විවාහ දිවිය යනු බොහෝ දෙනෙකුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයකි. යහපත් ස්වාමියෙකු සමඟින් යහපත් බිරිඳක් සමඟින් සොඳුරු විවාහ දිවියක් ගත කිරීම බොහෝ තරුණ – තරුණියන්ගේ අහිංසක පැතුමකි. මහා කාරුණික තථාගතයන් වහන්සේ ද යුග දිවිය පිණිස සුදුසු සහකරුවෙක් සහකාරියක් තෝරාගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු මනාව පෙන්වා දී තිබේ. එමෙන්ම විවාහ වූ පසු ස්වාමියා විසින් බිරිඳට ද බිරිඳ විසින් ස්වාමියාට ද ඉටු කළ යුතු යුතුකම්, වගකීම් මනාව පෙන්වා දී තිබෙන්නේ සාර්ථක යුග දිවියකට අර්ථවත් අඩිතාලමක් ලෙසිනි. ඒ සියල්ලට ම පළමුව විවාහ වනතුරු කුඩා කල පටන් ම කුමර-කුමරි බඹසර රැකීමේ වැදගත්කම ද ධර්මය තුළ මනාව ඉස්මතු කොට තිබේ. කුමර කුමරි බඹසර රැකීම යනු විවාහ වෙනතුරු කිසිම ආකාරයක ලිංගික කටයුත්තක කවරෙකු සමඟ හෝ නොයෙදීම යි. අඩු ගණනේ තමා විවාහ වීමට සිටින පෙම්වතා හෝ පෙම්වතිය සමඟවත් ලිංගික කටයුත්තක නොයෙදී විවාහ වනතුරු පිරිසිදු බඹසර ජීවිතයක් ගත කළ යුතු ය.

එමෙන් ම විවාහය පිණිස සහකරුවෙකු හෝ සහකාරියක තෝරාගැනීමේ දී ඔහු හෝ ඇය සතුව විශේෂ සුදුසුකම් පහක් තිබේදැයි විමසා බලන ලෙස භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළ සේක. එනම් තෙරුවන් කෙරෙහි ගුණ දැනගෙන ඇතිකර ගන්නා චිත්ත ප‍්‍රසාදය හෙවත් ශ‍්‍රද්ධාව තිබීම පළමු කරුණයි. ගිහි ජීවිතයේ දී ආරක්ෂා කරගත යුතු නිත්‍ය සීලය වූ පන්සිල් රකින කෙනෙක් ද යන්න දෙවැනි කරුණයි. ශ‍්‍රී සද්ධර්මය අසා දරාගත් බව නම් වූ සුත බලය තිබේ ද යන්න තුන්වෙනි කරුණයි. තව ද විවාහය පිණිස තෝරාගන්නා සහකරු – සහකාරිය පරිත්‍යාගශීලී ගුණයෙන් යුක්ත වීම හතරවන කරුණයි. පස්වෙනි කරුණ නම් ධර්මයට අනුව නුවණින් විමසා ඇතිකරගත් අවබෝධය නම් වූ ප‍්‍රඥා සම්පත්තිය යි. මෙම කරුණු පහ මනා ව ගැළපේ නම් ඔවුන්ගේ විවාහ දිවිය අතිශයින් ම සාර්ථක සොඳුරු යුග දිවියක් බවට නිසැකව ම පත් වේ. එනමුදු වර්තමානයේ විවාහයක දී සසඳා බලන්නේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ මෙම කරුණුවලට හාත්පසින් බැහැර වූ මිථ්‍යාදෘෂ්ටික පොරොන්දම් වීම සැබවින්ම ඛේදජනක තත්ත්වයකි. එම මිථ්‍යා මත පිළිගෙන පොරොන්දම් ගළපා නැකැත් බලා සිදුකරන විවාහ කෙටි කලකින් ම අසාර්ථක වී දෙදරා ගොස් දික්කසාද වීම්වලින් කෙළවර වන්නේ ආරම්භය වරද්දා ගත් නිසාවෙනි.

ශ‍්‍රද්ධා… සීල.. සුත.. ත්‍යාග… ප්‍රඥා යන ආර්ය පොරොන්දම් ගළපා විවාහ දිවියට පත්වන යුවළක් උතුම් තුනුරුවනේ ආශීර්වාදය ඇතිවම බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර මත පිහිටා යුගදිවිය අරඹයි. ඔවුහු අනේපිඬු සිටුතුමාගේ දූ පුතුන් මෙන් සඟරුවනට දන් – පැන් පුදා දහම් ඔවදන් ලබා ගනිති. විවාහ මංගල්‍යය පිණිස කිසිසේත් මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධ කර නොගනියි. ඇණවුම් කොට සතුන් නොමරති. අර්ථවත් අයුරින් යුග දිවිය අරඹා සැමියා බිරිඳටත්, බිරිඳ සැමියාටත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ පරිදි මනාව යුතුකම් වගකීම් ඉටුකරති. ගිහි විනය නම් වූ සිඟාලෝවාද සූත‍්‍රයේ එම යුතුකම් මෙසේ පෙන්වා දී තිබේ.

