කාන්තාවක් ලෙස මේ ලෝකයේ උපත ලැබුවාට පසු ඒ ඒ කාන්තාවට ආවේණික වූ සැප හා දුක තිබෙනවා. සමහර කාන්තාවන් ඉසුරුමත් ජීවිත ගත කරද්දී තවත් කාන්තාවක් ඉතා දිළිඳු ජීවිතයක් ගත කරනවා. තමන් සිතපු, කරපු, කියපු දේ දායාද කරගෙන ගෙවන භූමිකාව එකිනෙකට වෙනස්‍ වෙනවා. එසේ වන්නේ ‍කොහොමද? කියා අපි මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ මෙසේ සාකච්ඡා කළා.

*************************************

සංයුත්ත නිකායේ සළායතන වර්ගයේ මාතුගාම සංයුක්තයේ බල වර්ගයේ කාන්තාවට තිබෙන බල පහක් ගැන විස්තර වෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. “පඤ්චිමානි භික්ඛවේ මාතුගාමස්ස බලානි.” පින්වත් මහණෙනි, ස්ත්‍රියකට බල පහක් තිබෙනවා. “කතමානි පඤ්ච?” මොනවද ඒ බල පහ? “රූප බලං” – රූප බලය, “භෝග බලං” – භෝග සම්පත් බලය, “ඥාති බලං” – නෑදෑ බලය, “පුත්ත බලං” – පුත්‍ර බලය, “සීල බලං”- සීල බලය.

කාන්තාවකට ර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෑපය, භෝග සම්පත්තිය, ඥාතීන් මෙන් ම දරුවන් ද ලැබෙන්නේ ඇගේ පරණ පුණ්‍ය විපාකයක් අනුවයි. ඇය සසරේ කළ පිනක විපාක හතරක් තමයි මුල් බල හතර. නමුත් සීල බලය කියන්නේ මේ ජීවිතයේ දී තමන් උත්සාහයෙන්, වීර්යයෙන් ඇති කර ගත යුතු ගුණයක්. ඒ බලය මේ ජීවිතය තුළදී උපදවා ගත යුතු දෙයක්.

යම් ස්ත්‍රියකට ඉහත බල පහ තිබෙනවා නම් ඇය වාසය කරන නිවසේ විශාරද ව, බය රහිතව වාසය කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතය ඔසවා තබන කරුණු පහක් තමයි කාන්තාවකට මේ බල පහ. කාන්තාවකට රූපය සම්පතක් වගේ ම බලයක්. හොඳ ම උදාහරණය විශාඛා සිටු දියණිය‍. ඇයට පංච කල්‍යාණය තිබුණා. ඇගේ කෙස් කළඹ දිග හැරියාම ගොප් ඇටය දක්වා කඩා හැළෙනවා. ඇයගේ දත්වල සිදුරු නැතිව සමව පිහිටා කොඳ කැකුළු‍ මෙන් බැබළෙමින් තිබුණා. ඇහැළ මලේ පෙත්තක් වගේ කහ පාටින් බබළන, කැළැල් නැති සුන්දර සමක් තිබුණා. කොතරම් දරුවෝ හිටියත්, වයසට ගියත් වැහැරෙන්නේ නැති සිරුරක් තිබුණා. ඇය ඉතා ලස්සනයි. මෙසේ ලස්සන ලැබුණේ ඇය‍ගේ පින් බලයකට යි.

ඒ වගේම යශෝදරා දේවියත් ඉතා සුන්දරයි. ඇය පෙර ජීවිතයේ පභාවතී දේවිය වී සිටිද්දීත් ඇ‍ගේ ශරීරාලෝකයෙන් කුටිය ඒකාලෝක වුණාලු‍. ඒ වගේ ම කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කල බිරිඳ වූ භද්‍රාකාපිලානි කුමරියත් ඉතා රූප සම්පත්තිය තිබූ තැනැත්තියක්. එහෙම නම් ලස්සන කියන දේ කාන්තාවගේ පිනකට ලැබුණ දෙයක්. එයින් ඇයට අධිපති බවක්, මහේශාක්‍ය බවක්, පිළිගැනීමක් තම පවුල තුළ මෙන් ම සමාජයේත් පවත්වන්නට හැකියාව තිබෙනවා. එය ලැබෙන්නේ පින් බලයකට යි.

