dambadiwa

පසුගිය ඔක්තෝම්බර් අවසාන සතියේ හලාවත ප‍්‍රදේශයේ සැදැහැවතුන් පිරිසක් කොක්කාවිල වනරතන ආරණ්‍යයේ පූජ්‍ය ඔක්කම්පිටියේ කස්සප හිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ දඹදිව වන්දනාවේ යෙදුණෝ ය.

සිදුහත් කුමර උපත සිදුවූ ලූම්බිනි සල් උයන, පරිනිර්වාණය සිදුවූ කුසිනාරාව, දම්සක් පැවතුම් දේශනාව සිදු කළ ඉසිපතනය, බුද්ධත්වය ලැබූ බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධිය යන පුණ්‍ය භූමීන්ට මේ ගමනේ දී විශේෂ තැනක් හිමි විය. වන්දනා ගමනට සහභාගී වූ හැම දෙනා ම මුළු දවස පුරා ම බුදුගුණ ගායනා, ධර්ම සාකච්ඡා ආදියේ නිරත වූහ.

වන්දනාවේ හතරවන දිනයේ සවස්වරුව වෙන්වූයේ සැවැත්නුවර ජේතවනාරාමය වැඳපුදා ගැනීම සඳහා ය. එදා මෙදා දඹදිව වන්දනා ඉතිහාසයේ සිදු නො වූ ඉතා ආශ්චර්යවත්, වැදගත්, තාක්ෂණික දැනුමෙන් පැහැදිලි කළ නො හැකි දෙයක් සිදු වූයේ මෙම සවස් භාගයේ ය.

සවස් වරුවේ මුල් භාගය වෙන් වූයේ ජේතවනයේ ආනන්ද බෝධීන් වහන්සේ අබියස රෝස, දාස්පෙතියා අතුරා පූජා සත්කාර කිරීම සඳහා ය. අනතුරුව බුදුගුණ ගයමින් ජේතවනය වටා රාහුල හිමියන්ගේ කුටිය, අංගුලිමාල මහරහත් කුටිය, සීවලී මහරහත් කුටිය ආදිය වැඳ පුදා ගනිමින් එ් අසල වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩි ම කාලයක්; එනම් වස් 19ක් වැඩ සිටි, අනාථපිණ්ඩික සිටුවරයා විසින් බුදුරජුන් ප‍්‍රමුඛ මහා සංඝයාට පූජා කළ සුගන්ධ කුටිය වැඳ පුදා ගැනීමට ය.

දැනට සුගන්ධ කුටියේ ඉතිරි ව ඇත්තේ අත්තිවාරම පමණක් වේ. එම බිම පුරා ඉතා අලංකාර ලෙස රෝස හා දාස්පෙතියා අතුරා පහන් සුවඳ දුමින් පුදා අසල වූ ගසක් යටට වී වන්දනා කිරීම සිදු විය. මේ අවස්ථාවේ අකල් මඳ වැස්සක් ද ඇති විය. වැඳ පුදා ගැනීම් අවසානයේ වේලාව සවස 6ට ආසන්න විය. ජේතවන පුරාවිද්‍යා ආරක්ෂකයන් ගේට්ටු වැසීම සඳහා හැම දෙනට ම ඉවත් වන ලෙස දන්වා සිටි අතර මේ අවස්ථාව වන විට සෑහෙන අඳුරු ස්වභාවයක් අවට විය.

මේ අවසාන මොහොතේ අඳුරු පරිසරය මධ්‍යයේ ම සුගන්ධ කුටියේ දර්ශන කිහිපයක් කැමරාගත කරන ලදී. එයින් පළමු පින්තූර කීපය කිසි ම විශේෂත්වයක් නොමැති අඳුරු එ්වා විය. නමුත් ඉතා විස්මයජනක ලෙස අවසාන පින්තූරයේ පැහැදිලි ලෙස බුද්ධ රශ්මිමාලා විහිදුවමින් ආශ්චර්යවත් බුදු සිරුරක් සමාධි මුද්‍රාවෙන් දර්ශනය විය. එම බුදු සිරුර මැවී ඇත්තේ පහතින් ඇති විශාල ආලෝක ධාරාවක් සමඟිනි. හිස් සුගන්ධ කුටිය තුළ විද්‍යාමාන වූ මෙම බුදු සිරුර දැකීමෙන් විස්මයට පත් දෙස් විදෙස් බැතිමත්තු ජේතවනය සිසාරා මහා සාදු නාද පවත්වන්නට වූහ.

මේ කැමරා දර්ශනය දුටු ඉන්දීය පුරාවිද්‍යා නිලධාරීන්, ඉන්දීය මාර්ගෝපදේශකයන්, ආයතන භාර හිමිවරුන් පැවසුවේ දන්නා ඉතිහාසයේ මෙවැන්නක් සිදු නො වී ඇති බව ය.

පසුවදනක් ලෙස මෙහි දී සඳහන් කළ යුතු වන්නේ මෙම වන්දනා චාරිකාව සඳහා රැගෙන ගිය සෑම පූජා භාණ්ඩයක් ම පාහේ මාස 4ක පමණ කාලයක් තුළ නව අරහාදී බුදුගුණ ලක්ෂ වරක් පමණ සජ්ඣායනා කොට රැගෙන යාම විශේෂත්වයක් බව ය.

දැනට මෙම විස්මිත ඡායාරූපය පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤණානන්ද හිමිපාණන් භාරයේ සහ හලාවත කොක්කාවිල වනරතන අරණ්‍යයේ පූජ්‍යපාද ඔක්කම්පිටියේ කස්සප හිමිපාණන් භාරයේ ඇත.

(පින්වත් හැරිටස් වරුසවිතාන මහතා සහ එම මැතිණිය විසින් සකසන ලද ලිපිය කරුණු සංශෝධන රහිතව පළ කරන ලදී.)

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK