිලි

පුංචි අපේ ජීවිත ගොඩාක් යහපත් කර ගන්න උදව් කරන වටිනා ම ගුණධර්ම කියාදෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වත් දුවේ පුතේ, ඔයාලා හැමෝ ම සතුටින් ඉන්න කැමතියි නේ ද? ඔයාලා හැමෝ ම ලස්සනට ඉන්නත් කැමතියි නේ ද? ඉතින් දරුවනේ, ඔයාලා වගේ ම ලෝකයේ ඉන්න හැමෝ ම කැමතියි සතුටින් ලස්සනට ජීවත් වෙන්න.

ඒත්… අපි කැමති වූ පමණින් සතුට පිරුණු, ලස්සන ජීවිතයක් ලබාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඉතින් දරුවනේ ඔයාලා කැමති නම් දුක් කරදර නැති, සතුටු සොම්නස පිරුණු ජීවිතයක් ලබාගන්න ඒ සඳහා අපි යම් වැඩ කොටසක් කළ යුතුයි. ඒ සතුට පිරුණු ජීවිතයක් අපට උදා කරලා දෙන වැඩපිළිවෙළට කියන්නේ ‘පින් කිරීම’ කියලයි. අද අපි ඔයාලාට කියල දෙන්න යන්නෙ මිනිස් ලෝකයේ ඉද්දී පින් කරගෙන දිව්‍යලෝකයට ගිහින් බොහෝ ම සතුටින් ලස්සනට ජීවත් වෙන නැන්දා කෙනෙකුගේ කතාවයි.

ඔයාලා ඒ කතාව අහන්න කැමති ද?

ඉතින් දරුවනේ, මින් වසර දෙදහස් හයසිය පහකට පෙර අපේ රට ආසන්නයේ ම තියෙන ඉන්දියාවේ විශේෂ සිදුවීමක් වුණා. ඒ තමයි ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වුණා. මේ කතාව මුළු ඉන්දියාව පුරා ම වේගයෙන් පැතිරිලා ගියා. එහි සිටි මිනිසුන් බුදුරජාණන් වහන්සේ දකින්න බොහෝ දුර ගෙවාගෙන පැමිණියා. ඉතින් ඒ බුදු සමිඳාණෝ ඒ මිනිසුන්ට ජීවිතය හොඳින් ගත කරන ආකාරය ගැන, ගුණධර්ම ඇතිකර ගන්න ආකාරය ගැන ඉතා ම පැහැදිලිව කියලා දුන්නා. ඒ විස්තර අහපු බොහෝ දෙනා ඉතා ම ආදරයෙන් බුදුරජාණන් වහන්සේ ව සරණ ගියා..! ධර්මය සරණ ගියා..! ඒ අතර සිටි බොහෝ තරුණ පිරිස් බුදු සමිඳුන් ළඟ පැවිදි වුණා…! සියලු දුකින් නිදහස් වුණා..! ලෝකයට මහා සංඝරත්නය පහළ වුණා…! ඉතින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා ඉන්දියාව පුරා ම චාරිකාවේ වැඩියා. ගමින් ගමට වැඩියා බොහෝ මිනිසුන්ට ගුණධර්ම ඇතිකර ගන්න ආකාරය කියලා දුන්නා. ‘පින’ ගැන කියලා දුන්නා. ඉතින් ඒ ධර්මය අහපු බොහෝ දෙනා තමන් කරමින් සිට නරක දේවල් අතහැරියා. හොඳ දේවල් ඇතිකර ගත්තා. ඒගොල්ලෝ දන් පැන් පූජා කරන්න, සිල් රකින්න, භාවනා කරන්න, ස්වාමීන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්න පටන් ගත්තා. ඉතින් දරුවනේ දැන් මුළු ඉන්දියාව පුරා ම වගේ පින ගැන ම කතා කරනවා. දුකින් නිදහස් වෙලා ලබන සතුට පිරුණු ජීවිතය ගැන කතා කරනවා. දුප්පත් පොහොසත් භේදයක් නැතිව, වැඩිමහලු බාල භේදයක් නැතිව හැමෝ ම වගේ පින් දහම් කරනවා.

ඉතින් දරුවනේ, ඒ කාලේ වැඩහිටපු ස්වාමීන් වහන්සේලා දානේ වැළඳුවේ එක වේලයි. ඒත් උදේ කාලේ විතරයි. (උදෑසන 5.30 පමණ සිට දහවල් 12.00 දක්වා කාලය අතර දී පමණයි) ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දානය සොයා ගත්තේ ‘පිණ්ඩපාතේ’ වැඩලා. (පිණ්ඩපාතේ වඩිනවා කියන්නේ දරුවනේ, සිවුරු පොරවගෙන පාත්‍රය අරගෙන ස්වාමීන් වහන්සේලා පාර දිගේ වඩිද්දී. ඒ පාර අයිනේ තියන ගෙවල්වල මිනිස්සු තමන්ගේ ගෙදර බත් ව්‍යංජන හදලා තියෙනවා නම් එයින් කොටසක් ස්වාමීන් වහන්සේලාට පූජා කරනවිට එම දානය පිළිගැනීම යි).