දෙවැනි කාරණය තමයි භෝග සම්පත්තිය‍. කාන්තාවකට රන් රිදී, යාන වාහන, ගේ දොර, ඉඩකඩම් තිබෙනවා නම් ඒක පුණ්‍ය බලයක්. විශාඛාව විවාහ වෙලා යනකොට ඇගේ පියා සාදා දී තිබුණා මේල පලඳනාව කියා ආභරණයක්‍. ඒ ආභරණයට දඹ රත්තරන් නැලි පහළොස් දහසක්, පබළු නැලි විසි දෙකක්, මැණික් නැලි තිස්තුනක් ආදී නොයෙක් වටිනා දේ ‍යොදා සාදා තිබෙනවා. අපි දන්නවා අද සමාජයේ වුවත් නොයෙක් වටිනා ආභරණ කාන්තාවක් සතු නම් ඇයට යම් වත්කමක් තිබෙනවා. මේ පලඳනාව පවුම් නව කෝටියක් වටිනවා කියනවා. මේ පලඳනාව මිල දී ගන්න කෙනෙක් මුළු සැවැත්නුවර ම සිටියේ නැහැ.

එය අසාමාන්‍ය පුණ්‍ය විපාකයක්. ඒ ව‍ගේ ම ඇය විවාහ කර දෙන දිනයේ දී ඇයගේ පියා ඔහුට අයත් ගවයන් සිටින ගාල්හි දොර ඇරලා මගේ දියණිය කැමැති තාක් ගවයන් යත්වා කියා සිතුවා. ගවයන් විසින් ම ගාල්වලින් එළියට ආවා. හැට දහසක් ගවයන් සහ එළදෙන්නු සිටියා‍. ඒ අතර මහ ශක්තිසම්පන්න මහවෘෂභ ගවයන් සිටියා. ඒ ගවයන් ඒ ගමනට පිටත්වෙන එක කාටවත් නවත්වන්න බැරි වුණා. එයට හේතුව විශාඛා සසරේ පින් කරද්දී ස්වාමීන් වහන්සේලාට දන් පිළිගන්වද්දී “අනේ ස්වාමීන් වහන්ස, මේ දානය පිළිගන්න. මේ දානයත් පිළිගන්න.” කියමින් ඒ දානයේ ගුණ කියමින් වැළඳවූ පිනෙන් ලැබුණ පුණ්‍ය විපාකය. එහෙම නම් කාන්තාවකට භෝග සම්පත් තිබෙනවා කියන්නේ, රන්, රිදී තිබෙනවා කියන්නේ, නොයෙක් සැප සම්පත් තිබෙනවා කියන්නේ ඇයගේ සසරේ පුණ්‍ය විපාකයක්. එය කාන්තාවකට බලයක්.

කාන්තාවගේ තුන්වැනි බලය ඥාතීන්. සමාජය පිළිගත්, උගත්, වගකිවයුතු නැදෑ පිරිසක් සිටීම කාන්තාවගේ ජීවිතයට හයියක්. බලයක්. විශාඛා පතිකුලයට ගිය පසු ඇයට නොයෙක් ප්‍රශ්න ආවා. මේ චෝදනා නිසා මිගාර සිටුතුමා තීරණය කළා විශාඛා නැවත ඇගේ නිවසට යවන්න. ඒ අවස්ථාවේ දී විශාඛා කියනවා “මම අම්මෙක් තාත්තෙක් නැති කෙනෙක් නොවේ. මට වැදගත් මව්පියන් ඉන්නවා. ඒ අය මාව විවාහ කර දුන් තැන මෙතැනයි. ඒ නිසා ඔබට ඕන ආකාරයට මාව එළවන්න බැහැ.” කියා. එහෙම නම් විශාඛාවට මහේශාක්‍ය මව්පිය දෙපළක් සිටියා. ඊට පස්සේ ඇය කියනවා “‍මගේ තාත්තා මාව විවාහ කර දෙද්දී බමුණෝ අට දෙනෙක් එව්වා මගෙන් දොසක් වුණොත් එය නිරාකරණය කිරීමට. ඔවුන් ගෙන්වා මේ ප්‍රශ්නය විසඳන්න.” කියලා. විශාඛා ඒ නිවස රැකගත්තේ තමාගේ ඥාති බලය නිසයි. ඒ බලය ඇයට ලැබුණේ පුණ්‍ය විපාකයකට යි. ඒ විපාකය හැම කාන්තාවකට ම ලැබෙන්නේ නැහැ.

කාන්තාවගේ ඊළඟ බලය පුත්‍ර බලය යි. තමන්ගේ දරුවන්ගේ බලය කාන්තාවට ශක්තියක්. ඒක ඇයගේ පුණ්‍ය විපාකයක්. විශාඛාවට පුතුන් සහ දියණියන් දස දෙනා බැගින් විස්සක් දරුවෝ සිටියා. මේ දරුවෝ නිරෝගි යි. සෞඛ්‍ය සම්පන්නයි. ඒ දරුවන්ටත් දරුවෝ විස්ස බැගින් ලැබුණා. විශාඛාවට දරු මුණුපුරෝ හාරසියයක් සිටියා. එනිසා විශාඛාව හරි ආඩම්බරෙන් ඒ පිරිස පිරිවරාගෙන ගමන් කළේ. නමුත් අද කාලේ දරුවෝ පස් හය දෙනෙක් පවුලක සිටියොත් සමහරු ඒක ලැජ්ජාවට කාරණයක් හැටියටයි සලකන්නේ. නමුත් දේශනාවේ විස්තර වෙන්නේ පුත්‍රයෝ කාන්තාවට බලයක්, සම්පතක් කියලා.