සැමියා විසින් බිරිඳට ඉටුකළ යුතු යුතුකම්

* ගරුසරු දක්වා කථා කිරීම
* අවමන් කොට කථා නොකිරීම
* සිය බිරිඳ ඉක්මවා වෙනත් ස්තී‍්‍රන් කරා නොයාම
* නිවසෙහි වැඩකටයුතුවල දී සිය බිරිඳට ප‍්‍රධානත්වය දීම
* තමාට ශක්ති පමණින් ඇඳුම් ආයිත්තම් ආදිය මිලට ගෙන බිරිඳට තෑගි කිරීම

බිරිඳ විසින් ස්වාමියාට ඉටුකළ යුතු යුතුකම්

* කලට වෙලාවට ආහාර පානාදිය සකස් කර දීම
* සේවක කාරකාදීන්ට යහපත් ව සැලකීම
* සිය සැමියා ඉක්මවා වෙනත් පුරුෂයන් කරා නොයෑම
* සැමියා රැස් කළ ධනය ආරක්ෂා කිරීම
* සියලු කටයුතුවල දී කම්මැලි නැතිව දක්ෂ වීම

මෙසේ ධර්මානුකූල ව ගතකරනා යුගදිවිය සැබවින් ම සමඟි සම්පන්න සොඳුරු යුගදිවියක් බවට පත්වන අතර වාසනාවන්ත පින්බර දිවිපෙවෙතක් ලබා දෙයි. අනේපිඬු සිටුතුමා – පුණ්‍යලක්ඛණා දේවිය, පූර්ණවර්ධන කුමරු – විශාඛාව, නකුල මාතා – නකුල පිතා එවන් සොඳුරු විවාහ ජීවිතවලට පූර්වාදර්ශයන් ය. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ උත්තම සදහම් දායාදය ලත් දා පටන් අප මාතෘභූමියේ ද ජීවමාන වූයේ ඒ සොඳුරු බොදු සංස්කෘතිය යි. ආදර්ශවත් විවාහ ජීවිත ගත කළ පින්බර මාපියන් මෙලොව පරලොව දෙලොව ම සාර්ථක කර ගත්හ.

බටහිර සිරිතට දිව දික්කරනා අද සිංහල කළුසුද්දා….

එනමුදු කාලයාගේ ඇවෑමෙන් ඒ සොඳුරු සංස්කෘතික ගුණාංගයන්ගෙන් ක්‍රමයෙන් බැහැර වෙමින් අවිචාරවත් බටහිර සංස්කෘතියේ අයහපත් බලපෑම් විවාහ දිවිය කෙරෙහි ද එල්ල වී තිබේ. වර්තමානයේ පැතිරී යන අශ්ලීල තුප්පැහි සංස්කෘතියක් වනුයේ ‘ලිවින්ග් ටුගෙදර්’ හෙවත් එකට වාසය කිරීම යි. එම චින්තනය ඔස්සේ තමන් කැමති කාන්තාවක් පිරිමි කෙනෙක් සමඟ කැමති දවසක් වාසය කරති. ඉන් පසු ඔහු හෝ ඇය අත්හැර දමා තවත් කෙනෙකු හා වාසය කරන්නේ වාහන, නිවෙස් මාරු කරන්නාක් මෙනි. මෑතක දී එක් යොවුන් නළුවෙකු ප‍්‍රසිද්ධ මාධ්‍යයක කිසිදු ලැජ්ජාවක් නොමැතිව පැවසුවේ තමා දැන් ජීවත් වන්නේ තුන්වැනි කාන්තාව සමඟින් බවයි. එමෙන් ම හිරි-ඔතප් නොමැතිව ඔහු තවදුරටත් පැවසුවේ එම කාන්තාවන් කන්‍යාවන් ද නැද්ද යන්න තමන්ට වැදගත් නැති බවයි. සංවේගයට කරුණ නම් එම සාකච්ඡාවට සහභාගී වූ සංගීත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු සහ සම්මානලාභී ප‍්‍රවීණ නිළියක ද ඔහුගේ හිරිකිත ප‍්‍රකාශයන් අනුමත කරමින් මෙම වනචර සංස්කෘතියට ආවැඩීමයි. පුදුමයට කරුණ නම් එම ප‍්‍රවීණයන් දෙදෙනා ම මැදිවියේ පසුවන, දරුවන් සිටින මව්පියන් වීම යි. නූතන සමාජය වැරදි කාම සේවනයට ඍජුව ම අනුබල දෙමින්, දුසිල් බටහිර සංස්කෘතියේ ගොදුරු බවට පත්වෙමින් ආධ්‍යාත්මික සෝදාපාළුවකට ලක් වී ඇති බවට එම රූපවාහිනී වැඩසටහන ප්‍රබල නිදසුනකි.

