පුංචි දුවේ පුතේ,
මල් කියලා කියන්නෙ ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු ඉතාම පියකරු, පිවිතුරු පූජනීය වස්තුවක්. ලොකු කුඩා කවුරුත් මල්වලට හරිම කැමතියි. එහෙම නේ ද? පුංචි ඔබත් ලස්සන මල් වගෙයි. මල් ලෝකයේ නොයෙකුත් දේවල් සඳහා ප‍්‍රයෝජනයට ගන්නවා. සැරසිලිවලට, තෑගි දෙන්න, පූජාවන් වගේ දේවල්වලට. එ් වුණත් පින්වත් දරුවනේ බෞද්ධ අපි නම් විශේෂයෙන් ම මල් ගන්නෙ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න නේ ද? අපි විහාරයට යනකොට මල් ටිකක් නැතුව යන්නෙ කලාතුරකින්. ඉතින් බොහොම ශ‍්‍රද්ධාවෙන් චෛත්‍යයට මල් ටිකක් පූජා කරලා මහා පිනක් ලබපු සීයා කෙනෙක් ගැන කියැවෙන මේ කථාව අහගන්නකො.

පින්වත් දරුවනේ, අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න කලින් පහළ වුණේ කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේයි. ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආදාහනෙන් ඉතිරි වුණ ධාතූන් තැන්පත් කරලා රත්තරන් ගඩොල්වලින් විශාල චෛත්‍යයක් හැදුවා. එ් චෛත්‍යයට කියන්නෙ ස්වර්ණ චෛත්‍ය කියලයි. යොදුනක් උසයි. එ් කාලෙ එ් රටේ රජ කරපු කිකී කියන රජ්ජුරුවොයි, රට වැසියනුයි හැමෝම එකතු වෙලා දිනපතා ම මල් ගෙනත් මේ චෛත්‍යයට පූජා කරනවා. මේ විදියට දිනපතා ම පූජා කරන්න මල් කඩන නිසා, රටේ මල් හිඟයක් ඇතිවුණා. මල් වෙළඳ සැල්වලින් ඉක්මනින් ම මල් ඉවර වුණා.

මේ අතරෙ දවසක් එක උපාසක සීයා කෙනෙක් චෛත්‍යයට පූජා කරන්න කියල කහවණු අටකුත් අතේ තියාගෙන මල් කඩයක් ගානෙ මල් සොයමින් ඇවිද්දා. එක කහවණුවකට එක මලක්වත් සොයාගන්න බැරිවුණා. අන්තිමේ දී මේ සීයා මල් උයනකට ගියා එතනින්වත් මල් ටිකක් සොයාගන්න හිතාගෙන. උයන්පල්ලා කිව්වා ‘‘උදේ ම මල් ටික නෙළා අවසානයි. දැන් නම් මල් නැහැනෙ.” කියලා. මල් උයනේ ඉතිරිවෙලා තියෙන මල් ටිකක් වත් සොයාගන්න පුළුවන් ද බලන්න මල්කරුගෙන් අවසර අරගෙන සීයා මල් උයනේ ඇවිද්දා. ඉතින් මේ සීයට පුළුවන් වුණා, මල් වත්තේ බිම වැටිල තිබුණ මල් අටක් ඇහිඳගන්න. සීයා මල් අට අරගෙන උයන් පල්ලා ළඟට ඉක්මනින් දිව ගියා. ‘‘මට මල් ලැබුණා එ්වට මේ කහවණු අට ගන්න.” සීයා කිව්වා. එතකොට ඔහු කිව්වා ‘‘මට මුදල් එපා. මේ මල් ලැබුණේ ඔබගේ පිනටයි.” කියල. ඊට පස්සෙ සීයා මොකද දන්නවද කළේ? ‘‘නෑ නෑ මම නොමිලේ මල් අරගෙන භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නෙ නෑ.” කියල කහවණු අට මල්කරු ළඟ තියල සීයා කෙළින් ම ගියේ ස්වර්ණ චෛත්‍ය ළඟටයි. ඉතින් දුවේ පුතේ මේ සීයා ඉතාමත් පැහැදුනු සිතින් මේ මල් අට චෛත්‍යයට පූජා කළා. ටික කාලයක් ගතවුණා. මේ උපාසක සීයා මරණයට පත්වුණා. මරණින් පස්සෙ ඔහු ඉපදුණේ තව්තිසා දිව්‍ය ලෝකෙ. ඔහු දිව්‍ය තේජසින් බැබළුණා. බොහොම සැප සම්පත් වින්දා. ඔයාලට හිතාගන්න පුළුවනි ද? එ් වගේ සැප සම්පත් ලැබුණේ ඇයි කියලා. ඔව්, මල් අටක් පූජා කළ නිසා. එ් පින තමයි. මේ දිව්‍යරාජයා අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයක් ආයුෂ වින්දා. දෙව්ලොවින් චුත වෙලා නැවත නැවත එ් දෙවිලොව ම ඉපදුණා. බොහෝ කාලයකට පස්සේ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. තවමත් මේ දිව්‍යරාජයා තව්තිසා දෙව්ලොවයි ඉන්නේ.

පිනක අසිරිය බලන්න. අපේ මුගලන් මහරහතන් වහන්සේ දවසක් දිව්‍ය ලෝකෙ චාරිකාවේ වඩිනකොට මේ දෙවියා ව දැක්කා. සුදට සුදු පාටින් බබළන විශාල ඇත්රාජයෙක් පිටේ දිව්‍ය අප්සරාවන් රාශියක් පිරිවරාගෙන තමයි හිටියෙ. හිරු සඳු වගේ මුළු ලෝකෙ ම ආලෝකවත් කළා. ඉතින් විශාල ආලෝකයක් පතුරමින් අහසේ ගමන් කරන මේ දිව්‍ය පුත‍්‍රයා දැක්ක රහතන් වහන්සේ, ඔහු ළඟට වැඩම කළා. මේ වගේ සම්පත් ලබන්න තරම් ඔබ කළ පින මොකක්ද? ඇහුවා. එ් වෙලාවෙ දිව්‍යරාජයා මෙහෙම කිව්වා. ”හිමියනි, මම අතීතේ කාශ්‍යප බුදුන්ගේ කාලයේ බිම වැටිල තිබුණ මල් අටක් පැහැදුන සිතින් ස්වර්ණ චෛත්‍යයට පූජා කළා. එ් පින නිසා මට මේ තරම් අලංකාර ශරීරයක් ලැබුණා. විශාල දිව්‍ය සම්පත් ලැබුණා. බොහොම රසවත් දිව්‍ය භෝජන, වටිනා වස්තුව ආදි හැම සම්පතක් ම ලැබුණා. එ් මල් පූජා කරපු පින නිසයි.” කියල කිව්වා.

ඉතින් දුවේ පුතේ, ඔයාලත් මේ වගේ පැහැදුන සතුටු සිතින් තමයි යමක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න ඕනෙ. එ් පින් ඔබටත් සැපය ම උදාකර දේවි.

පුංචි ඔයාලට තෙරුවන් සරණයි!

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

මානෙල් නැන්දා