බන්ධුල මල්ලිකාට සහ බන්ධුල ඇමැතිට දරුවෝ හිටියේ නැහැ. ඒ ප්‍රශ්නය නිසා දිනක් මේ දෙදෙනා අතර බහින් බස්වීමක් ඇතිවුණා. එහි දී ඇගේ සිත රිදිලා මල්ලිකා තමන්ගේ නිවසට යාමට පිටත් වුණා. මග දී ඇයට භාග්‍යවතුන් වහන්සේ මුණගැසුණා. ඇය භාග්‍යවතුන් වහන්සේට සිදු වූ දෙය කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාළා “මල්ලිකා, ඔබ බන්ධුල ඇමැතිගේ නිවසට නැවත යන්න. ඔබට දරුවන් ලැබෙනවා” කියා. පසු කලෙක ඇයට දරුවෝ දෙදෙනා, දෙදෙනා බැගින් දහසය වතාවක් දරුවෝ තිස්දෙකක් ලැබුණා. ඒ සියලු ම දරුවන් ජව සම්පන්න, නිරෝගි දරුවන්. ඒ නිසා දරුවෝ සම්පත්තියක්. ඒ සම්පත ලැබෙන්නේ පරණ පුණ්‍ය විපාකයකට යි.

සංයුත්ත නිකායේ බල වර්ගයේ නාසිතබ්බ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, යම් කාන්තාවකට රූප බලය, භෝග බලය, ඥාති බලය, පුත්‍ර බලය, සීල බලය තිබෙනවා නම් ඇය බලවත්. නමුත් රූප බලයෙන් යුතු ස්ත්‍රියක් සිටිනවා. ඇයට සීල බලය නැහැ. ඇයට පතිකුලය පවත්වන්න බැහැ. තවත් කාන්තාවක් ඉන්නවා ඇයට රූප බලය, භෝග බලය තිබෙනවා. නමුත් සීල බලය නැහැ. ඇයට පතිකුලය පවත්වන්න බැහැ. අනෙක් කාන්තාවට රූප බලය, භෝග බලය, ඥාති බලය තුන ම තිබෙනවා. නමුත් සීල බලය නැති නිසා පතිකුලය පවත්වන්නට බැහැ. තව කාන්තාවකට රූප බලය, භෝග බලය, ඤාති බලය, පුත්‍ර බලය හතර ම තිබෙනවා. නමුත් සීල බලය නැති නිසා පතිකුලය පවත්වන්න බැහැ.” කියා. එසේ නම් කාන්තාවකට වටිනා ම බලය වන්නේ සීල බලය යි. ඉහත බල හතර ම පෙර පුණ්‍ය විපාකයක ප්‍රතිඵලයක්. පතිකුලය දිගට ම පවත්වාගෙන විශ්වාසයෙන් කටයුතු කිරීමට කාන්තාවකට ඉතාමත් වටිනාකමක් ගෙන දෙන්නේ සීල බලය යි. කාන්තාව ලස්සන වීම පතිකුලය පවත්වාගෙන යාමට සුදුසුකමක් නොවේ. මුදල් තිබීම, හොඳ නැදෑ පිරිසක් සිටීම, දරුවන් සිටීම පතිකුලයක් පවත්වාගෙන යාමට ලොකු කාරණයක් නොවේ. නමුත් යම් කාන්තාවකට සීලයක් නැති නම් පතිකුලයක් පවත්වාගන්න බැහැ. එහෙම නම් පතිකුලයක් සාර්ථක වීමට වටිනා ම සම්පත සීල බලය යි. පුණ්‍ය විපාකයෙන් ලැබුණ ඉහත කරුණු හතරට ම වඩා සීල බලය බලවත් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, යම් කලෙක ස්ත්‍රිය රූප බලයෙන්, භෝග බලයෙන්, ඥාති බලයෙන්, පුත්‍ර බලයෙන් වගේ ම සීල බලයෙනුත් සමන්විත වෙනවා නම් පතිකුලය පවත්වනවා ම යි. ඇය පතිකුලය නසා ගන්නේ නැහැ. පින්වත් මහණෙනි, සීල බලයෙන් යුතු ස්ත්‍රිය රූප බලයෙන් තොර නමුත් ඈ පතිකුලය පවත්වනවා. සීල බලයෙන් යුතු ස්ත්‍රිය භෝග බලයෙන් හීන වුවත් ඈ පතිකුලය පවත්වනවා. ඒ වගේ ම සීල බලයෙන් යුතු ස්ත්‍රියට ලොකු ඥාති පිරිසක් නැතත්, ඇය පතිකුලය පවත්වනවා ම යි. සීල බලයෙන් යුතු ස්ත්‍රිය පුත්‍ර බලයෙන් තොර වුවත්, ඇයට දරුවන් නොසිටියත් ඈ පතිකුලය පවත්වනවා ම යි. පතිකුලය නසා ගන්නේ නැහැ” කියා.