මෙම අශීලාචාර ‘ලිවින්ග් ටුගෙදර්’ සංස්කෘතියට ආවඩන බොහෝ දෙනෙකුට ආධ්‍යාත්මික හික්මීමක් හෝ අඩුගණනේ සිය දරුවන් ගැන හෝ මෛතී‍්‍ර සහගත හැඟීමක් නොමැත. ආඩම්බරකාරී මොනරා සැඟවිය යුතු සිය ගුද මාර්ගය පෙන්වමින් පිල් විදහා රඟ දෙන සේ ඔවුන් රූපවාහිනී සංවාදවල තම පාණ්ඩිත්‍යය පෙන්වන්නේ යැයි සිතා සිය ආධ්‍යාත්මික නිරුවත් භාවය ම ප‍්‍රකට කරති. එසේ ම ඔවුන් තමන් ද අකුසල් රැස්කර ගනිමින් බොහෝ දෙනෙකු එම අකුසලයේ සමාදන් කරවමින් නිරයගාමී පව් රැස්කර ගනිති.

සැප සම්පත් නම් මිරිඟුව පස්සේ…..

භාග්‍යවතුන් වහන්සේ වදාළේ අනාගත ලෝකයෙහි අධර්ම රාගයත්, විෂම ලෝභයත්, මිත්‍යා දෘෂ්ටියත් යන අකුසල් තුන බොහෝ සෙයින් බලවත් වන බවකි. එම සම්බුදු වදන් සැබෑ කරමින් වත්මන් නාගරික ප‍්‍රජාව වේගයෙන් මෙම ‘ලිවින්ග් ටුගෙදර්’ සංස්කෘතියට යොමු වෙමින් සිටිති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සුත‍්‍ර දේශනා අනුවත්, විනය පැනවීම අනුවත් මෙය පැහැදිලිව ම වැරදි කාමසේවනයකි. යහපත් කුලාචාර සිඳබිඳ දැමීමකි. කාමභෝගී බටහිර රටවල ආධ්‍යාත්මික දියුණුව නොමැති වීමට ප‍්‍රධාන සාධකයක් වනුයේ ලෞකික සම්මා දිට්ඨිය නොමැති වීමයි. එබැවින් පින් – පව් ගැන මෙලොව – පරලොව ගැන කර්ම – කර්මපල ගැන අවබෝධයක් හෝ වටහා ගැනීමක් පොදුවේ ගත් කල ඔවුන්ට නොමැත. එම නිසා තාවකාලික සැපයක්, ආස්වාදයක් පිණිස ඕනෑම අකුසල් සහගත ක්‍රියාවක් කිරීමට ඔවුහු පසුබට නොවෙති. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය බටහිර සහ යුරෝපා රටවල සාමාන්‍ය දෙයකි. සති අන්ත නිවාඩු දිනවල ඔවුහු විනෝදයට මසුන් මරති. ඇතැම් රටවල ගණිකා වෘත්තිය පවා නීතිගත කර ඒ පිණිස නිදහස් කලාප පිහිටුවා තිබේ. ‘ලිවින්ග් ටුගෙදර්’ සංස්කෘතිය බිහි වූයේ එවැනි වටපිටාවක ය.

අරහත් මහ මිහිඳු හිමි – පෙව්වෙ උතුම් සදහම් මී…..

එනමුත් උත්තම සම්බුදු දහමෙන් පෝෂණය ලබන හෙළ සංස්කෘතියෙන් ඔප් නැංවුණ අපගේ ජීවන රටාව මිනිසත් බවින් ද හික්මීමෙන් ද සදාචාරවත් සත්පුරුෂ ගුණාංගයන්ගෙන් ද සුපෝෂිත ය. අප දිවිමග ගතකළ යුත්තේ වසර දහස් ගණනක සිට උරුම වූ එම උදාර හෙළ බොදු සංස්කෘතියට අනුව ය. අපගේ මෙලොව ජීවිත යහපත් වන්නේ ද පරලොව සුගතිගාමී වන්නේ ද එවිට ය. එම නිසා ගිහි ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වූ විවාහය හා විවාහ දිවිය ගත කළ යුත්තේ ඒ පරමාදර්ශී ධර්මයට අනුව සදාචාරවත් අයුරිනි. එය මතු පරපුරට ද යහපත් පූර්වාදර්ශයකි. එසේ නොමැතිව බටහිර සංස්කෘතියේ අසාරවත් අංග අවිචාරවත් ව වැළඳගෙන එයට ආවැඩුවොත් තමන්ටත්, සමාජයටත් එය මහා සාපයක් වීම නොවැළැක්විය හැක. එම නිසා ‘ලිවින්ග් ටුගෙදර්’ මානසිකත්වයෙන් මිදී හරවත් සොඳුරු යුග දිවියක් ගත කිරීමට සත්පුරුෂ ධර්මයේ සුන්දර මගපෙන්වීම සියලු දෙනාට ම උපකාරී වේවා!

සටහන – ධනංජය වීරසිංහ