ගෙවීගිය සති කිහිපය පුරාවට ඓතිහාසික නිධන් වස්තු සහ පුරාවස්තු පිළිබඳව මාධ්‍ය හරහා බොහෝ කොට අසන්නට ලැබුණි. මින් පෙර නොවූ විරූ තරමින් ප‍්‍රසිද්ධියේ ම නිධන් කළ වස්තූන් සහ පෞරාණික වටිනාකමින් යුතු දේවල් තම සතු කර ගන්නට බොහෝ පිරිස් වෙහෙසුනහ. දැඩි ආරක්‍ෂිත රැකවල් සහිත වූ කොළඹ කෞතුකාගාරයෙන් වටිනා පුරාවස්තු සොරකම් කිරීමෙන් ද, ඇතැම් ආරක්‍ෂක අංශ නිලධාරීන් මෙන් ම ප‍්‍රබල රාජ්‍ය නිලධාරීන් ද, බුදු සසුන සුරකින්නට ප‍්‍රතිඥා දී ඇති පිරිස් ද ඇතුලූ නිධන් හා පුරාවස්තු පසුපස දිව ගිය පිරිස් තහවුරු කළේ කවර ලෙසකින් හෝ ඒවා තමන් සතු කර ගැනීමට ඇති නොතිත් උවමනාවයි.

සැබැවින් ම ඔවුහු නිධානයන්ට මෙතරම් ලොබ බඳින්නේ ඇයි? පිළිතුර ඉතාමත් පැහැදිළි ය. ඔවුන්ගේ අරමුණ නිධානය තමන් සතු කරගෙන ධනවත් වීම ය; බලවත් වීම ය; සැපවත් වීම ය.

එහෙත් ධනවත් වන්නට, බලවත් වන්නට හෝ සැපවත් වන්නට බලි බිලි පුද දෙමින් පොළව යට සැඟවූ නිධන් වස්තු සෙවිය යුතු නැත. එසේ ම එවැන්නකින් ලැබෙන ධනවත් බව, බලවත් බව හෝ සැපවත් බව මොහොතින් වෙනස් විය හැකි කෙටි කාලීන දෙයකි. අල්ප වූත් ලාමක වූත් දෙයකි. මෙලොව ජීවත් වන ඉතා කෙටි කාලයට පමණක් ම සීමා වූවකි.

මෙලොව සේ ම පරලොව ද එක සේම ධනවත්, බලවත් හා සැපවත් විය හැකි නිධානයකින් ප‍්‍රයෝජන ගත හැකි නම් සියල්ලටම වඩා වටින්නේ එය නොවේ ද? සැබැවින් ම දෙලොව යහපත, සුවසෙත සලසන ඒ මහානීය එකම නිධානය මේ මොහොතේ ද අප සතු ය. ඒ අනෙකක් නොව, මහා මහීන්ද්‍රයන් වහන්සේ විසින් අපට දායාද කර දුන් ගෞතම සම්මා සම්බුදු සදහම් නිධානයයි. ඒ සදහම් නිධානයේ මහානීය වස්තු සම්භාරය සුපිරිසිදු අරුත් සහිතව දැන් අප හමුවේ විවර වී ඇත්තේ නුවණින් විමසා ප‍්‍රයෝජන ගත හැකි පරිද්දෙන් ය.

බියෙන්, තැතිගැන්මෙන් හෝ නීතියේ රැහැන පිළිබඳ පීඩනයෙන් මේ නිධානය හාරන්නට උවමනා නැත. එය ඔබ සතු නම් ගින්නට, ජලයට, සොර සතුරන්ට හෝ රජෙකුට වුව ද විනාශ කළ නො හැක. බලෙන් ලබාගත නො හැක. ඔබ ඉන් යහපත සලසා ගැනීම වළක්වනු ද නො හැක. මේ උත්තම වූ සොඳුරු නිධානයේ ආශ්චර්යය එය යි. විභූතිමත් අනුරාධපුර යුගයේ අභිමානය පෙන්වා දෙන්නේ ද මේ සදහම් නිධානයෙන් අප මුතුන් මිත්තන් ලද මහඟු ඵලයයි.

අවි මුගුරු අතින් ගෙන, තණ්හාවෙන් දැවෙමින්, වියරුවෙන් මෙන් නිධන් සොයා යන හිස් මිනිසුන් සමඟ නොරැඳී වීර්යයෙන් යුතුව ප‍්‍රඥාවට ඉඩ දෙමින් අප‍්‍රමාදීව සදහම් නිධානයේ හිමිකාරිත්වය ලබන්නට මේ සත්පුරුෂ නුවණැතියන්ට සුදුසු ම කාලයයි. මන්ද යත් මෙතරම් අරුත් පිරිපුන් අයුරින් ගෞතම සම්බුදු සදහම් නිධානය ජීවමාන ලෙසින් විවර වන අවසන් යුගය මෙය විය හැකි නිසාවෙනි.

අනුන්ගේ නිදන් හාරමින් හිඳ හිස් මිනිසුන් ලෙසින් හිස් අතින් ම පරලොව නො යා, ලද නිධානයේ වටිනාකම මැනවින් හැඳින සියල්ලෝ ම මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුළ දහමේ අප‍්‍රමාදී වෙත්වා!