එහෙම නම් යම් කාන්තාවකට රූප බලය, භෝග බලය, ඥාති බලය, පුත්‍ර බලය තිබුණා කියා එය මත්වීමට කරුණු නොවේ. ඒ බල යම්කිසි ආකාරයකට පතිකුලය ගෙනයාමට හේතුවක් වෙනවා. නමුත් ඒ බල පැරැණි පුණ්‍ය විපාකයකට ලැබෙන අනිත්‍ය වූ දේවල්. නමුත් යම් කාන්තාවකට පළුදු නැති, හිඩැස් නැති තමා සමාදන් වූ සීලය ඉතාමත් ගෞරවයෙන් ආරක්ෂා කරන්න පුළුවන් නම්, සුළු වරදෙත් භය දැක හික්මෙන්න පුළුවන් නම්, අනුමාත්‍ර වරදක්වත් නොකර වාසය කරන්න පුළුවන් නම්, ඇවතුම් පැවතුම් සංවර නම් එය යි කාන්තාවකට පතිකුලය පවත්වන්නට, පතිකුලය නොනැසී තබා ගන්නට හේතු වන්නේ.

භාග්‍යවතුන් වහන්සේ ‘හේතු’ සූත්‍රයේ දී කාන්තාවගේ බල පහ ගැන මෙසේ වදාළා. “පින්වත් මහණෙනි ස්ත්‍රියට ඇති බල පහකි. ඒ රූප බලය, භෝග බලය, ඥාති බලය, පුත්‍ර බලය සහ සීල බලය යි. පින්වත් මහණෙනි රූප බලය නිසා කය බිඳී ඇය සුගතියේ යන්නේ නැහැ. භෝග බලය නිසා, ඥාති බලය නිසා, පුත්‍ර බලය නිසා කය බිඳී සුගතියේ යන්නේ නැහැ. නමුත් පින්වත් මහණෙනි, ස්ත්‍රියකට සීල බලය තිබෙනවා නම් කය බිඳී මරණින් පසු සුගති ලෝකය නම් වූ ස්වර්ගයේ උපදිනවා.”

එහෙම නම් මේ ජීවිතයේ අප බොහෝ දෙනාගේ ආයුෂ යම් ප්‍රමාණයකට ගෙවී අවසන්. ඊළඟ ජීවිතයේ දුක අඩු ජීවිතයකට ආශා කරනවා නම්, ස්වර්ගයට ආශා කරනවා නම් ඇය ආශා කළ යුත්තේ සීල සම්පත්තිය තමාගේ ජීවිතයේ ඇතිකර ගන්නයි. ඇය උත්සාහ විය යුත්තේ සීලයේ සංවර වීමට යි. මට ලස්සන රූපයක් නැහැ, මට සල්ලි නැහැ, මට වැදගත් නෑදෑ පිරිසක් නැහැ, මට දරුවෝ නැහැ කියා කඩා නොවැටී ඒ දේ පුණ්‍ය විපාකයක් නිසා ලැබෙන දෙයක්. මට ඒවා ලබන්න ඕන පින මම පෙර ජීවිතවල කරලා නැහැ කියා උපේක්ෂාවට පත්වෙන්න ඕන.

යම් කාන්තාවක් කය බිඳී ගියාට පසු සුගතියේ උපතකට කැමැති නම් ඇය සීල සම්පත්තිය උපදවා ගන්න ආශා කරන්න ඕනේ. අනෙක් සම්පත් හතර තිබෙන කාන්තාව එයින් මත්වෙලා අකුසල් සිදු කර ගන්නේ නැතිව මේ එකක්වත් මගේ සුගති උපතට හේතු වන්නේ නැහැ කියා අදහාගෙන සීල සම්පත්තිය තමාගේ ජීවිතයට උපදවා ගන්න මහන්සි ගත යුතු වෙනවා.

සාකච්ඡා කළේ – නයනා නිල්මිණි