ඉතින් එක දවසක් එක්තරා ස්වාමීන් වහන්සේනමක් ඔය විදිහට පිණ්ඩපාතේ වැඩියා. වැඩම කරලා එක්තරා නිවසක් ඉදිරිපිට නැවතුණා. එතකොට ඒ ගෙදර හිටපු නැන්දා මේ ස්වාමීන් වහන්සේ ව දැක්කා. ඒ නැන්දා තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් හිටපු කෙනෙක්. ඉතින් අර ස්වාමීන් වහන්සේ ව දුටු පමණින් ම ඇය ගොඩක් සතුටට පත් වුණා. ‘මගේ නිවසට වඩින්න’ කියලා ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ නිවසට වැඩියා. එතකොට ඒ නැන්දා රන්වන් පාට රෙදිකඩක් ගෙනැවිත් ආසනේට ඇතිරුවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේට වැඩ සිටීම පිණිස ඒ ආසනේ පූජා කළා. ඊට පස්සේ ඉතා ම ගෞරවයෙන් පසඟ පිහිටුවා (දණහිස් දෙක වැළමිටවල් දෙක හා නළල යන අංග පහ පොළොවේ ස්පර්ශ කරමින්) ස්වාමීන් වහන්සේට වන්දනා කළා. නමස්කාර කළා. ඒ නැන්දට පුළුවන් ආකාරයට දානේ සකස් කරලා ඒ ස්වාමීන් වහන්සේට පූජා කළා. ඇය ඒ හැම දෙයක් ම කළේ ගොඩාක් සතුටින්. පින් කළොත් ‘සැප’ ලැබෙනවා කියන කාරණය හොඳට හිතේ තියගෙන. ඉතින් දරුවනේ, දන් වළඳලා අවසන් වෙලා ඒ ස්වාමීන් වහන්සේ, ඒ නැන්දාට ධර්මය දේශනා කරලා පිටත් වුණා.

ඉතින් දුවේ පුතේ, ටික කාලයක් ගත වුණා. ඒ නැන්දත් ටික ටික වයසට ගියා. හදිසියේ ම වගේ එක්තරා ලෙඩක් හැදුණා. හොඳට ම අමාරු වුණා. බෙහෙත් ගත්තා. ඒත් ලෙඩේ හොඳ වෙන පාටක් නැහැ. නැන්දට අසනීපෙ වැඩි වුණා. මරණාසන්න වුණා. ඉතින් දරුවනේ, ලෙඩ ඇඳේ බොහෝ ම වේදනාවෙන් ඉන්න නැන්දාට දැන් මතක් වෙන්නේ ම තමන් අර කලින් ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජා කරලා, දානේ පූජා කරලා කරගත්තු පිනමයි. ඒ සිදුවීම මතක් වෙද්දී, වෙද්දී ඒ නැන්දට ලොකු සතුටක් ඉපදුණා. දුක් පීඩා අමතක වෙලා ගියා. ටික වෙලාවකින් නැන්දා මරණයට පත් වුණා.

ඒ නැන්දා කර ගත් පිනේ ආනුභාවයෙන් ‘තව්තිසා දෙව්ලොව’ දෙව්දුවක් වෙලා ඉපදුණා. ඇයට උපස්ථාන කරන්න දිව්‍ය අප්සරාවෝ දාහක් ආවා. ඒ නැන්දා මනුස්ස ලෝකෙ දී ස්වාමීන් වහන්සේනමකට වැඩ හිඳින්න ආසනයක් පූජා කළා. ඔයාලට මතකයි නේ ද? ඉතින් දරුවනේ ඒ පිනේ විපාකය විදිහට දිව්‍ය ලෝකෙදි ඇයට රත්තරන් පාට ආසනයක් ලැබුණා. ඒ පුටුව කිලෝමීටර් දහයක් විතර දුරට පැතිරුණ විශාල එකක්. ඒ විතරක් නෙවේ. ඒ පුටුවේ ඉඳගත්තා ම ඉතා ම වේගයෙන් අහසින් ගමන් කරන්න පුළුවන්. ගුවන් යානයකටත් වඩා වේගයෙන් ඒ පුටුව ගමන් කරනවා. බලන්න දුවේ පුතේ, සිත පහදවාගෙන ස්වාමීන් වහන්සේනමකට ආසනයක් පූජාකර ගැනීමෙන් ලැබුණු පිනක අසිරිය…! ඒ පිනෙන් ම ඒ නැන්දාට විශාල දිව්‍ය මාලිගාවක් පහළ වුණා. ඒ මාලිගාවේ විශාලත්වය යොදුන් දොළහක්. ඒ කියන්නේ දරුවනේ, කිලෝමීටර එකසිය විස්සක විතර ප්‍රදේශයක පැතිරුණු ඉතා ම විශාල ඉතා ම ලස්සන මාලිගාවක්…! ඒ විතරක් නෙවෙයි ඇයට ලස්සන ජීවිතයකට උරුමකම් කියන්න පුළුවන් වුණා.

ඉතින් පින්වත් දරුවනේ. මිනිස් ලෝකේ සිටිද්දී තමන් කර ගත් පින් නිසා ම යි ඒ නැන්දාට යහපත උදවුණේ. දෙව්ලොව උපතක් හිමි වුණේ. ඒ නිසා අපිත් පින් කිරීමට කැමැත්තක් ඇතිකර ගන්න ඕනෙ. තමන් කර ගන්න පිනෙන් ම යි දරුවනේ තමන්ට සැප උපදවා දෙන්නේ!

(පීඨ විමානය- විමාන වත්ථු පාළි)

මහමෙව්නාව භාවනා අසපුවේ ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.